83 කළු ජුලියෙදි 83 කළු ජුලියෙදි ගින්දර මැද ඉඳගෙන විජය දුන්නු සටන

0
91

1983 ජූලි මාසේ 23 වැනි දින මෙරට ඇති වූයේ විය නොවිය යුතු ඛේදජනක සිදුවීමකි. උතුරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එදා හමුදා ට්‍රක් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ තුච්ඡ විදිහටය. මේ ප්‍රහාරයෙන් යුද හමුදා සෙබළුන් 13 දෙනකු කෘෘර ලෙස ඝාතනය විය.

උතුරේ එදා සිදු වූ මේ ම්ලේච්ඡ ප්‍රහාරයට දකුණේ ඇතැම් සිවිල් වැසියන් ප්‍රතිචාර දැක්වූවේ ඊටත් වඩා දරුණු ආකාරයටය.  ඔවුන් ඉවක් බවක් නැතිව දකුණේ දමිළ ජනතාවට අයත් කඩ සාප්පු සහ ගෙවල් ‍ෙදාරවල් ගිනිබත් කොට විනාශ කර දැමුවේ අහිංසක සිවිල්  දමිළ ජනතාවට පවා ජීවිත හානි සිදුකරමිනි.

මේ ම්ලේච්ඡත්වයට දකුණේ සියලු ජනතාව හවුල් වූයේ නැත. ඔවුන් ඒ වෙනුවට කළේ දමිළ ජනතාව ආරක්ෂා කර ගැනීමය. ඔවුන්ගේ දේපොළ ගිනිබත් වන්නට නොදී රැකබලා ගැනීමය. මේ මානුෂික දායකත්වය ඔවුන් ලබා දුන්නේ කලෙක සිටම දමිළ ජනතාව සමඟ තිබූ මිත්‍රත්වය හා සහෝදරත්වය අන් සියල්ලටම වඩා වටිනා බව තේරුම් ගනිමිනි.

නවසිය අසූ තුනේ ජූලි මස 25 වැනිදා වන විටත් මේ කෘෘර ප්‍රහාර අපේ ජන සමාජයෙන් අෑත් වී තිබුණේ නැත.  ඇඳිරි නීතිය පනවා තිබුණු සුළු ලිහිල් වීමකින් පවා අමානුෂීය දාමරිකයන් හැසිරුණේ විනාශය පිණිසමය.

පෙර කී ලෙස ජූලි මස 25 වැනිදා හිමිදිරියේ අපේ රටේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියකු වූ විජය කුමාරතුංගයන් හටද මෙවැනිම මානුෂික හා වෘත්තීයමය වගකීම වටහාගෙන කටයුතු කරන්නට සිදුවිය. එය එක් අතකින් අසීරු අවස්ථාවක කළ අත්‍යවශ්‍ය සේවාවකි. ඒ සේවාව ඔහු කළේ අපේ සිනමාව වෙනුවෙනි.

ඔය කියන දවසේ මේ සිදුවීම වෙද්දී මමත් එතැන හිටියා. මෙසේ කියමින් අප සමඟ කතාබහට එකතු වූයේ සිනමා අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර මහතාය. දැන් ඔහු මේ දිගහරින්නට සූදානම් වන්නේ ත්‍රාසජනක චිත්‍රපට කතාවක් බඳු සැබෑ කතාන්දරයකි.

“එදා විජය මහත්තයයි චන්ද්‍රිකා මැඩමුයි මමයි හිටියේ රටේ සිදුවන දේ පිළිබඳව කතා කරමින්.

මේ වෙලාවේ විජය මහත්තයට දුරකථන ඇමතුමක් ආවා. ඔහු ඇමතුම අරගෙන ඊට ප්‍රතිචාර දක්වලා නැවත අපි අතරට ආවේ එතරම් හොඳ ‘මූඩ්’ එකකින් නෙමෙයි.

මේ විදිහට ආපු විජේ මහත්තයාගෙන් අපි ඇහුවා ඇයි මොකක්හරි ප්‍රශ්නයක්ද කියලා. ඔහු ඒ වෙලාවේ කිව්වා ගුණරත්නම් මහත්තයා කතා කළේ කියලා.”

“කේ. ගුණරත්නම් මහත්තයා කියන්නේ හැඳල චිත්‍රාගාරයේ අයිතිකරුවා. ඒ වගේම “ධීවරයෝ”, “සන්දේශය”, “අදට වැඩිය හෙට හොඳයි”, “චණ්ඩියා”, “සුජාතා”, “ සූර චෞරයා”, “සූරයා” , “අල්ලපු ගෙදර”, “ආත්ම පූජා” වගේ චිත්‍රපට රැසක් සිංහල සිනමාවට දායාද කළ සුප්‍රකට නිෂ්පාදකවරයා.

“ඔහුට හැඳල විජය චිත්‍රාගාරය වගේම නාරහේන්පිට ලංකා චිත්‍රාගාරයත් අයිතියි. ඔහු අපේ සිනමාවට විශාල සේවාවක් කළ හොඳ මනුෂ්‍යයෙක්”

කේ. ගුණරත්නම් මහතා මේ වන විට රැඳී සිටියේ කොළඹ හොලිඩේ ඉන් හෝටලයේ.  ඔහු එහි සිට විජය කුමාරතුංගයන් අමතා තිබුණේ තමන්ට අයත් එමෙන්ම වටිනා සිනමාපට රැසක දළ සේයාපට ඇති විජය චිත්‍රාගාරය මැර පිරිසක් පැමිණ විනාශ කරන බවය.

“මේ සිදුවීම නිසා තමයි විජය මහත්තයා කලබල වී තිබුණේ. ඇත්තටම මේක අහපු ගමන් මමත් කලබල වුණා. මොකද මමත් සිනමා කර්මාන්තයට ඇවිත් හදපු  “යුගයෙන් යුගයට” චිත්‍රපටයේ රීල් එකත් ඒ චිත්‍රාගාරයේ තිබුණු හින්දා.

කොහොම හරි තවත් මොහොතකින් විජය මහත්තයා හැඳල චිත්‍රාගාරයට යන්න සූදානම් වුණා. මේ වෙලාවේ චන්ද්‍රිකා මැඩම් ඒ ගමනට එතරම්  කැමැති වුණේ නැහැ. මොකද විජේ මහත්තයා දේශපාලන සිරකරුවකු විදියට හිරගදර ඉඳලා ඇවිත් ටික දවසනේ ගෙවී ගිහින් තිබුණේ.

“ඒත් ඉතින් විජේ මහත්තයා මාත් එක්ක හැඳලට ගියා. මඟදී ඔසී අභයගුණසේකර මහතාත් අපට එකතු වුණා.

හැඳල විජය චිත්‍රාගාරය අසලට යද්දී ඔවුන් දුටුවේ වෙනදා තිබෙන නිසංසල ප්‍රියජනක පරිසරය නොවේ. ඒ වෙනුවට ඔවුන් දුටුවේ කඩු, පොලු, අතින් ගත් මැර හමුදාවක්ය.  කොල්ල කල්ලියක්ය. ඔවුහු විජය චිත්‍රාගාරයේ ඇති බොහෝ දේ විනාශ කරමින් දළ සිනමාපට එසේත් නැත්නම් බයිස්කෝප් රීල් මහ පාරේ තැනින් තැන දමා විනාශ කරමින් සිටියහ. බඩු භාණ්ඩවලට දැඩි හානි සිදුකර තිබිණි. කොල්ලකරුවන් තව තවත් දේ පැහැරගෙන යන ආකාරය දක්නට ලැබුණේය.

මේ කලබලකාරී ඝෝෂාකාරී පරිසරය අතරට වේගයෙන් දිවගිය විජය කුමාරතුංගයන් මුලින්ම සොයා බැලුවේ චිත්‍රාගාරයේ පුස්තකාලය විනාශ වී ඇත්ද යන්නය.

“මම කෑගහලා කිව්වා ඒක ආරක්ෂිතයි කවුරුත් තාම එතැනට ගිහින් නැහැ කියලා. ඒ අතරේදී පාරේ තැනින් තැන වැටිලා තිබුණු රීල් අතට අරන් මම බැලුවේ මගේ චිත්‍රපටයත් විනාශ වෙලාද කියලා.”

“කොහොම හරි තවත් මොහොතකින් විජය මහත්තයා අර පුස්තකාලය දෙසට දිව ගියා.  ඒ එක්කම මහා සෙනඟක් කෑගහගෙන එතැනට දිව ආවා. විජේ මහත්තයා මහ හයියෙන් කෑ ගහලා කිව්වා “මේකට ගිනි  තියන්න එපා.  ගිනි තියනවා නම් මුලින්ම මට ගිනි තියන්න කියලා”

ඇත්තටම ඒක බොහොම උද්වේගකර අවස්ථාවක්. ඒත් පැමිණ සිටි මැර පිරිස විජය මහත්තයාගේ වචනවලට අවනත වුණා.

විජය මහත්තයා ලයිබි්‍ර එකට යන්න දෙන්නේ නැතිව ඒක ආරක්ෂා කරන අතරේ මම දිව්වා ලොරියක් හොයන්න.

“මොකද අපි මෙතැනින් ගියාම අනිවාර්යයෙන්ම මේකට ගිනි තියන බව අපට හැඟුණා.

පද්මසිරි ඔයාගේ අදහස හොඳයි. ගිහින් මොකක් හරි ලොකු වාහනයක් හොයාගෙන එන්න. විජය කෑ ගසා කීවේය.

ඊළඟ මොහොත් පද්මසිරි කොඩිකාර සිනමා අධ්‍යක්ෂවරයා දිව ගියේ කටුනායක කොළඹ මහ පාරටය. එසේ ගිය ඔහු නොඉවසිල්ලෙන් මෙන් ලොරියක් සොයන්නට වූයේය.

වාසනාවකට වගේ ලොකු ලොරියක් හම්බවුණා. කෙළින්ම ආවේ විජය චිත්‍රාගාරයට. ඇවිත් පුස්තකාලයේ තිබුණු සිනමාපට හැම එකක්ම ලොරියට පවවාගෙන අපි මහා මාර්ගයට ආවා. ඒත් දැන් මේවා කොහාටද අරන් යන්නේ?  විජය මහත්තයයි අපියි කතා කළේ ඒ ගැන.

‘’අන්තිමට අපි සීදුවේ තිබුණු අපේ යාළුවකුගේ ගෙදරට මේවා අරගෙන යන්න හැදුවේ ආරක්ෂාවට එහෙ තියෙන එක හොඳයි කියලා හිතලා.”

විජය ඇතුළු පිරිස එම නිවෙසට ගියත් නිවැසියන් සිටියේ නැත. මේ නිසා ඔවුන් මුහුණදුන්නේ තවත් ප්‍රශ්නයකටය.

“මේ වෙලාවේ රජයෙන් ඇඳිරි නීතිය පනවන්න නිවේදන නිකුත් කරලා. දවල් 2.00 සිට ඇඳිරි නීතිය පනවන නිසා ලොරි හිමියන් දැන් බැගෑපත් වෙනවා තමන්ව කොහොමහරි ඉක්මනට නිදහස් කරන්න කියලා.

අන්තිමට මම කිව්ව ඒ හරියෙම ඉන්න ජනප්‍රිය රංගන ශිල්පියකුගේ ගෙදරට මේ දළ සේයාපට අරන් යමු කියලා. විජය මහත්තයා ඒකට එච්චරටම කැමැති වුණේ නැහැ. මොකද අපි ඒ චිත්‍රාගාරයට යද්දිත් ඔහු ඒ පාරේ අයිනක අත්දෙක බැඳගෙන සිදුවන විනාශය දිහා බලා සිටියා මිස කිසිවක් කළේ නැහැ. අපිට උදවු කළෙත් නැහැ.”

සටන් නළුවෙක් වූ ඔහු පසු කලෙක ජනප්‍රිය රංගන ශිල්පියකු බවට පත්වූ කෙනෙකි. එහෙත් ඔහු මේ විනාශය දෙස බලා සිටියා මිස හැඟීමක් දැනීමක් නැති පුද්ගලයකු සේ උන් විදිහ නිසාම විජය කුමාරතුංගයන් ඔහුට කැමැති වූයේ නැත.

“ඒත් කරන්නට දෙයක් නැති නිසා විජය මහත්තයා මට කිව්වා පද්මසිරි කැමැති දෙයක් කරන්න කියලා. මම ඉතින් ලොරිය අරගෙන විජය මහත්තයා එක්කම අර රංගන ශිල්පියාගේ නිවෙසට ගියා.

ඔච්චර ගොඩක් දාන්න නම් තැනක් නැහැ. අන්න අර පැත්තට ගන්නකෝ.. එතැන පුළුවන් විදිහට දාන්නකෝ” ඒ රංගන ශිල්පියා කීවේය.

අවසානයේදී මේ වටිනා චිත්‍රපට ගොන්නේ සියලු දළ සේයාපට කුණු ගොඩක් බඳු තැනක ගොඩ ගසා දැම්මේ ලොරි රියැදුරාව නිදහස් කළ යුතු නිසාමය.

දින කිහිපයක් ගතවිය. තමා විජය චිත්‍රාගාරය බේරාගත් බව විජය කුමාරතුංගයන් කේ. ගුණරත්නම් මහතාව දැනුවත් කිරීමටද කටයුතු කළේය. එහෙත් පොලිසියට ලැබී තිබුණේ විජය එහි ගොස් යම් විනාශයක් කළ බවට වූ වැරැදි ආරංචියකි.

“මේ ආරංචිය ලැබුණු හැටියේ පොලිසිය ගුණරත්නම් මහතාව හමුවී තිබුණා. ගිහින් අහලා තිබුණේ විජය මහත්තයා එහෙ ගිහින් තිබුණු බව දන්නවද කියලයි. ඒ වෙලාවේ ගුණරත්නම් මහතා කිව්වලු ‘ඔව් මම තමයි යන්න කිව්වේ’ කියලා. එහෙම නොකිව්වා නම් විජය මහත්තයව ආපහු හිරේට දානවා.”

විජය කුමාරතුංගයන් එදා හැඳල විජය චිත්‍රාගාරය බේරාගත්තත්, එහි තිබූ වටිනා සිනමාපට රැසක් විනාශ නොවී රැකගැනීමට කටයුතු කළත් පෙර කී රංගන ශිල්පියා කටයුතු කර තිබුණේ ඉතාමත් අප්‍රසන්න ආකාරයටය.

“ඔහු අර චිත්‍රපට ආපහු නිෂ්පාදක මහත්වරුන්ට හා අයිතිකරුවන්ට ආපසු දුන්නේ කුලී මුදලකුත් අරගෙන. ඔහු ලක්ෂය, දෙක, තුන අරන් තිබුණා. ඇත්තටම මේක ගැන විජය මහත්තයට තිබුණේ ලොකුම ලොකු අප්‍රසාදයක්.

“බලන්න පද්මසිරි මේ මනුස්සයා කරන වැඩේ. ඕක නිකම් දුන්නනම් මොනවද වෙන්නේ?” විජය නෝක්කාඩුවෙන් යුතුව කීවේය.

එදා විජය මෙන්ම ඔසී සහ පද්මසිරි කොඩිකාර මැදිහත් වී මේ සිනමාපට බේරා නොගත්තා නම් අදටත් අපේ රටේ සිනමා කර්මාන්තයට ඒ පාඩුව දරාගත නොහැකි වනු ඇත.

“මගේ චිත්‍රපටය මට බේරගන්න ලැබුණා. එහෙම නොවුණා නම් මමත් අද ඉන්නේ අති විශාල දුකකින්.

ඒත් එදා ජූලි කලබලය මුවාවෙන් විවිධ මැර කල්ලි වගේම මංකොල්ලකාරයෝ අද වගේම රටේ සම්පත් හොරකම් කළා. සිනමාවට සම්බන්ධ බොහෝ දේ විනාශ කළා. සමහරු මේවා විනාශ කළේ කේ. ගුණරත්නම් මහතා සමඟ තිබුණු පෞද්ගලික අමනාපකම් හා ව්‍යාපාරික ප්‍රශ්න නිසා. ඔහුගේ බස්වලට ගිනි තිබ්බා. ඒවා කොළඹ _ යාපනය දුවපු බස්. ඊළඟට ඔහුගේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවට ගිනි තිබ්බා. ඒක තිබුණේ මේ විජය චිත්‍රාගාරය අසලමයි.

ඒ විතරක් නෙවෙයි වැල්ලම්පිටියේ හිටපු රොබින් තම්බෝ මහතාට සම්බන්ධ දරු පවුලක් මරන්න හැදුවා. මම තමයි විජය මහත්තයට කියලා එතැනට ගිහින් ඒ දරු පවුල බේරාගෙන ඇවිත් ගුණරත්නම් මහතාට භාරදුන්නේ.

අපේ රටේ සිනමා කර්මාන්තය වෙනුවෙන් අතිවිශාල සේවාවක් කළේ කේ. ගුණරත්නම් එස්.එස්. නායගම් වගේ මහත්තුරු. 1953 අවුරුද්දේ කේ. ගුණරත්නම් මහතාගේ සිනමාස් සමාගම මූලික වෙලා තමයි හැඳල විජය චිත්‍රාගාරය ගොඩනැඟුවේ. ඒකේ සියලු නවීන පහසුකම් තිබුණා. ‘අදට වැඩිය හෙට හොඳයි‘ කියන චිත්‍රපටය තමයි එහි මුලින්ම පිටපත් මුද්‍රණය කළේ. මේවා සේරම විනාශ වීම අපේ සිනමාවට වැදුණු මරු පහරක්.

ඒ විතරක් නෙවෙයි මරදානේ _ ගාමිණී සිනමා ශාලාව, සැෆයර් _ වැල්ලවත්ත, ටි්‍රයෝ – දෙහිවල, කල්පනා – කිරුළපන, රියෝ සහ නව සිනමාශාලා කොම්පඤ්ඤවීදිය වගේම රාජ් _ මීගමුව, ලිබර්ටි _ බදුල්ල, මොඩර්න් _ බදුල්ල, කිත්තම්පලම් _ බණ්ඩාරවෙල, අනුරාධපුර _ ඉම්පීරියල් වගේ තවත් සුවිශේෂ සිනමාශාලා රැසක් ගිනිබත් කළා.

අදත් ‘චණ්ඩියා’ වගේ ගාමිණී ෆොන්සේකා මහතා රඟපාපු වටිනා චිත්‍රපට සොයාගන්නටත් නැහැ. මේවා තමයි අපිට ඔය කළු ජූලියෙන් නැති වුණේ” පද්මසිරි කොඩිකාර මහතා අවසන් වශයෙන් කීවේය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ