කෝටිපතියන්ගේ නෙයිනගේ සූදුවක් වලානෙන් අල්ලයි

0
147

පොලිසියකට කිසිදා වැටලිය නොහැකි බවට කටමැත ‍ෙදාඩවමින් ඉතාමත් සැලසුම් සහගතව පාදුක්ක හල්පෙවත්ත අංගම්පිටිය ප්‍රදේශයේ කඳු මුදුනක පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයන්ගේ බූරු පොළක් වැටලීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත් වී ඇත.

දින දෙකක් තිස්සේ මහ වනය මැද කඳු මුදුනේ  පවත්වාගෙන ගිය මෙම බූරුපොළ තුළ තිබී රුපියල් ‍ෙදාළොස් ලක්ෂ අටදහසක මුදලක් සොයාගෙන ඇති අතර බූරු ක්‍රීඩාවේ යෙදී සිටි කෝටිපති ව්‍යාපාරිකයන් සහ ධන කුවේරයන් 15 දෙනකුද එම ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම ව්‍යාපාරිකයන් අතර බේකරි නිෂ්පාදන හිමිකරුවන්, මහා පරිමාණ මාළු අලෙවි කරන්නන්, ඉඩම් අලෙවි කරන්නන්, වාහන අමතර කොටස් ව්‍යාපාරික හිමිකරුවන් ඇතුළු විවිධ මාදිලියේ ව්‍යාපාරිකයන් සිට ඇත.

මාස කිහිපයක් තිස්සේ දිනපතා සවස හතරේ සිට රාත්‍රි 9 දක්වා කඳු මුදුනේ පවත්වාගෙන යන මෙම බූරු පිටියට කඳු පාමුල සිට ඉහළ දක්වාම මුදල් ගෙවා ගෝලයන් යොදවා තිබීමද විශේෂත්වයක් විය.

පාදුක්ක පොලිස් වසමේ පිහිටි මෙම බූරුපොළ පාදුක්ක පොලිසියෙන් වටලා නැත්තේ ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන්ගේ සහායද මෙම බූරුපොළට ලැබී ඇති නිසා බව කියැවේ.

සුපිරි පන්නයේ වාහනවලින් පැමිණෙන මෙම කෝටිපති ව්‍යාපාරිකයෝ මීගොඩ ප්‍රදේශයේ ස්ථානයක සිය වාහන නතර කොට එක් වාහනයකින් බූරුපොළ වෙත පැමිණෙති. ඉන් අනතුරුව ඔවුන් කඳු මුදුන තෙක් පාගමනින් මඳ දුරක් ගමන් කරන අතර පවත්වාගෙන යන බූරුපොළ හා ඒ අවට භූමිය කිසිවකුටත් නොපෙනෙන අයුරින් වසා දමා තිබේ.

මීට පෙර විශේෂ පොලිස් කණ්ඩායමකට ලැබුණු තොරතුරු මත ඉතා අමාරුවෙන් මෙම බූරුපොළ වැටලුවද ඔත්තුකරුවන් විසින් මේ බව බූරුපොළ හිමිකරුට දැන්වීමත් සමඟ බූරුවා ක්‍රීඩාවේ යෙදී සිටි කෝටිපති ව්‍යාපාරිකයන් වෙනත් මාර්ගයකින් පලාගොස් තිබේ.

ඔවුන් පලා යෑමෙන් පසු පොලිස් කණ්ඩායම විසින් ඔවුන් පැමිණි වාහනවල ටයර්වල සුළං යවා තිබූ අතර එතැන් පටන් ඔවුන් සියල්ලම එක් වාහනයක නැඟී බූරුපොළට පැමිණීම පුරුද්දක් කරගෙන තිබිණි.

පානදුර වලාන දූෂණ ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් 20කගෙන් සමන්විත කණ්ඩායමක් දින දෙකක් තිස්සේ මහවනය සහ කඳු මුදුනේ සැඟව සිටිමින් මෙම වැටලීම කර ඇත්තේ ඉකුත් 31 වැනිදා අලුයම් කාලයේදීය.

සවස් කාලයේ සිට රාත්‍රි නවය දක්වා මෙම බූරුපොළ පවත්වාගෙන යන්නේ ආරෝපණ බැටරි මඟින් ක්‍රියාත්මක වන බල්බ ආධාරයෙනි.

පොලිස් කණ්ඩායම තැන තැන සැඟව දැඩි දුෂ්කරතාවකින් පසු එකවරම බූරුපොළට කඩා වැදීම නිසා කිසිදු ව්‍යාපාරිකයකුට එතැනින් පලා යෑමට නොහැකි වී ඇති අතර බූරු ක්‍රීඩාවේ යෙදෙන කාල සීමාව තුළ පානය කිරීම සඳහා ඔවුන් රැගෙන පැමිණි මත්පැන්, බීම වර්ග, වතුර බෝතල් සහ කටගැස්මා නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබිණි.

කිසිදු පොලිසියකට මෙම ස්ථානය වැටලිය නොහැකි බවත් එය ඇතැම් පොලිස් ලොක්කන්ගේ අනුදැනුම මත කෙරීගෙන යන බැවින් පුළුවන් නම් අල්ලපන් යනුවෙන් එම බූරුපොළ පවත්වාගෙන ගිය හිමිකරු කට මැත පවා ‍ෙදාඩා තිබූ බවට පානදුර වලාන ඒකකයට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම කර තිබේ.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෝ කොළඹ, මීපේ, පාදුක්ක, මීගොඩ, කඩවත සහ පෑලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවෝය.

අත්අඩංගුවට ගත් එක් කෝටිපති ව්‍යාපාරිකයකු වැටලීමට පෙර රුපියල් කෝටි 4ක මුදලක් පරාජය වී සිටි බවද වාර්තා වේ.

බූරුවාපොළ පවත්වාගෙන ගිය පුද්ගලයා සඳහා වෙනමම තෝන් මුදලක් එකතු කිරීම සඳහා විශේෂිත බෝතලයක්ද බූරුවා පොළ මැද සවිකර තිබී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස වැඩිදුර විමර්ශන සඳහා පාදුක්ක පොලිසියට භාර දී ඇත.

වලාන දූෂණ මධ්‍යම මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදයකුමාර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධන, උප පරීක්ෂකවරුන් වන ජනිත කුමාර, සඳරුවන් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම කළහ. 

කීර්ති මෙන්ඩිස්