ඇන්තනී වෙරංග පුෂ්පික අත්අඩංගුවට ගැනීම ගැන විධිමත් විමර්ශනයක් කරන්න

0
17

නිදහස් මාධ්‍යවේදියකු මෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන ඇන්තනී වෙරංග පුෂ්පික නම් තරුණයා අත්අඩංගුවට ගැනීමත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියේ හැසිරීමත්, ඔහුට නීතිඥ නියෝජනය අහිමි කිරීමත් සම්බන්ධයෙන්  විධිමත් විමර්ශනයක් කරන මෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛව නීතිඥවරුන් විශාල පිරිසක් වෙරංග පුෂ්පික වෙනුවෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටියද පොලිස් මාධ්‍ය  ප්‍රකාශකවරයා සහ ශ්‍රී ලංකා පොලිසිය අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් සටහන් කිරීම සහ කරුණු දැක්වීම චේතනාන්විතව මඟහැර ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

නීතිඥවරුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ වෙරංග ඉදිරිපත් කරනතුරු බලා සිටියද ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  නොකොට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු බවත් වෙරංග අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් නීතිඥවරුන් ඉදිරිපත් නොවූ බවට පොලිසිය උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කර ඇති බවත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

අත්අඩංගුවට ගත් වෙරංග ස්ථාන කිහිපයකට රැගෙන ගොස් ඇති පොලිසියේ හැසිරීම තුළින් පැහැරගෙන ගොස් ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් තිබුණේදැයි සැකයක් ඇතිවන බවත්, ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, නීතිඥවරුන්, ජනමාධ්‍ය සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් හදිසියේ මැදිහත්වීම තුළ පොලිසියේ උත්සාහය ව්‍යර්ථ වී ඇති බවත් එම සංගමය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ සහ පොලිසියේ ක්‍රියාකාරීත්වය මත වෙරංග පුෂ්පිකගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිර්දේශ කර ඊට අදාළ සුදුසු සහන නිර්දේශ කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ  විමර්ශන අධ්‍යක්‍ෂ සුලාරි ලියනගම මහත්මියගෙන් ලිඛිත ඉල්ලීම සිදුකර ඇත.

වෙරංග අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ නිලධාරීන්ගේ නම් සහ තනතුරු අනාවරණය කරගෙන ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නැයි විනය බලධාරීන්ට නිර්දේශ කරන ලෙසද  එම සංගමය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

වෙරංග පුෂ්පික පසුගිය 27 වැනිදා කොළඹ, කොටුවේ බස් රථයක් තුළ සිටියදී පැහැර ගැනීම ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ දැනුම්දීමට අනුව ඒ මොහොතේම ක්‍රියාත්මක වී ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශන නිලධාරියකු යොමු කළ බවද  තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

සිවිල් ඇ¾දුමින් සැරසී පැමිණි පිරිසක් විසින් පැහැර ගනු ලැබූ එම තරුණයා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත් පසුව ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොටුව පොලිස් ස්ථානයට රැගෙන එන බවට පොලිසිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබුණු බවත් එම සංගමය සඳහන් කරයි.

වෙරංග එදින අධිකරණයට ඉදිරිපත් නොකොට මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය  ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් 28 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කර නීතිඥවරුන්ට ඒ බව දැනුම්දී තිබුණු බවත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

අමිත් මධුරංග ගමගේ