ආහාර හා පෝෂණය පිළිබඳ රට අවදානමක!

0
199

වර්තමානයේ රට තුළ උද්ගතවී ඇති ආර්ථික අර්බුදය හමුවේ වඩාත් පීඩාවට පත්වී සිටින අවදානම් තත්ත්වවල සිටින ජනතාවගේ පෝෂණය සහ යහපැවැත්ම වෙනුවෙන් සෑම අයකුම සෑම සංවිධානයක්ම දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. වත්මන් අර්බුදයට පෙරදා සමස්තයක් ලෙස අපගේ සමාජ-ආර්ථික දර්ශක යහපත් වුවද ජනතාවගේ පෝෂණ තත්ත්වය පසුගාමී තත්ත්වයක පැවැති බව අප හොඳින්ම දන්නා කරුණකි. මෙම වත්මන් ආර්ථික අර්බුදයට පෙරදී පවා විවිධ වයස් කාණ්ඩවලට අයත් සහ විවිධ අවදානම් සහිත කාණ්ඩවලට අයත් ජනතාව අතර පෝෂණ තත්ත්වය සතුටුදායක මට්ටමක නොතිබිණි. පවතින අධික මිල නිසා ආහාර ලබා ගැනීමේ හැකියාවක් පෙර ලෙස නොමැතිකමත් ග්‍රාමීය ගොවි ජනතාව අතර පවා ආහාර හා පෝෂණය පිළිබඳ අර්බුදයට හේතුවී ඇත.

(දරුවන් අතර වයසට සාපේක්ෂව උස නොමැතිකම මිටි බව සහ කෘශ බව උසට නියමිත බර නොමැතිකම) ඉහළ යෑම මෙන්ම නව යොවුන් වියේ පසුවන දරුවන් අතර රක්තහීනතාව සහ කෘශ බව ඉහළ ප්‍රතිශතයකින් ඉහළ යෑමට ඉඩ ඇති අතර ඒ පිළිබඳව අප  සැලකිලිමත් විය යුතුය. තවද විවිධත්වයෙන් යුතු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීම වෙනුවට  හුදෙක් කුසගින්න නිවා ගැනීම සඳහාම පමණක් කුමන හෝ මිල අඩු ආහාරයක් ලබාගැනීමට ජනතාවට සිදුව තිබේ.

බොහෝ විට, එම ලාභදායී  ආහාර පෝෂ්‍ය පදාර්ථ රහිත කැලරි පමණක් අඩංගු ආහාර වීමෙන් කුඩා දරුවන් සහ වැඩිහිටියන් අතර අධි බර සහ තරබාරුකම යන තත්ත්වයන්ගේ ප්‍රතිශතය ඉහළ යෑමට වැඩි සම්භාවිතාවක් ඇත. පෝෂ්‍යදායී අහාර වේලකට අතිශය වැදගත් එළවළු, පලතුරු, මස්, මාළු සහ බිත්තරවල මිල ගණන් සාමාන්‍ය මිනිසුන්ට  දැරිය නොහැකි ලෙස වැඩි වීම නිසා ඒවා නොමැතිව මිනිසුන් ආහාර ගැනීමට නැඹුරු වනු ඇත. මේ වනවිට ආහාර ද්‍රව්‍යවල උද්ධමනය 35% සිට 200% දක්වා පරාසයක පවතී. මෙම තත්ත්වයන් උද්ගත වීමට  පහත දක්වා ඇති තත්ත්වයන් බලපා තිබේ.

 එදිනෙදා ජීවන වියදම උපයමින් ජීවත්වන මිනිසුන්ට ඔවුන්ගේ රැකියා අහිමි වී තිබේ. විශේෂයෙන්ම  භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම්වල රැඳී සිටීම නිසා දෛනික වැටුප් ලබන රැකියාවල නිරතවීමට නොහැකි වීම හෝ දෛනිකව වැටුප් ලබන රැකියාවල නියුතු පුද්ගලයන් වෙතින් සේවා ලබා ගැනීමට මිනිසුන් සතුව වත්කමක් නොමැතිවීම නිසා එම රැකියාවලට ඉල්ලුම අඩු වී තිබේ.

සිමෙන්ති සහ අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම සහ එම ද්‍රව්‍යවල හිඟතාව නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවයේ නියැළෙන අය සහ අත්උදවුකරුවන් රැකියා විරහිත තත්ත්වයට පත්ව තිබේ.

නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල  හිඟතාවය  අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යෑම, ඉන්ධන නොමැතිකම, විදුලි කප්පාදුව, ගෑස් හිඟය සහ ප්‍රවාහනය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම ඇතුළු කාරණා නිසා කුඩා පරිමාණයේ ව්‍යාපාර වැසී යමින් පවතින අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වීමේ අවදානමක් පවතී.

නිෂ්පාදන පිරිවැය සහ ප්‍රවාහනය සඳහා වියදම ඉහළ යෑම නිසා කෘෂිකාර්මික නිෂ්පාදනය අඩුවෙමින් පවතින අතර ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමටද නොහැකි වී ඇත.

අපගේ ප්‍රධාන ආහාරය වන බත් මෙන්ම පාන්, එළවළු, මාළු, මස් ඇතුළු ආහාර ද්‍රව්‍යවල  අධික මිල නිසා මිනිසුන් ආහාර සඳහා ඉතා අඩුවෙන් වියදම් කිරීමට පෙලැඹී ඇත. මෙය ගැබිනි මවුවරුන්, දරුවන් සහ අවදානම් කාණ්ඩවල සිටින ජනතාව කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපාන්නකි.

 අධික ඉන්ධන පිරිවැය සහ ඉන්ධන හිඟය හේතුවෙන් ධීවරයන්ට මසුන් ඇල්ලීමට යෑම අතිශයින් දුෂ්කර වී තිබේ. මේ හේතුවෙන් මා සහ අනෙකුත් මුහුදු ආහාරවල මිල බොහෝ දෙනකුට දැරිය නොහැකි මට්ටමින් ඉහළ  ගොස් ඇත.

අවදානම් සහිත  ප්‍රදේශවල  පාසල් දරුවන් සඳහා උදෑසනට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන යටතේ එක් දරුවකු සඳහා දැනට වෙන්කර ඇති මුදල පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමට තරම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එබැවින් කුසගින්නෙන් පෙළෙන දරුවන්ට තම අධ්‍යයන කටයුතු කෙරෙහි නිසි අවධානය යොමු කිරීමට නොහැකි වනු ඇති අතර එමඟින් වඩාත් අයහපත් තත්ත්වයක් උද්ගත වේ.

කුඩා දරුවන්ට ලබාදෙන බහු ක්ෂුද්‍ර පෝෂක අතිරේක සැපයීමේ ගැටලුවක්ද පවතින අතර අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගර්භණී කාන්තාවන් සහ අඩු පෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් සඳහා ලබාදෙන ප්‍රධාන පෝෂණ අතිරේක ආහාරය වන “ත්‍රිපෝෂ” ලබාදීමේ ගැටලුවක්ද පවතී.

මේ අනුව මිනිසුන්ට ඉදිරියේදී ප්‍රථමයෙන්ම  ආහාර හිඟයකට මුහුණ දීමට සිදු විය හැකි අතර මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් අපේ රට ආහාර සුරක්ෂිතතාවයෙන් මෙන්ම පෝෂණ සුරක්ෂිතතාවයෙන්ද තොර තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත. එමඟින් අඩු  පෝෂණ තත්ත්ව සහ ක්ෂුද්‍ර පෝෂක උෟනතාව යන ඉතාමත් අනවශ්‍ය මන්දපෝෂණ තත්ත්වයන් ඇතිවීම හරහා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයේ විශාල ලෙස සංකුලතා ඇතිවිය හැකිය. තවද එමඟින් දැනටත්  අත්‍යාවශ්‍ය ඔෟෂධ සැපයීමේ දැවැන්ත අභියෝගයකට මුහුණදී සිටින පසුබිමක රෝග නිවාරණය සහ රෝගී සත්කාර සේවාවන් සඳහා විශාල ලෙස ප්‍රතිපාදන  වෙන් කිරීමට සිදුවීම රජයට තවත් බරක් වනු ඇත. එමෙන්ම මිනිසුන්ගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමට මේ දක්වා ගනු ලැබූ සියලු උත්සාහයන් ඵල රහිත වනු ඇත.

එබැවින් තවදුරටත් ප්‍රමාද නොවී පහත සදහන් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකොට ඒවා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු.

1. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට දැරිය හැකි මිලකට සැපයිය හැකි ලෙස ආර්ථික තත්ත්වය කඩිනමින් ප්‍රතිව්‍යුහගත කරන්න.

2. අඩු ආදායම් ලාභී පවුල්වලට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබාදීම හෝ සහන වෙළෙඳසල් මඟින් විශේෂ සහනදායී මිලකට ආහාර ලබාගැනීමට සලසා දීම වැනි ආධාර ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න. ආධාර සපයන ජාත්‍යන්තර සංවිධාන සහ මිත්‍ර රටවල්වලින් මෙවැනි වැඩපිළිවෙළක් සඳහා සහයෝගය ලබා ගත හැකිය.

3. ආහාරවල පෝෂණ ගුණය රැකෙන ලෙස ඒවා පිළියෙල කිරීම සහ​ අඩු මුදලකින් වැඩි පෝෂණ ගුණයෙන් යුත් ආහාර මිලදී ගැනීම වැනි දේවල්  සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සහ ඒවා ජනතාව අතර ප්‍රචලිත කිරීමට කටයුතු කළ යුතුය.

ශ්‍රී ලාංකිකයන් සඳහා වූ ආහාර මාර්ගෝපදේශ මිනිසුන් අතර ප්‍රචලිත කර වර්තමාන කාලයට ගැළපෙන ලෙස ප්‍රායෝගිකව ඒවා අනුගමනය කළ යුතු ආකාරය ගැන දැනුවත් කරන්න. ගෙවතු වගාවෙන් ඒ ඒ ප්‍රදේශවල අවට පරිසරයේ බහුලව පවතින අහාර ද්‍රව්‍ය සහ අඩුවෙන් භාවිතයේ පවතින කැලෑබදව බහුලව ඇති ආහාර වර්ග ආහාර වේලට එකතු කර ගැනීමට ජනතාව දැනුවත් කරන්න. විශාල ආහාර ප්‍රමාණයක් පිළියෙල කරනවාට වඩා නිවැරැදි ලෙස සහ ගුණාත්මක ලෙස ආහාර පිළියෙල කිරීමට උනන්දු කළ යුතුය. එවිට අහාර නාස්තියද අඩුවේ.

Scaling Up Nutrition People’s Forum (පෝෂණය නංවාලීම සඳහා වූ ජනතා සන්ධානය) ආයතනයට ශ්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන පෞද්ගලික අංශය සහ අනෙකුත් පෝෂණය සඳහා වන වෘත්තීය සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් වැඩ කිරීමේ ඉහළ ධාරිතාවක් පවතින බැවින් මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ජනතාවගේ ආහාර රටාවන් යහපත් කිරීම උදෙසා අවශ්‍ය කරන පුහුණු කිරීම් උද්දේශනයන් හෝ වෙනත් ඕනෑම සහයෝගයක් ලබාදීමට

පෝෂණය නංවාලීම සඳහා වූ ජනතා සංසදය  Scaling Up Nutrition People’s Forum සූදානම්ය.

සකස් කළේ:  නිපුනි ඒකනායක