Internet පිවිසුමට නිවැරැදි පැකේජයක් තෝරාගන්නේ කොහොමද?

0
378

අද වනවිට ලංකාවේ අන්තර්ජාල පහසුකම්, එහෙමත් නැත්තම් internet connection එකක් නැති කෙනෙක්, ගෙයක්, ඔෆිස් එකක් හොයාගන්න නැති තරම්. ඒ තරම් ලංකාව ඇතුළේ internet කියන එක ප්‍රචලිත වුණා. ඒකට හේතුව වුණේ ලංකාව ඇතුළත රුපියල් 29ක මුදලකටත් අද වෙනකොට අන්තර්ජාල සම්බන්ධතාවක් ලබා ගැනීමට පුළුවන් වෙච්ච එක. ඊට පස්සෙත් දුරකථන අන්තර්ජාල සේවා සපයන ආයතන විසින් කරන දවසින් දවස වෙනස් වන වෙළෙඳ ප්‍රචාරණයන් එක්ක තව තවත් ලංකාවේ අන්තර්ජාල භාවිතය සීඝ්‍රයෙන් වැඩි වුණා.

මුලින් SLT එකට පමණක් සීමා වුණ Home broadband සේවා අනෙකුත් ආයතනවලිනුත් සපයන්න පටන් ගත්තට පස්සේ ඇති වුණ තරගයත් එක්ක හැම නිවෙසකටම වගේ මේ වෙනකොට අන්තර්ජාල සබඳතාවක් අලෙවි කිරීමට තරම් ප්‍රබල වෙළෙඳ ප්‍රචාරණය ඔවුන් විසින් සිදු කිරීමත් එක්ක අද වෙනකොට ලංකාවේ බහුතරයක් නිවෙස්වල ස්ථාවර අන්තර්ජාල සැපයුමක් තියෙනවා.

තවමත් බොහොමයක්ට තියෙන ප්‍රශ්නය තමයි, තමන් තෝරගෙන තියෙන්නේ හරි අන්තර්ජාල සබඳතාවද? එහෙමත් නැත්තම් තමන් ගන්න ඕනේ මොන අන්තර්ජාල සබඳතාවද? කියන එක.

අපි කතා කරමු තමන්ට ගැළපෙන අන්තර්ජාල සබඳතාවක් තෝරා ගැනීමට පෙර ඔබ විසින් සලකා බැලිය යුතු මූලික කරුණු කාරණා මොනවාද කියල.

1. මාසෙකට පාවිච්චි වෙන GB ගණන

මුලින්ම බලන්න ඕනේ මෙන්න මේ කාරණාව ගැන. මොකද ඔබ තෝරා ගන්නා අන්තර්ජාල සම්බන්ධතාවයේ මාසික මිල, එහෙමත් නැත්තම් බිල්පත පිළියෙල වෙන්නේ මෙන්න මේ ප්‍රධානම සාධකය මත. මේ ගැන සැලකිලිමත් වීමේදී අපි බලන්න ඕනේ, ඔයා මොකටද ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාව පාවිච්චි කරන්නේ කියන එක. ඒ මත තමයි ඔයාගේ මාසික භාවිතාව කොච්චරක්ද කියල තීරණය කරන්න පුළුවන්.

ඔයා මාසෙකට දාන ඩේටා කාඩ් ප්‍රමාණය ගැන ඔයාට අවබෝධයක් තියෙනවා නම් ඔයාට පුළුවන් දළ අවබෝධයක් ගන්න ඔයා ගන්න ඕන කනෙක්ෂන් එකත් එක්ක ඔයා තෝරගන්න ඕන ඩේටා බෑන්ඩ්විත් එක. තව ඔයා අලුතෙන්ම ගෙදර ඉඳගෙන බිස්නස් එකක් පටන් ගන්න යනවා නම්, Youtube channel එකක් පටන් ගන්න යනවා නම් ඔයාට මාසෙකට වැය වන ඩේටා ප්‍රමාණය ගැන පොඩ්ඩක් හොයල බලලා ගන්න වෙනවා.

ගෙදර ඉන්න ඔයා හැර අනිත් අයත් එකම කනෙක්ෂන් එක පාවිච්චි කරනවා නම් එයාලගේ මාසෙක යූසේජ් එකත් ඔයාලට ඇනලයිස් කරල බලලා ගන්න වෙනවා. මොකද ඔයාගේ යූසේජ් එක විතරක් බලලා අරගෙන අන්තිමට මාසේ මැදදී බෑන්ඩ්විත් එක ඉවර වුණොත් ඉන්ටර්නෙට් යන්න වෙන්නේ ඉබ්බෙක්ටත් වඩා හෙමින්.

2. ඉන්න තැනට තිබෙන ස්පීඩ් එක

ඔයාගේ මාසෙක යූසෙජ් එක මැන ගත්තට පස්සේ කරන්න ඕන ප්‍රධානම දේ තමයි ඔයා ඉන්න තැනට වැඩිම ස්පීඩ් එකක් දෙන සර්විස් ප්‍රොවයිඩර්ව හොයා ගන්න එක. මේකට අපිට පුළුවන් ගෙවල් අහල පහළ ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයගෙන් අහල බලන්න. හැබැයි ඔයා ගන්න යන්නේ Fixed line එකක් නම් මතක ඇතිව ඒකේ ස්පීඩ් එක වෙනම අහන්න.

Mobile එකට නම් ගන්න යන්නේ ඔයාටම පුළුවන් ඒක බලා ගන්න. මොකද දැන් පඳුරකට ගැහුවම ඕන තරම් නොමිලේ සිම් දෙන අය ඉන්නවා. ඒ වගේ තැනකින් සිම් ගත්තම රුපියල් 100, එහෙම නැත්තම් ෆ්‍රී ඩේටා වගේ ඒවත් එක්ක තමයි දෙන්නේ. ඒක නිසා අපිට ස්පීඩ් එක බලාගන්න පුළුවන්.

ස්පීඩ් ටෙස්ටර්ස්වලින් නම් මනින්න යන්න එපා. බොරු වැඩක් මොකද, ඒකෙදි ISP අනිවාර්යයෙන්ම  හොර කරනවා.

3. පැකේජවල මිල ගණන්

මේක තමයි ඔයා බොහොම ප්‍රවේසමෙන් තෝරගන්න ඕන එක. මේ වෙනකොට ඔයා ඔයාට මාසෙකට ඕන කරන ඩේටා ප්‍රමාණය තීරණය කරලා, ඔයාගේ ගෙදරට තියෙන සිග්නල් අනුව වැඩිම ස්පීඩ් එක දෙන එක ISP කෙනෙක් හෝ ISP ලා කිහිපයක් තෝරගෙන ඇති.

ISP ලා කිහිපයක් ඉන්නව නම් එයාලගේ වෙබ් සයිට්ස්වලට ගිහිල්ලා හරි ඔය යන එන ගමන් හරි එයාලගේ outlet එකකින් Leaflet එකක් අරගෙන ඇවිත් ඔයාට ඕන කරන ඩේටා ප්‍රමාණයට සරිලන ඩේටා ප්‍රමාණයක් ලබා දෙන පැකේජ් එක තෝරගන්න පුළුවන්.

ඊට පස්සේ ඒ පැකේජ්වල මිල ගණන් එකිනෙකට සසඳලා අපිට වඩාත්ම ලාභදායකම පැකේජ් එක තෝරගන්න පුළුවන්.

4. අයවෙන බදු

බදු ක්‍රමයක තියෙන්න ඕන ප්‍රධාන ලක්ෂණයක් තමයි සරල වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ බැලුවම ඕන කෙනෙක්ට අදාළ බදු ගණනය වෙලා තිබෙන හැටි හරි කොච්චර බදු මුදලක් ගෙවන්න වෙනවද කියල තමන්ටම මැන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් ලංකාවේ පවතින් බදු ක්‍රමයත් එක්ක ඒ දේ කරනවා කියන්නේ අනේ මන්දා.

ඒත් පාරිභෝගිකයෙක් විධියට ඔයාට අයිතිය තියෙනවා ඔයාගේ මාසේ බිල් එකට බදු සමඟ එන සම්පූර්ණ බිල් එකේ එකතුව දැනගන්න. මතක ඇතුළුව ඒක අහන්නත් අමතක කරන්න එපා. නැත්තම් කොළේ පෙන්නලා තියෙන ගාණ විතරක් එයි කියල බලාපොරොත්තුවෙන් ඉඳලා මාසෙ අන්තිමට තව ගාණක් එකතු වෙලා ආවම අන්තිමේදී තරු තමයි පේන්නේ.

5. Replacements, refunds ගැන

හදිසියේදිවත් මොනයම් හේතුවක් නිසා හෝ තමන්ට ඕන සේවාව අවශ්‍ය විධියට නොලැබුණොත්, හිතපු තරම් සිග්නල් නොතිබුණොත් අපිට refund කරනවද? නැද්ද කියන එක. එහෙම refund කරනව නම් මොන කොන්දේසි යටතේද refund එකකට එන්නේ කියන එක කලින් දැනගෙන තබාගන්න ඕනේ.

ඒ වගේම තමයි, හදිසියේවත් ISP අපිට දෙන උපාංග අකුණු අනතුරකින් හානි වුණොත්, හදිසි අනතුරකින් හානියට පත් වුණොත් මොන විධියටද? replacement කරන්නේ, නොමිලේම කරනවද, එහෙම නැත්තම් කොච්චර කොස්ට් එකක් අපිට දරන්න වෙනවද කියන වගේ කාරණා කලින් දැනගන්න ඕනේ.

6. ඉදිරි සේවාවන්

අපි මේ සේරමත් බලලා මිස් කරගන්න ඒත් අනිවාර්යයෙන් බලන්න ඕන දෙයක් තමයි අලෙවියෙන් පසු සේවාව ගැන. ඒ කියන්නේ අපි පැකේජ් එක ගත්තට පස්සේ ඉස්සරහට එන ප්‍රශ්නවලට අපිට කොහොමද එයාල රිඇක්ට් කරන්නේ සහ සේවාව සපයන්නෙ කියලා. අපිට වෙන පැකේජ් එකකට යන්න වුණොත් කොහොමද ඒක කරන්නේ, ඒකට වෙනම ගාස්තුවක් අය වෙනවද? අලුතෙන් ෆෝම්ස් පුරවන්න ඕනෙද? නැත්තම් එක කෝල් එකකින් වැඩේ කර ගන්න පුළුවන්ද? කස්ටර්මර් සර්විස් එක කොහොමද? 24/7 වැඩද? අවශ්‍ය වුණොත් ටෙක්නිකල් ටීම් එකක් ගෙදරට ගෙනල්ලා වැඩේ කරල දෙනවද වගේ තව දේවල් අහල දැන ගන්න ඕනේ.

මෙන්න මේ ප්‍රධාන කරුණුවලට අවධානය යොමු කළොත් ඔයාට ගැළපෙන, ඔයාට හරියන වඩාත්ම ලාභදායි මුදලට ඔයාට අවශ්‍ය වන ස්පීඩ් එක තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න පුළුවන්. අපි හරි හැටි අවධානයෙන් කටයුතු කළොත් කවදාවත් අපි ISP කෙනෙක් දිහාට ඇඟිල්ල දික් කරල වැරැද්දක් කියන්න ඕන වෙන්නේ නැති වෙයි. මොකද අපි කවදාවත් ඇඳුම් කඩේකට ගිහිං හිල් තියෙන ඇ¾දුම් අරන් එන්නේ නෑ, හොඳට හොයල බලලා අරන් එනව වගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගැනත් හොඳට හොයලා බලලා ගත්තොත් කවදාවත් වළේ වැටෙන්න වෙන්නේ නෑ.

ශෙනායා හේවාගම