සිරුර පුරා බිබිලි නැඟෙන ‘මන්කිපොක්ස්’ ගේ දොරකඩ

0
27

කොවිඩ්  වසංගතය ලෝකය කැලඹවීමෙන් පසු දැන් නැවතත් තවත් වයිරසයක් ඒ ආකාරයෙන්ම ලොව පුරා දැඩි නොසන්සුන්තාවක් ඇති කරන්නට පටන් ගෙන තිබේ. ඒ වඳුරු උණ (Monkeypox) වයිරසයයි. රටවල් 80කට ආසන්න සංඛ්‍යාවකින් වඳුරු උණ රෝගීන් වාර්තා වී ඇති අතර ලංකාව ආසන්නයටමද මේ වනවිට  එය පැමිණ ඇත. ඒ ඉන්දියාවෙන් මෙම රෝගීන් සිවුදෙනකු වාර්තා වීමත් සමඟිනි. වැඩි කල් නොගොස්ම ලංකාවෙන්ද වඳුරු උණ රෝගීන් හමුවීමට බොහෝ දුරට ඉඩ තිබේ. මේ වනවිට ආසියාවේ තවත් රටවල් සහ කලාප කිහිපයකින්ම මෙම රෝගීන් වාර්තා වී ඇත.

තායිලන්තය, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිවානය, ජපානය වැනි රටවල් ඒ අතර වේ. වසංගත පිළිබඳ විශේෂඥයන් පවසන්නේ ඉදිරියේදී වඳුරු උණ ආසියාව සිසාරා පැතිරෙනු ඇති බවයි. මේ වනවිට වැඩි වශයෙන්ම ආසාදිතයන් වාර්තා වන්නේ ඇමරිකාවෙන් සහ යුරෝපා රටවලිනි. නමුත් ඉදිරි සතිවල ආසියාවේ රටවලින්ද වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වීමට පටන් ගනු ඇති බව සිංගප්පූරුවේ විශේෂඥ වසංගතවේදියකු වන හූ යූං කියාන් පවසා තිබිණි.

මේ වනවිට වඳුරු උණ වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයද සිටින්නේ දැඩි අවධානයෙනි. එය ගෝලීය සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් (Global Health Emergency) ලෙස ප්‍රකාශයට පත් කිරීමට පවා ඔවුන් පියවර ගෙන තිබේ.  ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇති ඇමරිකාව ජාතික වශයෙන්ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව සඳහන් වේ.

මෙම රෝගය වඳුරු උණ යනුවෙන් හැඳින්වෙන්නේ එය මුලින්ම හඳුනා ගන්නා ලද්දේ වඳුරන් තුළින් වීම නිසාය. එම වඳුරන් විද්‍යාගාරයක රඳවා සිටියවුන් බවද සඳහන් වේ.  1958 වසරේ මෙම වයිරසය මුල්වරට හඳුනාගන්නා  ලද්දේ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක් විසිනි. කෙසේ නමුත් මෙය දැකිය හැකි වන්නේ වඳුරන් අතර පමණක් නොවේ. ලේනුන් මීයන් වැනි සතුන් අතරද මන්කිපොක්ස් විශාල වශයෙන්  පැතිරෙන බව සොයාගෙන තිබේ. මිනිසුන් අතරින් එය මුල්වරට සොයාගෙන තිබුණේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙනි. ඒ 1970 වසරේදීය. එහිදී වයිරසය හඳුනාගෙන තිබුණේ මාස 9ක් වයසැති බිලිඳෙකු තුළිනි. 

මන්කිපොක්ස් වයිරසය අයත් වන්නේ වසූරිය බෝ කරන වැරියෝලා වයිරසය අයත් වන වයිරස කාණ්ඩයටමයි. මෙම වයිරසය සාමාන්‍යයෙන් පැතිරෙන්නේ අප්‍රිකානු රටවලය. මෙවර එය යුරෝපය වැනි කලාපවලද බහුල වශයෙන් පැතිරෙන්නට පටන් ගත්තේ මන්ද යන්න තවමත් වසංගතවේදීන්ට ප්‍රහේලිකාවක් වී ඇති බව පෙනේ මන්කිපොක්ස් වයිරසයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් ඇති අතර ඒ බටහිර අප්‍රිකානු ප්‍රභේදය සහ කොංගෝ ද්‍රෝණි ප්‍රභේදය යනුවෙනි. මේ අතරින් වඩාත් භයානක වන්නේ කොංගෝ ප්‍රභේදයයි. එය සියයට 10 ක පමණ මරණ අනුපාතයක් පෙන්වන ප්‍රභේදයකි. නමුත් වාසනාවකට මෙන් මෙවර වැඩි වශයෙන් පැතිරෙමින් ඇත්තේ බටහිර අප්‍රිකානු ප්‍රභේදය බව සඳහන් වේ. එහි මරණ අනුපාතය සියයට 1 ත් 3 ත් අතර අගයක් ගනියි.

මෙවර වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති යුරෝපයෙහි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ සමලිංගික චර්යාවන් පෙන්වන පිරිමින් අතරින් වීම විශේෂත්වයකි. රෝගීන්ගෙන් සියයට 98 ක් පමණ එවැනි පුද්ගලයන් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. රෝගය සාමාන්‍යයෙන් පැතිරෙන්නේ සමීප ස්පර්ශයෙන් සහ ආසාදිතයන්ගේ ඇ¾දුම් තුවා, ඇඳ, ඇතිරිලි වැනි දේ හරහා වුවත් එය ලිංගික වශයෙන් පවා සම්ප්‍රේෂණය වන්නේද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව තිබේ. නමුත් මෙය තවමත් නිශ්චිත වශයෙන් තහවුරු වී නැත. කෙසේ හෝ වේවා ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි. එනම් සබඳතා පවත්වන සහකරුවන් ගණන හැකි තරම් සීමා කරන ලෙසයි. ඒ තුළින් රෝගයේ පැතිරීම යම් දුරකට පාලනය කිරීමට හැකිවනු ඇති බව එම සංවිධානයේ විශ්වාසය වී තිබේ.

ව¾දුරු උණ රෝගයේ මූලික රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, ඇඟපත වේදනාව, අධික තෙහෙට්ටුව ආදියයි. නමුත් මේ අතර සිරුර පුරා බිබිලි හෝ දද මතු වීම ද සිදුවිය හැකිය. මෙම බිබිලි පැපොල රෝගයේදී ඇති වන බිබිලිවලට සමාන ස්වරූපයක් ගනියි. සාමාන්‍යයෙන් සති දෙකක් වැනි කාලයක් තුළ රෝග ලක්ෂණ පහව යන බව සඳහන්ය. නමුත් ද්විතීයික ආසාදන ඇති වුවහොත් තත්ත්වය බරපතළවේ. නියුමෝනියාව, එන්සෙපලයිටිස් වැනි තත්ත්වයන් පවා එහිදී ඇති වීමට පිළිවන. මැයි මාසයේ සිට මේ දක්වා රෝගීන් පස් දෙනකු මරණයට පත්ව තිබේ. මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 18000 ඉක්මවා ඇත. රෝගය වැලඳෙන අයගෙන් සියයට 10ක් පමණ රෝහල්ගත කිරීමට සිදුවන  බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සනත් වික්‍රමගේ