අල්ලසට දූෂණයට වැට බඳින්න වත්කම් පනත වෙනස් කරන්න යයි

0
14

දේශපාලනඥයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට අදාළ වන වත්කම් හා වගකීම් ප්‍රකාශන පනත සම්පූර්ණයෙන්ම වෙනස් කර. මෙරට අල්ලස් දූෂණයට වැට බැඳීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත පනත් කෙටුම්පතට සමගාමීව මෙම පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට එම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

සංශෝධිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත මෙන්ම මෙම වත්කම් හා වගකීම් පනතේ අඩුපාඩු සකස් කිරීම සඳහා ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කර ඇති බවද අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ  වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්  අමාත්‍යවරයා මේ බව පැවැසීය.

අමාත්‍යවරයකුගේ ධූර දැරීම නතර වන අවස්ථාවක අමාත්‍යාංශ ලේකම්වරයාගේ ධූරය දැරීමත් මෙම 22 වැනි සංශෝධිත පනත් කෙටුම්පත හරහා සිදුකෙරෙන බවද එහෙත් නව ලේකම්වරයෙක් පත් කර ගන්නා තෙක් එම ලේකම්වරයාට ධූරය දැරීමට හැකියාව ඇති බවද ඒ මහතා පැවැසීය. අරගලකරුවන් අතරට ත්‍රස්තවාදී අදහස් ඇති පුද්ගලයන් පැමිණ තිබීම නිසා  එම අරගලයේ දිසාව වෙනස්වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට ඇප ලැබෙන අවස්ථාවලදී ඇතැම් නීතිඥවරුන් අත්පුඩි ගසා ඔවුන්ව පිළිගැනීම නිසා නීතිඥ වෘත්තිය අද නිවට තත්ත්වයට  පත්ව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත