Test run එකකට පස්සේ set වෙන වාහනය ගන්න Auto Mobile – 10

0
149

අපි මිලට ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් නම් අපිට සැලකිලිමත් වෙන්න තියෙන කාරණා ප්‍රමාණය හරි අඩුයි. නිෂ්පාදකයා, ඉන්ධන වර්ගය, වාහනයේ මාදිලිය, වර්ණය වගේ ඒවා තමයි බලන්න තියෙන කාරණා ටික වෙන්නෙ. හැමෝටම බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න තරම් වත්කමක් නැති නිසාත් අලුත් වාහනයකට සාපේක්ෂව පරණ වාහනයක මිල අඩු වීම නිසාත් හුඟක් අය “සෙකන්ඩ් හෑන්ඩ්” එහෙම නැත්නම් පාවිච්චි කර නැවත විකුණන මෝටර් රථ මිලට ගැනීමේ වැඩි  ප්‍රවණතාවක් අපේ රටේ දකින්න තිබෙනවා. එන්ජින්, ගියර් බොක්ස් වගේම වාහනයේ ඇතුළත පෙනුමත් හොඳට තියෙන මනාව නඩත්තු කරපු වාහන අපිට මිලට ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් තත්ත්වයේ වාහනයක් මිලට ගන්න බැරි කෙනෙක්ට පාවිච්චි කරන ලද මෝටර් රථයක් මිලට ගැනීමේ වරදක් නැහැ.

හැබැයි විකුණන්න තියෙන හැම වාහනයක්ම හොඳම තත්ත්වයේ ඒවා නෙවෙයි. එතැනදී තමයි අපිට හොඳ වාහනයක් තෝරා ගැනීමේදී අපිට කරන්න පුළුවන් මොනවද කියන කතාව පටන් ගන්නේ. මේක බිස්නස් එකක්. හැමෝටම ඕනෙ අඩු ගාණක් වියදම් කරල වැඩි ලාභයක් උපයන්න. ඒ නිසා එන්ජින්, ගියර් බොක්ස් මාරු කරපුවා, හොරකම් කරපුවා, සමහර ලෙඩවල් අහු නොවෙන්න අටවපු වාහන වගේම, කාඩ්බෝඩ් කෑලි තියල පේන්ට් කරපු වාහනත් අපිට හම්බවෙන්න පුළුවන්.

ඉස්සෙල්ලාම බලන්න ඔයාගෙ අතේ තිබෙන මුදල. ඇල්ටො එකක ගාණට මොන්ටෙරෝ හම්බවෙන්නෙ නෑ. එහෙම හම්බවුණත් ඒක පරම්පරාවෙම සල්ලි වියදම් කරලා හැදුවත් තව පොඩ්ඩක් වියදම් කරන්න වෙන ජාතියේ එකක්. ඒ වගේම පාවිච්චි කරපු වාහනවල අනිවාර්යයෙන්ම අලුත්වැඩියා කළ යුතු පද්ධති වගේම මාරු කළ යුතු කොටස් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒ නිසා වාහනේ ගත්තට පස්සෙ සර්විස් කරන්න, ටයර් මාරු කරන්න, ඉන්ෂුවරන්ස් එක කර ගන්න, බැටරි එක මාරු කර ගන්න වුණොත් කර ගන්න සල්ලි තිබෙනවද බලන්න.

වාහනයේ මාදිලිය ගැන දැනුවත් වෙන්න. ටොයෝටා මෝටර් රථ ජපානයෙන් වගේම තායිලන්තයෙත් එකලස් කරනව. ඒ වගේ වාහනවල එන්ජිමේ සහ තාක්‍ෂණික පද්ධතිවල යම් යම් වෙනස්කම් තිබෙන්න පුළුවන්. ජපන් එකක් කියල තායිලන්ඩ් එකකට අහු වුණොත්? ඒ නිසා මාදිලිය ගැන නිසියාකාරව දැනුවත් වෙන්න. එතකොට කාටවත් බෑ කතාන්දර කියල ඔයාව රවට්ටන්න.

ඒ වගේම පෙර අයිතිකරුවන් ගණන සහ වාහනයේ අලුත්වැඩියා කිරීම් සහ සර්විස්වලට අදාළ බිල්පත් පරීක්‍ෂා කරන්න. ඒකෙන් ඔයාට වාහනය ගැන යම් දªළ අවබෝධයකට එන්න පුළුවන්. නිසියාකාරව නඩත්තු කළ වාහනයක් නම් අනිවාර්යයෙන් ඒ බිල්පත් තිබිය යුතුයි.

ඔබ වාහනයක් ගැනීමට පෙර අනිවාර්යයෙන්ම කාර්මිකයෙක් ලවා පරීක්‍ෂා කර ගන්න. නවීන මෝටර් රථවල නම් ඔබට ස්කෑන් පරීක්‍ෂාවකින් බොහෝ විස්තර ලබා ගන්න පුළුවන්. වාහන කාර්මිකයෙක්ට වාහනයේ දුම, එන්ජිමේ ශබ්දය, ධාවන විලාසය වගේ දේවල් අධ්‍යයනය කරල අදාළ වාහනයේ තාක්‍ෂණික ගැටලු ගැන ඔබට වඩා යමක් ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතිනව. හැබැයි මතක තබාගන්න! විශ්වාසවන්ත කෙනෙක් මේ වැඩේට අරන් යන්න. දෙපැත්තෙන්ම සල්ලි අරන් වාහන විකුණන්න උදවු කරන කාර්මිකයොත් ඕනෙ තරම් ඉන්නවා.

ඊට පස්සෙ ඔයා තෝරාගත් කාර්මිකයා එක්ක ටෙස්ට් රන් එකක් ගන්න. ඒකෙන් වාහනයේ වීල් එලයිමන්ට්, බේ්‍රක් බයින්ඩ්, සස්පෙන්ෂන් සිස්ටම් එකේ දුර්වලතා වගේම වාහනයේ රේඩියේටර් බ්ලොක්ද ඒසී ක්‍රියාකාරීත්වය කොහොමද වගේ හුඟක් දේවල් බලාගන්න පුළුවන් නම් වංගු පාරක තැනිතලාවක වගේම වළ ගොඩැලි පාරක හයිවේ එකේ වගේ විවිධාකාර මාර්ග තත්ත්ව යටතේ ධාවනය කරල බලන්න පුළුවන් නම් අපිට හැංගිච්ච වගේම හංගල තිබෙන ලෙඩ ටිකත් බලාගන්න පුළුවන්.

ඊට පස්සෙ බලන්න අයිතිකරු කියන මිලට වාහනය වටිනවද කියන එක. හැම වාහනයකටම වෙළඳපොළ වටිනාකමක් තියෙනව. වාහන විකුණන්න තිබෙන වෙබ් අඩවි වගේ ඒවගෙන් අපිට ඒ ගැන පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම පෙර අයිතිකරුවන් ප්‍රමාණය, ධාවනය කරල තියෙන කිලෝමීටර් ගාණ එක්කත් මේ කියන වටිනාකම වෙනස් වෙන්න පුළුවන්. අයිතිකාරයා කියන ගාණටම වාහන මිලට ගන්න ඕනෙ කියල නීතියක් නෑ. පවතින අලුත්වැඩියවෙන් ගැන කියලත් තව ගාණක් අඩු කර ගන්න පුළුවන්.

අවසානයේ ඔයා ඒ වාහනය තෝරා ගත්ත නම් ඊට පස්සෙ වාහනයේ නීතිමය පැතිකඩ ගැන හොයල බලන්න. වාහනයේ අයිතිකරුවන් ගණන කීයද, ලියාපදිංචි සහතිකය නීත්‍යනුකූල එකක් බවට තහවුරු කර ගන්න.

මාධව රුබසිංහ