උයන පිහන භාජනත් මරණය ගෙන දෙන්න පුළුවන්

0
60

ලෝකය විද්‍යාවෙන් සහ තාක්ෂණයෙන් දිනෙන් දින දියුණු වෙනවා. ඉතින් අපි ඒ විද්‍යාවට සහ තාක්ෂණ දියුණුවට සහ එමඟින් බිහිවන නව නිර්මාණ භාවිතයට ගැනීමට දෙවරක් සිතන්නේ නැහැ. විශේෂයෙන් අධික කාර්ය බහුලත්වයෙන් කටයුතු කරන අපට කාලය කියන්නේ ඉතාමත් වටිනා සම්පතක්. ඒ නිසා අපට තිබෙන සීමිත කාලයෙන් උපරිම පල නෙළා ගැනීමට තිබෙන අවස්ථාවන් ගැන අප මඳක් උනන්දු වෙනවා. අදවන විට ලාංකික සමාජය තුළ පිරිමින් සේම ගැහැනුද හරි හරියට රැකියාවල නිරතවන නිසා ආදි කාලයේ ගෘහණියගේ භූමිකාව වර්තමාන ගෘහණියට රඟපාන්න බැහැ.

ඒ නිසා ඔවුන් නිතරම අලුත් සහ පහසු ක්‍රම සොයනවා. එහිදි පහසුවෙන් සහ ඉක්මනින් කෑම පිළියෙල කරගැනීමට ඇති හැකියාව ගැනත් ඔවුන් වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒනිසා ඉස්සර වගේ දර ළිපට පිඹිමින් මැටි වළංවල උයාපිහා ගැනීමට වඩා පහසුවෙන් සහ ඉක්මනින් කෑම පිළියෙල කරගත හැකි ක්‍රමවලට ඔවුන් මාරු වුණා. ටැෆ්ලන් ආලේපිත භාජන, ඇලුමිනියම් භාජන, මල නොබැඳෙන භාජන  වැනි භාජන එහිදී ඔවුන්ට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. නමුත් මෙම භාජන මඟින් මිනිස් ශරීරයට අහිතකර බලපෑම් ඇති කරන බව ඔවුන් නොදන්නවා වෙන්න පුළුවන්. පහසුවට සහ හදිසියට non stick හෝ ඉහත සඳහන් භාජනවල කැම පිළියෙල කළාට ඒ තරම්ම ඉක්මනින්ම අපට කරදර ලෙඩ රෝගද ළඟාවෙනවා.

ඒ නිසා අද පවසන්න සූදානම් වන්නේ ඔබ මුළුතැන්ගෙයි භාවිත කරන ඇතැම් භාජනවල සැඟව තිබෙන අනතුර ගැන සහ ඒ වෙනුවට භාවිත කළ හැකි විකල්ප භාජන ගැන කිහිපයක් ගැනයි.

Non Stick

ටැෆ්ලන් භාජන සාමාන්‍යයෙන් පිසීමට සුදුසු භාජනයක් විධියට තමයි නිර්දේශ කරලා තිබෙන්නේ. නමුත් ටැෆ්ලන් ආලේපිත භාජන තෝරා ගැනීමේදී තත්ත්වයෙන් උසස් භාජන තොරා ගැනීමට උනන්දු වෙන්න. ටැෆ්ලන් යනු එම භාජනයේ වාණිජ නාමයයි. එහි විද්‍යාත්මක නාමය වන්නේ Polytetrafluoroethelene යන්නයි. මෙම ටැෆ්ලන් ආලේපය නිපදවීමේදී PFOA නම් රසායනික අම්ලය භාවිත කළා. එය උග්‍ර පිළිකා කාරකයක් ලෙස හඳුනාගත් නිසා 2015න් පසුව ඒවා යොදාගැනීම ඉවත්කළා. කෙසේ වෙතත් මෙහි නිෂ්පාදකයන් පවසන්නේ PFOA අම්ලය ටැෆ්ලන් භාජන නිෂ්පාදනය කිරීමේදී ඉවත්ව යන බවයි. ඒ වගේම හොඳ ටැෆ්ලන් භාජනයක් නම් එහි ඝනකම ටැෆ්ලන් ආලේපනයක් තිබෙන්නට ඕනී.

තුනී ටැෆ්ලන් ආස්තරනයක් සහිත භාජන දිගු කාලයක් භාවිත කිරීමේදී එහි ටැෆ්ලන් ආලේපනය ගැලවී ගොස් පිසින ආහරවලට එකතු වී එමඟින් විවිධ ලෙඩ රෝග වර්ග ඇති වෙන්නට පුළුවන්. අද වන විට සෙරමික් සහිත Non Stick භාජනද වෙළෙදපොළ තුළ විකිණීමට තිබෙන අතර ඒවා භාවිතයට සුදුසුයි. මොකද එමඟින් ඇති වන අතුරු ආබාධ ඉතා අඩුයි. එමෙන්ම සෙරමික් භාජන ටැෆ්ලන්වලට වඩා වැඩි කාලයක් භාවිත කරන්න පුළුවන්. සෙරමික් භාජනවල තිබෙන දුර්වලතාවක් වන්නේ සෙරමික්වල ඇති ඇතැම් රසායනික ද්‍රව්‍ය අම්ල සමඟ ප්‍රතික්‍රියා කිරීමට හැකිවීමයි.

ඇලුමිනියම් භාජන

ඇලුමිනියම් භාජන ඕනෑම නිවෙසක අපට දකින්න තිබෙන භාජන වර්ගයක්. හොඳ තාප සන්නායක ලෝහයක් වෙන ඇලුමිනියම් භාජන ඉක්මනින් රත්වෙන නිසා කෑම පිසීමට සහ ජලය රත්කර ගැනීමට පහසුයි. නමුත් ඇලුමිනියම්වල තිබෙන නියුරෝ සහ ටොක්සික් ශරීරයට එතරම් ගුණදායක නම් නැහැ. ඇලුමිනියම් භාජනවල තිබෙන ඇලුමිනියම් කෑම පිසීමේදී එම කෑමවලට මිශ්‍ර වෙනවා. ඇතැම් රටවල් ඇලුමිනියම් භාවිතය නීතියෙන්ම තහනම් කර තිබෙන්නේ එහි ඇති අන්ත්‍රාදායක බව වටහා ගත් නිසාවෙනි. උදාහරණයක් ලෙස ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල් මෙම පියවර ගෙන තිබෙනවා. ඒවගේම ඇලුමිනියම් අම්ලයන් සමඟ ඉතා ඉක්මනින් ප්‍රතික්‍රියා කරන නිසා ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය නිපදවෙනවා. එය අවසාන වශයෙන් බලපාන්නේ මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහ ස්නායු පද්ධතියටයි. එම නිසා ඇල්ෂයිමර්, ආමාශ සහ අන්ත්‍ර ආශිත රෝග, Osteomyelitis තත්ත්වය, වකුගඩු ආබාධ වැනි රෝග ගණනාවක් වැලඳීමේ අවදානම තිබෙනවා.

ඒ නිසා ඔබ නිවසේ ඇලුමිනියම් භාජන පාවිච්චි කිරීම අවම කරනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම තක්කාලි, දෙහි යුෂ, විනාකිරි වැනි අම්ල සහිත කෑම ජාති පිළියෙල කර නොගැනීමටත් වගබලා ගන්න.

1980 ගණන් වන තුරුම ලංකාවේ භාවිත කළේ මැටි බඳුන් සහ දර ළිප්. මැටි බඳුන් කියන්නේ අතුරු ප්‍රතිඵල බොහොම අඩු භාජනයක්. නමුත් මැටි භාජන මඟින්ද විවිධ අතුරු ප්‍රතිඵල ඇති වෙන්නට පුළුවන්. මැටි තෝරා ගන්නා ප්‍රදේශය අනුව මැටිවල තිබෙන රසායනික සංයුතිය වෙනස් වෙනවා. උදාහරණයක් විධියට  කුඹුරු ආශි්‍රත ප්‍රදේශයකින් මැටි තෝරා ගතහොත් කුඹුරුවලට යොදන රසායනික ද්‍රව්‍ය මැටිවලටද එකතු වෙන්න පුළුවන්. එමෙන්ම පසෙහි තිබෙන බැර ලෝහද මැටි භාජන සෑදීමෙදි භාවිත කරන මැටිවල අන්තර්ගත වෙන්නට පුළුවන්.

කෙසේ වෙතත් මැටි භාජන රත් වීමට ඉහළ උෂ්ණත්වයක් අවශ්‍ය වන නිසා ක්‍ෂුද්‍ර ජීවින් විනාශ වෙනවා. නමුත් බුෆේ සෙට්වලදී භාවිත කරන මැටි භාජනවල තත්ත්වය මීට වඩා වෙනස්. බුෆේ සෙට් මැටි භාජනවල සෙල්සියස් අංශක 40-60ක උෂ්ණත්වයක තරම් ස්පී්‍රතු ලාම්පු යොදා ගනිමින් දිගු වේලාවක් ආහාර කල්තබා ගැනීම සිදුකරනවා. භාවිතාවෙන් පසුව මෙම භාජන පිරිසුදු කළත් එම භාජනවල තිබෙන පුංචි පුංචි සිදුරුවල ඇති අවශේෂ කොටස් එමඟින් පිරිසුදු වෙන්නේ නැහැ. එම නිසා ඒවායෙ සිටින ක්ෂුද්‍ර ජීවීන් භාජනය මත ස්ථාපිත වෙනවා. මේ නිසා මැටි සහිත බුෆේ සෙට් භාජන භාවිත කිරීම එතරම්ම යහපත් වෙන්නේ නැහැ.

දැනට අප භාවිතයට ගන්නා භාජන අතරින් Stainless Steel භාජන සෙසු භාජනවලට වඩා ඉතාමත් සුදුසුයි. ඒවා පිරිසුදු කිරීම පහසුයි වගේම වැඩිකාලයක් භාවිත කිරීමටද පුළුවන්. තරමක් මිල වැඩි වුවත් මල නොබැඳෙන වානේවලින් සෑදූ භාජන භාවිතයට ඉතාමත් සුදුසුයි. එමෙන්ම තඹ, පිත්තල, චීනචට්ටිවලින් සෑදූ භාජන කිසිවිටෙකත් භාවිතයට නොගැනීමටත් වගබලා ගන්න.

කාලය කෙතරම් ගියත් වර්තමානයේ තිබෙන තත්ත්වයත් සමඟ සෞඛ්‍යාරක්ශිත ක්‍රම භාවිතය ඔබගේ ධනය ඉතිරි කර ගැනීමට හේතුවක් වෙනවා. බුදු දහමෙත් උගන්වනවනේ ආරෝග්‍යා පරමා ලාභා කියලා. නිරෝගීකම තමයි පරම ලාභය කියන එක තමයි එහි තේරුම වන්නේ. කාලය ඉතිරි කර ගැනීමට කියා අනාරක්ෂිත ක්‍රමවේදවලට හුරු වනවාට වඩා, හානිය අවම සුදුසුම  ක්‍රමවේද භාවිත කිරීමට හුරුපුරුදු වීම නුවණට හුරුය.

දුමිඳු ලංකා බණ්ඩාර

මහාචාර්ය

ටෙරන්ස් මධුජිත්

ආහාර විද්‍යාව සහ

තාක්ෂණය

පේරාදෙණිය

විශ්වවිද්‍යාලය