අද සිට තෙල් දෙන්නේ මෙහෙමයි

0
11

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදයක් අනුව ඉන්ධන ලබාදීම අද (1දා) සිට රට පුරා පිහිටි ඉන්ධනහල් තුළ ක්‍රියාවට නැංවීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ ‘මව්බිම’ට පැවැසීය.

ඔහු සඳහන් කළේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී මෙම නව ක්‍රමවේදය කරන බවත් මෙම ක්‍රමවේදයෙන් පරිබාහිරව කිසිදු අයුරකින් ඉන්ධන ලබා දීමක් නොවන බවත්ය. රට පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධහල් 1,150ක් ඇති අතර අයි.ඕ.සී. ඉන්ධනහල් 270ක් පවතී. අවසන් ඉලක්කම් මත පදනම් තහඩු ක්‍රමය, ටෝකන් සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද මින් ඉදිරියට වලංගු නොවන අතර QR කේතය සහ කෝටා ක්‍රමය ආදේශ කරනු ලැබේ.

වැසි අංකය සමඟ ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන භාවිත කරන්නන්නට ආදායම් බලපත්‍ර අංකය සමඟ ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

සියලුම ත්‍රිරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල නම් කර ලබාදිය යුතුය. ඒ අනුව ඉදිරියේදී එම පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය  සඳහන් කරයි.

විදුලිජනක යන්ත්‍ර, උද්‍යාන උපකරණ, යන්තේ‍රා්පකරණ සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන්නන්ට අවශ්‍ය ඉන්ධන වර්ගය, සතිපතා ඉන්ධන අවශ්‍යතාව සහ ඔවුන් ඉන්ධන ලබා ගැනීමට බලාපොරොත්තු වන පිරවුම්හල තෝරාගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වන ලෙසට එම අමාත්‍යාංශය දැනුම් දෙයි.

රථවාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ එම සියලුම රථවාහන ලියාපදිංචි කළ හැකි අතර පොදු ප්‍රවාහනයට ප්‍රමුඛත්වයක් ලබාදීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව බස් සඳහා ඉන්ධන කෝටාව ලංකා ගමනාගමන මණ්ඩලයේ (CTB) ඩිපෝවලින් ලබාදී වෙන් කරන්නේ මාර්ග බලපත්‍රය සහ ධාවනයේ පවතින කිලෝමීටර් ගණන අනුව තීරණය කරන කෝටාවක් අනුවය. එම අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය එම ඩිපෝ සහ හඳුනාගත් ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරනු ලැබේ.

බලධාරීන් විසින් අනුමත කරන ලද පාසල් සේවා වාහන, කාර්යාල ප්‍රවාහන සේවා, කර්මාන්ත, සංචාරක අංශය, ගිලන්රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා  ඩීසල් ඉන්ධන අවශ්‍යතා සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ (CTB) ඩිපෝ මඟින් පහසුකම් සපයනු ලැබේ.

සියලුම ඉන්ධන පිරවුම්හල්වල ගිලන් රථ සඳහා ප්‍රමුඛතාවක් දෙන අතර ඔවුන්ගේ වාහනවලට ඉන්ධන සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින ඉන්ධන ප්‍රමාණය දෙන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

එක් එක් පොලිස් ස්ථානය වෙනුවෙන් තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කරන ලද කෝටාවක් ලබාදීමට කටයුතු කරන අතර එය ඉදිරියේදී එම පිරවුම්හල් වෙත ලබාදිය යුතු කෝටාව පිළිබඳව දැනුවත් කොට ඇත.

නීති විරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම, විකුණුම් කටයුතු හෝ ඉන්ධන ලබා දීමේදී ලබාදී ඇති උපදෙස් නොපිළිපදින ඉන්ධන පිරවුම්හල් සහ පුද්ගලයන් පිළිබඳව ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි WhatsApp හරහා 0742123123 අංකය වෙත යොමු කිරීමට මහජනතාවට අවස්ථාව ලබා දෙන බවත් නැවත නැවත වැරැදි කරන්නන් සඳහා QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට එම සාක්ෂි භාවිත කිරීමටත් ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් එමඟින් කටයුතු කරනු ලබන බවත් එම අමාත්‍යාංශය කියා සිටී.

රට පුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට වෙන් කර ඇති කෝටාව ලබාගැනීමට මුළු සතියක කාලයක් තිබෙන බැවින් සඳුදා දිනයේම ඉන්ධන පිරවුම්හල්වල එකතු වී තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන ලෙස එම අමාත්‍යාංශය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

චාමර අමරසූරිය