ගෙවතු වගාවට හානි කරන පළිබෝධ සහ කෘමි උවදුරු නැත්තටම නැති කරමු

0
89

තම නිවෙස තුළ වගාවක් ආරම්භ කර පවත්වාගෙන යෑමේදී බොහෝවිට කෘමි උවදුරුවලට බහුල වශයෙන් මුහුණදීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. එසේ නම් මෙවර ඩ්ඥප අතිරේකය තුළින් අප ඔබ වෙතට ගෙන එන්නේ එවැනි ගෙවතු වගාවක බෝගයන්ට සුලබව වැලඳෙන පළිබෝධකයන් සහ කෘමි උවදුරු මොනවාද? ඒවාට අඩු වියදමින් සාදාගත හැකි ස්වාභාවික කෘමි විකර්ෂක වර්ග කිහිපයක් පිළිබඳවයි. රෝගය

දළඹුවන් පණුවන් වැනි සතුන් විසින් ශාක පත්‍ර කා විනාශ කිරීම

මිරිස්, බටු, තක්කාලි වැනි පැළ වර්ගවලත් කතුරුමුරුංගා ආදී පාත්‍ර විශාල වශයෙන් හටගන්නා ශාකවලත්, ශාකය කුඩා කාලයේදී මෙන්ම වර්ධනය වූ කාලයේදීත් ශාක පත්‍ර මත මෙම පළිබෝධකයන් ඇතිවීම බහුල වශයෙන් දැකගත හැකිය.

මෙම තත්ත්වය පාලනය කරගැනීමට නිවෙසේදීම ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් සාදාගත හැකි කෘමි විකර්ෂකයක් සාදා ගන්නා ආකාරය දැන් අපි බලමු.

අළු මිශ්‍ර කෘමි

විකර්ෂකය

අවශ්‍ය ද්‍රව්‍ය

-මිරිස් කුඩු ග්‍රෑම් 50ක්

-සබන් කුඩු ග්‍රෑම් 50ක්

-භූමිතෙල් මිලි ලීටර් 15ක්

-දැව අළු කිලෝ ග්‍රෑම් 1ක්

-දෙහි ගෙඩි දෙකක යුෂ

සාදා ගන්නා ආකාරය

පළමුව මිරිස් කුඩු හා සබන් කුඩු දැව අළු සමඟ හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසුව දෙහි ඉස්ම හා භූමිතෙල් යොදන්න.

භාවිත කරන ආකාරය

මෙය උදෑසන 6.00 _ 7.00 අතර කාලයේදී ශාකයේ පින්න රැඳී තිබෙන විටදී යෙදිය යුතුය.

පිටි මකුණා, කූඩිත්තා වැනි පළිබෝධකයන් පලවා හැරීමටත් ශාක පත්‍රවල පත්‍ර කොඩවීමේ රෝගය පාලනය කිරීමට දුම්කොළ කෘමි විකර්ෂකය.

අවශ්‍ය දේවල්

-දුම්කොළ ස්වල්පයක්

-අනෝදා ඇට ස්වල්පයක්

-ආඩතෝඩ කොළ ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍යය සියල්ල එකට දමා වතුර ස්වල්පයක් සමඟ කලවම් කොට වංගෙඩියක දමා කොටා ගන්න.

භාවිත කරන ආකාරය

මෙම මිශ්‍රණය කොටා ගැනීමෙන් ලැබෙන යුෂවලට ජලය 1:1ට අනුපාතයට එකතු කර ශාක පත්‍රවල උඩ පැත්තට සහ යට පැත්තෙහි පෘෂ්ඨ මතුපිටට හොඳින් ඉසින්න හෝ ස්ප්‍රේ කරන්න.

රෝගය

කොළ කොඩවීම හා පත්‍ර හැකිළීම

පළිබෝධකයා – ඉල්මැස්සා, පිටිමකුණා, කීඩෑවන් පැල මැක්කන්, කොළ කන පණුවන්, ගුල්ලන්, සුදු මැස්සන්, ගොළුබෙල්ලන්, කොරපොතු කෘමීන් පලවාහැරීමට.

ප්‍රතිකර්මය _ ඉඟුරු, සුදුලූනු මිශ්‍රිත කෘමී විකර්ෂකය

අවශ්‍ය ද්‍රව්‍ය

-ජලය ලීටර් 3ක්

-ඉඟුරු ග්‍රෑම් 100ක්

-සුදුලූනු ග්‍රෑම් 100ක්

-දුම්කොළ ග්‍රෑම් 50ක්

-දෙහි ලෙලි 05-06ක්

-නික කොළ මිටක්

-දෙහි කොළ මිටක්

-කුරුඳු කොළ මිටක්

-කොහොඹ කොළ (දලු) මිටක්

-බුලත් දලු මිටක්

-සුදුසු මුට්ටියක්

-සබන් කුඩු මිශ්‍ර කළ ජලය

සාදා ගන්නා ආකාරය

මෙම කෘමි විකර්ෂකය ශාක පත්‍ර වර්ග භාවිත නොකරද සාදාගත හැකිය. නමුත් මේ සඳහා ශාක පත්‍ර භාවිත කිරීමේදී කාර්යක්ෂමතාව වැඩිකර ගත හැකිය.

පළමුව සුදුලූනු තළා ගන්න. අනෙකුත් කොළ වර්ග කුඩා කැබලිවලට කපා ගන්න. ඉන්පසුව මෙම ද්‍රව්‍ය සියල්ල මුට්ටියක දමා ඇති පමණට ජලය  එකතු කොට විනාඩි 45ක් පමණ පෙඟෙන්නට වසා තබන්න. ඉන්පසුව ළිප තබා විනාඩි 20ක් පමණ එය රත්කර ගන්න. මෙසේ තබාගත් ද්‍රව්‍ය භාජනය හොඳින් වසා දිනක් පමණ තබන්න. ඉන්පසුව දියර කොටස රෙදි කඩකින් පෙරා බෝතල් කිහිපයකට ඇසුරුම් කරන්න.

භාවිත කරන ආකාරය

ක්ෂේත්‍රයට එකතු කිරීමේදී මෙම ද්‍රාවණයෙන් එක් කොටසකට ජලය කොටස් දෙකක් හා සබන් වතුර එක් කොටසක්ද එකතු කර මිශ්‍ර කරගන්න. දැන් එය සුදුසු ස්ප්‍රේ බෝතලයකට දමා සිහින් බිඳිති ආකාරයට ස්ප්‍රේ කරන්න.

විශේෂයෙන්ම මෙහිදී ශාකපත්‍ර දිගේ කෘමි විකර්ෂක දියර ගලා නොයන ආකාරයට ස්ප්‍රේ කළ යුතුය. තවද මෙම දියරය පත්‍රවල උඩ සහ යට කොටස් දෙකටම හොඳින් යෙදිය යුතුය.

රෝගය

පතෝල, වැටකොලු, කරවිල වැනි බෝගවල කරල් පණුවන් හා මැස්සන් විදීම

ප්‍රතිකාරය

පැපොල් ඇට කෘමී විකර්ෂකය

අවශ්‍ය ද්‍රව්‍ය

-සුදුලූනු ස්වල්පයක්

-රතුලූනු ස්වල්පයක්

-ගස්ලබු ඇට ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍ය සියල්ල සමාන ප්‍රමාණවලින් ගෙන වංගෙඩියක දමා කොටා ගන්න. එයට උණු ජලය මිලිලීටර් 500ක් එකතු කොට ස්වල්ප වේලාවක් තැම්බීමට තබන්න. විනාඩි 15කට පසු පෙරා ගන්න.

භාවිත කරන ආකාරය

පෙරාගත් මෙම දියරය ස්ප්‍රේ කළ හැකි බෝතලයකට දමා ශාකවලට ස්ප්‍රේ කරන්න.

රෝගය

පත්‍ර කොටවීම, පත්‍ර කා දැමීම පත්‍ර හැකිළීම

පළිබෝධකයන්

කූඩිත්තන්, පැළ කීඩෑවන්, සුදු මැස්සන්

ප්‍රතිකාර

අනෝදා පත්‍ර කෘමි නාශකය

අවශ්‍ය ද්‍රව්‍ය

-අනෝදා කොළ ග්‍රෑම් 500ක්

-ජලය ලීටර් 02ක්

-සුදුසු මුට්ටියක්

සාදා ගන්නා ආකාරය

අනෝදා කොළ කපා මුට්ටියට දමා ජලය එකතු කරන්න. මෙම ජලය මිලි ලීටර් 500 දක්වා සිඳෙන තුරු මෙය හොඳින් තම්බා ගන්න. අවසානයට තම්බාගත් ද්‍රාවණය පෙරා වෙන්කර ගන්න.

භාවිත කරන ආකාරය

මෙම ද්‍රාවණයට ජලය ලීටර් 2ක් දමා ඕනෑම බෝගයකට යොදන්න. මෙය අඳුරු ස්ථානයක ගබඩා කිරීමෙන් දින කිහිපයක් වුවද කල්තබා ගත හැකිය.

රෝගය

කොළ හැලීම / කොළ කොඩවීම

පළිබෝධකයන්

කූඩිත්තන්, පැළ මැක්කන්, මයිටාවන්, කොළ හලන දළඹුවන්

මිරිස් තක්කාලි ආදී පැළවල පත්‍ර කොඩවීම වළක්වා ගැනීමටද ඉතාම සුදුසුයි.

ප්‍රතිකාරය

බහුකාර්යය කෘමි විකර්ෂකය

අවශ්‍ය ද්‍රව්‍ය

-කුරුඳු තෙල් තේ හැඳි 01ක්

-සේර පත්‍ර ග්‍රෑම් 500ක්

-සුදුලූනු ග්‍රෑම් 50ක්

සාදාගන්නා ආකාරය

පළමුව සුදුලූනු සහ සේර වංගෙඩියකට දමා තලපයක් වන ලෙසට කොටා ගන්න. දැන් එය මුට්ටියකට දමා වතුර මිලිලීටර් 500ක් පමණ  එකතු කරන්න. දැන් විනාඩි 10-15ක් පමණ තම්බා ගන්න. ඉන්පසුව එයට කුරුඳු තෙල් තේ හැඳි 01ක් එකතු කරන්න. සියල්ල හොඳින් කලවම් කරන්න.

භාවිත කරන ආකාරය

මෙම ද්‍රාවණය හොඳින් පෙරා ගන්න. දැන් වගාවට ඉසින්න.

රෝගය – බෝංචි, බටු, තක්කාලි, ගෝවා ආදී පැළවලට දළඹුවන්, පණුවන්ගෙන් සිදුවන හානි මෙන්ම පත්‍ර මැස්සා මයිටාවන් කීඩෑවන්ගෙන් ඇතිවන උවදුරු

ප්‍රතිකර්මය

කොහොඹ ඇට නිස්සාරකය

අවශ්‍ය ද්‍රව්‍ය

-කොහොඹ ඇට ග්‍රෑම් 100ක්

-වතුර ලීටර් 01ක්

-සබන් කුඩු ග්‍රෑම් 50ක්

-ප්ලාස්ටික් භාජනයක්

සාදාගන්නා ආකාරය

පළමුව පොත්ත හැරගත් කොහොඹ ඇට හොඳින් කොටා ප්ලාස්ටික් භාජනයකට දමන්න. එයටම ජලය ලීටර් 01ක්  එකතු කරන්න. මෙම ද්‍රාවණය පැය 12ක් පමණ තබන්න. අවසානයට පෙරා එයට සබන් කුඩු මිශ්‍ර කරන්න.

භාවිත කරන ආකාරය

මෙම ද්‍රාවණයට වතුර ලීටරයක් පමණ මිශ්‍ර කොට තනුක කර ස්ප්‍රේ කළ හැකි බෝතලයකට දමා ශාකවලට ස්ප්‍රේ කරන්න.

පිටි මකුණන්ට ස්වාභාවික

අමුද්‍රව්‍ය භාවිතයෙන් සාදන

විකර්ෂකයක්

අවශ්‍ය ද්‍රව්‍ය

-බත් පොල් කට්ටක ප්‍රමාණයක්

-බත් වතුර

-ඉඟුරු කැබැල්ලක්

-සුදුලූනු ගෙඩියක්

-කුඩා සබන් කැබැලි කිහිපයක්

-වතුර ලීටර් එකක්

-නයි කොච්චි හෝ සාමාන්‍ය මිරිස්

     කරල් කිහිපයක්

සාදා ගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍ය සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

භාවිත කරන ආකාරය

පළමුව බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණය හොඳින් පෙරාගන්න. පොල්කටු හැන්දක ප්‍රමාණයට ජලය එයට මිශ්‍ර කරන්න. දැන් එය ස්ප්‍රේ කළ හැකි බෝතලයකට දමාගන්න. ඉන්පසුව ශාක පත්‍රවල යටි පැත්තේ පිටි මකුණන් සිටින ස්ථානවලට දිනකට තුන්වතාවක් ස්ප්‍රේ කරන්න. එමඟින් පිටි මකුණන්ගේ කරදරය ඉක්මනින්ම පාලනය කරගත හැකිය.

මයිටාවන් හා අනෙකුත් කෘමීන්ට සුදුසු විකර්ෂකයන්

අවශ්‍ය දේවල්

-ඕනෑම ලූනු වර්ගයක පොතු ටිකක්

-ජලය ස්වල්පයක්

-කුඩා ප්ලාස්ටික් බෝතලයක්

සාදාගන්නා ආකාරය

පළමුව ප්ලාස්ටික් බෝතලය ගෙන ඉන් භාගයකට ලූනු පොතු පුරවා ඉතිරි භාගයට ජලය දමන්න. පැය 24-48ක් පමණ පල්වන්නට තබන්න. ඉන්පසු බ්ලෙන්ඩර් කරන්න.

භාවිත කරන ආකාරය

මෙම ද්‍රාවණය හොඳින් පෙරා කෙළින්ම ශාකයට ස්ප්‍රේ කරන්න. ප්‍රමාණයෙන් වැඩි ශාකවලට 50%ක ප්‍රතිශතයකිනුත් කුඩා ශාකවලට 1:5 අනුපාතයටත් යොදා ස්ප්‍රේ කරන්න.

දිනූෂා මනෝරි නිශ්ශංක

පූජ්‍ය

තිත්තගල්ලේ ආනන්දසිරි හිමි