ඉසුරුගේ බරින් ශ්‍රී ලංකාවට පදක්කමක්

0
40

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී මේ දිනවලදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම දිනාගැනීමට බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට හැකිව තිබේ. ඒ අනුව 55 බර පන්තිය යටතේ තරග වැදුනු දිලංක ඉසුරු කුමාර විසින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත්ව ඇත.  එහිදී දිලංක විසින් ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑ.105ක්ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්‍රෑ. 120ක බරක් වශයෙන් කි.ග්‍රෑ. 225ක බරක් ඔසවද්දී මුළු බර කි.ග්‍රෑ. 249ක බරක් එසවූ මලයාසියාවේ ක්‍රීඩකයාට රන් පදක්කමත්, මුළු බර කි.ග්‍රෑ. 248ක් එසවූ ඉන්දියාවේ ක්‍රීඩකයාට රිදී පදක්කමත් හිමිවිය.

තරගාවලියේ තෙවැනි දිනය වන ඊයේ (31දා) පෙරවරුවේදී කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේ අර්ධ අවසන්  පූර්ව වටයට තරග වැදුණු ශ්‍රී ලංකා පිල මලයාසියාව හමුවේ තරග වට 3-0කින් පරාජය වුවද ඔවුන්ගේ දක්‍ෂතා ඉහළ මට්ටමක තිබිණි. එහිදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිල පළමු වටයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් තරග වට 3-2කින්ද, පාකිස්තානය තරග වට 4-1කින්ද පරාජය කිරීමට සමත් වුවද ප්‍රබල ඉන්දියානුවන් හමුවේ තරග වට 5-0ක පරාජයක් හිමිව තිබිණි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජය ලැබූවද කණ්ඩායම් දෙකක් හමුවේ තරග දෙකක් ජයගැනීම හේතුවෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. ප්‍රබල මලයාසියාව සමඟින් පැවැති එම තරගයේදී තරග  වට 3-0ක පරාජයක් ලැබීය.

කෙසේ වෙතත් කි.ග්‍රෑ. 55 බර පන්තිය යටතේ කාන්තා බර ඉසිලීමේ ඉසව්වකට සහභාගි වූ චමරි වර්ණකුලසූරියට 7 වැනි තැනත්, 49 බර පන්තිය යටතේ මුළු බර කි.ග්‍රෑ.87ක් එසවූ ශ්‍රීමාලි සමරකෝන්ට 8 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවූවාය.

තවද ස්කොෂ් පිරිමි කේවල ඉසව්වන්ට සහභාගි වූ රවිඳු ලක්සිරි හා ශාමිල් වකීල් අවසන් 64 වටය ජය ගනිමින් 32 වැනි වටයට පිවිස තිබුණද එම වටයේදී රවිඳු ලක්සිරි ස්කොට්ලන්තයේ ගේ‍රජ් ලොබි හමුවේත්, ශාමිල් වකීල්  තරග වට 3-0ක ලෙස ඉන්දියාවේ සව්රව් ගෞව්සාල් හමුවේත් පරාජය අත්කරගත්තේය. එයට අමතරව කාන්තා කේවල තරගාවලියේදී යෙහෙනි කුරුප්පු සහ චනිත්මා ශිනාලි අවසන් 64 තරග වටය ජයගනිමින් 32 වැනි වටයට පිවිස තිබුණද එම වටයේදී පිළිවෙළින් එංගලන්තයේ ජෝර්ජිනා සහ කැනඩාවේ නිකොලී හමුවේ පරාජය ලබාගත්හ.

එසේම බොක්සිං කේවල 32 වටයට ඉදිරිපත් වූ සංජීව බණ්ඩාර එංගලන්තයේ ජෝෂප් හමුවේ ලකුණු 5-0ක පරාජයක් අත්කර ගත්තේය.

මෙම තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකම ඔවුන් සහභාගි වූ සියලුම තරග පරාජය වී තිබේ. එහිදී පිරිමි කණ්ඩායම එංගලන්තය හමුවේ 57-00කින්ද, නවසීලන්තය හමුවේ 63-05කින්ද, සැමෝවා හමුවේ 44-00කින්ද, 9-16 ස්ථාන තෝරාගැනීමේ තරගාවලියේදී උගන්ඩාව හමුවේ 38-19කින්ද පරාජය ලබද්දී කාන්තා කණ්ඩායම නවසීලන්තය හමුවේ 60-0කින්ද, එංගලන්තය හමුවේ 47-19කින්ද, කැනඩාව හමුවේ  74-0කින් හා ස්කොට්ලන්තය හමුවේ 58-0කින්ද පරාජය ලබා තිබීම විශේෂත්වයකි.

මේ අතර විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා පිල ඔවුන් සහභාගි වූ පළමු තරගයෙන්ම සත්කාරක එංගලන්තය හමුවේ කඩුලු 5ක පරාජයක් අත්විඳ ගත්තාය.  එහිදී පළමුවෙන්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 තුළදී කඩුලු 9කට ලකුණු 109ක් ලබාගත් අතර, එයට පිළිතුරු සැපයූ එංගලන්තය කඩුලු 5ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකර ගියේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නිලක්‍ෂි ද සිල්වා ලකුණු 25ක් ලබාගත් නමුත් සෙසු පිතිකාරිණියන් ලකුණු 20 සීමාවටවත් පිවිසීමට එංගලන්ත පන්දු යවන්නියන් ඉඩ ලබා දී තිබුණ් නැත. ශ්‍රී ලකා නායිකා චමරි අතපත්තු ලකුණු 10ක් පමණක් ලබාගත් අතර, ජයග්‍රාහී එංගලන්ත පිල වෙනුවෙන් ඇලිස් කැප්සි ලකුණු 44ක් ලබාගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හෙට (02දා) නවසීලන්තය සමඟින් තරග වැදීමට නියමිතය.