කුඩු බොන්න නැඟණිය විකුණූ අක්කා රිමාන්ඩ්

0
14

හෙරොයින් මිලදී ගැනීම සඳහා අවුරුදු 15 ක් වයසැති තම නැඟණියව විකුණූ­ අක්කා සහ දූෂණය කිරීම පිණිස එම දැරිය ලබා ගත් සැකකරු 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියෝග කළාය.

මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එක් දරු මවක වූ සැකකාරිය සහ බටහිර නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

හෙරොයින් මිලිග්‍රෑම් 5120ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට ද මෙම සැකකරු මස 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. හෙරොයින් චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි දැරියගේ මව අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටින බවට අධිකරණයේදී සඳහන් විය. බාල වයස්කාර  දැරිය මව භාරයේ වෛද්‍ය පරික්ෂණයන් සඳහා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා දැරිය ලබන 03 වැනිදා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

රුපියල් 15,000කට සහ හෙරොයින් ග්‍රෑම් 01 කට අලෙවි කළ දැරිය ඇයගේ අක්කා මාස හතරකට ආසන්න කාලයක් සැකකරුගේ නිවෙසේ සිටිමින් බිරිය ලෙස කටයුතු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකාරිය සිය නැඟණිය වෙනත් අයටත් අලෙවි කර ඇත්තේද යන්න සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාලිය පතිරාජසූරිය, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක මධුරංග විජේසූරිය, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එම්.කේ. රමනි සහ කාන්තා පොලිස් කොස්තාපල් සඳමාලි (12803) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ කරති.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල