වෘකයෝ මිනී මරති ආණ්ඩුව හාවුන් ලුහුබඳී

0
42

රටේ ජනතාව පෙළන අර්බුදයට විසඳුම් සොයනවා වෙනුවට අවසන් වරට පැවැති පාර්ලිමේන්තු සභා වාරයේදී මුළු කාලයම වෙන් වූයේ ත්‍රස්තවාදය, සාමකාමී විරෝධය, අරගලය, යන වචන පිළිබඳව මැති ඇමැතිවරුන්ගේ දේශන පැවැත්වීම සඳහාය. මෙය ඉතා හාස්‍යජනක සිද්ධියක් නොව ඛේදජනක සිද්ධියකි.

රටේ ජනතාව අතිශයින්ම අසරණ තත්ත්වයකට පත්ව සිටිති. අලුත්ම ප්‍රවණතාව වී තිබෙන්නේ ප්‍රශ්නවලින් හෙම්බත් වී සිටින ජනතාව ඉදිරියට නීතිය දමා බිය ගැන්වීමය. දැන් සාගින්දර මදිවාට කිසියම් මොහොතක මොකක් හෝ කරුණක් අල්ලාගෙන ආරක්ෂක අංශ ‍ෙදාරට තට්ටු කරාවි යැයි බියෙන් සිටීමට ජනතාවට  සිදුවී ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර ජන්දයෙන් හදිසි නීතිය බලාත්මක කිරීම අනුමත කර ගන්නා ලදී. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබීම නිසා තමන්ට ඕනෑම දෙයක් කළ හැකි යැයි ආණ්ඩුව සිතා සිටින බව පෙනේ. එසේ සිතීම ම අත්තනෝමතිකය.

මේ දිනවල රටේ ජනතාවගෙන් මිලියනයකට වැඩි පිරිසක් දිවා රැය ගත කරන්නේ ඉන්ධන පෝලිම්වලය. දින ගණන් දැඩි ආතතියකින් පසුවන ජනතාව පෝලිම්වල අසාධාරණයක් සිදුවූ විට කලහ ඇති කර ගනිති. සියල්ල අරගලයෙහි ප්‍රතිඵල ලෙස හ¾දුන්වන ආණ්ඩුව තත්ත්වය මැඬපැවැත්වීම සඳහා මර්දනය දැඩි කළ යුතු බව යෝජනා කරයි. ජනාධිපති රනිල් එම පිරිසට අත්‍යවශ්‍ය සාධකයක් වී තිබෙන්නේ ගෝඨාභය නොකළ දඩයම් ඔහු ලවා කර ගැනීමටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ වෙලාවේ පොහොට්ටුවෙන් ලකුණු වැටෙන්නේ ඔහුගේ පෙර වැරැදිවලටය. රට අගාධයේ පත්ලට ඇද දැමීමේ සැබෑ වගඋත්තරකරුවන් ජයග්‍රාහකයන් වී ඇති අතර සාමකාමී විරෝධය දැක්වූ පිරිස් විත්තිකරුවන් වී තිබේ. ආණ්ඩුව ප්‍රශ්න කතා කරන පිරිස් පසුපස ලුහුබඳිමින් සිටී.

සමහරු හැසිරෙන්නේ සාමකාමීව තිබූ රටක් අරගලයක් නිසා අගාධයට වැටුණු ගානටය. මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් ලෙස රටම දන්නා දේශපාලකයෝ කුඩුකාරයන් යැයි තරුණයන්ට චෝදනා කරති. පාතාල කල්ලි රජ වී ඇත. ආණ්ඩුව හාවුන් පසුපස ලුහුබඛදිද්දී  වෘකයෝ මිනී මරති.

ඉකුත් බ්‍රහස්පතින්දා පමණක් මහමඟ වෙඩි තබා මරා දැමූ මිනිසුන් සංඛ්‍යාව 5කි. පසුගිය සති තුනකදී 13 දෙනෙක් ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන ලදී. අපරාධකරුවෝ නිදැල්ලේය. සැබෑ ත්‍රස්තවාදය දෙස හොරැහින්වත්  නොබලන බලධාරීහු, නැති ත්‍රස්තවාදයක් ගැන විකාර ‍ෙදාඩවති. ආණ්ඩුව ආණ්ඩු කරන්නේ නැත්නම්, ජනතාවගේ දැවෙන  ප්‍රශ්නවලට විස¾දුමක් ලබා නොදේ නම් රටේ ජනතාව මේ අවනඩුව කියන්නේ කාටද. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් කොළඹ නගරයට පැමිණ කිව්වේ කුමක්දැයි ආණ්ඩුවට වැටහුණු බව නොපෙනේ.

ජනාධිපති මන්දිරයේ ඇඟිලි සලකුණු සටහන්ව තිබෙන කිසිවකුට හෝ ඔවුන්ගේ පවුල්වල අයට හෝ ආණ්ඩුවේ රැකියා නොදෙන බව හිටපු ඇමැති සරත් වීරසේකර කියා තිබේ. අප දන්නා තරමින් මේ රටේ කිසිවකු  වීරසේකරගෙන් රස්සා ඉල්ලන්නට ගොස් නැත. ඇඟිලි සලකුණු බලා රැකියා දෙන වීරසේකරගේ රැකියා බැංකුව තිබෙන්නේ කොහේදැයි අප දන්නේ නැත. රටේ ජනතාව සරත් වීරසේකර ඇමැතිකමෙන් පන්නා දැම්මේ රස්සාව හරියට නොකළ නිසාය. දැන් කටමැත දෙඩවීමේ තේරුමක් නැත.

කවුරු කවුරුත් සෙල්ලම් කරන්නේ මිලියන 22ක ජනතාවගේ ජීවිත සමඟය. ඇමැතිවරු, ජනාධිපතිවරු, අගමැතිවරු, දිවුරුම් දෙති. තම පන්තියේ ගජ මිතුරන් සමඟ ප්‍රියසාද පවත්වති. ජනතාවගේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඉන් ඔබ්බට යමක් සිදුවන බවක් නොපෙනේ.

ඇමරිකන් සංවර්ධනයේ ඒජන්සියේ සමන්තා පවර් ඇතුළු ජාත්‍යන්තර ආයතනවල නායකයෝ ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වති. අපේ රටේ නායකයෝ ප්‍රියසාද පවත්වමින් ආණ්ඩුවට එරෙහිව නැඟෙන ජනමතය මර්ධනය සඳහාත් බලය තහවුරු කරගැනීම සඳහාත් ක්‍රමෝපායයන් සාකච්ඡා කරමින් සිටිති.