2023දී රට පාලනය කරන්නේ තමා බව රනිල් මා සමඟ කීවේ පාර්ලිමේන්තු යන්නත් කලින්

0
68

ඔබ ඩීල් කප්පිත්තෙක් ලෙස  හඳුන්වන්නේ. එහි සත්‍යතාවක් තියෙනවා නේද?

මෙහෙමයි. ශ්‍රී ලාංකික ප්‍රජාවට ඇතැම් වචන ඒගොල්ලො හිතනවා ශබ්දකෝෂයේ නරක වචන හැටියට. නමුත් 1937 විතර අමෙරිකාවේ ආර්ථික අර්බුදයත් එක්ක USA  new dealer කියන කාරණය පටන්ගැන්ම එක්ක තමයි මුළු අමෙරිකාවම ලෝකයේ බලවතුන් බවට පත්වුණේ. ඕනෑම දෙයක් සාකච්ඡා කරලා ක්‍රියා කිරීම සමහර අය හිතන්න පුළුවන් දුර්වලකමක් කියලා. නමුත් “ඩීල්” කියන්නේ දේශපාලන විද්‍යාවට අනුව ඉතාම වැදගත්, ඉහළින්ම තිබෙන ක්‍රියාවලියක් කියලා තමයි මට අර්ථකථනය කරන්න වෙන්නේ.

නමුත් ලාංකේය දේශපාලනයේ “ඩීල්” කියන්නෙම දේශපාලනය අවුල් වියවුල් කරන දෙයක් බවට පත්වෙලා තිබෙනවා. මම අදහස් කළේ ඒක?

ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ වැරදි දේවල් අපිට කරන්න බැහැනේ. ලක්ෂයක් හරි කියන දෙයක් සුළු පිරිසක් වැරදියි කියන්න පුළුවන්.  අපි වැරදි දේක හිටගන්නවාද හරි දේක හිටගන්නවාද යන කාරණයනේ වැදගත්. හරි දේ ක්‍රියාත්මක වුණා නම් මේ දේශපාලනයේ දැනට අවුරුදු විසි අටකට උඩදී රනිල් වික්‍රමසිංහ වැනි කෙනකුට ශ්‍රී ලංකාවේ නායකත්වය   භාරදෙනවා. රටේ නායකත්වය ‍රනිල් වික්‍රමසිංහට භාරදීමට තිබුණු එකම නුසුදුසුකම තමයි රනිල් වික්‍රමසිංහගේ  සුදුසුකම.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට බහුතර ඡන්දයක් ලැබුණා. ඒ ඡන්ද 134 බහුතරය හදාගන්න වැඩිම දායකත්වය සිදු කළ මහමොළකරු ඔබ කියන එක පැහැදිලියි. ඇත්තටම ඔබ එතුළ කළ කාර්යයන් මොනවාද?

මහමොළකරු රනිල් වික්‍රමසිංහ මිස මම නොවෙයි. ඔහු හිතන විදිහට, ඔහු කල්පනා කරන විදිහට ඔහුගේ සිතුවිලි අනුව ක්‍රියා කිරීම තමයි එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය ක්‍රියාත්මක කරන්නේ. මම පහුගිය කාළේ පාර්ලිමේන්තුව නියෝජනය නොකළට පාර්ලිමේන්තුව තුළ සිටින අය පසුගිය අවුරුද්ද පුරාම විවිධාකාරයෙන් ඇසුරු කරන්න, හමුවන්න රට වෙනස් කිරීමේ ක්‍රියාවලිය ගැන සාකච්ඡා පවත්වන්න පාර්ලිමේන්තුව තුළ ජාතික ව්‍යාපාරයක් හැටියට අපි දිගු කාලයක් කටයුතු කරලා තියෙනවා. ඒක විවිධ අය විවිධ විදිහට දකින්න, අර්ථකථනය කරන්න පුළුවන්.

නමුත්  ජනාධිපති තේරීමේ සටනෙදි මුදල් කෝටි ගණන් එහෙමෙහෙ වුණා කියන චෝදනාව බරපතළව තියෙනවා. ඇත්තටම කෝටි ගණන්වලට මන්ත්‍රිවරු බිලී බෑම සිදු වුණානේ?

මං හිතන්නෙ නෑ මේ මොහොතේ කිසිම මහජන නියෝජිතයෙක් මුදලට විකිණෙන්න වැඩ කළා කියලා.

ඔබ කොහොමද එහෙම කියන්නෙ? මේ ඡන්දෙ ප්‍රතිඵලය ස්වාභාවිකයි කියලා තර්ක කරන්න බැහැනෙ මන්ත්‍රිතුමා?

මේ වෙලාවේ රටේ ජාතික ප්‍රශ්නයක් තියෙනවා. මහජන නියෝජිතයන්ට, ප්‍රජාතන්ත්‍රවාදයට හා සාමයට තර්ජනයක් තියෙන මෙවැනි අවස්ථාවක රටේ තිබුණේ දේශපාලන පර්යේෂණයක්. ඒ දේශපාලන පර්යේෂණයට අදාළ කරුණු සම්බන්ධයෙන් ඔබ කියන කාරණාව අයිති වෙන්නේ බිංදුවෙනුත් පහළ තැනට. මේ අවස්ථාවේ එවැනි මුදල් ගනුදෙනුවක් සිදු වුණා කියන එක සම්පූර්ණ බොරුවක්.

නමුත් “ගෝඨා ගෝ හෝම්” සටන ජයග්‍රහණයත් සමඟ “රනිල් ගෝ හෝම්” සටන බලවත් වුණා. එවැනි තත්ත්වයක රනිල්  වික්‍රමසිංහ  කියන චරිතය කොහොමද  උඩට ආවේ?

ඇත්ත වශයෙන්ම ජනාධිපති පත් කරන  ක්‍රියාව සිදු කරන්න තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ගෙදර යන්න ඕනෑ කිව්වා. ඒ සඳහා අවශ්‍ය පියවර තබමින් තිබුණා. අග්‍රාමාත්‍යවරයා ගෙදර ගියා. ඇමැතිවරු විශාල  ප්‍රමාණයක් ඉවත් වුණා. මේ ඉවත් කරන කාරණය තුළ ඊළඟට ගැබ්වෙන කාරණය තමයි ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන එක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 37 (1) (2) (3)  හා 40  වැනි වගන්ති සටහන් කරලා තිබෙන්නේ කුමන අවස්ථාවේ පාවිච්චි කරන්නද? ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මහජනයාගෙන් එය විමසිය යුතුයි. ඇයි මේවා කියලා තියෙන්නේ. මේක ලියලා තියෙන්නේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් නොවේ, ලෝකෙ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඊටත් එහා ගිය ඒකාධිපති ස්වරූපයෙන් තියෙන ස්ථානවල මේ වගන්ති සටහන් කරලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාවටත්, පාලන තන්ත්‍රයේ ආරක්ෂාවටත් මේ වගන්ති තිබෙන්නේ. ඒ අනුව අර මම කියපු ඒ වගන්ති ක්‍රියාත්මක වී තිබෙනවා. මේක ලංකාවේ විතරක් නෙමෙයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ලෝකයේ බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල වන අවස්ථාවල මේ වගන්තිය ක්‍රියාත්මක වෙනවා. සෝවියට් දේශයේ මේ වගන්තිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. පාකිස්තානයේ මේක  ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ වගන්තිය ලියලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාවට. ඒ ක්‍රියාවලිය සිදු වී තිබෙනවා. රනිල්ට ගෝ හෝම් කියන්න බැහැ. කාගෙහරි ගෙදරකට රනිල් ගන්නයි තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ කියන්නේ මැතිවරණයෙනුත් පරාජයට පත්වෙලා එක්සත් ජාතික පක්ෂයත් බින්දුවට බස්සපු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු පුද්ගලයෙක්. ඔහුට ජනාධිපති ධුරය දරන්න තරම් තියෙන සදාචාරාත්මක අයිතිය මොකද්ද?

සදාචාරාත්මක අයිතියක් තියෙන්න ඕනෑ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ වගන්ති සටහන් කර තිබෙන්නේ. ඒ නිසා තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය වෙන්නෙත්. ලොව ප්‍රථම අගමැතිනිය ලෙස ඇය ඡන්දයෙන්ද පත් වෙන්නේ? නෑනෙ. ඉතිං ඔය කියන වගන්ති අනුව ඇය සෙනෙට් සභාවෙන් ඇවිල්ලා ලොව ප්‍රථම අගමැතිනි බවට පත්වෙනවා. ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා දිවුරුම් දෙන දවස විශේෂයි. එදා රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට ඇවිත් අවුරුදු 45යි. එතුමා දිවුරුම් දෙන දවසේ ජේ. ආර්. ජයවර්ධන මහතා හයෙන් පහක බලයක් අරගෙන අවුරුදු හතළිස් පහයි. එතකොට මේවා අස්වාභාවිකව හෝ ස්වභාවිකව සටහන් වෙන්නේ මේවා ලෝකයේ ක්‍රියාත්මක වූ දේවල් හැටියට. ඒ නිසා රනිල් වික්‍රමසිංහට පහර දෙන්න ඕන අය කියනවා මෙතුමා මේ ධුරයට සුදුසු නැහැ කියලා. ඔය කියන විදිහට  රුසියාවේ පුටින්ටත් එහෙනම් දෙදාහේ ජනාධිපති වෙන්න බෑ. රහස් ඔත්තු සංවිධානයක ප්‍රධානියා හැටියට.

ඉතින් ලෝකයේ බොහෝ රටවල මෙහෙම සිද්ධ වෙලා තියෙනවා. ජාතික ලැයිස්තුවක් තියෙන්නේ අපහාස කරන්න නෙමේ. ජාතික ලැයිස්තුව තියෙන්නේ ඒ ඒ දේශපාලන පක්ෂවලට ලැබුණු ඡන්ද සංඛ්‍යාවට අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන නීත්‍යනුකූල ක්‍රමයක්. ඒ නිසා කොහෙන් ආවත් ජන නියෝජිතයෙක් නම් පත්වුණාට පස්සේ ඒක ව්‍යවස්ථාවට අනුකූලයි. ව්‍යවස්ථාවට අනුකූල නොවන කරුණු දේශපාලනඥයෝ කතා කරනවා නම් supremecourt එකට ගිහින් ඔවුන්ට විරුද්ධව නඩු දාන්න  පුළුවන්. ඒක ඔප්පු වුණොත් ඔහුගේ මන්ත්‍රි ධුරයත් අහෝසි වෙනවා. මොකද ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන බවට මහජන නියෝජිතයන් ලෙස දිවුරා පොරොන්දු වෙනවා. ඒ නිසා සමහරු කතා නම් පවත්වනවා. හරි කෙනකුට අහුවුණොත් ඔවුන් අධිකරණයට ගෙන ගිහින් මන්ත්‍රි ධුරයත් අහෝසි කරාවි.

2021 මාර්තු 23න් පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්නේ කියලා ඔබ වසරකට පෙර කියනවා. කොහොමද මේවා කියන්නේ? සාස්තර කියනවා වගේ ඉබේ මත පහළ වෙන්න පුළුවන්ද?

මම 2021 පෙබරවාරි මෙහෙම කිව්වේ.  රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තු යන්න කලින් මං එතුමා සමඟ කතා කළා. එතුමා පාර්ලිමේන්තු යන්න කැමැති වුණේ නෑ. අපි තමයි කිව්වේ අනිවාර්යෙන් ඔබතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ඒ ගමන්ම මම රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇහුව අපිට කොයි කාලයකදී බලය ලබා ගන්න පුළුවන්ද කියලා. මේ ආණ්ඩුව එතකොට වැරදි ක්‍රියා මාර්ගවල ගමන් කරලයි තිබුණේ. 2021 අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් කියලා තිබුණා පළමුවැනි පිටුවේ. හොඳින් කියව ගන්න මේ දෙන කොළේ කියලා කිව්වට මිනිස්සු කියවනවා තියා අතටවත් ගත්තේ නෑ. විසිකළා. දෙවැනි පිටුවේ කියලා තියෙනවා 2021 වසරට ඩොලර් මිලියන 3000ක් ඕනේ කියලා. 2022  කිව්වේ මිලියන හයදාහක් ඕනෑ කියලා. එසේ කියලා තියෙද්දි වැරදි පාරක යනකොට මං අපේ නායකතුමාගෙන් ඇහුවා අපිට කොයි කාලේ බලය ගන්න පුළුවන් වෙයිද කියලා.

2023 දී අපි තමයි මේ රට පාලනය කරන්නේ කියලා කිව්වා. මොකද ආර්ථිකය වැටුණොත් එතන දේශපාලන විද්‍යාව වැටෙනවා. ඉතිහාසය පුරාම එහෙම වැටිලා තියෙනවා. 2014 අගෝස්තු මාසේ ඡන්දෙකට යන්න හේතුවක් තිබුණේ නැහැ. ඒත් ආර්ථිකය කඩාවැටීම හින්දා ඡන්දෙට යන්න වුණා. ඡන්දෙ තියන්න නියමිතව තිබුණේ 2017. හැබැයි ඡන්දෙ තියන්නේ 2015 ජනවාරි 8දා. මොකද ආර්ථිකය කඩා වැටුණා. 2021 දෙසැම්බර් වෙනකොට ආපහු රනිල් වික්‍රමසිංහ මහත්තයා බලය ලබා ගන්නවා. එතකොට දේශපාලන රිසර්ච් එකක් කරන කෙනකුට තේරෙනවා කවුද බලයට එන්නේ කියලා. වැරැද්ද කොහොමද වුණේ, ඒක බලපාන්නේ කොහොමද, ආණ්ඩුවට ආයුෂ කොච්චරද ඊළඟට එන්නේ කවුද කියන එක පැහැදිලියි එතකොට. රනිල් වික්‍රමසිංහ මහතා ඒ කියපු කාරණා අනුව තමයි අපි අපේ ඉලක්කයට ගමන් කළේ. ඒකයි අපි කියන්නේ පාර්ලිමේන්තුවේ එ.ජා.පෙ.ට තියෙන්නේ එක ආසනයයි. දේශපාලන විද්‍යාවට අනුව ඒ ආසනය අනිවාර්යෙන්ම අගමැති වෙලා ජනාධිපති වෙනවා කියලා අපි කිව්වා. එතකොට පාර්ලිමේන්තුවේ පොහොට්ටුව දේශපාලන පක්ෂය 140කට ආසන්න පිරිසකුත් විරුද්ධ පක්ෂයේ ආසන 52කුත් එ.ජා.පෙ. ට තනි ආසනයකුත් තිබුණා. එක්සත් ජාතික පක්ෂයට වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් වුණා. දින කිහිපයකට පසු ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම යොමු වෙනකොට රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරනවා පොහොට්ටුව පක්ෂයේ සභාපති. විරුද්ධ පක්ෂය ස්ථිර  කරනවා.

තක්කෙටම කොහොමද කිව්වේ රනිල් වික්‍රමසිංහට ඡන්ද 140ක් ලැබෙයි කියලා. මේවා ගේම් නෙවේද?

මම කිව්වේ 140ක් ගන්න බව. ඒක හරි. ඒවා තමයි පොලිටිකල් රිසර්ච් කියන්නේ. නරක් වූ ඡන්දත් එක්ක ගත්තොත් 138ක් ලැබෙන්න තිබ්බා. ඉතා පැහැදිලියිනේ ඉතින් පාර්ලිමේන්තුව තුළ 225 නායකත්වය ගත හැකි පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණේ ජනතා විරෝධය නිසා වුණත් රනිල් වික්‍රමසිංහ මහතා ඒ අතරතුරම ජනාධිපති බවට පත්වෙන්නේ රාජපක්ෂ අනුග්‍රහයෙන් නේද?

සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා තුළ ලෝකයේ රටවල රාජ්‍ය නායකයන් මාරු වෙලා තියෙනවා. ඒවට හොඳම උදාහරණ තියෙනවා ඕන තරම්. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය තුළ අප්‍රසාදය සහ ආර්ථික කඩාවැටීම මුල් වුණාම තමයි ලෝකෙ පුරාම විප්ලව සිදු වෙලා තියෙන්නේ. ජාතික ප්‍රතිපත්තිවලට අනුව විප්ලවයක් සිදු වෙනවා නම් ඒක ලෝකේ සාර්ථක විප්ලවයක් බවට පත්වෙනවා. බඩගින්නෙන් තමයි සටන් මතු වෙන්නේ සහ ඒ සටන්වලින් නායකයෝ බිහි වන්නේ. ඒක මාක්ස්වාදය වෙන්න පුළුවන්,  සමාජවාදය වෙන්න පුළුවන්,  ධනවාදය වෙන්න පුළුවන්.

හැබැයි මේ කියන ක්‍රියාවලියේදී “රාජපක්ෂලා එක්ක රනිල් ඩීල්” කතාව වක්‍රාකාරයෙන් වුවත් පිළිගන්න වෙනවා නේද?

රනිල් – රාජපක්ෂ ඩීල් තියෙනවා නම්  රාජපක්ෂලා වැලිකඩ දැම්මේ රනිල් වික්‍රමසිංහ  නෙමේද? ඒව රනිල් වික්‍රමසිංහ මහත්තයා පෞද්ගලිකව කරපු කාරණා නොවෙයි. එතුමා නීතියට ක්‍රියාත්මක වෙන්න නිදහස දුන්නා. නීතියට අනුව රාජපක්ෂලාට එදා වැලිකඩ ඉන්න වුණා. රනිල් වික්‍රමසිංහ ඇරෙන්න වෙන කවුරුහරි රාජපක්ෂලා හිරේ දාලා තියෙනවද?

රනිල් වික්‍රමසිංහ කියන්නෙත් විවිධ චෝදනා එල්ල වුණ පුද්ගලයෙක්නේ. අරගලයේත් ප්‍රධාන සටන් පාඨයක් වුණේ රාජපක්ෂලාගේ  ගැලවුම්කරු රනිල් බවත් රනිල්ගේ ගැලවුම්කරු රාජපක්ෂලා බව කියන මතයට තර්කයක් තියෙනවා නේද?

ඒක වැරදියි. බහුතරයේ මතය වැරදි මතය.  රනිල් වික්‍රමසිංහ මහත්තයට ලක්ෂයක් විරුද්ධ වෙද්දී හරි මතය වෙනුවෙන් දෙතුන් සියයක් එතුමා වෙනුවෙන් හිටගන්නවා. අපි නොදැන නෙමේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන් හිටගත්තේ. අපි දන්නවා ජාත්‍යන්තරයේ අවශ්‍යතාව. ඒක මේ ශ්‍රී ලංකාවේ අහිංසක ජනතාව දන්නේ නැහැ. ජාත්‍යන්තරයේ අවශ්‍යතාවක් තියෙන්න පුළුවන් ශ්‍රී ලංකාව ඉහළ තැනින් ඔසවා තැබීම පාලනය කිරීමට. ජාත්‍යන්තරයට අවශ්‍ය වෙන්න පුළුවන් ප්‍රධාන  දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන අපේක්ෂකයකුට සහාය නොදී ඉන්න.

ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ලෙස පත් කරන්න වෙන සුදුස්සෙක් හිටියෙම නැද්ද? එකම විශ්වාසය රනිල් වික්‍රමසිංහ මහතාද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්ති මේ ක්‍රියාත්මක වුණේ.

ඔබ කිව්වා සමාජවාදය, ධනවාදය ගැන. දැන් ජනාධිපතිවරයා ෆැසිස්ට්වාදය කියලා  එකක එල්ලී සිටින්නේ ඇයි?

පැසිස්ට්වාදය ජයග්‍රහණය කරන්න දෙන්න බැහැ. ලෝකේ ඒක අනිවාර්යෙන් පාලනය කරන්න ඕනි.

ඔබ කියන්නේ රටේ ෆැසිස්ට්වාදයක් ක්‍රියාත්මක වෙනවා කියලද?

මට ඔබ මේකට උත්තරයක් දෙන්න. ඔබේ ගේ අල්ලගත්තොත් කවුරුහරි ඔබ කියනවද කමක් නෑ මේ සතියේ අල්ලගෙන ඉන්න, ලබන සතියේ දෙන්නකෝ කියලා. ඒ වගේ දෙයක්නේ මේ. ආයෙ කියනවා සතියකට පස්සේ හා කමක් නෑ තව දවස් තුනක් අපි ගෙදර අල්ලාගෙන ඉන්නවා කියලා. ඔබ හා කියනවද? නෑනේ. ඔබ ළඟම තියෙන පොලිසියට යනවා. ඒ ඒ අපරාධකාරයන්ට සැකකරුවන්ට මාංචු දාලා අත්අඩංගුවට ගන්නවා පොලිසිය විසින්. අපි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, උද්ඝෝෂණය කිරීමේ අයිතිය පිළිගන්නවා. හැබැයි ත්‍රස්තවාදය, ෆැසිස්ට්වාදය ප්‍රතික්ෂේප කරන්න බය නැහැ.

කොහොම වුණත් අදටත් මිනිස්සු පෝලිම්වල මැරෙනවා. මිනිස්සු දැඩි අසරණ භාවයකට පත් වෙලා තිබෙනවා. 225ක් කියන සුළුතර පිරිසකගේ මන‍ෙදාළ සපුරන්න දෙකෝටියක් වූ ජනතාව

දුක් විඳින්න ඕනද?

නෑ. අපි රට, ජනතාව වෙනුවෙන් මේ පෙනී සිටින්නේ. 225 පත් කළේ ජනතාව.

මිනිසුන්ගේ ප්‍රධාන ප්‍රශ්න ටිකවත් දවසින් දෙකෙන් විසඳන්න නම් රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිට හාස්කමක් තියෙන්න ඕනෑ?

රනිල් වික්‍රමසිංහ මහත්තයට අනිවාර්යෙන් හාස්කමක් තියෙනවා. කිසිම සැකයක් තියාගන්න එපා. මේ කරලා තිබෙන විශාල ආර්ථික විනාශය මේ රටේ බංකොලොත් කියලා සීල් එක ගැහුවට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට භාර ගත්තේ. මේක දැන් ගොඩගන්න අවශ්‍ය කරලා තිබෙනවා. එකක් නීතිය හා සාමය රටේ ස්ථාපිත කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතුයි. ජාත්‍යන්තරය සමඟ වැඩ කළ යුතුයි. දේශීය ජනතාව ඒ සඳහා ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ.

එතකොට තමයි සංචාරකයෝ එන්නේ. එතකොට තමයි ලෝකෙ අය ශ්‍රී ලංකාවට උදව් කරන්න පටන් ගන්නේ. නීතිය සාමය මෙහිදී ඉතා වැදගත්. රජයේ සේවකයෙක් අතින්  රජයේ දේපළකට යම් කිසි ප්‍රශ්නයක් වුණොත් ඔහුගේ සේවය අත්හිටුවනවා. විශ්‍රාම වැටුප ලැබෙන්නේ නැහැ. ඒ නීතියම තමයි සාමාන්‍ය ජනතාවටත් තියෙන්නේ. රාජ්‍ය දේපළ අයථා ලෙස පාවිච්චි කරන්න දෙන්න බෑ. ජනතාවට උද්ඝෝෂණය කරන්න පුළුවන්. හැබැයි ත්‍රස්තවාදය වපුරන්න නම් දෙන්නෑ.

මීට පෙර අල්ලස් 1977/94  කාලවල මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළී දැඩි ඛේදවාචකයන්ට ජනතාව මුහුණ දුන්නා. ඒ තත්ත්වයටද මේ නීති රීති දාලා රට පත් කරන්න හදන්නේ?

ඒක ගැඹුරු අර්ථකථනයක්. ලෝකයේ දියුණු වෙච්ච රටවල් ඒ රටවල් දියුණු වෙන ගමන් ඒ රටේ ඉන්න තරුණ පරම්පරාව සාමාන්‍ය පෙළ, උසස් පෙළ පන්තියට යනකොට විශ්වවිද්‍යාලට යනකොට  පුරුදු පුහුණු වෙච්ච රට ගැන නිවැරදි වූ හැඟීමක් ඇති පුරවැසියන් බවට පත් වෙනවා. ඒත් අපේ නිදහසෙන් පසු අඩුපාඩුවක් තිබෙනවා.  රටේ බිහිවන අලුත් තරුණ පරම්පරාව පාසල් දිවිය හමාර කරන්න කලින් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න කලින් ඒ අයත් රට ගැන  අවබෝධයක් ඇති පුරුදු පුහුණු පුරවැසියන් බවට පත් කරගත යුතුයි. ලෝකෙත් එක්ක කොහොමද ගමන්  කරන්නේ කියලා අවබෝධයක් හැදිය යුතුයි. දේශීය නිෂ්පාදන කියලා රට බංකොලොත් බවට පත් කරගන්නවාද ඒ වෙනුවට විදේශීය සම්පත් ගළපනවද කියන අවබෝධයක් තිබිය යුතුයි. මේ අඩුව නිසා අහිංසක තරුණ පිරිස් ජාත්‍යන්තරයේ යම් යම් ගැටලුවලට හසු වෙනවා. එහෙම වුණාම ඔවුන් දන්නේ නැතුව විවිධ ක්‍රියාදාමයන්වලට පැටලෙනවා. මේවා ගැන නොකියා පම්පෝරි ගහන ඔය මහා සිංහල පෝතකයෝ පෙනී සිටින්නේ රට වෙනුවෙන්ද කියලා ප්‍රශ්න කරන්න වෙනවා.

 ඇයි මේ මොහොතේ හදිසි නීතියක්. මොකටද අපිට හදිසි නීතියක්?

හදිසි නීතිය 1938, 1942, 1952, 1956, 1960  ක්‍රියාත්මක වුණා. සුළි සුළං ආවම, ගංවතුර  ආවම, ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණ ආවම හදිසි නීතිය පාවිච්චි කළා. හදිසි නීතියේ වැඩිම නීති රෙගුලාසි ගෙනාවෙ 1977න් පසු. අපි ගෙනත් තියෙනවා ත්‍රස්තවාදය මැඬලීමේ පනත් දහයක් ‍ෙදාළහක්. 1994 පස්සේ ගෙනත් තියෙනවා. මේවා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සිදු වෙද්දී ඒ වගන්ති පාවිච්ච් කරන්න වෙනවා. ලෝකේ අනෙක් රටවල් කරපු එකම තමයි අපි මේ කරන්නේ. අපි කරන්නේ ඇමරිකාව කරපු එක. එංගලන්තේ කරපු එක. ප්‍රංශය කරපු එක. ඉන්දියාව කරපු එක. සිංගප්පූරුව, ජපානය කරපු එක. ඒක තමයි  ලංකාවෙත් කරන්නෙ. දැන් බලන්න මැයි (9)  නිවාස විශාල ප්‍රමාණයක් පිලිස්සුවා. ඇයි ඒවා අනුමත කරන්නේ ඔබලා. ඒවා ත්‍රස්තවාදී ක්‍රියාවන්. හරි නම් ඒ පුච්චපු ගෙවල්  තිබුණ වගේ දෙගුණයක් තුන්ගුණයක් හදලා දෙන්න ඕන. නැත්තම්  අනාගත පරම්පරාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසයක් නැති වෙයි.

නමුත් මේ දවස් දෙක තුනට රටේ තැන් තැන්වල වෙඩි තැබීම් විවිධ ඝාතන සිදු වුණා. මේ කාරණාව ගැන ඇයි කතා නොකරන්නෙ?

ඒවගේ දේවල්  දුටුගැමුණුගේ කාලේ ඉඳන් වෙලා තියනවා. ඒ ගැන කලබල වෙන්න එපා.

ඔබ කියන්නෙ වෙඩි තැබීම් මනුෂ්‍ය ඝාතන අනුමත කරන්න  කියලද?

මිනිස් සමාජයේ  දියුණු  නැති පුරවැසියන් ඉන්නව නම් ඒ ඒ අය හිතනවා එයා වැරදියි මෙයා වැරදියි ඒ හින්දා නීතිය ක්‍රියාත්මක කරන්න කලින් වෙඩි තියලා මරන්න ඕන කියලා. රජ කාලේ එහෙම තමයි තිබුණේ. දැන් ඊට වඩා විනයගරුක සමාජයක් ඇති වෙලා තිබෙනවා. හැබැයි ඒ විනයගරුක සමාජයේම වෙනම කණ්ඩායම් ඉන්න පුළුවන්.

නමුත් මැයි (9) සිද්ධිය ගත්තම ඔබ කියන විධියටම මිනිස්සුත් හිතුවා නම්. අපේ දේපළ හොරා කෑවෙ මේ 225න් බහුතරයක් අය. මහා භාණ්ඩාගාරය හිස් කරේ දේශපාලනඥයන් කියලා ඒගොල්ලෝ ප්‍රචණ්ඩ වුණා නම් ඔය ඔබ කියන තර්කය ඒ පැත්තටත් ගැළපෙනවා නේද?

එහෙම කරන්න බැහැ. උදාහරණයක් හැටියට මැයි නව වැනිදා සිද්ධිය කෙටියෙන් ගමු. අපි සියලු දෙනා කළ සටනක් ඒක. රටේ ඔක්කොම එකතුවෙලා රටේ ප්‍රශ්නවලට කළ අරගලයක්. රටේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලක්. මේ රටේ ව්‍යාපාරිකයො ඔක්කොම උදවු කළා. මේ රටේ සියලුම දේශපාලන පක්ෂ උදවු කළා. ඒ system change එකක් වෙනුවෙන්. ඒ වෙනස ඇති කරන්න සියලු දෙනා වැඩ කළා. එතැන ඉන්න කවුරුහරි හිතනවා නම් මේක කරේ අපි තනියම කියලා ඒ අය අංගොඩ යවන්න ඕනෑ. මේ මුළු මහා ජන ගඟම මගේ කියන්න කාටවත් බෑ. මේ අපේ මහා ජන ගඟ.

මේ වෙලාවේ මුහුණු පොතේවත් අදහසක් ප්‍රකාශ කරන්න දෙන්නේ නෑ. තර්ජන තියෙනවා. ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද මාධ්‍යවේදීන්ට, විවිධ මත දරන අයට නිදහසේ ඒවා කරගෙන යන්න දෙනවා කියලා?

ඔබලගෙ පැත්තෙනුත් කරන්න යුතුකමක් තියෙනවා. ඒ තමයි මේ රටේ දීල තියෙනවා අපහාස කිරීමේ අයිතිය, බොරු කීමේ අයිතිය, මිනිසුන්ට පරිභව කිරීමේ අයිතිය, හැබැයි මුහුණු පොතෙන් කිව්වොත් වජිරගෙ ගේ ගිනි තියන්න කියලා මම ඒක වාර්තා කරනවා ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට මානව හිමිකම් කොමිසමට. අපි දැන් දහස් ගාණක් වාර්තා කරලා තියෙනවා මේ රටේ ත්‍රස්තවාදී ක්‍රියා තිබෙන බවට. අපි මේ පාලනයට සම්බන්ධ වුණ දවසේ ඉඳන් අපි දන්න හැම ත්‍රස්තවාදී ක්‍රියාවක්ම මුහුණු පොතේ පවා පළවෙන ත්‍රස්තවාදී ක්‍රියාවන් ජාත්‍යන්තරයට වාර්තා කරන්නට අපි කටයුතු කරමින් තියනවා. ලංකාවේ ඉස්සර තිබුණේ එහෙම නෙමේ. මරණ දැන්වීමක් දැම්මත් ඊට යටින් ලියන්න ඕන මේ අහවල් ආයතනය විසින් ප්‍රසිද්ධ කරන ලදී කියලා. හැබැයි දැන් මුහුණු පොතේ අයිතිකාරයෝ නෑ. ත්‍රස්තවාදීන් ඉන්නවා. මුහුණු පොතේ හොඳ කාරණා තිබෙනවා. ඒවට marketing නැහැ.

මේ සම්මුඛ සාකච්ඡාව කියවන කෙනකුට හිතන්න පුළුවන් මේ වජිරත් පම්පෝරි ගැහුවට රනිල් වික්‍රමසිංහ වගේම වජිර අබේවර්ධනත් ඡන්දෙන් පැරදිලා ගෙදර හිටපු කෙනෙක් කියලා?

ඉතින් සිරිමාවෝ මැතිනිය ආවේ ඡන්දේ ඉල්ලලාද? නෑනේ, පුටින් ආවෙ ඡන්දයෙන්ද?  නෑනේ. ලෝකෙ වෙනස්කම්වලට ආසා කරන නායකයෝ පොළොවෙන් මතු වෙනවා.

ඔබේ කණ්ඩායමේ පිරිසක් අතරින් නමුත් මන්ත්‍රි ධුරයක් දෙන්න ඔබවම තෝරා ගන්න විශේෂ හේතුවක් තියෙනවද?

නෑ සියලු දෙනා ඒක පාක්ෂිකව, එකමුතුව දුන්නු තීරණයකින් තමයි මට මන්ත්‍රි ධුරය හිමි වුණේ.

ඒ වගේම කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති  වජිරට නොදෙන ඇමැතිකම් කොහෙද කියලා අනාවැකි පළවෙනවා. ඔබට ඇමැතිකමක් ලැබෙන්න නියමිතයි නේද?

දන්නේ නෑ. ඒක මගේ රාජකාරියක් නෙමෙයි. ජනාධිපතිතුමාගේ රාජකාරියක්.

ඔබ අවුරුදු ගාණකින් පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ. මොකක්ද දැනෙන්නේ?

මට ඇත්ත වශයෙන්ම දිවුරුම් දෙන කොට ඔළුවට එන්නෙම කොහොමද මේ පෝලිම් නැති කරගන්නේ කියලා. අපි ඒක නවත්තනවා. අපි පොහොර අවුරුද්දකට පස්සේ දකින්න සලස්වා තිබෙනවා. ගෑස් පෝලිම නවත්වා තිබෙනවා. ප්‍රශ්න විසඳනවා ඉක්මනින්.

මොකද්ද වැඩපිළිවෙළ?

දැන් අපිට පාර්ලිමේන්තුවේ 134 – 150 දක්වා වර්ධනය වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මීට මාස දෙකකට ඉහතදී කිව්වා මට මේක 113 කින් කරන්න බැහැ 175ක් ඕනේ කියලා. මට හිතෙනවා ඉතා ඉක්මනින් 175ක් ආණ්ඩුවට එකතු වෙනවා. ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් පිටු කිහිපයක් වෙනස් කරගන්න තිබෙනවා. ඒ ජාතික ප්‍රතිපත්ති සහ මූලධර්ම කියන ප්‍රතිපත්ති. ඒකට වග කියන, වගවන පිටුවක් බවට පරිවර්තනය කර ගන්න ඕනෑ. ඔබම මගෙන් ඇහුවා ඇයි රනිල් වික්‍රමසිංහ මම ජනාධිපතිකමට පත් කරගත්තේ වෙන කෙනෙක් හිටියේ නැද්ද කියලා. ඉතින් දෙයියනේ පස් වතාවක් අගමැති වෙච්ච මිනිහව තෝරා ගන්නේ නැතිව එක වතාවක්වත් කිසිම ධුරයක් නොදරපු කෙනෙක්ට ජනාධිපතිකම දෙන්නද කියන්නේ?  එහෙම කරා නම් ගෝඨාභයට තවත් පිස්සු වෙන්න ඕනෑ. ගෝඨාභය හිටපු ජනාධිපතිතුමා එතැනදි රුසියාවේ ජනාධිපතිවරයා ගත් තීරණය වගේ තීරණයක් තමයි ගත්තේ.

කාලාන්තරයක් තිස්සේ මිනිස්සු පීඩා විඳි කාරණා එකවර පීඩනයක් සේ සමාජයේ පුපුරා හැරියා. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය හා  මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ පවුලට අන්තිමට පාරේ බැහැල යන්න බැරි වුණා. බංකරවල රැඳී සිටින්න සිදු වුණා. නමුත් ඉතා ඉක්මනින් ඔවුන්ට නැවත දේශපාලනයට එබිකම් කරන්නට ඉඩප්‍රස්තාව හැදුවේ රනිල් වික්‍රමසිංහ මහතා නිසා බවට චෝදනාවක් තියෙනවා?

ඔබ කියන්නේ රාජපක්ෂලා මරන්න කියලද.

ඔබ වැරදි විදිහට තෝර ගත්තේ. එවැනි පුද්ගලයන් අද බිය සැක නැතුව කොහොමද සමාජගත වුණේ?

ඇයි රාජපක්ෂලා ලංකාවට කරපු හොඳ වැඩක් ඇත්තේම නැද්ද?

බහුතරයක් රටට විරෝධී වැඩ සිදුකරපු නිසයි ඔවුන් පලවා හැරියේ. ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ?

‍රාජපක්ෂලාගේ නරක වැඩහොඳ වැඩ දෙපැත්තට දැම්මොත් වැඩිපුර බර වෙන්නේ මොන පැත්තද කියලා ඔබ මට කියන්න. රනිල් වික්‍රමසිංහ මහතා එහෙම වාතාවරණයක් හැදුවේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හැදුවේ දෙකෝටි තිස් ලක්ෂයක ජනතා අයිතිය. රාජපක්ෂලා කියන්නේ වෙනම කොට්ඨාසයක් නෙවෙයිනේ ඒ අතර.

ඉතින් රාජපක්ෂ පවුල කාලාන්තරයක් බලවත් වෙලා හිටියනේ?

රාජපක්ෂ පවුල බලවත් කියලා  ඔබ කියනවා. රාජපක්ෂලා බලවත් නම් අපි ඒ ගොල්ලන් එළියට දැම්මේ කොහොමද.

මතයක් තිබෙනවා හමුදාවට කරන තරමක් වෙනස්කම් කළේ රනිල් වික්‍රමසිංහ කියලා. නමුත් අද වන විට පොලිසියේ, හමුදාවේ මහත්වරුන්ගේ “ළෙන්ගතු අප්පච්චි” රනිල් බවට පරිවර්තනය වෙලා තියෙනවා කියනවා?

ඒක වැරදි අර්ථකථනයක්. මේ රටේ ත්‍රිවිධ හමුදාවට, පොලිසියට වැඩිම බුද්ධිමය සේවාවක් එක්ක වැඩිම සේවාවක් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කොච්චර දක්ෂද කියනවා නම් උතුරේත් දකුණේත් ත්‍රස්තවාදය වැපිරෙන විට කොච්චර කල්පනාවෙන් වැඩ කළාද කියනව නම් කැලේ ඉන්න ප්‍රභාකරන් එළියට ගෙනල්ලා කොළ දෙකක් අස්සන් කෙරුවා. ඒක කොහේ හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සටහන් වෙලා තියෙනවද. මොනවා වුණත් ජේ.ආර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරලයි ප්‍රභාකරන් එක්ක ගනුදෙනු කළේ. රනිල් වික්‍රමසිංහ මහතා ගනුදෙනු කළ කඩදාසියක් පෙන්නන්නකෝ කොහෙ හරි. රනිල් වික්‍රමසිංහ මහත්තයා සුවිශේෂි සේවාවක් කරලා තියෙනවා. අලුත් latest technology එකත් එක්ක යුද හමුදාව ගෙනියන්නේ. ලෝකෙ වෙනස් වෙලා. දැන් ආයුධවලින් වෙඩි තියලා නෙමෙයි ලෝකේ ත්‍රස්තවාදී අනාගතය එන්නේ.

ඔබලා අරගලකරුවන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙන බව කිව්වා?

ඔව්. හැබැයි  රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා අරගලකරුවන් කියන්නේ කොටසක්.  කැරලිකරුවන්  කියන්නේ තව කොටසක් කියලා. මේ දෙගොල්ලම ඉන්නවා ශ්‍රී ලංකාවේ. පොදු අරගලකරුවන්ට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කිව්වා පාර්ලිමේන්තුවේ තියෙන හැම කමිටුවක්ම නියෝජනය කරන්න ඔවුන්ගේ අදහස් ගන්නවා කියලා. හැබැයි ලංකාවේ එතන ඉන්න තව කණ්ඩායමක් ලෝකෙටම හෑල්ලු වුණා.  ජනාධිපති මන්දිරයක එක හැම රාජ්‍ය නායකයෙක්ටම  රහසිගතව ස්ථානයක් සකස් කරල තියෙනවා. ඒවා ෆෝන් එකේ දාලා වෙබ්සයිට්වල දාලා  සබන් ගාලා පූල් එකට පැන්නාම සංචාරකයන් ලංකාවට එයිද. සංචාරකයෝ හිතනවා ලංකාවෙ ඉන්නෙ වැද්‍ෙදා් කියලා. ඉතින් මේක වැදි රටක් විදිහට ලෝකෙ දකින්නේ.

සබන් ගාලා පූල් එකට පැන්න එක වැරදියි කියමු. හැබැයි එතන හිටපු අරගල කරුවන්ට මහ රෑ ගිහිල්ලා පහර දුන් එක අනුමත කරන්නේ  කොහොමද?

ඔබේ ගෙදරට කණ්ඩායමක් බලහත්කාරීව ඇතුළු වුණොත් ඔබ මොකද්ද කරන්නෙ. මට පුළුවන් ඒකට උත්තරයක් දුන්නොත් මේ උත්තරේ දෙන්න.

එහෙම නම් පොලිසියට දැනුම් දෙනවා. හැබැයි පොලිසියට අයිතියක් තියෙනවද මිනිසුන්ට පහර දෙන්න?

දැන් ඔයාගේ ගෙදරට මංකොල්ලකරුවන් ආවොත් පොලිසිය මොනවද  කරන්න ඕනේ. ඒක තමයි  එදා වුණේ.

ඒ හින්දා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගැන සීයට දාහක් විශ්වාසයි. ඔහු ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම තැනක ඔසවා තබනවා. ලෝකයෙත් ඔසවා තබනවා. කරුණාකර හැමෝම උදවු කරන්න. ප්‍රශ්න ඔක්කොම අපි අවසන් කරනවා. ආයෙත් වරදින්නේ නැහැ. එතුමාගේ අත්දැකීම්, ජාත්‍යන්තරය හැසිරවීමට තියෙන හැකියාව අනුව එය සිදුවෙනවා.

එජාපය එක් ආසනයකට පත්කරලා වික්‍රමසිංහ මහතා නැවතුණේ. සමගි ජනබලවේගයටත් එසේ කරලා නැවත ඔවුන් එජාපයට එකතු කිරීමක්ද මෙතන වෙන්නේ?

මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ එක් ආසනයක් තිබුණත් ලංකාවත් ලෝකෙත් හොල්ලන්න පුළුවන්.

ඔබ කියන්නේ සමගි ජන බලවේගයේ අය එජාපයට ගන්නවද?

ගන්න දෙයක් නෑ. අපි අරන් ඉවරයි.

ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස ඇතුළු?

දන්නෑ ඒක එයාගෙන් අහන්න ඕනෑ.

 සජබෙ විතරක් නෙමේ අපි පුළුවන් නම් 225ම ගන්න කටයුතු කරනවා.

අරගලකරුවන් ඉල්ලුවේ සර්වපාක්ෂික ආණ්ඩුවක්. නිශ්චිත කාල රාමුවක මැතිවරණයකට යනවද? ඒක ජනාධිපතිවරයා රටට කිව යුතුයි නේද?

නියත වශයෙන්ම මේ මොහොත ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් තිබෙන අවස්ථාවක්. නීතිය හා සාමයට තර්ජනයක් තිබෙන අවස්ථාවක්. කිසිසේත්ම මැතිවරණයකට නොයා යුතු අවස්ථාවක්. එවැනි අවස්ථාවල කළ යුතු ප්‍රධානම දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම. නීතිය හා සාමය තහවුරු කිරීම. ඒවා තහවුරු වූ පසු බලන්න පුළුවන් ඊළඟ කාරණා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයට ආපු නවක මන්ත්‍රිවරුන් 77ක් ඉන්නවා. ඒ අය වැටුණොත් අනාගතයේ ඊටත් වඩා සුදුසු දක්ෂ පුද්ගලයන් ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වීම වැළැක්වෙනවා. පක්ෂ අමතක කරලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න නම් මුලින් ඒ ආපු නියෝජිතයන් ආරක්ෂා කළ යුතුයි.

සංවාදය – අනුරාධා හේරත්