අගමැති දිනේෂ්ගෙන් ආරාධනාවක්

0
327

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන භේදයෙන් තොරව සියලු දෙනාට එක් වන ලෙසට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

පාර්ලිමේන්තු පළමු සැසිවාරයේදී ජනාධිපතිවරයා ඒ සඳහා සියලු පක්ෂ වෙත ඇරයුම් කරනු ඇතැයි ද ඔහු පැවසීය.

අද (ජූලි 31) මහනුවර පැමිණි අග්‍රමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන්වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, මෙම තීරණාත්මක අවස්ථාවේදී මුහුණදෙන අභියෝග ජය ගැනීම සඳහා රජය සමග අත්වැල් බැඳ ගන්නා ලෙසට සියලු දෙනාට ඇරයුම් කරන බව ය.

රටේ සියලු පාර්ශව සමග මිත්‍රත්වයෙන් සහ විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්නේ රජය වන බැවින් හදිසි නීතිය සම්මත කරනු ලැබුවේ සියලු පාර්ශවයන්ගේ ආරක්ෂාව හා රට තුළ සාමය ස්ථාපනය කිරීම සඳහා යැයි ද ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා සහ තමන් මේ වන විට තානාපතිවරුන් ඇතුළු ජාත්‍යන්තර සබඳතා දැනුවත් කර සහයෝගය ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

රටට නීතියක්, රීතියක් මෙන් ම නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා හදිසි නිතිය ක්‍රියාත්මක වන්නේ සියලු රට වැසියන්ගේ යහපත පිණිස යැයි ද ඒ මහතා අවධාරණය කළේය.

රජය පමණක් නොව පෞද්ගලික අංශයේ ක්‍රියාකාරිත්වය රටේ ජීවනාලිය වන බැවින් කඩාකප්පල්කාරී ක්‍රියා, නීතියෙන් බාහිර ක්‍රියා සිදු කිරීමට අවස්ථාව නොදෙන බව ඔහු පැවසීය.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණයට ගරු කරන රජයක් වශයෙන් අධිකරණ තීන්දු හිස නමා පිළිගන්නා බව ත් අරගලකරුවන්ට පමණක් නොව අසාධාරණයට ලක්වූ බව හැඟේ නම් ඕනෑ ම අයෙකුට අධිකරණයේ පිහිට පැතීමට ඇති අයිතියට ගරු කරන බව ය.

තරුණ හඬට සවන් දෙමින් පාර්ලිමේන්තුව හරහා ඊට සුදුසු ගමන් මග සකස් කරන බව ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.