පොහොට්ටුවේ කෑලි එකතු කරන්න මෙහෙයුමක්

0
376

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසෙන් යම් කොටසක් නැවත පක්ෂය සමග එක් කර ගැනීම වෙනුවෙන් පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් මෙහෙයුමක් අරඹා ඇති බව වාර්තා වේ.

ඒ සඳහා පක්ෂයේ ප්‍රබල නියෝජිතයන් කිහිප දෙනෙකු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් නම් කරනු ලැබ ඇති බව ද වාර්තා වේ.

එසේ පක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ඡාවට කිහිපයක් ඉදිරි සතියේ ද පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ගවලින් කියැවේ.

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරන අණ පනත් සම්මත කර ගැනීම් සහ එම පක්ෂයට තවදුරටත් තුනෙන් දෙකක බලයක් තිබෙන බවට සහතික කිරීම වෙනුවෙන් මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බවට ද දැන ගන්නට ඇත.

කුමන්ත්‍රණකරුවන්ට හසුවූ තම පක්ෂයේ පිරිසක් අනිවාර්යයෙන් ම ඉදිරියේදී පොදුජන පෙරමුණ සමග එක් වන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී පක්ෂයේ ශක්තිය පෙන්වීම වෙනුවෙන් දැනටමත් උපාය මාර්ග රාශියක් තෝරා ඇති බව ද අනිවාර්යයෙන් එම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට තම පක්ෂයට හැකි බව ද පොදුජන පෙරමුණේ ලේකම්වරයා පැවසීය.