IMF සාකච්ඡාවල ඉහළ ප්‍රගතියක්

0
15

රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදුකරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් අත්පත් කර ගැනීමට නම් ණය තිරසරභාවය පිළිබඳ විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබුණු නමුත් පසුගිය කාලයේ පැවැති දේශපාලන අස්ථාවරත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හේතුවෙන් එය අඩාල වී ඇති බවද එම නිවේදනයෙහි සඳහන් කර ඇත.

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පූර්ණ දේශපාලන ස්ථාවරත්වයක් සහිත රජයක් ස්ථාපනය කර තිබෙන බවත්, එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුකරණයක් සඳහා වන දේශපාලන සාකච්ඡාද ඉතා සාර්ථක මට්ටමක පවතින බවත්, එම නිවේදනයෙහි සඳහන්ය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්නා සාකච්ඡා සාර්ථකව අවසන් කොට මූල්‍ය ස්ථායීතාව ඇති කිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තැබිය හැකි බව රජයේ ස්ථාවරය වන්නේ යැයිද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයෙහි වැඩිදුරටත් දක්වා ඇත.

සඳුනි ගමාරච්චි