කරවල ලොරියේ තිබූ ලක්‍ෂ 2ක මුදල් සොරාගත් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට

0
21

කෑගල්ල කෙළින් වීදියේ ලොරි රථයක කරවල අලෙවි කරමින් සිටි පුද්ගලයාගේ රුපියල් ලක්‍ෂ 2කට ආසන්න මුදලක් සොරකම් කරගෙන ගිය තරුණයන් දෙදෙනා අගෝස්තු 03 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවක්ද පවත්වන ලෙසත් කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පෙරේදා (30දා) නියෝග කළාය.

රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.

කෑගල්ල බණ්ඩාරනායක මාවතේ ඉහළ ගෙදර සුදත් බෝගහකුඹුර නැමැත්තා කාලයක සිට කැගල්ල නගරයේ සිය ලොරි රථයේ කරවල අලෙවි කරන බව පැවැසූ පොලිසිය ඉකුත් 26 වැනිදා සවස කරවල අලෙවි කර ලබා ගත් රුපියල් ලක්‍ෂ දෙකකට ආසන්නව තිබුණු මුදල් බෑගය ලොරි රථයේ ඉදිරිපස තබා රථයේ ‍ෙදාර පියන් දෙක වසා දමමින් සිට තිබේ.

එම අවස්ථාවේදී තරුණයන් දෙදෙනෙක් පැමිණ ලොරි රථයේ ඉදිරිපස තිබුණු මුදල් බෑගය සොරකම් කරගෙන ඒ ආසන්නයේ පිහිටි කෑගලු විද්‍යාල පාර ඔස්සේ පලා ගිය බවට ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ව ඇති බව පොලිසිය පැවැසීය.

පසුව පැමිණිල්ලට අනුව සැකකරුවන් දෙදෙනා ඉකුත් 29 වැනිදා කෑගල්ල මීපිටිය ප්‍රදේශයේදී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කාන්තා පොලිස් පරීක්‍ෂක අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා (30දා) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී මොවුන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පවත්වන ලෙසත් පොලිසියට නියෝග කළාය.

දමුණුපොළ – චමින්ද ජයලත්