ගුජුන්පියෝට පස්සේ කෙල්ලෝ වැඩියෙන්ම ආදරේ කරපු සුපිරි තරුව Kim Hyun Joong

0
86

ලංකාවේ වගේම බොහෝ රටවල්වල උන්මාදයක් බවට පත්වූ කොරියානු ටෙලි නාට්‍යයක් වන Boys Over Flowerහි ජී හුගේ චරිතය ඔබට  අනිවාර්යයෙන්ම මතක ඇති. Boys Over Flowerහි ගුජුන්පියෝ වගේම තරුණියන් ආකර්ෂණයට ලක් වූ අනෙක් තරුව වූයේ ජී හුයි. Playful Kiss ටෙලිනාට්‍ය තුළින්ද ඔහු අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. අපි අද ඩ්ඥප තුළින් කතා කරන්නේ ජී හුගේ චරිත නිරූපණය කළ Kim Hyun Joong ගැනයි. ඔහු ගායකයෙක්, ගීත රචකයෙක්, නර්තන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙසත් හඳුන්වාදෙන්න පුළුවන්.

1986 ජුනි 06 වැනිදා කොරියාවේ සෝල් නුවර උපත ලැබූ Hyun Joong කුඩා කාලයේ ඉගෙනීමට ඉතාමත් දක්ෂ දරුවෙක්. උසස් පාසලෙන් සමත් වූ ඔහු Kyonggi විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. කුඩා කාලයේ පටන්ම සංගීතයට දැක්වූ ඇල්ම නිසා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේම සංගීතයට සිය සම්පූර්ණ අවධානය යොමුකළ ඔහු සංගීත වෘත්තියට පිවිසීම සඳහා ඔහු විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණා. ක්ෂේත්‍රය තුළ නමක් දිනාගැනීමෙන් අනතුරුව නැවත සිය අධ්‍යාපනය ගැන සිතන ඔහු 2011 වසරේදී Chungwoon විශ්වවිද්‍යාලයට ඇතුළත් වී වේදිකා නිෂ්පාදන කළමනාකරණය පිළිබඳව හැදෑරුවා.

Kim Hyun Joong ගේ සංගීත දිවිය

2005 ජුනි 23 වැනි දින කොරියානු පිරිමි සංගීත කණ්ඩායමක් වූ SS501හි ආරම්භක සාමාජිකයකු ලෙස Kim සිය සංගීත දිවිය ආරම්භ කළා. මෙම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් 5 දෙනකු වූ අතර Warning ගීත ඇල්බමය සමඟින් මෙම සංගීත කණ්ඩායම සංගීත ලෝකයට පිවිසුණා. මේ කණ්ඩායම ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වූ අතර 2005 සහ 2006 වසරවලදී හොඳම නව කලාකරුවන්ට හිමි සම්මාන දිනාගත්තා.

ඊළඟ වසරේ එනම් 2007 දී SS501 කණ්ඩායම ම්ධඬධපධ නම් ජපන් ගීතය තුළින් ජපානය තුළත් ජනප්‍රියත්වයට පත්වුණා. 2008 ජනවාරි මාසයේදී SS501 කණ්ඩායමට ජපානයේ Japan Gold Disc සම්මාන උළෙලේදී Best Newcomer සම්මානය හිමි වූ අතර ඔවුන් මෙම සම්මානය දිනාගත් දකුණු කොරියානු කලාකරුවන් කිහිපදෙනා අතරට එක්වුණා. 2008දී Kim Hyun Joong රියැලිටි වැඩසටහනක් වූ We Got Married සඳහා සම්බන්ධ වූ අතර එහිදී ඔහු අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. 

Kim Hyun Joong ඔහුගේ පළමු කොරියානු ඒකල ගීත ඇල්බමය වන Breakdown 2011 වසරේදී නිකුත් කළා. එම ඇල්බමය නිකුත් කිරීමෙන් පසු දින 10ක් ඇතුළත පිටපත් 70,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන තිබුණා. එම වසරේ අගභාගයේදී ඔහු ඔහුගේ දෙවැනි ඇල්බමයද නිකුත් කළා. එහිද පිටපත් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අලෙවි වූ අතර එය එම වසරේ වැඩියෙන්ම අලෙවි වූ ඇල්බම 10 අතරට එක් වුණා.

හිමිකරගත් සාර්ථකත්වයත් සමඟ ඔහුට ජපානයේ ප්‍රසංග සඳහා ආරාධනා ලැබුණු අතර ජපන් සමාගමක් සමඟ ගිවිසුම් ගතවීමෙන් පසුව ජපානයේ නගර 7කදී ඔහු ප්‍රසංග පැවැත්වුවා. 2012 වසරේදී සිය පළමු ජපන් ගීත ඇල්බමය නිකුත් කළ Kim Hyun Joong එයද වාර්තා සහගත ලෙස අලෙවි කර ගැනීමට සමත් වුණා. එය Oricon DVD Chart හි පළමු ස්ථානයට පත් වුණා. එම ස්ථානයට දකුණු කොරියානුවෙක් පත් වූ පළමු අවස්ථාව ද මෙයයි.

කිම් ඔහුගේ දෙවැනි ජපන් ඇල්බමය වන ‘Heat’ 2012 ජූලි මාසයේ නිකුත් කළා. මෙම ඇල්බමය ජූලි මාසයේදී ජපානයේ වැඩියෙන්ම අලෙවි වූ තුන්වැනි ඇල්බමය වූ අතර පිටපත් 1,96,850ක් අලෙවි වුණා. ඉන්පසුව Tonight, Hot Sun, Timing ආදී ඇල්බම කිහිපයක්ම නිකුත් කරමින් ඔහු ඉතාමත් සාර්ථකත්වයට පත්වුණා. 2018 හා 2019 වසරවලදී බොලිවීයාව, මෙක්සිකෝව, දකුණු අමෙරිකාව, ජපානය, පිලිපීනය, චිලී රාජ්‍ය, පේරු, මැකාවූ සහ තායිලන්තය වැනි රටවල්වල සංචාරය කරමින් ප්‍රසංග පැවැත්වීමටත් Kim Hyun Joongට හැකියාව ලැබුණා.

Kim Hyun Joong ගේ රංගන දිවිය

Kim Hyun Joong ප්‍රධාන චරිතයක් තුළින් රංගනයට පිවිසෙන්නේ 2008 වසරේදීයි. ඒ Boys Over Flowers ටෙලි නිර්මාණය හරහායි. එහි රංගනය වෙනුවෙන් 2009දී Seoul International Drama සම්මාන උළෙලේ සහ Baeksang කලා සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවාට හිමි සම්මාන ද්විත්වය දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. මෙම ටෙලිනාට්‍ය සමඟ හිමිවූ අතිවිශාල ජනප්‍රියත්වය නිසා කොරියාවේ රූපලාවණ්‍ය සමාගම් දෙකක සන්නාම නියෝජනය කරන්නට Hyun Joong හට හැකියාව ලැබුණා. Boys over Flower තුළින් ලැබුණු ජනප්‍රියත්වයත් සමඟ ඔහුට තවත් ටෙලිනාට්‍යයක් වූ Playful Kissහි රංගනයට ද අවස්ථාව හිමිවුණා. ඉන්පසුව 2014 වසරේ Inspiring Generation ටෙලි නාට්‍යයේ රළු පිරිමි චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව උදා කරගත්තා. මීට අමතරව Dream High, When Time Stopped ආදී ටෙලිනාට්‍යවලටත් ඔහු සම්බන්ධ වුණා.

සම්මාන හා ඇගයීම්

2010 වසරේ Guangzhouහි පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදී දකුණු කොරියාව නියෝජනය කිරීමට Kim Hyun Joong තෝරා ගත් අතර එහිදී ඔහු දකුණු කොරියානු ජාතික ගීතය ගායනා කළා. 2011දී සිංගප්පූරුවේ පැවැති Mnet ආසියානු සංගීත සම්මාන උළෙලේ හොඳම කලාකරුවා (පිරිමි) සම්මානය දිනා ගැනීමටත් ඔහුට හැකියාව ලැබුණා. ඔහු 2012 ආසියානු ගීත උළෙලේ හොඳම ආසියානු කලාකරුවා සඳහා වන සම්මානය දිනාගත්තා. 2012 වසරේ මාර්තු මාසයේදී Kim Hyun Joong එක්සත් ජාතීන්ගේ සමාජ සුබසාධනයට දායකවීම පිළිබඳ කොරියානු ව්‍යාපාරයේ ගෞරවනීය තානාපතිවරයා ලෙසද පත් කරනු ලැබුවා. එම වසරේදීම ලෝකප්‍රකට Madame Tussauds කෞතුකාගාරය විසින් Kim Hyun Joongගේ ඉටි රූපයක් ද තනනු ලැබුවා.

විවාහය සහ වෙනත් සබඳතා

2014 වසරේදී Kim Hyun Joongගේ එකල පෙම්වතිය වූ Choi ඔහු ඇයට පහර දුන් බවත් පහරදීම් හේතුවෙන් ඉළ ඇට කැඩී ගිය බවත් ඇය ඒ වනවිට ගැබ් ගෙන සිටි බවත් පහර දීම හේතුවෙන් ගබ්සාවක් වූ බවත් පවසමින් Kim Hyun Joong හට චෝදනා ගොනු කළා. ඇයගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ ඔහු චෝයිට තුවාල කළේ එක් වරක් පමණක් බවත් එය ඔහු සටන් කලාවේ යෙදී සිටියදී සිදුවූ අනතුරක් බවත්ය. කෙසේ වෙතත් 2016 කොරියානු ජනරජයේ හමුදාව සහ සිවිල් උසාවි විසින්, හෙළිදරවු වූ සාක්ෂි හේතුවෙන් Kim Hyun Joong මෙම චෝදනාවලින් නිදහස් කරනු ලැබුවා. 2020දී Choiගේ චෝදනා අසත්‍ය බවත් වංචාකාරීව චෝදනා කිරීම හේතුවෙනුත් ඇයට වොන් මිලියන 05ක දඩයක් Kim Hyun Joong වෙත ගෙවීමට අධිකරණය නියෝග කළා.

2014දී වෙන්වූ ඔවුන් නැවත 2015 වසරේදී එක් වූ බවත් Choi ගැබ්ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා කළා. මේ පිළිබඳව Kim පැවැසුවේ තමා ඇය සමඟ මේ වනවිට සම්බන්ධතාවයක් නැති බවත් එම දරුවා තමාගේ බව ඔප්පු වුවහොත් තමා වගකීම භාරගන්නා බවත්ය. පසුව එම දරුවා ඔහුගේ බව පර්යේෂණවලින් ඔප්පු වුණා.

2022 පෙබරවාරි 27 වැනි දින දකුණු කොරියාවේ පැවැති ප්‍රසංගයක් අතරතුර Kim Hyun Joong ඔහුගේ විවාහය පිළිබඳව සිය රසිකයන්ට නිවේදනය කළා. ඔහුගේ පෙම්වතිය ජනප්‍රිය චරිතයක් නොවෙයි. විවාහ මංගල්‍ය උත්සවයක් නොපවත්වාම ඔවුන් විවාහ වුණා. 2022 ජූලි 21 වැනිදා ඔහුගේ බිරිය ගැබ්ගෙන ඇති බවට ඔහුගේ නියෝජිතායතනය Kim Hyun Joongගේ රසිකයන්ට නිවේදනය කළා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර