රුවන්වැලි සෑයේ මංගල තේවාව ගහපු අසුරනාද පරපුර සොයා රිදීගමට ගිය ගමන

0
29

ආතත, විතත විතතාතය හා ඝනය සුෂිරය යන භාණ්ඩ වාදනයත් නර්ථන සම්ප්‍රදායන්වල කෙළ පැමිණි (සියලු දේ දැනගත්) ශිල්පීන් ගාන්ධර්ව කුලයේ ඇත්තන් ලෙස පැවසිය හැකිය.

සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යය යනු ඒ ගාන්ධර්වයන් කලඑළිබසින මංගල්‍යයක් යැයි පැවැසියහොත් එය අතිශයෝක්තියක් නොවේ. මන්ද ඒ දර්ශනය පෙරහර නරඹන්නන්ගේ සිත්සතන් තුළ සදානුස්මරණීය ලෙස තැන්පත් වී තිබීමය.

අතීත රජ දවස සිට ඇසළ පෙරහර සඳහා නැට්ටුවන්, බේරිවාදකයන් ලෙස එක් වූයේ සාම්ප්‍රදායික නර්තන වාදන ගුරුකුලවල ඇත්තන් පමණි. මොවුන්ගේ ශිල්පීය දක්‍ෂතා කෙබඳුදැයි කිවහොත් එවකට රාජ්‍ය විචාල සෙංකඩගල රජවරු ඔවුන්ට තාන්න මාන්න, නින්දගම් පවා ලබාදුන් බව ඉතිහාසයේ සඳහන් වේ.

දළදා මාලිගාවේ පෙරහරට සම්බන්ධ වන ඉහළවෙළ, පහළවෙළ, උඩවෙළ හා මාලගම්මන යන සාම්ප්‍රදායික ගුරුකුලයන් ඇසළ පෙරහරේ ශිල්ප දක්වන අසිරිය වදනින් කිව නොහැකි තරම්ය.

මෙසේ වැයෙන දළදා හේවිසිය අතරේ පොකුරු බෙරය (තම්මැට්ටම) වාදනය කරමින් දළදා වීදිය ඔස්සේ ඉදිරියට ඇදෙන බේරිවාදකයන් පිරිසක් බුදුන් උදෙසා බුදුගුණ වයමින් ඇසළ පෙරහරේ ශ්‍රී  දළදා මාලිගා පෙරහරේ නර්තනයේ යෙදෙන්නේය.

“තක්ක තරිගු තරිගු තකට තකජිගු ගත තරිගු තා

කිට ජිමි කිට විජිමි විජිමි විජිමි විජිමි ද්‍රවුඩ තා

කිත්ත තිකරි කිතර කොතරි කඩතක තිතෙයි ජෙංයඩතා

ඉන්ද්‍ර දිගට හිමියූ අමර භාගවතෝ හට වන්දිතා”

බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු දෙවියන් ප්‍රධානව නමස්කාරය සඳහා ලොව අටකොණින් පැමිණි ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයන් එලෙස බුදුන් වහන්සේ නමස්කාර කළ බව අතීත කතාපුවත්වල සඳහන් වේ. වර්තමානයේ ඒ බුදුගුණ පදය වයන්නේ දිවයිනේ එකම එක ගුරුකුලයයි. ඒ අසුරනාද පණික්කි පරම්පරාවේ බේරිවාදකයන් පමණි.

දුටුගැමුණු රජුගෙන් ලෝකඩ තම්මැට්ටම වැයීමට රාජවරම් ලත් අසුරනාද පරපුර සොයා පසුගියදා ‘මව්බිම’ අපි වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම නම් සොඳුරු ගම් පියසට පිවිසුණෙමු.

අසුරනාද වර්ණසූරිය සේසුන්දරා (කළු කොල්ලා) ගුරුතුමන්ගේ පරම්පරාවේ තුන්වැනි පුරුක අද වන විට ගුරුකුලයේ නාමය බබළවාලමින් සිටී. ඔහු නමින් සුජිත් ආනන්ද වර්ණසූරියයි. හේවිසි කලාව ඔහු හඳුන්වන්නේ සුජිත් ආනන්ද කියායි.

“අපි රිදීගම විහාරයේ ලෝකඩ තම්මැට්ටම ගහපු පරම්පරාවේ අය. රිදීගම නම වැටුණේ අනුරාධපුර යුගයේ, දුටුගැමුණු රජතුමාගේ රජ දවසෙයි. රුවන්වැලිමහාසෑයේ වැඩ නිම කරන්න එදා අපේ ගමින් හමුවුණු වටිනා ලෝහ ගොබයක් (රිදී කඳක්) ලැබුණු සතුටට ගැමුණු රජතුමා ඒ කාලේ රනින් රිදියෙන් රිදී විහාරයට පිළිම පූජා කළා. ශබ්ද පූජාව පැවැරුණේ අසුරනාද පරපුරට. මගේ මුතුන් මිත්තෝ ලෝකඩ තම්මැට්ටම වාදනය කළා. අන්තිමට වාදනය කළේ මගේ කිරිඅත්තා. සේසුන්දරා ගුරුතුමා. මම එතුමාගේ අවසන් ගෝලයා.”

විමලා අසුරනාද හා අසුරනාද පණික්කියලාගේ අසුරනාද යන දෙපළගේ වැඩිමහල් දරුවා වූයේ සුජිත් ආනන්දය.

“කිරිඅත්තාගේ අන්තිම ගෝලයා විධියට එතුමන් දන්න ශිල්ප හුඟක් මට ඉගැන්නුවා. කොට්ට බිස්සෙන් තමයි මුලින්ම මම තම්මැට්ටම හුරු වුණේ. මේ ශාස්ත්‍රය අපට පුහුණු කළේ ශබ්දය පිටතටවත් ඇහෙන්නේ නැතිවෙන්න. කිරිඅත්තගෙන් පස්සේ මගේ තාත්තා තමයි මාව පුහුණු කළේ. තාත්තා තමයි පළමුවෙන්ම ඇසළ පෙරහරට තම්මැට්ටම් කණ්ඩායමක් අරන් ගියේ. තම්මැට්ටම බැඳගෙන විලුඹු දෙක එකට තියලා කැරකෙන ගමන් තම්මැට්ටම වාදනය කරන්න පුළුවන් එකම ශිල්පියා මගේ තාත්තා විතරයි. අපේ තම්මැට්ටම් කස්තිරම් හැදුවෙත් මගේ තාත්තා. එයා ගත්තු ජනාධිපති සම්මාන ගණන් කරන්න බැරි තරම් මහත්තයෝ” යනුවෙන් මේ අද්විතීය අසුරනාද ගාන්ධර්වයා පිළිබඳව ආනන්ද මහතා අප සමඟ පැවැසීය.

අසුරනාද ගුරුතුමා පංචතූර්ය වාදනයෙන් උපරිමයට පත් විශිෂ්ට කලාකරුවෙකි. වර්තමානයේ රිදීගම තම්මැට්ටම් කණ්ඩායම අනුගමනය කරන්නේ එතුමන් හඳුන්වා දුන් වාදන, ගායන හා නර්තන සම්ප්‍රදායන්ය. එසේම දළදා මාලිගාවේ පෙරහර තුළ රිදීගම තම්මැට්ටම් කණ්ඩායම තම්මැට්ටම සමඟ කැරකවීම ඔවුන්ට පමණක් ආවේණික වූ කස්තිරම් විශේෂයකි. ආනන්ද මහතා අප සමඟින් පැවැසුවේ එයත් අසුරනාද සිය පියාගේ නිර්මාණයක් බවයි.

“මාලිගාවේ පෙරහරට පමණයි මෙවැනි කස්තිරමක් අපි නටන්නේ. අනික් කිසිදු පෙරහරක පින්කමක මෙවැන්නක් අපි කරන්නේ නැහැ. අපි එහෙම රඟදක්වන්නේ දළදා වහන්සේට කරන පූජා උපහාරයක් විදිහට. අපි මාලිගාවේ පෙරහරේ දක්වන බොහෝ අඩව්, කස්තිරම් අනිත් පෙරහර, පින්කම් අඩුම තරමේ වට හේවිසියකටවත් යොදා ගන්නේ නැහැ.”

සුජිත් ආනන්ද මහතා පවසන්නේ තමන් ඇතුළු හේවිසි කණ්ඩායම පේවී දළදා සත්කාරය සිදුකරන බවයි. ශිල්පියා උඩබැලි අතට හිඳ තම්මැට්ටම වාදනය කිරීමේ ශිල්ප ක්‍රමය මෙන්ම එම ඉරියව්වේම මඳක් එසෙවෙමින්  තම්මැට්ටම වාදනය කිරීමේ ක්‍රමයක් තිබේ. මෙම දක්‍ෂතාව බොහෝ විට ඔවුන් දක්වන්නේ මාලිගාවේ මඟුල් මඩුවේදීයි.

වර්තමානයේ ආනන්ද මහතා සතුව සිය පරපුරේ මුතුන් මිත්තන් භාවිත කළ වාද්‍ය උපකරණ වාදනයේදී භාවිත කළ ඇඳුම් ආයිත්තම් සුරක්‍ෂිතව තැන්පත් කොට ඇත. ඒ මහතා පැවැසුවේ පරම්පරාවෙන් ලද උරුමයන් තමන් දිවිහිමියෙන් රැක ගැනීමට කැපවී සිටින බවයි.

මගේ තාත්තා මට කිව්වේ පරම්පරාව ඉදිරියට ආරක්‍ෂා කර ගන්න කියලා. මම ඒ වගකීම ඉටුකරමින් ඉන්නවා.

සිය පියා වන අසුරනාද ගුරුතුමා ඇසළ පෙරහරේ වාදනය කළ තම්මැට්ටම වාදනය කරන්නේ සුජිත් ආනන්ද මහතාය. එම තම්මැට්ටම වසර සියයකට ආසන්න පැරැණි බව ඔහු අප සමඟින් පැවැසීය.

“අපේ කිරි අත්තගේ කාලේ ඉඳලා වාදනය කරපු තම්මැට්ටම අපි මේ දක්වා ආරක්‍ෂා කරගෙන තියෙනවා. රිදීගම පරපුරේ අපේ උරුමය  තමයි මම වාදනය  කරන තම්මැට්ටමේ එදා ලෝකඩ තම්මැට්ටම වාදනය කරපු (රිදීකයිප්පුව) ඒ දෙක තවමත් මගේ තම්මැට්ටමේ රඳවලා තියෙනවා. වාදනය කරන තම්මැට්ටම දිහා හොඳින් බැලුවොත් දැනගන්න පුළුවන්.”

මෙවර ඇසළ පෙරහර වෙනුවෙන් රිදීගම පරපුරේ සිව්වැනි පරම්පරාවේ කලඑළි බැසීම සිදුවීමට නියමිතය. එනම් ආනන්ද මහතාගේ පුත්‍රයා වන මහීෂ පින්සර තරුණ ශිල්පියා මෙවර තම පරපුර නියෝජනය කරමින් ඇසළ පෙරහරේ තම්මැට්ටම වාදනය කිරීමයි. අසුරනාද පරපුරේ ශිල්පීන් වෙනුවෙන් හේවිසි භාණ්ඩ නිර්මාණය කරන්නේද ඔවුන් විසින්මය. ශාස්ත්‍රානුකූලව තම්මැට්ටමක් නිර්මාණය කිරීමට මාස තුනක් පමණ ගතවන බව ආනන්ද මහතා පවසයි.

අසුරනාද වර්ණසූරිය පරම්පරාවේ පවතින සම්ප්‍රදායක් වන්නේ ඔවුන්ගේ පරපුර දරුවකු ඉපදුණු පසු ඔහුද පරම්පරාව රැකගැනීම ශිල්ප ලබාදීමේ මූලික අඩිතාලම දැමීමය.

“අපේ පරම්පරාවේ දරුවකු ඉපදුණාට පස්සේ තම්මැට්ටම සඳහා යොදා ගන්නා කොහොඹ, ඇහැළ, වරකා වැනි ගසක් සිටුවනවා. මේ ගසේ කඳෙන් තමයි අපි තම්මැට්ටම හදන්නේ. මේ ගහ හිටුවන්නේ ඒ ඉපදුණ දරුවා වෙනුවෙන්. ඉතින් ගහ රැකබලා ගැනීමටත් දැනුම් තේරුම් ඇති දවසක එයාට බාර දෙනවා.”

ගස කපා තම්මැට්ටම සකස් කර මංගල බේරිවාදනය දක්වාම දෙවියන් බුදුන් මුල්කරගත් චාරිත්‍ර ගණනාවක් සිදුකරන බව ඒ මහතා අප සමඟින් පැවැසීය.

ගහක් කපන්නෙත් නැකැතක් බලලා. එක ගසකින් තම්මැට්ටම් කිහිපයක් හදනවා.

සුජිත් අසුරනාද වර්ණසූරිය මහතා තම්මැට්ටම් වාදනය පමණක් නොව නර්තනය, ජේ‍යාතිෂය, වාස්තු විද්‍යාව පිළිබඳ ප්‍රවීණයෙකි. එසේම රූකඩ රූපනය පිළිබඳව සම්මානලාභියෙකි.

“මම ඇසළ පෙරහරේ දක්‍ෂතම තම්මැට්ටම් ශිල්පියා විදිහට සම්මාන අරන් තියෙනවා. ඇසළ පෙරහරට මම සම්බන්ධ වන්නේ 1988 වර්ෂයේ. මගේ තාත්තායි මායි එකට පෙරහරේ වාදනය කළා. මේ පාර මගේ පුතත් පෙරහරේ තම්මැට්ම ගහනවා. මේ වන විට මම ජනාධිපති සම්මාන පමණක් 21ක් අරන් තියෙනවා.”

පෙරහර හේවිසිය පිළිබඳ අප කළ විමසීමකදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවැසුවේ උඩරට නර්තනය මුල්කරගත් පෙරහර නර්තනය සඳහා ගැටබෙරය මූලිකව අනෙකුත් හේවිසි සිදුකරන බවයි. එහිදී සාම්ප්‍රදායික උඩරට නර්තන ශිල්පීන් මෙන්ම බෙරවාදකයන් ඇසළ පෙරහරේ නිර්මාණාත්මක හා ගුණාත්මක භාවය පවත්වා ගැනීමට විශාල ශක්තියක් සහයෝගයක් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

වර්තමාන සමාජ ආර්ථික පසුබිම තුළ සියලු ක්‍ෂේත්‍ර බිඳවැටෙමින් පවතී. එසේම සාම්ප්‍රදායික කලාකරුවන්ටද මේ අභියෝගය එල්ලවී ඇත. ඇතැම් පිරිස් සිය පාරම්පරික උරුමයන් අත්හැර වෙනත් ක්‍ෂේත්‍රවල ජීවනෝපායන් වෙත යොමුවනු දැකිය හැකිය.

මේ පිළිබඳව පාරම්පරික ශිල්පියකු ලෙස සුජිත් ආනන්ද මහතාගේ අදහස පිළිබඳව ‘මව්බිම’ අපි විමසීමු.

“ඇත්තටම අද තියෙන්නේ ජීවත්වීම සඳහා ලොකු සටනක්. කොහොම වුණත් අපි අපේ පරම්පරාව රැකගත යුතුයි. අප ඒ සඳහා කැපවීම් කරන්න වෙනවා. අපි ඉපදිලා ඉන්නේ බුදුන්ට, දෙවියන්ට සේවය කරන්න. සාම්ප්‍රදායික කලාකරුවා කියන්නේ අභිමානවත් මිනිසෙක්. ඒක කවදාවත් මුදලට යට කරන්න බැහැ. අපේ මුතුන් මිත්තෝ අපට ගුරුහරුකම් දුන්නේ ඒ විදියට. පාරම්පරික කලාකරුවන් සියලු දෙනාම මේ අවස්ථාවේදී භේද ඉවත දාලා කලාවේ අනාගතය වෙනුවෙන් එකතු විය යුතුයි. මේ කලාව අපට උරුම වූ දෙයක්.

ඇසළ පෙරහරේ නර්තනයේ, වාදනයේ යෙදෙන කාලකරුවන්ගේ ජවය පෙරහර නරඹන අයකුට දැකිය හැකිය. එය අඛණ්ඩව පෙරහර අවසානය දක්වාම ඔවුන් තුළ පවතී. එසේම දින දහයක් පුරාවට ඔවුන් මේ කාර්යය සිදුකරනු ලබයි. ඒ ඔවුන්ට ලැබෙන දළදා සමිඳුන්ගේ ආශීර්වාදය, දෙවි දේවතාවුන්ගේ රැකවරණය විය යුතුය. කනගාටුවට කරුණ එය ඔප්පු කිරීමට නොහැකි වීමය. නමුත් කලාකරුවන් ඊට සාක්‍ෂි වේ.

මෙවරද ඒ සාම්ප්‍රදායික කලා ශිල්පීන් ඇසළ පෙරහරේ දළදා වීදියෙන් ආරම්භ වී නුවර වීදි සිසාරා නැටුම් ගැයුම් වැයුම් පෙන්වමින් සිය ශිල්ප දක්වනු ඇත.

ඒ අතර රිදීගම තම්මැට්ටම් පරපුරේ බුදුන් වහන්සේ උදෙසා වැයෙන බුදුගුණ පූජාපදය අසන්නට සෙංකඩගල පුර අහසේ සියලු දෙවිදේවතාවුන් සාදු නාද දෙමින් වැඩසිටිනු ඇත. ඒ දේවතාවුන් සමස්ත රටටම ආශිර්වාද කරනු ඒකාන්තය.

රිදීගමට පාර පෙන්වූ දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකයේ හිතවත් රෝහණ, සුභාෂ් යන හිතවතුන්ද මෙහිදී සිහිපත් කළ යුතුමය.

කෝකිල සමීර