ශ්‍රී ලංකාව සීග්‍ර උද්ධමනයක

0
31

ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ජාත්‍යන්තර සහාය ලැබීම තවදුරටත් පමා වන්නේ නම් ඉදිරියේදී ආර්ථිකය හකුළුවා දමා දේශීය ක්‍රමයකට ප්‍රශ්න කළමනාකරණය කරගැනීමට සිදුවනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන නිශ්චිත සාර්ව ආර්ථික සැලසුමක් ඉදිරිපත් කරන ලෙස දිගින් දිගටම කළ අවධාරණයට ශ්‍රී ලංකා රජය නිසි සැලකිල්ලක් නොදැක්වීමෙන් මෙම තත්ත්වය නිර්මාණය වී යැයි ආචාර්ය දුනුසිංහ චෝදනා කළේය.

රජයේ මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්තිය, ආනයන අපනයන හා විදේශීය වෙළෙඳාමට අදාළ ප්‍රතිපත්ති ගැන නිසි වැඩසටහනක් බලධාරින් ඉදිරිපත් කර නැතැයි කී හෙතෙම කුණාටුවකට පෙර පවතින නිශ්චලත්වය තුළ ආණ්ඩුවත්, විපක්ෂයත් දේශපාලන සූදුවක නිරතව සිටීම කනගාටුවට කරුණක් යැයි පැවැසීය.

කවර සාම්ප්‍රදායික මිත්‍රකම් පැවැතියද සාර්ව ආර්ථික වැඩපිළිවෙළක් නිශ්චිතව නැති රටකට ජාත්‍යන්තර වශයෙන් සහාය නොලැබෙන්නේ යැයිද ඊට හොඳම උදාහරණය තෙල් සඳහා ණය දීමට ඉන්දියාව හැර කිසිදු රටක් ඉදිරිපත් නොවීම යැයිද ඒ මහතා කීවේය.

මේ අතර ජුනි මාසය ආරම්භ වනවිට සියයට 54.6ක්ව පැවැති  උද්ධමනය ජූලි මාසය ආරම්භ වනවිට 58.9ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද එයින් සාමාන්‍ය මහජනයාට ජීවන වියදම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ආචාර්ය දුනුසිංහ පෙන්වා දුන්නේය.

උද්ධමනය සියයට 10 ඉක්මවීම ඉහළ උද්ධමන තත්ත්වයක් යැයිද මේ වසරේ ආරම්භයේ සිටම එය අඛණ්ඩවම සිදුවීමෙන් මිනිසුන්ගේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඇති හැකියාව වේගයෙන් කඩාවැටුණේ යැයිද ඔහු පැවැසීය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රජය වහා සමාජයේ පහළ ස්තර නියෝජනය කරන ජනයා ඉලක්ක කරගත් සහන වැඩසටහන් කඩිනමින් ආරම්භ කළ යුතුව ඇතැයිද පාර්ලිමේන්තුවේ නව වාරයක් ආරම්භ කරන ජනාධිපතිවරයා මේ කරුණු ගැන නිශ්චිතව රටට වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු යැයිද ආචාර්යවරයා අවධාරණය කළේය.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය මේ වසරේ ජුනි මාසයේදී සියයට 58.9ක් වශයෙන් වාර්තාවී ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 45.3හි සිට 2022 ජුනි මාසයේදී සියයට 58.9ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් හි සිදු වූ මාසික ඉහළ යෑම් වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා බලපා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 මැයි මාසයේ සිට ජුනි මාසයේදී පිළිවෙළින් සියයට 58.0හි සිට සියයට 75.8 දක්වා ඉහළ ගොස් ඇත.

2022 මැයි මාසයේ සියයට 34.2ක් වූ ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේදී සියයට 43.6 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මෙම කාලයේදී සහල්, එළවළු, මාළු, සීනි, කිරිපිටි, කරවල මිල ගණන් මෙන්ම පෙට්රල්, ඩීසල් සහ බස් ගාස්තු, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තු හා ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි මිල ගණන් ඉහළ ගොස් ඇති බව එම දත්ත වාර්තා සඳහන් කරයි.

ජාත්‍යන්තර සංඛ්‍යා ලේඛන සැසඳීමේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය දෙවැනි වන්නේ ලෙබනනයට පමණක් යැයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලාංකික ජනතාවට එමඟින් එල්ල වන බලපෑම පිළිබඳ දැඩි කනස්සල්ලට පත්ව ඇති බව පවසන ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු නව මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව පසුගියදා (28දා) නිවේදනය කළේය.

ආර්ථික ස්ථාවරත්වය ගැන අවධානය යොමු කරමින් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූ ආමන්ත්‍රණය එහිදී අත්‍යවශ්‍ය බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම දුප්පත් පවුල්වලට අවශ්‍ය සහාය ලැබෙන්නේද යන්න විමසා බැලීමට ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණය කරන බවත් එහි සඳහන් වේ.

මේ අතර මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා චීනය ලබා දෙන සහායට ලංකා රජය කෘතඥ වන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන පවසද්දී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු කාර්යාංශයේ ප්‍රධානි සමන්තා පවර් ඉන්දියාවේදී දේශනයක් කරමින් පවසා තිබුණේ ශ්‍රී ලංකාව බංකොලොත් වීමට බලපාන හේතු අතර චීන ඵලදායී නොවන ව්‍යාපෘති සහ ණය ගනුදෙනු ප්‍රධාන හේතුවක් බවයි.

ශ්‍රී ලංකාවේ අර්බුදයට ඉන්දියාව ලබා දෙන සහාය අගය කරන බවත් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ සහායට චීනයෙන් පිළිතුරු ලැබී නැති බවත් සමන්තා පවර් මහත්මිය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

බිඟුන් මේනක ගමගේ