ජනපති කොඩිය සොරාගත් සජබ වෘත්තීය සමිති නායකයා රිමාන්ඩ්

0
19

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිල ධජය සොරාගෙන එය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ වරාය වෘත්තීය සමිති නායකයකු අගෝස්තු මස 5 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මොහු කඩුවෙල නගර සභාවේ හිටපු එ.ජා.ප. මන්ත්‍රිවරයකු ලෙසත් වරාය ආරක්‍ෂක නිලධාරියකු ලෙසත් සේවය කළ අයෙකි. එමෙන්ම වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ සාමාජිකයකු ලෙසත් මොහු ක්‍රියා කර ඇතැයි පොලිසිය කියයි.

ඉකුත් ජූලි මස 9 වැනිදා අරගලකරුවන් සමඟ ජනාධිපති මන්දිරයට කඩාවැදී ජනාධිපතිවරයාගේ නිල ධජය සොරාගෙන ගොස් එය සරමක් ලෙස භාවිත කරමින් ඇඳගෙන මහමඟ ගමන් කරන ආකාරය දැක්වෙන සීසීටීවී කැමරා දර්ශන ඒ අතරතුරදී පොලිසිය කළ විමර්ශනයකදී හෙළි කර ගෙන තිබිණි. ඒ ඔස්සේ විමර්ශන පැවැත්වෙද්දී ජනාධිපතිවරයාගේ නිල ධජය අවභාවිත කරමින් එම ධජය වරාය අධිකාරියේ ඇඳක් මත එළා ඒ මත ඇලවී සිට කරන ලද පුද්ගලයකුගේ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක්ද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබියදී පොලිස් විමර්ශකයන් අතට පත්වී තිබේ.

පසුව ඒ පිළිබඳ වැඩිදුරට සොයා බැලීමේදී වීඩියෝවේ සිටි පුද්ගලයා හඳුනා ගැනීමෙන් පසු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු පදිංචි මාලඹේ නිවෙසට ගොස් ඇතත් ඔහු එම නිවෙසේ රැඳී නොසිටි බව පොලිසිය කීය.

පසුව සැකකරු නීතිඥයකු මාර්ගයෙන් වේල්ලවීදිය පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනිණි. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සොරාගත් ජනාධිපති ධජය පුලුස්සා දැමූ බව කීවද එය ඔහුගේ ඥාති නිවෙසක තිබී සොයාගෙන ඇතැයිද වාර්තාවේ.

සැකකරු ජනාධිපති ධජය වරාය අධිකාරියේ ආරක්‍ෂක නිලධාරීන් රැඳී සිටි විවේකාගාරයේ ඇති ඇඳක ඇතිරිල්ලකට යොදා එය අවභාවිත කර ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

කීර්ති මෙන්ඩිස්