විශ්වයේ බිහිසුණුම විලෝපිකයා Predator පුනරාගමනය! PREY

0
182

1987 වසරේ කරළියට පැමිණි “Predator (විලෝපිකයා)’ සිනමාපටය ලොවපුරා රසිකයන් විශාල පිරිසක් වැලඳගත් ජනප්‍රිය ගණයේ ඇක්ෂන් – ඒලියන් ටයිප් එකේ හොලිවුඩ් චිත්‍රපටයක්. හොලිවුඩ් සුපිරි නළු ආනෝල්ඩ් ස්වාසනගර් විසින් එහි ප්‍රධාන චරිතය රඟපෑ අතර, එකල විශාල ආදායමක් සහ විචාරකයන්ගේ නොමඳ ප්‍රශංසාවට ලක්වන්නට හැකි වූවා. “Predator චිත්‍රපට මාලාවේ පළමුවැන්න මෙය වූ අතර, “Predator ‐ 2 (1990), “Predator ‐ 3 (2010), The Predator (2018)යන චිත්‍රපට මෙහි මීළඟ කොටස් ලෙසින් තිරගත වුණා. ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම විසින් නිර්මිත චිත්‍රපට මාලාවක් වූ Predator එම සමාගම විසින්ම නිර්මාණය කෙරුණු Alien චිත්‍රපට මාලාව සමඟ Predator චරිතය මුසුකළ Alien vs. Predator (2004) සහ Aliens vs. Predator:Requiem (2007) යන චිත්‍රපටද එක් කළ විට එකම චිත්‍රපට මාලාවක් (Movie Franchise) ලෙසද සැලකිය හැකියි.

අට වසරක් නිහඬව සිටි “Predator” නමින් හඳුන්වනු ලැබූ දේහධාරීවූත් මාරාන්තිකවූත් පිටසක්වළ ජීවියා නැවතත් පෘථිවිය මත පා තබන්නේ 2018 වසරේ තිරගත වුණු “The Predator” චිත්‍රපටයත් සමඟය. නමුත් එය ආදායම් අතින් සහ විචාරකයන්ගෙන් එතරම් සාර්ථක ප්‍රතිචාරයක් ලබාගත්තේ නැත.  වසර හතරකට පසු මේ බිහිසුණු විලෝපිකයාගේ යළි පුනරාගමනය සිදුවන්නේ “Prey” (ගොදුර) නමින් අගෝස්තු පස්වැනි දා Hulu හරහා Strreaming වන්නට නියමිත නවතම චිත්‍රපටයත් සමඟය. මෙතෙක් පැමිණි “Predator” චිත්‍රපට මාලාවට සාපේක්ෂව Prequel එකක් විදියට එන “Prey” චිත්‍රපටය සහමුලින්ම වෙනස් වූ කතාවක් අන්තර්ගත වන බව සාක්ෂි සපයන්නේ දැනටමත් අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති “Prey” චිත්‍රපටයේ Official Trailer යේ රූපරාමුය. මෙවර ප්‍රිඩේටර්ගේ ආක්‍රමණය සිදුවන්නේ වර්ෂ 1700 වැනි පැරණි කාලයකය.

එනම් අවුරුදු 300කට පෙර ඇමරිකානු භූමියේ විසූ ස්වදේශික රතු ඉන්දියානුවන් විසූ යුගයකයි. ඒ අනුව මිනිස් දඩයමේ විශේෂඥයකු වන මාරාන්තික “Predator” විලෝපිකයා මෙවර ශක්තියෙන්, බුද්ධියෙන් මෙන්ම භයානක අතින්ද මින් පෙර චිත්‍රපට මාලාව තුළ දුටු Predatorට වඩා ඉහළ බව කියවෙන අතර විශ්වයේ දස දෙස සැරිසරා අනෙකුත් ජීවීන්ගේ ජාන හා ස්වකීය ජාන මුසු කර ගනිමින් වඩාත් දියුණු අවි ආයුධ අතින් සන්නද්ධ සත්ත්වයකු බවට පත් වී ඇත.

මිනිස් දඩයමට ශූර බිහිසුණු ප්‍රිඩේටර් ජීවියාගේ පුනරාගමනය මනුෂ්‍ය සංහතියම විනාශය කරා රැගෙන යෑම වැළැක්වීමට පෙළගැසෙන මෙවර වීරයන් වන්නේ ඇමරිකාවේ ස්වදේශිකයන් වන රතු ඉන්දියානු කොමාන්චේ ගෝත්‍රිකයන් පිරිසකින් සැදුම්ලත් “නාරු” නමින් හඳුන්වාගත් තරුණ කාන්තා රණශූරියකගෙනි. ඒ අනුව මෙවර ප්‍රිඩේටර්ගේ ප්‍රතිවාදියා තරුණ දඩයක්කාරියක් බවට පත්වනවා ඇත. එමෙන්ම ප්‍රිඩේටර්වරුන් මුලින්ම පෘථිවිය කරා පැමිනුණ ආකාරය ගැනත් එය සිදුවුයේ ඇයිද යන්නත් සහ මෙම මාරාන්තික පිටසක්වළ ජීවීන්ගේ ස්වභාවය සහ හැසිරීම් පිළිබඳ තොරතුරු රාශියක් පිළිබඳ මෙවර “Prey”  චිත්‍රපටය හරහා දැකබලාගන්නට හැකියාව ලැබෙනු ඇත.

“Prey” අධ්‍යක්ෂණය කරන්නේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වන “10 Cloverfield Lane (2016)” චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම හරහා ප්‍රේක්‍ෂක අවධානය දිනාගත් ඩැන් ට්‍රැච්ටන්බර්ග් (Dan Trachtenberg) විසින්. ඩැන් විසින් අධ්‍යක්ෂණය කරන දෙවන වෘතාන්තමය චිත්‍රපටය “නපඥර” වන අතර පැටි්‍රක් අයිසන් විසින් “නපඥර” තිරපිටපත රචනා කරන ලද අතර මෙහි Amber Midthunder(The Ice Road,Bunshee), Dakota Beavers, Dane DiLiegro, Stormee Kipp, Michelle Thrush සහ Julian Black Antelope ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් චරිතවලට පණ පොවති.

“Prey”  සම්පූර්ණයෙන්ම පාහේ රූගත කර ඇත්තේ කැනඩාවේය. සුපුරුදු පරිදි “Prey”  නිෂ්පාදනය කරන්නේ ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගමයි. “Prey” චිත්‍රපටය සිනමාශාලාවන්හි තිරගත නොවන අතර විකාශනය වන්නට නියමිතව ඇත්තේ “Hulu” සහ Disney + ඇතුළු Streaming සේවාවන් හරහාය. ප්‍රධාන වශයෙන් ලොව පුරා බෙදාහරිනු ලබන්නේ “HULU”  ආයතනය විසිනි. “Predator” චිත්‍රපට මාලාවට තද සේ ඇලුම් කරන්නන්ට වෙනස්ම විදියේ සහ බලාපොරොත්තු සහගත බිහිසුණු සහ ක්‍රියාදාමවලින් පරිපූර්ණ Predator චිත්‍රපටයක අත්දැකීමක් අගෝස්තු පස්වැනිදා ලබාගන්නට පුළුවන් වෙන බව නම් නිසැකයි

මලින්ත විතානගේ