තිරසර සාමය නැති භූමියකට සංවර්ධනය උරුම වෙන්නේ නෑ

0
144

සාමකාමි නොවන රටක් සංවර්ධනය වෙතැයි අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

සාමකාමී නොවන භූ දේශපාලනික කලාපයක්ද සංවර්ධනය නොවනවා පමණක් නොව, එය ලෝක භූ දේශපාලනික යුද න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවෙන නොමිනිස් දඩබිමක් පමණක්ම වන බවද හිටපු ජනපතිවරයා අවධාරණය කළේය.

සාමය සඳහා වන ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංගමය හා විශ්ව සාම සම්මේලනයේ ආසියා පැසිෆික් කලාපය එක්ව සංවිධාන කළ ජාත්‍යන්තර  නායකත්ව සම්මේලනය ඉකුත් ජූලි මස 30 සහ 31 පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්විණි.

එහි දේශනයක් සිදු කරමින් හිටපු ජනාධිපති මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා මෙසේද කීය.

“මේ වසරේ පෙබරවාරි මස 11, 12 සහ 13 යන දින තුන තිස්සේ, දකුණු කොරියාවේ සියොල් නුවර පැවැත් වූ ලෝක සමුළුවේදී මා අවධාරණය කළ එක් කරුණක් වූයේ, ලෝක සාම සම්මේලනය කොරියානු අර්ධද්වීපයේ හා සමස්ත ලෝකයේම තිරසාර සාමය උදාකිරීම සඳහා ගනු ලබන්නා වූ අව්‍යාජ ප්‍රයත්නයේ වැදගත්කමයි. සමස්ත ලෝකවාසී සියලු මනුෂ්‍යයන් එකම මිනිස් පවුලක් වනු දැකීම අරමුණු කර ගනිමින් සන් මයූන් මූන් හා ආචාර්ය හක් ජා හන් මූන් මැතිනිය විසින් 2005 වසරේදී සමාරම්භ කරන ලද විශ්ව සාම සම්මේලනය, දිනෙන් දින එහි උත්තරීතර අරමුණ කරා ළඟා වීමට ගනු ලබන්නා වූ මේ ප්‍රරිශ්‍රමය, පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන මෙම ජාත්‍යන්තර රාජ්‍ය නායක සමුළුවේදී මා නැවතත් අගය කරනවා.

සියෝල් සමුළුවේ අවසන් දිනය අප බොහෝ දෙනාට අමතක කළ නොහැකි දවසක්. ඊට හේතුව, එම ලෝක සමුළුවට සියොල් නුවරට පැමිණි හා තාක්ෂණය ඔස්සේ සමුළුවට සම්බන්ධ වූ රාජ්‍ය නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ආගමික නායකයන්, විද්වතුන්, ව්‍යාපාරික හා ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයන්හි ප්‍රමුඛයන්, කාන්තා නායිකාවන්, කලාකරුවන් සියලු දෙනාගේ එකඟතාවයෙන් යුක්තව සම්මත වූ සියොල් ප්‍රඥප්තියයි. අප සියලු දෙනා ඒ ප්‍රඥප්තියේ ජීවමාන සාක්ෂිකරුවන් වූ බව මාගේ විශ්වාසයයි.

මෙම ජාත්‍යන්තර නායකත්ව සම්මේලනයේදී සියෝල් ප්‍රඥප්තිය සම්බන්ධයෙන් මම යෝජනාවක් කිරීමට කැමතියි. එම ප්‍රඥප්තියේ ප්‍රධාන අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ලෝකය පුරා දැවැන්ත හඬක් නැඟිය යුතුයි. එම අරමුණ වටා පුළුල් දේශපාලනික හා නිර්දේශපාලනික එනම්, විද්වතුන්, ආගමික නායකයන්, කලාකරුවන් ආදී බහුවිධ පෙරමුණුවලින් යුක්ත පාර්ශ්වකාරීත්වයක් ගොඩනැඟිය යුතුයි. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 වසරේදී හඳුන්වා දුන් තිරසාර සංවර්ධන ඉලක්ක වලින් 16 වැනි ඉලක්කය, සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා වෙන් කර ඇති බව මේ සමුළුවේ සිටින අප සැවොම දන්නා කරුණක්. එය සංවර්ධනය සඳහා කුඩා සමාජ සමූහයන් තුළ තිබිය යුතු සාමකාමී බව, යුක්තිය, වගවීම හා ආන්තීකරණය බැහැර කිරීම මනාව විනිවිද දකිනවා. කලාපීය හෝ ගෝලීය වශයෙන් පමණක් නොවෙයි, පුද්ගලයන්, පවුල් හෝ ප්‍රජාවන් වශයෙන් පවා, සාමය සංවර්ධනය සඳහා හේතු වනවා සේම සංවර්ධනයද සාමය සඳහා හේතු වනවා. එබැවින් මේ කරුණු දෙක එකිනෙකට තදින් සම්බන්ධයි. එය උදාහරණයකින් පවසනවා නම් එකම කාසියක දෙපැත්ත බඳුයි.

ආර්ථික විද්‍යාව හා සාමය සම්බන්ධ ජාත්‍යන්තර ආයතනය සාමය හා තිරසර සංවර්ධනය සඳහා පාදක වන කුලුනු 8ක් සෛද්ධාන්තිකව හඳුන්වාදී තිබෙනවා. ඉන් පළමුවැන්න, ප්‍රශස්ත ආණ්ඩුකරණයයි; දෙවැන්න, ස්ථායී ව්‍යාපාරික පරිසරයයි; තෙවැන්න, සම්පත් සමසේ බෙදී යෑමයි; සිවුවැන්න, සියල්ලන්ගේ අයිතීන් පිළිගැනීමයි; පස්වැන්න, අසල්වැසි රටවල් සමඟ හා කලාපීය වශයෙන් පවත්වා ගන්නා යහපත් සබඳතායි; හයවැන්න, නිදහස් තොරතුරු ගලනයයි; සත්වැන්න, දියුණු මානව ප්‍රාග්ධනයයි; අටවැන්න, වංචාව නාස්තිය හා දූෂණය අවම කිරීමයි. ගෝලීය සංවිධානයක් ලෙස විශ්ව සාම සම්මේලනයේ උසස් අවධානය මෙවන් කරුණු කලාපීය වශයෙන් හා ජාත්‍යන්තරික වශයෙන් අධිවාචනය කිරීම කෙරෙහි අනාගතයේදී යොමුවනු ඇතැයි මම විශ්වාස කරනවා.

දශක තුනකට ආසන්න කාලයක් සිවිල් යුද තත්ත්වයක් නිසා බිඳවැටී තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2009 වසරේ යුද ගැටුම් නිමා වීමත් සමඟ ප්‍රකෘතිමත් වනු ඇතැම් ශ්‍රී ලාංකිකයන් පමණක් නොවෙයි, ජාත්‍යන්තර ප්‍රජාව පවා අපේක්ෂා කළා. එහෙත් ඔබ හොඳින් දන්නා පරිදි මේ වන විට අප රාජ්‍යය දැවැන්ත ආර්ථික අර්බුදයක සිරවී අවසන්. එම අර්බුදය නිසා මතුවූ දේශපාලන අස්ථාවරත්වය හා ජන ජීවිතය අඩාල වීම දරාගත නොහැකියි.

අත්‍යවශ්‍ය ආහාර, ඔෟෂධ, ඉන්ධන, පොහොර ආදිය සපයා ගැනීම පවා දැඩි අවදානමකට ලක් වෙලා. ලෝක ආහාර වැඩපිළිවෙළ පෙන්වා දෙන ආකාරයට අධික උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3කට පමණ ආහාර හිඟතාවයක් ඇතිවෙලා. යුද්ධය අවසන් වීමෙන් පසුව මා ඉහතින් සඳහන් කළ කරුණු ස්ථාපනය නොවීමෙන් අර්බුදයක් කරා ගමන් කළ රටකට ශ්‍රී ලංකාව උදාහරණයක් බව කනගාටුවෙන් වුවත් කිවයුතුයි. මේ අසීරු අවස්ථාවේ ඔබ සියලු දෙනාගේ සහයෝගීතාව, සහෝදරත්වය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස මා අපේක්ෂා කරනවා.

මානසික සාමයක් නොමැත්තේ නම් පුද්ගලයාගේ ජීවිතයේ සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකියි. පවුල තුළ සාමය නොමැත්තේ නම් එම පවුල තුළ සංවර්ධනයක් දැකිය නොහැකියි. එකිනෙකා සමඟ ගැටුම් ඇතිකර ගන්නා ගමක් දියුණු වනු බලාපොරොත්තු විය නොහැකියි. සාමකාමි නොවන රටක් සංවර්ධනය වෙතැයි අපේක්ෂා කළ නොහැකියි. සාමකාමී නොවන භූ දේශපාලනික කලාපයක්ද සංවර්ධනය නොවනවා පමණක් නොව, එය ලෝක භූ දේශපාලනික යුද න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවෙන නොමිනිස් දඩබිමක් පමණක්ම වෙනවා.”

සවනි ශේශාධි