රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මන්ත්‍රිවරුන්ට කියපු මැයි 9 ප්‍රහාරයේ කවුරුත් නොදන්න රහස

0
133

රනිල්ගේ පළමු

ආණ්ඩු පක්‍ෂ රැස්වීම

රනිල් ජනාධිපති ධුරයට පත්වී පළමු ආණ්ඩු පක්‍ෂ රැස්වීම පසුගිය සඳුදා මුදල් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මුලසුන දැරුවේ ජනාධිපති රනිල්ය. අගමැති දිනේෂ්ද ජනාධිපතිට සමීපව අසුන්ගෙන සිටියේය.

රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැමිණෙන තුරු ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සනත් නිශාන්ත කොරිඩෝවේ රැඳී සිටිමින් බලා සිටියහ. මුලසුන ගත් ජනාධිපති රනිල් රැස්වීමට පැමිණියේ මහින්දගේ පැමිණීමෙන් පසුවය. මුලින්ම රැස්වීම ඇමැතුවේද රනිල්ය. විෂය වූයේ රටේ ආරක්‍ෂාවයි.

මේ රැස්වීමට ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න හා බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේද කැඳවා තිබිණි.

රජයේ ගොඩනැඟිලි අල්ලා ගන්නේ ෆැසිස්ට්වාදීන්

කණ්ඩායම් රැස්වීම ඇමැතූ ජනාධිපති රනිල් ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය වටලා අල්ලා ගත්තා. මේවා සාමාන්‍ය ජනතාව කරන දේවල් නොවෙයි. ෆැසිස්ට්වාදීන් කරන දේවල්. ඒ නිසා ආරක්‍ෂක අංශවලට මම උපදෙස් දීලා තියෙනවා. අවශ්‍ය ආරක්‍ෂාව තහවුරු කරන්න කියලා. අරගලකරුවන් ඒවා වැටලූ අවස්ථාවලදී ආරක්‍ෂක අංශවල අයට පුදුම විදියේ උසුළු විසුළු අපහාස කරලා තියෙනවා. සමහරු කියලා තියෙනවා “උඹට අයිති යට ඇඳුම විතරයි. උඹ ඇඳගෙන ඉන්න ඇඳුම, සපත්තු කුට්ටම, තොප්පිය අපේ සල්ලිවලින් ගත්ත ඒවා කියලා. ඒ නිසා උඹලා අපට පාට් දාන්න එන්න එපා. අපට අත තියන්න එන්න එපා. උඹලා පැත්තකට වෙලා හිටපල්ලා කියලා තියෙනවා. ආරක්‍ෂක අංශවල අය පුදුම බාල්දු කිරීමකට පත් කරලා තියෙනවා. මේ රණවිරුවන්ගේ ජීවිත බේරී තිබෙන්නේ අනූ නවයෙන්. ඔවුන්ට පහරදී තිබෙනවා. මේවා ෆැසිට්වාදීන් කරන වැඩ යැයි දැඩි වේදනාකාරී ස්වභාවයකින් පවසා තිබේ.

අරගලය මර්දනය කරන පියවර

රාජ්‍ය දේපළවලට හානි කළපුරාවස්තු සොරකම් කළ හා විනාශ කළ සියලු දෙනාටම විරුද්ධව නීති මඟින් කටයුතු කරන්නැයි තමා අදාළ අංශවලට උපදෙස් දී තිබෙන බවත් අරගලයෙන් සිදුවන මේ ක්‍රියාමාර්ග නිසා අරගලය මර්දනය කරන්නට අවශ්‍ය පියවර ගන්නැයි ආරක්‍ෂක ලේකම්වරයාට උපදෙස් දුන් බවත් ජනාධිපති මෙහිදී මන්ත්‍රිවරුන්ට දැනුම් දුන්නේය.

තමන්ව ජනාධිපති කරවීමට ඡන්දය දුන් මන්ත්‍රිවරුන්ට රනිල් මෙහිදී ස්තූතියක්ද කළේය. පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්‍ෂට විශේෂ ස්තුතියක් කිරීමටද ඔහු අමතක කළේ නැත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපතිවරයාට පූර්ණ සහාය පළ කරන බවට හා තමන්ව අගමැති ධුරයට නම් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට විශේෂ ස්තූතියක් කෙළේය.

හදිසි නීතිය සම්මත කර දෙන්නැයි කමල් ඉල්ලයි

ජනාධිපතිවරයා කණ්ඩායම් රැස්වීමෙන් පිටව ගිය පසු ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න කරුණු දක්වමින් ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ආයතනවලට කඩා වැදී හානි කළ, භාණ්ඩ සොරාගත් අයට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව හා ඒ අය අත්අඩංගුවට ගන්නා බවට සහතිකයක් දෙමින් හදිසි නීතිය සම්මත කර දෙන්නැයි මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම කරද්දී මන්ත්‍රිවරු ඇසුවේ ගෝඨාභය ජනාධිපති ලෙස හා මහින්ද අගමැති ලෙස සිටියදී ඔය අන්දමේ ක්‍රියාමාර්ග නොගත්තේ මන්දැයි ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළේය.

මේ අන්දමේ තීරණ ඒ කාලේ නොගත්තේ ඇයිදැයි තවදුරටත් ප්‍රශ්න කළ මන්ත්‍රිවරු මෙවන් තීරණ ඒ කාලයේ නොගත්තේ මන්දැයි නැවත ප්‍රශ්න කළේය.

ඒ කාලේ දැන් වගේ මෙවැනි තීරණ ගන්න නියෝග උපදෙස් ලැබුණේ නැතැයිද ආරක්‍ෂක ලේකම්වරයා පවසමින් කියා තිබෙන්නේ එහෙම උපදෙස්, නියෝග නැතිව ආරක්‍ෂක අංශවලට වැඩ කරන්න බැරි බවයි. මේ අන්දමට උපදෙස්, නියෝග ලැබෙනවා නම් බියක් නොමැතිව වැඩ කරන්න පුළුවන් බවද ඔහු අවධාරණය කර තිබේ.

මන්ත්‍රිවරුන්ගේ ගෙවල් ගිනි තැබීම සංවිධානාත්මක කණ්ඩායමක වැඩක්

බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ පැවසුවේ ගාලුමුව‍ෙදාර අරගලයට පහර දුන් නිසා මන්ත්‍රිවරුන්ගේ ගෙවල් ගිනි තැබූ බවයි කියන්නේ. එහෙම කිව්වත් සංවිධානාත්මක පිරිසක්, සංවිධානාත්මකව මේ දෙය කළ බවට අදාළ තොරතුරු බුද්ධි අංශවලට වාර්තා කර තියෙනවා. බුද්ධි අංශවල අදාළ නිලධාරීන් ඒ තොරතුරු වාර්තා කර තිබුණත් එතැනින් එහාට මූලික කටයුතු කර නැති නිසයි මේ තත්ත්වය ඇතිවුණේ කියමින් බුද්ධි අංශ ප්‍රධානියා ඉදිරියේ වෙන්නට යන අනතුරු ගැනද දැනුම්දීමක් කෙළේය.

ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රිවරුන්ගේ ගෙවල් නැවත ගිනි තැබීමේ සූදානමක්

ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගේ ගෙවල්වලට නැවත ගිනි තැබීමේ සූදානමක් තිබෙන බවට තොරතුරු ලැබී තිබීම ආරක්‍ෂක ප්‍රධානියා අනාවරණය කළ අනතුරයි. ඒ ගැන පරෙස්සමෙන් ඔබතුමන්ලා ඉන්නැයිද ඔහු කීවේය.

සංවිධානාත්මක පිරිසක් විසින් ජනතාව ප්‍රකෝප කර එයින් ප්‍රයෝජන ගෙන ආණ්ඩුව ජනතාව මර්දනය කරන්න කටයුතු කරන බවට ජනතාව බියවද්දා, ප්‍රකෝප කරවන මෙවැනි සංවිධාන වූ පිරිසක් සමාජ මාධ්‍ය හරහා එම කාර්යය කරගෙන යන බවත් එයට අදාළ ‘පෝස්ට්’ එම මාධ්‍ය හරහා ප්‍රචාරය කරන බවත්, මේ සම්බන්ධ තොරතුරු හා පුද්ගලයන් හඳුනා ගැනීමට වෙනම කණ්ඩායමක් පත්කර තිබෙන බවද බුද්ධි අංශ ප්‍රධානියා සඳහන් කළේය.

එවැනි දේ කරන අයට එරෙහිව ගතයුතු පියවර සම්බන්ධයෙන් මේ වන විටත් නීතිපති සමඟ සාකච්ඡා කරගෙන යන බවද ඔහු අනාවරණය කළේය.

සමාජ මාධ්‍ය හරහා ජනතාව ප්‍රකෝප කරවන හා නොමඟ යවන, නීති විරෝධීව කටයුතු කරන අයට එරෙහිව නීති මඟින් කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කරුණු දැක්වීය.

ගෙවල් ගිනි තිබ්බේ

හදිසි නීතිය තිබියදී

එම නිලධාරීන් දෙදෙනාගේ කරුණු පැහැදිලි කිරීම්වලින් අනතුරුව මධුර විතානගේ පසුගිය මැයි 09 වැනිදාත් මේ රටේ හදිසි නීතිය තියෙනකොට තමයි අපේ ගෙවල් ගිනි තිබ්බේ. අතුකෝරාල මන්ත්‍රිවරයා මැරුවේ. ඒ හදිසි නීතියයි මේ හදිසි නීතියයි දෙකක්ද? ඇසීය.

ඊට උත්තර දුන් ආරක්‍ෂක ලේකම්වරයා මැයි 9 වැනිදා වන විට තිබූ හදිසි නීතියේදී හමුදාව යොදා ගැනීමේ ගැටලුවක් තිබුණා. මෙවර ආරක්‍ෂක අංශවලට අවශ්‍ය බලතල ලබාදී තියෙනවා ඔහු පෙන්වා දුන්නේ එදා පාලනයේත්, මෙදා පාලනයේත් වෙනස ගැනයි. හැබැයි ඒ පාලන කාල දෙකේම ආරක්‍ෂක ලේකම් තමයි මේ කථාව කියන්නේ.

රඹුක්කන සිද්ධියෙන් පසු පොලිසිය තනි වුණා

රඹුක්කන සිද්ධිය ගැන කරුණු දැක්වූ කනක හේරත්, පොලිසිය එම ගැටුම විසඳන්න උපරිමයෙන් මැදිහත් වුවත් සිද්ධියෙන් පසුව පොලිසිය රැක ගැනීමට කිසිවකු නෑ කියයි. ඒ බිඳ වැටීම නිසා දිගින් දිගටම ගැටලු මතුවුණා. ජනාධිපති නීතිඥවරු කීපදෙනෙක් රඹුක්කන සිද්ධියෙන් පසු මට කතා කළා. ඒ අය කිව්වේ ගෝඨාභය ජනාධිපති අයින් වුණාට පස්සේ මේ අරගලය නතර වෙනවා කියලා. මේ වන විට ඒ ජනාධිපතිතුමා අයින් වෙලත් තාම සමහරු අරගල කරනවා. ජයන්ත වීරසිංහ මන්ත්‍රිවරයා කීවේය.

සරත් වීරසේකර හිටපු ඇමැති කීවේ අගෝස්තු 09 වැනිදා යළි කොළඹට අරගලකරුවන් පැමිණීමේ අවදානමක් පවතිනවා. ඊට එරෙහිව පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා.

සමාජ මාධ්‍ය හරහා

කරන තර්ජන

සමාජ මාධ්‍ය හරහා මන්ත්‍රිවරුන්ට තර්ජනය කිරීම ගැන කරුණු දැක්වූ සුමිත් උඩුකුඹුර, සමහරු ෆේස්බුක්වල දාලා තිබුණා රනිල්ට ඡන්දය දීලා මන්ත්‍රිවරුන්ට ගමට එන්න දෙන්න එපා කියලා. එහෙම ප්‍රසිද්ධියේ කියපු අයට විරුද්ධව ආරක්‍ෂක අංශ පියවර අරන් තිබෙනවාදැයි ප්‍රශ්න කළේය. බුද්ධි අංශ ප්‍රධානියා කීවේ ඒ අය හඳුනාගෙන තිබෙන බව හා ඔවුන් පිළිබඳ අවශ්‍ය තොරතුරු පොලිසියට ලබාදී තිබෙන බවයි.

පොලිසිය ඔය ගැන කිව්වට මොකුත් වෙන්නේ නෑයි මහින්ද අමරවීර කිණ්ඩියට වගේ කීය. මෙයට අදාළව කතා කළ රංජිත් බණ්ඩාර සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රිවරුන්ට තර්ජනය කරන එම මාධ්‍ය පිටුවල නම්, ඒවායේ හිමිකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය කළේය.

මෙහිදී ජනාධිපතිවරයා නැවත වාරයක් සහතික කළේ රට තුළ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට ගතයුතු සෑම පියවරක්ම ගෙන ඇති බවයි.

අරගලකරුවන් පැන්නීම ගැන රනිල් හේතු කියයි

ජාත්‍යන්තර වශයෙන් රනිල්ගේ වැඩි සබඳකම් පවතින්නේ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟය. අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය ගැන වැඩිපුරම උදහසට ලක්වූයේ ඔහුගේ එම මිතුරු රටවල නායකයෝයි. රනිල් ඔවුන් තරහ කරගත්තේ නැත. එම රටවල ශ්‍රී  ලංකාවේ සිටින තානාපතිවරුන් ඇතුළු ප්‍රධානින් කැඳවා අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල බිමෙන් මහ රෑ පන්නා දැමීමට හේතු කියන්නට විය. එහිදී ඔහුගේ ප්‍රධාන වාක්‍යය වූයේ ‘විරෝධතා පුළුවන් _ ප්‍රචණ්ඩත්වය බෑ’ යන්නයි.

ඔහු ඒ වචන කිහිපය කියන්නට යොදාගත්තේද අමෙරිකාවේ වූ සිද්ධියක් මතකයට ගෙන එමිනි. අමෙරිකාවේ කැපිටල් ගොඩනැඟිල්ල හා කොංග්‍රස් මණ්ඩල ගොඩනැඟිල්ල එරට විරෝධතාකරුවන්ගෙන් මුදාගැනීම සඳහා අමෙරිකානු ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරයටම අරගලකරුවන්ගෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගත් බව ජනාධිපතිවරයා අමෙරිකානු තානාපතිනි ජූලී චංග්ට පෙන්වා දුන්නේය. වෙන වචනවලින් කියනවා නම් අපිත් වැඩේ කළේ ඇමරිකන් ක්‍රමයටම තමා කියන්නා මෙනි.

ජනාධිපති කැඳවා තිබූ මෙම රාජ්‍යතාන්ත්‍රික හමුවට අමෙරිකාව, බි්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාව හා යුරෝපා සංගමයේ තානාපතිවරු හා නියෝජිතයන් කැඳවා තිබිණි.

ශ්‍රී  ලංකාවේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය බවත් එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙහෙයවන ස්ථානය බවත් මේ හමුවේදී ජනාධිපතිවරයා පෙන්නා දුන්නේය. විරෝධතාකරුවන්ට ඉවත්වන ලෙස ජූලි 14-18 දිනවලදී පූර්ව දැනුම්දීමක් කර තිබූ බවත් එහෙත් ඔවුන් ඒ දිනවලදී එම ස්ථානයෙන් ඉවත්වීමට පියවර ගෙන නොතිබුණු බවත් පෙරදින රාත්‍රිය වන තෙක් ඔවුන් නොගිය බැවින් පොලිසිය හා හමුදාව යොදවා ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් ජනාධිපති පෙන්නා දී ඇත.

අමෙරිකන් ක්‍රමයට

වැඩේ දුන්නාලු

සාමකාමීව හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිය තහවුරු කරන බවට මෙහිදී සහතිකයක් දී ඇති ජනාධිපතිවරයා සිවිල් හා ජාත්‍යන්තර සම්මුතියේ 21 වැනි වගන්තිය හා සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් පාලනය කරන ශ්‍රී  ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) ආ යන වගන්තිය යන දෙක වත්මන් රජය විසින් තහවුරු කරන බවත් පවසා ඇති ජනාධිපතිවරයා රජයේ ගොඩනැඟිලි අවහිර කිරීමට හා දේපළ වෙනත් අරමුණු සඳහා භාවිත කිරීමට විරෝධතාකරුවන්ට අවසර නොදිය යුතු බවට අමෙරිකානු සිවිල් නිදහස් සංගමය ලබාදුන් උපදෙස්වල සඳහන්ව තිබීම ගැන අමෙරිකානු තානාපතිනිය ඇතුළු පිරිසට පෙන්වා දුන්නේය.

උෟරාගේ මාළු උෟරාගේ

ඇඟේ තබා කැපීම

ජනාධිපතිවරයා ප්‍රධාන වශයෙන් අමෙරිකාව උදාහරණයට ගෙන අමෙරිකානු තානාපතිනියගේ මුහුණටම ප්‍රකාශ කිරීම උෟරාගේ මාළු උෟරාගේ ඇඟේම තබා කැපීමක් බඳුය. මෙරට අමෙරිකානු තානාපතිනිය ශ්‍රී  ලංකා ආණ්ඩුවේ පරිපාලන කටයුතුවලට මැදිහත්වන ආකාරයේ ප්‍රකාශ හා ට්විටර් පණිවුඩ කිහිපයකම පසුගිය දිනවල නිකුත් කර තිබූ අතර ඒවාට මාධ්‍ය තුළ ප්‍රචාරයක්ද ලබාදී තිබිණි.

අග්‍රාමාත්‍ය නිල මැඳුර වූ අරලියගහ මන්දිරය අත්පත් කරගෙන සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ සූදානම් වෙමින් සිටියදී එය වැළැක්වූයේ අමෙරිකානු තානාපතිනියගේ දුරකථන පණිවුඩයකට බවද පසුගිය දිනවල මාධ්‍ය හරහා ප්‍රචාරය වී තිබිණි. හිටපු ඇමැතිවරයකු වූ ඩිව් ගුණසේකර ඒ බව ප්‍රසිද්ධියේම මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබිණි.

රනිල්ට ඡන්දය දුන් සජබ මන්ත්‍රිවරු කවුද?

පාර්ලිමේන්තු ජනාධිපතිවරණයේදී සිදුවූ දේ ගැන පසුගිය සතියේ පැවැති සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පසු විපරමක් කළේය. කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙක් ඇසුවේ ජනාධිපති තෝරන ඡන්දයේදී මොකද ඇත්තටම වුණේ කියායි.

පක්‍ෂ නායක සජිත් අපි ඇතුළේ සාකච්ඡා කරලා තීරණය කළේ ඩලස්ට සහයෝගය දෙන්නයි කියද්දී අශෝක් අබේසිංහ වෙනත් කථාවක් කීවේය. අපේ පක්‍ෂයේ සමහරු ඩලස්ට විරුද්ධව රනිල්ට ඡන්දය දුන්නායි සමහර මාධ්‍යවල යනවා කියායි. සජිත් පිළිතුරු ලෙස පැවැසුවේ අපේ පක්‍ෂයේ කිසි කෙනෙක් එහෙම කළේ නැති බව තමාට හොඳටම විශ්වාස බවයි.

සජිත් එහෙම කියද්දී ඔහු වෙත ප්‍රශ්නයක් යොමුකළ නලින් බණ්ඩාර, ඔබතුමා ජනාධිපති රනිල්ව හම්බ වුණාදැයි ඇසුවේය. ඔව්, පක්‍ෂ නායක රැස්වීමේදී හමුවූ බව සජිත් කීවේය. මුජිබර් සිනාසෙමින් ඇසුවේ රනිල් මොනවද කීවේ කියාය.

මේ ආණ්ඩුව එක්ක ගමනක් නෑලු

වෙච්ච හැමදේම කියන්න තමයි ලෑස්ති වෙන්නේයි තරමක උජාරුවකින් පැවැසූ සජබ නායක, සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් හදන්න කල්පනා කරනවා. හැමෝම ඒකට එකතු කර ගන්න ඕනෑ කී ජනාධිපති අපි කරන හුස්ම වැඩසටහන අගය කළායි කීවේය. ඒත් එක්කම මාත් එක්ක කතා කරන්නත් ඕනෑයි කිව්වායිද සජිත් පැවැසීය.

සජිත් – රනිල් සමඟ කළ සාකච්ඡාවේදී තොරතුරු අනාවරණය කිරීමෙන් පසු නැඟී සිටි චමින්ද විජේසිරි. මේ තියෙන්නේ ආණ්ඩුවක් නෙවෙයි පොහොට්ටුවේම දිගුවක්. මේක රාජපක්‍ෂලා රකින ආණ්ඩුවක්. මේ ආණ්ඩුව එක්ක අපට ගමනක් නෑ. මේක ඇතුළේ සර්වපාක්‍ෂික ආණ්ඩු නෑ. ඒක විහිළුවක්. අපි විරුද්ධ පක්‍ෂයේ කාර්යභාරය කරමුයි යෝජනා කළේය.

රනිල් දිවුරුම් දී පැය 12න් අරගලයට ගැහුවා

සර්වපාක්‍ෂික ආණ්ඩුවට විරුද්ධ කථා කරන රාජිත ජනාධිපති දිවුරුම් දීලා පැය 12ක් යන්නත් කලින් මේ ආණ්ඩුව ගෝල්ෆේස් අරගලයට ගැහැව්වා. එහෙම අයත් එක්ක සර්වපාක්‍ෂික ආණ්ඩුවක් හදන්න අපට පුළුවන්දැයි ඇසුවේය.

සජිත් යෝජනා කළේ මුළු විපක්‍ෂයම එකතුකර ශක්තිමත් බලවේගයක් ගොඩනඟන්නටය. ඒකට තමාට අවසර දෙන්නැයි ඔහු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන්ගෙන් අවසරය ඉල්ලා සිටියේය.

හදිසි නීතියට විරුද්ධව ඡන්දය දෙන්න තීරණය ගත්තේද මේ රැස්වීමේදීය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ජනතාව දැවෙන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමයක් ස්ථාපිත වන්නේ නම් ඒ සඳහා සහයෝගය දීමටද එහිදී තීරණය විය.

තමන් ජනාධිපති වුණේ කවුරු හින්දද කියලා අද ජනපතිට අමතකයි. රාජපක්‍ෂවරුන්ට වෙච්ච ඇබැද්දිය හින්දා එයාලා  කම්පාවෙන් ඉන්නේ. අරගලකරුවන්ගෙන් මේ විදියට පළිගන්නවා නම් ඔවුන් සියලු දෙනාට නීති සහන උපරිමයෙන් ලබා දෙනවා සජිත් කීය. ඔහු මේ සඳහා කටයුතු කරන්නට සිය නීතිඥ මණ්ඩලයද කැඳවීය.

ජාතික ආණ්ඩුව ගැන

සජබ මත දෙකක්

සමගි ජන බලවේගය ජාතික ආණ්ඩුවකට එකතු වෙනවාද නැද්ද යන්න ගැන මත දෙකක සිටින බැවින් එම කාරණය මත පක්‍ෂ කොටස් දෙකකට බෙදී සිටින බව වාර්තා වේ.

පසුගිය 26 වැනිදා සජබ පක්‍ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ බෙදීම හොඳින් ප්‍රදර්ශනය වී ඇත.

මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ ප්‍රධාන මාතෘකාව ලෙස සාකච්ඡා වූයේ සර්වපාක්‍ෂික ආණ්ඩුවකට සජබ සහාය දෙනවාද, ආණ්ඩුවට සම්බන්ධ වෙනවාද, නැතහොත් එම කටයුත්තෙන් බැහැරව සිටිනවාද යන්නයි. මෙහිදී පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි ලෙසම ප්‍රකාශ කර තිබෙන්නේ තම පක්‍ෂය සර්වපාක්‍ෂික ආණ්ඩුවකට එකතු නොවන බවයි. සජිත් එසේ කියද්දී මන්ත්‍රිවරයකු පැවැසුවේ අපට එකතු වෙන්න කියලත් නෑ. එසේ නම් එකතු වෙන්න කුමකටද කියායි.

මේ අවස්ථාවේ අපි දේශපාලනයට වඩා රටේ පවතින ආර්ථික කඩා වැටීම හා වර්තමානයේ රට පවතින තත්ත්වය ගැන බලන්න ඕනෑ. මේ තත්ත්වයෙන් පැවැතියහොත් රට විනාශ වෙයි. මේ වෙලාවේ අපි එකතුවෙලා රට වෙනුවෙන් වැඩ කරමුයි කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරු පවසා තිබේ. ඒ මතයට විරුධව අදහස් දක්වා ඇති රාජිත සේනාරත්න, අපට ජාතික ආණ්ඩුවකට කතා කරලා නෑනේ. එහෙම නම් ඇයි අපේ මේ ප්‍රශ්නය කථා කරන්නේයි විමසා ඇත.

පෞද්ගලිකව කීපදෙනකුට මේ ගැන කතා කරලා ඇති. අපිට නිල වශයෙන් ආරාධනා කර නැත්නම් අපි මොකටද යන්නේයි සජිත්ගේ මතය සමඟ සිටින මන්ත්‍රිවරයා ප්‍රශ්න කොට ඇත.

උදේ 09.30ට ආරම්භ වූ මේ රැස්වීම සවස 2 පමණ වනතුරුත් පවත්වා ඇත.

සර්වපාක්‍ෂික ආණ්ඩුවකට කැමැත්ත පළ කරමින් කථා කළ කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න හා හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරුන් රැස්වීම අවසන් වන්නට පෙර අතරමඟදී නැඟිට ගොස් තිබේ.

එසේ පිටව යන්නට පෙර ඔවුන් තිදෙනා පවසා ඇත්තේ අපි පක්‍ෂයක් හැටියට ජාතික ආණ්ඩුවකට එකතු වෙමු කියාය.

ලක්‍ෂ්මන් කිරිඇල්ල අදහස් දක්වමින් අවුරුදු පහකට විපක්‍ෂයේ ඉන්නයි අපිට බලය ලැබුණේ. ඒ නිසා අපි විපක්‍ෂයේ ඉඳිමුයි කීවේය.

ජනාධිපති තනතුරට තරග නොකිරීම ගැන මෙහිදී සාකච්ඡා වී තිබේ. සජබ ඒ සඳහා තරග නොකිරීම තුළ වැරැදි තීරණයක් බව රාජිත පවසා තිබේ.

වර්තමානයේ සජබ තුළ පවතින මේ තත්ත්වය ඉදිරියේදී පක්‍ෂයේ කීපදෙනකු ආණ්ඩුවට එකතුවන ලකුණු පහළ වී ඇතැයිද වාර්තා වේ. සජබ හිටපු මන්ත්‍රිවරුන් දෙදෙනකු ආණ්ඩුවට එකතුවී දෙවැනි වරටත් ඇමැති තනතුරු ලබා සිටී.

මහින්ද ගෝඨාභයට

ලංකාවට එන්න කියයි

අරගලකරුවන්ගේ උද්ඝෝෂණ හා බලපෑම් හමුවේ රටින් පිටව ගොස් එතෙර සිට ජනාධිපති ධුරයෙන් ඉවත්වූ බව ලිඛිතව දැනුම් දුන් ගෝඨාභය රාජපක්‍ෂට තවදුරටත් රට රටවල්වල නවාතැන් ගැනීම නතර කොට ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඔහුගේ වැඩිමහල් සොහොයුරකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දුරකථනය ඔස්සේ දැනුම් දීමක් කර ඇතැයි වාර්තාවේ.

මේ දිනවල සිංගප්පූරුවේ නතරව සිටින ගෝඨාභයට දින 14ක කාලයක් තවදුරටත් එරට රැඳී සිටීමට එම රජය අවසර ලබාදී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර ඔහුගේ පාලන කාලය තුළදී මානව හිමිකම් උල්ලංඝනය කළැයි කියන චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභයට විරුද්ධව සිංගප්පූරුවේ නීතිපතිවරයා විසින් එරට අධිකරණයේ නඩුවක් ගොනු කර ඇතැයිද විදේශ මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි.

විශ්‍රාමික ජනාධිපතිවරයකුගේ වරප්‍රසාද ගෝඨාටත්

ජනාධිපතිවරයකු මෙරට සේවය කළ කාලය තුළ විශ්‍රාම ගියහොත් ඔහුට හෝ ඇයට වාසය කිරීම සඳහා රජයෙන් නිවෙසක්, නිල වාහනයක් මෙන්ම, හිමි වැටුප් විශ්‍රාමික දීමනාවක් ලෙස ගෙවනු ලැබේ. ගෝඨාභය එම තනතුරෙන් ඉල්ලා අස්වුවත් ඔහුටද එම වරප්‍රසාද හිමිවන බව නීති අංශ සඳහන් කරයි.

ගෝඨා අගෝස්තුවේ එනවා

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ආරංචි පැතිර ගොස් ඇත. පසුගිය අඟහරුවාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දුන් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන කීවේ හිටපු ජනාධිපතිවරයා ආපසු මෙරට පදිංචියට එන බවට තොරතුරු තමාටද ලැබී තිබෙන බවත්, පැමිණෙන නිශ්චිත දිනයක් ගැන තමා නොදන්නා බවත්ය.

සමාජ මාධ්‍ය ජාලයක පළවූ පහත සඳහන් වාක්‍යයෙන් මේ සටහන අවසන් කරන්නේ එම වාක්‍ය උද්ධච්ච දේශපාලනඥයන් ඇතුළු කාටත් වැදගත් වේ යැයි අදහස් කරමිනි. රජය යනු මමය යැයි සිතන පාලකයා මෙන්ම ජනතාව යනු අපිය යැයි සිතන කණ්ඩායම්ද ප්‍රජාතන්ත්‍රවාදයට අතිශයින් භයානකයි.

රනිල්ට ඡන්දය දුන් ශ්‍රී ල.නි.ප. මන්ත්‍රින්ට අමරවීරගෙන් භෝජන සංග්‍රහයක්

ජනාධිපති ධුරයට තරග කළ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මන්ත්‍රිවරු පිරිස් වෙනුවෙන් එම පක්‍ෂයේ හිටපු ජේ‍යෂ්ඨ උප සභාපතිවරයකු වන ඇමැති මහින්ද අමරවීර පසුගිය සතියේ සිකුරාදා මහරගම පමුණුව ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්වූ බව වාර්තා වේ. අමරවීර මහතා දැනට ශ්‍රී ල.නි.ප.යේ මධ්‍යම කාරක සභා රැස්වීම්වලට පවා සහභාගි නොවන අතර, ඔහු පක්‍ෂයේ අනුමැතියකින් තොරව ඇමැති තනතුරු භාර ගැනීම මත ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වයක් ඉදිරි දින කිහිපයේදී ඉවත් කිරීමට ලිඛිත දැනුම් දීමක් කරන බව ශ්‍රී ල.නි.ප. ජේ‍යෂ්ඨයෙක් කීවේය.

එජාපයට විධායකය සහ

මන්ත්‍රි ධුරයක්

වජිර අබේවර්ධන එජාප ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිවරයා ලෙස දිවුරුම් දුන් ඉකුත් 27 වැනිදාට පෙර දින එජාප මුල් පෙළ නායකයන් වූ රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක සහ රංගේ බණ්ඩාර සමඟ සහභාගි වූ එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වජිරගේ කොළඹ නිවෙසේදී පෞද්ගලික රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විණි. සමාජය තුළ මොන අන්දමේ මත ප්‍රකාශ වුණත් වජිර ජනාධිපති තෝරන සටනේදී දිවි හිමියෙන් වැඩ කළා. දැන් එජාපයට විධායකයත් තිබෙනවා. මන්ත්‍රි ධුරයකුත් තිබෙනවායි සාදයට සහභාගි වූ එජාප පිරිස පැවැසූහ.

මෙහිදී වැඩිපුරම සාකච්ඡා වී තිබෙන්නේ පක්ෂයේ දේශපාලන අනාගතය හා ඉදිරි වැඩපිළිවෙළ ගැනයි.

වජිර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ලෙස දිවුරුම් දීමට පාර්ලිමේන්තුවට ගියේ පෙරවරු 9.45ට පමණය. වසර ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු හා ඇමැතිවරයකු ලෙස කටයුතු කළ ඔහු පාර්ලිමේන්තුවට ඇතුළු වනවිට ඔහුගේ පරණ සගයන් වූ වර්තමාන මන්ත්‍රිවරු ඔහු වටකරගෙන පිළිසඳරක යෙදී සිටියහ. වජිර කථානායක පාර්ලිමේන්තුවට ඇතුළු වන ස්ථානයේ පිටුපස ‍ෙදාර අසල සිටින විට පොදුජන එක්සත් පෙරමුණේ ඇමැති රොෂාන් රණසිංහ, චාමර සම්පත්, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ෂාන් විජයලාල්, සිරිපාල ගම්ලත්, රහුමාන් හා ප්‍රේමතුංග, සුදර්ශන් දෙනිපිටිය මන්ත්‍රිවරුන් කතා කරමින් සිටියේය.

වජිරට සුබ පතන්න පොහොට්ටු මන්ත්‍රිවරු පෝලිමේ

පෙරවරු 10.02ට නව මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දුන් දෙපැත්තේම මන්ත්‍රිවරුන්ට ආචාර කරමින් වජිර ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන සිටියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල්, නාමල්, ශෂේන්ද්‍ර රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සුබ පතනු දක්නට ලැබිණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරුද ඔහුට සුබ පැතූහ. ඒ දර්ශනය දෙස බලා සිටි සජබ මන්ත්‍රිවරයකු මෙච්චර කල් ගෙදර හිටියත් වජිර ඉඳලා තියෙන්නේ මේ කණ්ඩායම එක්කනේයි කියා තිබේ. විපක්ෂයේ තවත් මන්ත්‍රිවරයකු කීවේ රනිල් මෙයාව එවලා තියෙන්නේ මොකක්හරි ලොකු සැලැස්මකට. ඒ නිසා අපිත් ටිකක් කල්පනාවෙන් ඉන්න වෙයි කියායි.

පාර්ලිමේන්තු එන්න කලින් අගමැති දිනේෂ් ගියේ කොහේද?

අභිනව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට පළමු වරට පැමිණියේ පසුගිය 27 වැනි බදාදාය.

පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර දිනේෂ්ට දේශපාලන මිතුරකු මුණගැසීමට අවශ්‍ය විය. ඔහු ඇමැතුමක් දී බැලුවේය.

“නෑ…මම එන්නම්…” මිතුරාගෙන් පිළිතුරු ලැබිණි.

“නෑ මම එන්නම්…” අගමැතිවරයා කීවේය.

කොළඹ ඔහුගේ නිවෙස ආසන්නයේම පිහිටි එම නිවෙසට පැමිණීමත් සමඟම දේශපාලන මිතුරා සුහදව නව අග්‍රාමාත්‍යවරයාව පිළිගත්තේය. ඒ වෙන කිසිවෙක් නොව, ශ්‍රී ලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. පළමුව හිටපු ජනපති, නව අගමැතිට සුබ පැතුම් එක් කළේය.

දීර්ඝ සාකච්ඡාවක් නොවුණත් දෙදෙනා අතර වැදගත් දෙයක් කතාබහක් සිදුවූ බැව් පෙනිණි.

එමෙන්ම ඔහු රටේ අගමැති වීමත් සමඟ දක්නට ලැබුණේ, වමේ සන්ධාන දේශපාලනයේ මෙන්ම ජාතික ව්‍යාපාරයේ දීර්ඝ අත්දැකීම් ඇති අග්‍රාමාත්‍ය දිනේෂ්, දේශපාලන මිතුරන් අතහැර නොමැති බව මෙන්ම එම දේශපාලන මිතුරන් ඔහුව අතහැර නොමැති බවය. එහි එක් උදාහරණයක් වූයේ ඔහු අගමැති ධුරයේ දිවුරුම් දී පසුගිය සඳුදා (25දා) ඇල්ලේ ගුණවංශ හිමි සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමි ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගැනීම සඳහා කොළඹ 07 ධර්මායතනයට මෙන්ම නාරාහේන්පිට අභයාරාමයට පැමිණි අවස්ථාවන්ය.

අගමැති ධර්මායතනයට

ධර්මායතනයට පැමිණි අවස්ථාවේ ජාතික සංවිධාන එකමුතුවේ, ‍ෙදාස්තර ආචාර්ය ගුණදාස අමරසේකර,

ගෙවිඳු කුමාරතුංග සමඟ එහි පැමිණියහ. ඒ වනවිටත් දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ බෙංගමුවේ නාලක හිමිද වැඩම කර තිබිණි. ජනාධිපති නීතීඥ කල්‍යානන්ද තිරාණගම මෙන්ම මහාචාර්ය නන්ද ධර්මරත්නද පැමිණ සුබ පැතූහ.

අභයාරාමයට ම.එ.පෙ. පමණක් නොව සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවලද, පොදුජන පෙරමුණේද වෘත්තීය සමිති නායකයෝ එක්ව සිටියහ.

ශ්‍රී  ලංකා මහජන පක්ෂය එහි නායක පා.ම. අසංක නවරත්න මහතාගේ අස්සනින් විශේෂ ලිපියක් යොමුකර තිබිණි.

දිවුරුම් දුන්දාට පසුදිනම ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණියේය. ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි Julie Chung අග්‍රාමාත්‍යවරයා හමුවිය. මෙම සාකච්ඡාවලදී අගමැති දිනේෂ්ගේ ප්‍රමුඛ අවධානය යොමු වූයේ, මෙරට ජනතාව මුහුණදී සිටින බරපතළ ප්‍රශ්න කඩිනමින් විසඳා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබා ගැනීමය.

අගමැති දිනේෂ්ට සුබ පැතුම්

අගමැති දිනේෂ්, බදාදා පෙරවරු 9.30 වන විට පාර්ලිමේන්තුවට පැමිණීයේය. ඒ වන විට සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි, නිමල් ලාන්සා, යදාමිණි ගුණවර්ධන ආදි මැති ඇමැතිවරු රැසක් මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම්වරයාද ඔහු පිළිගැනීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.

සියලු දෙනා සමඟ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට ගිය අගමැතිවරයා පළමුව කළේ, නව සභානායක අමාත්‍ය සුසිල්ට හා යළිත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමිවූ ඇමැති ප්‍රසන්නට, පත්වීම් ලිපි ලබාදීමය.

ඒ වනවිට ජේ‍යෂ්ඨ දේශපාලනඥයකු වන නව වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරද එම ස්ථානයට පැමිණීම කාගේත් අවධානයට ලක්විය. දිනේෂ්ගේ අත අල්වා ගත් වාසු සුබ පැතුම් එක් කළේ මිතුරුකම්ද සිහිපත් කරමිණි.

“ඔන්න මම ආවා….” වාසු කීවේය. අගමැති දිනේෂ්, වාසුට ළංවී යමක් කියනු පෙනුනද එය කිසිවකුට ඇසුනේ නැත.

ඒ අතර පාර්ලිමේන්තුව මහ ලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් කුෂාණි රෝහණධීරද පැමිණ සුබ පැතූහ.

පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමග සුහදව කතාබහ කරමින් සිටි දිනේෂ් ගුණවර්ධනයන්, සභා ගර්භයට ඇතුළු වූයේ වෙනදා මෙන් සභානායකවරයා ලෙසින් නොව ශ්‍රී  ලංකාවේ 33 වන අග්‍රාමාත්‍යවරයා ලෙසිනි.

ඔහු, අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවේ කළ පළමු කතාව කාගේත් අවධානයට ලක්වූයේ, ඒ තුළින් රට ගමන් කරවිය යුතු යම් සැලැස්මක් මෙන්ම දිනේෂ්ගේ දේශපාලන දර්ශනය නොවෙනස්ව ඉදිරිපත් වීම හේතුවෙනි. වසර 50ක සිය අවිහිංසාවාදී, පාර්ලිමේන්තුවාදී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගැන කතා කළ ඔහු සිය පියා වූ පිලිප් ගුණවර්ධනයන් ගැනද සිහිපත් කළේය. ඔහු කතාව අවසන් කළේ මිහිඳු මාහිමියන්, දේවානම්පියතිස්ස රජුට මිහින්තලාවේදි කළ දේශනාවේ වැදගත්ම කොටසක් උපුටා දක්වමිනි.

“මහ රජ ඔබ මේ භූමියේ අයිතිකරු නොවේ. භාරකරු පමණය”

දයාසිරිගේ මුහුණේ පින් පාට

ඉකුත් 27 වැනිදා පැවැති හදිසි නීතිය විවාදයට සහභාගි වීමට ගිය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු පරිශ්‍ර භූමියේදී ඔහු ගිය වාහනයෙන් බැස්සේය. ඔහු දුටු පොහොට්ටුවේ මන්ත්‍රිවරු පිරිසක් කඩිනමින් ගොස් මහින්දව වටකර ගත්තේය. දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවට එමින් සිටියේ ඒ මොහොතේය. ඔහු මුණගැසුණු මහින්ද එකවරම දයාසිරිට කීවේ ඔයාගේ මුහුණ දැන් හොඳටම පින් පාටයි. ඇමැති ධුරයක්වත්ද දන්නේ නෑ කියායි. දයාසිරි සිනාසෙමින් අපි නම් ඔය ඇමැති ධුර භාර ගන්නේ නැහැ. ඔබතුමාගේ වටේ ඉන්න අයගේ නම් මුහුණු පින්පාට වෙලා තියෙනවා කීවේය.

පාර්ලිමේන්තුව තුළට ගිය මහින්ද  හිමින්සීරුවේ පිය නැඟුවේ පාර්ලිමේන්තු කැන්ටිම දෙසටය. තේ කෝප්පයක් බොන්න මහින්ද කැන්ටිමට ගොස් පුටුවක වාසිවී සිටිද්දී විමල් වීරවංශ එතැනට ආවේය. මම පොඩ්ඩකට ආණ්ඩුවෙන් එළියට ගියා විතරයි. ඒ කාලේ අනෙක් අය කියපු කතා මමනේ දන්නේයි විමල් පවසමින් මහින්දට මෙහෙමත් කීවේය. ඔබතුමාගේ අගය එළියේ ඉන්නා අයට තේරෙන්නේ නෑයි කියමින් විමල් යන්නට ගියේය.

විමල්ගේ ඊළඟ කරණම ගැන මහින්දගේ අනාවැකිය

විමල් තරමක් අෑතට යනතුරු කිසිවක් නොකී මහින්ද ඔහු වැටේ සිටි මන්ත්‍රිවරුන්ට කියා තිබෙන්නේ ආයෙමත් මෙයා අපේ පැත්තට කරනමක්වත් ගහන්න හදනවාද දන්නේ නෑයි තරමක අවඥා සහගතව ප්‍රකාශ කොට තිබේ.

ඊට ටික වේලාවකට පසුව විමල් පාර්ලිමේන්තුව අමතමින් ආණ්ඩුවට වාසි වන කතාවක් කළැයි මහින්ද ළඟ සිටි මන්ත්‍රිවරයෙක් “කැබිනට්” තීරුවට කීවේය. විමල්ගේ කතාවට සවන් දුන් මහින්ද ඔහු සමඟ සිටි මන්ත්‍රිවරුන්ගෙන් අසා තිබෙන්නේ “මම හූනා වගේ කියපු බොරුද” කියායි.

මේ අතර පාර්ලිමේන්තුවේදී මහින්දව හමු වූ පවිත්‍රා වන්නිආරච්චි, සුසිල් ප්‍රේමචන්ද්‍රට සභානායක තනතුර දෙන්න තිබෙන සුදුසුකම මොකක්ද දැයි විමසා ඇත. මහින්ද කිසිම උත්තරයක් දුන්නේ නැත. ඒ වෙලාවේ ළඟ සිටි මන්ත්‍රිවරයකු උපහාසයෙන් මෙන් මෙහෙම කීවාලු. දෙල්කඳ පොළේදී හොඳටම බැන්නානේ. අපිත් ඉතින් බැන්නොත් අපටත් තනතුරු ලැබෙයි.

ගෙවි¾දු කුමාරතුංග සමඟ එහි පැමිණියහ. ඒ වනවිටත් දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ බෙංගමුවේ නාලක හිමිද වැඩම කර තිබිණි. ජනාධිපති නීතීඥ කල්‍යානන්ද තිරාණගම මෙන්ම මහාචාර්ය නන්ද ධර්මරත්නද පැමිණ සුබ පැතූහ.

අභයාරාමයට ම.එ.පෙ. පමණක් නොව සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවලද, පොදුජන පෙරමුණේද වෘත්තීය සමිති නායකයෝ එක්ව සිටියහ.

ශ්‍රී  ලංකා මහජන පක්ෂය එහි නායක පා.ම. අසංක නවරත්න මහතාගේ අස්සනින් විශේෂ ලිපියක් යොමුකර තිබිණි.

දිවුරුම් දුන්දාට පසුදිනම ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණියේය. ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි Julie Chung අග්‍රාමාත්‍යවරයා හමුවිය. මෙම සාකච්ඡාවලදී අගමැති දිනේෂ්ගේ ප්‍රමුඛ අවධානය යොමු වූයේ, මෙරට ජනතාව මුහුණදී සිටින බරපතළ ප්‍රශ්න කඩිනමින් විසඳා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබා ගැනීමය.

අගමැති දිනේෂ්ට සුබ පැතුම්

අගමැති දිනේෂ්, බදාදා පෙරවරු 9.30 වන විට පාර්ලිමේන්තුවට පැමිණීයේය. ඒ වන විට සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි, නිමල් ලාන්සා, යදාමිණි ගුණවර්ධන ආදි මැති ඇමැතිවරු රැසක් මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම්වරයාද ඔහු පිළිගැනීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.

සියලු දෙනා සමඟ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට ගිය අගමැතිවරයා පළමුව කළේ, නව සභානායක අමාත්‍ය සුසිල්ට හා යළිත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමිවූ ඇමැති ප්‍රසන්නට, පත්වීම් ලිපි ලබාදීමය.

ඒ වනවිට ජේ‍යෂ්ඨ දේශපාලනඥයකු වන නව වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරද එම ස්ථානයට පැමිණීම කාගේත් අවධානයට ලක්විය. දිනේෂ්ගේ අත අල්වා ගත් වාසු සුබ පැතුම් එක් කළේ මිතුරුකම්ද සිහිපත් කරමිණි.

“ඔන්න මම ආවා….” වාසු කීවේය. අගමැති දිනේෂ්, වාසුට ළංවී යමක් කියනු පෙනුනද එය කිසිවකුට ඇසුනේ නැත.

ඒ අතර පාර්ලිමේන්තුව මහ ලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් කුෂාණි රෝහණධීරද පැමිණ සුබ පැතූහ.

පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමග සුහදව කතාබහ කරමින් සිටි දිනේෂ් ගුණවර්ධනයන්, සභා ගර්භයට ඇතුළු වූයේ වෙනදා මෙන් සභානායකවරයා ලෙසින් නොව ශ්‍රී  ලංකාවේ 33 වන අග්‍රාමාත්‍යවරයා ලෙසිනි.

ඔහු, අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවේ කළ පළමු කතාව කාගේත් අවධානයට ලක්වූයේ, ඒ තුළින් රට ගමන් කරවිය යුතු යම් සැලැස්මක් මෙන්ම දිනේෂ්ගේ දේශපාලන දර්ශනය නොවෙනස්ව ඉදිරිපත් වීම හේතුවෙනි. වසර 50ක සිය අවිහිංසාවාදී, පාර්ලිමේන්තුවාදී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගැන කතා කළ ඔහු සිය පියා වූ පිලිප් ගුණවර්ධනයන් ගැනද සිහිපත් කළේය. ඔහු කතාව අවසන් කළේ මිහි¾දු මාහිමියන්, දේවානම්පියතිස්ස රජුට මිහින්තලාවේදි කළ දේශනාවේ වැදගත්ම කොටසක් උපුටා දක්වමිනි.

“මහ රජ ඔබ මේ භූමියේ අයිතිකරු නොවේ. භාරකරු පමණය”

දයාසිරිගේ මුහුණේ පින් පාට

ඉකුත් 27 වැනිදා පැවැති හදිසි නීතිය විවාදයට සහභාගි වීමට ගිය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු පරිශ්‍ර භූමියේදී ඔහු ගිය වාහනයෙන් බැස්සේය. ඔහු දුටු පොහොට්ටුවේ මන්ත්‍රිවරු පිරිසක් කඩිනමින් ගොස් මහින්දව වටකර ගත්තේය. දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවට එමින් සිටියේ ඒ මොහොතේය. ඔහු මුණගැසුණු මහින්ද එකවරම දයාසිරිට කීවේ ඔයාගේ මුහුණ දැන් හොඳටම පින් පාටයි. ඇමැති ධුරයක්වත්ද දන්නේ නෑ කියායි. දයාසිරි සිනාසෙමින් අපි නම් ඔය ඇමැති ධුර භාර ගන්නේ නැහැ. ඔබතුමාගේ වටේ ඉන්න අයගේ නම් මුහුණු පින්පාට වෙලා තියෙනවා කීවේය.

පාර්ලිමේන්තුව තුළට ගිය මහින්ද  හිමින්සීරුවේ පිය නැඟුවේ පාර්ලිමේන්තු කැන්ටිම දෙසටය. තේ කෝප්පයක් බොන්න මහින්ද කැන්ටිමට ගොස් පුටුවක වාසිවී සිටිද්දී විමල් වීරවංශ එතැනට ආවේය. මම පොඩ්ඩකට ආණ්ඩුවෙන් එළියට ගියා විතරයි. ඒ කාලේ අනෙක් අය කියපු කතා මමනේ දන්නේයි විමල් පවසමින් මහින්දට මෙහෙමත් කීවේය. ඔබතුමාගේ අගය එළියේ ඉන්නා අයට තේරෙන්නේ නෑයි කියමින් විමල් යන්නට ගියේය.

විමල්ගේ ඊළඟ කරණම ගැන මහින්දගේ අනාවැකිය

විමල් තරමක් අෑතට යනතුරු කිසිවක් නොකී මහින්ද ඔහු වැටේ සිටි මන්ත්‍රිවරුන්ට කියා තිබෙන්නේ ආයෙමත් මෙයා අපේ පැත්තට කරණමක්වත් ගහන්න හදනවාද දන්නේ නෑයි තරමක අවඥා සහගතව ප්‍රකාශ කොට තිබේ.

ඊට ටික වේලාවකට පසුව විමල් පාර්ලිමේන්තුව අමතමින් ආණ්ඩුවට වාසි වන කතාවක් කළැයි මහින්ද ළඟ සිටි මන්ත්‍රිවරයෙක් “කැබිනට්” තීරුවට කීවේය. විමල්ගේ කතාවට සවන් දුන් මහින්ද ඔහු සමඟ සිටි මන්ත්‍රිවරුන්ගෙන් අසා තිබෙන්නේ “මම හූනා වගේ කියාපුව බොරුද” කියායි.

මේ අතර පාර්ලිමේන්තුවේදී මහින්දව හමු වූ පවිත්‍රා වන්නිආරච්චි, සුසිල් ප්‍රේමචන්ද්‍රට සභානායක තනතුර දෙන්න තිබෙන සුදුසුකම මොකක්ද දැයි විමසා ඇත. මහින්ද කිසිම උත්තරයක් දුන්නේ නැත. ඒ වෙලාවේ ළඟ සිටි මන්ත්‍රිවරයකු උපහාසයෙන් මෙන් මෙහෙම කීවාලු. දෙල්කඳ පොළේදී හොඳටම බැන්නානේ. අපිත් ඉතින් බැන්නොත් අපටත් තනතුරු ලැබෙයි.

බෙනට් රූපසිංහ