ජනාධිපති මන්දිරයේ දේපළවලට හානි කළේ යැයි සැකපිට 5 දෙනෙක් නුවරඑළියේදී අත්අඩංගුවට

0
521

ජූලි 9 වන දා කොළඹ කොටුව ජනාධිපති මැදුරට ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ චෝදනාව මත වරෙන්තු ලබා සිටින සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (ජූලි 30) රාත්‍රී නුවරඑළිය, කළුකැලේ, බොනස්ටා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නුවරඑළිය පොලිසිය ලබාගත් වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට මෙම පිරිසෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට පොලිසිය ගිය අවස්ථාවේ අදාළ නිවසේ තව ත් තරුණයන් සිව්දෙනෙකු රැදි සිටි බව ත්, එම තරුණයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් ද අදාළ චෝදනාවට සම්බන්ධ අය බවට ටත් අනාවරණය වී ඇත.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, ජනපති මැදුරට ඇතුළු වී හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු වන බැවින්, සැඟව සිටීමට තමන් ද සිය මිතුරාගේ නිවසට පැමිණි බව ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය, ගොතටුව, කළුතර, සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

  • රංජිත් රාජපක්ෂ – හැටන්