රනිල් වික්‍රමසිංහ වැඩේ හරියට කරනවා නම් අපි කොන්දේසි විරහිතව කොන්දේසි විරහිතව

0
64

ඔබලා බලයට ගෙනාපු ගෝඨාභය රාජපක්‍ෂ පැදුරටත් නොකියා රටින් පිටවුණා. නමුත් රටේ අර්බුද එසේමයි. මෙහෙම ගියොත් හෙට දවසේ මොකද වෙන්නේ?

ආර්ථික සහ දේශපාලන වශයෙන් අර්බුද රැසක් නිර්මාණය වීමට නියමිත බවට විමල් වීරවංශ මහතා ප්‍රමුඛ හවුල්කාර පක්‍ෂ එකමුතුව පෙරදීම අනතුරු ඇඟවීමක් කළා. නමුත් ඒ කිසිවක් හිටපු ජනාධිපතිවරයා ගණන් ගත්තේ නැහැ. ඒවා තුට්ටුවකට මායිම් කළේ නැහැ. ජනාධිපතිවරයා තමන්ට අභිමත විධියට වැඩකරන අතරේ බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමැතිවරයා සිහින ලෝකයක සිට කටයුතු කළා. එසේ හැසිරීමේ ප්‍රතිඵල විධියට තමයි මෙවැනි බරපතළ අර්බුදකාරී තත්ත්වයක් සහ ජනතා විරෝධයක් ඇති වුණේ. දිගින් දිගටම ඉන්ධන, ගෑස්, ඔෟෂධ ප්‍රශ්න උත්සන්න වුණා. ජනතාවට දෛනිකව අවශ්‍ය බොහෝ දේවල් නොලැබී යන තත්ත්වයක් උද්ගත වුණා. අවසානයේ මේ සියල්ල පුපුරා යෑමේ ප්‍රතිඵලයක් විධියට ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට රට දමා යන්න සිදුවුණා.

මේ තත්ත්වයෙන් ගොඩ එන්නේ කොහොමද කියන අභියෝගය දැන් අප ඉදිරියේ තිබෙනවා. ඒ වෙනුවෙන් අපි හැමෝටම සාමූහිකව වැඩ කරන්න වෙනවා.

ගාලුමුව‍ෙදාර අරගල භූමිය සහ අරගලකරුවන් පිළිබඳව ඔබලා වැරැදි ප්‍රතිරූප මවන්න උත්සාහ කරන බවට චෝදනාවක් නැඟෙනවා?

එකක් පසුපස එකක් පෙළගැසී ආපු අර්බුද නිසා ජනතාවට පීඩාවක්, වේදනාවක්, අසහනයක් ඇති වුණා. රටේ ජන අරගලයක් ඇතිවෙන්න එය ප්‍රබල සාධකයක් වුණා. ගාලුමුව‍ෙදාර අරගලය වටා බොහෝ ජනතාවක් එක්රැස් වුණා. ඔවුන්ගෙන් බහුතරයක් ඉහත සඳහන් කරපු පීඩාවක්, අසහනයන්, වේදනාවන් දරා ගැනීමට නොහැකිව අවංක චේතනාවෙන් අරගලයට එකතු වුණු අය. ඒ ගැන කිසිදු තර්කයක් නැහැ. අපිත් එහි කොටස්කාරයෝ. නමුත් ඒ පිරිස අතර සිටිනවා වෙනත් න්‍යායපත්‍ර, වෙනත් අරමුණු ඉටුකර ගැනීමේ වුවමනාව ඇතිව මේ තැන්වලට එකතු වුණු අය ඔවුන් සැබෑ අරගලකරුවන්, පීඩාවට පත්වුණු ජනතාව අතරින් උපන් අය නොවෙයි.

ඔබලා කොහොමද නිශ්චිතව එවැන්නක් කියන්නේ, ඔබලා සතුව සාක්‍ෂි, සාධක තිබෙනවාද?

පසුගිය දිනෙක විමල් වීරවංශ මහත්මයා පාර්ලිමේන්තුව තුළ කරපු කතාව ඇසුවා නම් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගන්න පුළුවන්. එතුමා බොහොම පැහැදිලිව පැවැසුවා වෙනත් න්‍යායපත්‍රයන් මූලික කොටගෙන රාජ්‍ය බිඳ වැට්ටවීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන  සංවිධාන ගණනාවක් ගැන. එම සංවිධානවලට මුදල් ලැබෙන්නේ කොහොමද? ඒ මුදල් භාවිත වන්නේ මොනවටද කියලා එතුමා පැවැසුවා. ඒවා සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් එතුමා එදින සභාගත කළා.

කවුද ඔවුන්ට මුදල් දෙන්නේ, මොනවද ඔබලා ඒ සම්බන්ධව සොයාගෙන තිබෙන්නේ?

මූලිකවම ගත්තොත් ඔවුන්ට මුදල් දෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්. එවැනි සංවිධාන අපේ රටේ පමණක් නොවෙයි ලොව බොහෝ රටවල සූක්‍ෂ්මව ක්‍රියාත්මක වෙනවා. අරගල භූමියේ ආරම්භයේ සිට මේ දක්වා ක්‍රියාකාරිත්වය බැලුවොත් බොහෝ දේවල් අනාවරණය කරගන්න පුළුවන්. ජාත්‍යන්තරයට සහ මාධ්‍යයට පෙන්වීම සඳහා ඔවුන්ට සිදුවෙනවා මේ අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන්න. ඒ වෙනුවෙන් විවිධ පුද්ගලයෝ සහ සංවිධාන ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය සියලුම දෑ සැපයීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එකඟව සිටිනවා. ෆ්‍රයිඩ් රයිස් ඕන නම් ෆ්‍රයිඩ් රයිස්, බිරියානි ඕන නම් බිරියානි, අරක්කු. ගංජා, හෙරොයින්, බියර් මේ සෑම දෙයක්ම මේ ව්‍යාජ අරගලකරුවන් කියාගන්නා පුද්ගලයන්ට සපයනවා.

ඕනෑම කෙනෙක්ට මෙවැනි චෝදනා කරන්න පුළුවන්. නමුත් ඒවා ප්‍රත්‍යක්‍ෂ කොට පෙන්වන්න සාක්‍ෂිත් ඕනෑ නේද?

ඉදිරියේදී සෑම දෙයක්ම සාක්‍ෂි සාධක ඇතිව ජනතාවට දැකබලා ගන්න පුළුවන් වෙයි. මේ දේවල් නිකන් කතාවට ගොතලා කියන ප්‍රබන්ධ නෙවෙයි. කෑම බීම පමණක් නොවෙයි උදේ සිට සවස් වනතෙක් ඇවිත් ඉන්න අයට රුපියල් 5,000 ගාණේ මුදල් ගෙවා තිබෙනවා. මේවා 100%ක් ඇත්ත තොරතුරු. අපි මේ චෝදනා කරන්නේ පීඩාව දරාගන්න බැරිව අරගලයට එකතු වුණු මිනිස්සු ගැන නෙවෙයි. අපිත් එක්තරා වකවානුවක මෙවැනි අරගල, උද්ඝෝෂණවලට සම්බන්ධ වුණා. නමුත් අපිට කවදාවත් වතුර බෝතලයක්වත් ලැබුණේ නැහැ. ඒ තත්ත්වය නෙවෙයි දැන් තිබෙන්නේ.

ඔවුන් කරන්නේ ඇත්තටම අරගල කරන මිනිසුන්ගේ පීඩාව, අසහනය පාවිච්චි කරලා ඇ.එ.ජ. ප්‍රමුඛ බටහිර රටවල අවශ්‍යතා සම්පූර්ණ කරන එක. මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා ඇ.එ. ජනපදය, දමිළ ඩයස්පෝරාව, විවිධ මූලධර්මවාදී සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයක් මොවුන්ට මුදල් ලබාදෙන බවට.

ජාතිකවාදී අදහස් කියමින් විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායම හැමදාම කළේ තේ කෝප්පය ඇතුළේ කුණාටු දැකපු එක කියලා බොහෝ අය කියනවා?

අපි කුණාටු දකිනවා, හැබැයි ඒ තේ කෝපය ඇතුළේ නෙවෙයි. කුණාටු ඇතිවෙන්න කලින් තමයි අපි පූර්ව දැනුම්දීම් කළේ. නමුත් අවසානයේ කළේ විමල්, උදය දෙදෙනාම ආණ්ඩුවෙන් එළියට දැමීම.

රටට සතුරු විදෙස් බලවේග අපේ රාජ්‍ය බිඳ වැට්ටවීමට භාවිත කරන උපක්‍රම, මෙහෙයුම් අතර තිබෙන ප්‍රබලම මෙහෙයුමක් තමයි මානසික බාධා ඇති කරවීම. ඒ සඳහා ඔවුන් විවිධ ක්‍රම භාවිත කරනවා. කෙසේ හෝ ඔවුන් සූදානම් වෙන්නේ මේ ආර්ථික, දේශපාලන අර්බුද දඩමීමා කරගනිමින් අපේම රටේ ජනතාව ලවා අපේ රාජ්‍ය බිඳවැට්ටවීම. මේක රටේ ජනතාවට බැලූ බැල්මට පේන්නේ නැහැ. මොකද ඉතා සූක්‍ෂ්මව තමයි මේවා සිදුවෙන්නේ.

ඔබලා හැමදාමත් ඔය කතාවනේ කිව්වේ. නමුත් කවදාවත් ඒවා ඇත්ත වුණේ නැහැ?

ඇත්තක් නොවුණේ තවමත් අපේ රටේ යම් සාමූහිකත්වයක් සහ බෞද්ධාගම ස්ථාවරව තිබෙන නිසා. බෞද්ධාගම තමයි ඔවුන්ට තිබෙන ප්‍රධානතම බාධකය. ඒකනේ ඔවුන් බෞද්ධාගම විනාශ කරන්නත් විවිධ සැලසුම් යොදන්නේ. ලංකාව කියන කුඩා දූපත ලෝක සිතියම තුළ නිර්මාණය වී තිබෙන්නේ ඉතාම විශිෂ්ට සහ ආකර්ෂණීය ආකාරයට. ලොව බොහෝ රටවලට භූගෝලීය වශයෙන් අපේ රට පිහිටා තිබෙන ආකාරය වැදගත් වෙනවා. ඒ නිසයි ඒ සෑම රටක්ම අපේ රට ඔවුන්ගේ පාලනයට නතුකර ගන්න උත්සාහ කරන්නේ.

ලෝක පරිමාණයෙන් නැවතත් විශාල යුද්ධයක් ඇති වුණොත් මේ සෑම රටකටම අපේ රට අවශ්‍ය වෙනවා. ඇමරිකාව යුදමය අවස්ථාවන් හරහා රටවල් යටත් කර ගැනීමට උත්සාහ දරමින් සිටිනවා. අපේ රටේ සාගරය, ගුවන සහ ගොඩබිම පිහිටා තිබෙන ආකාරය අනුව ඔවුන්ට හැකියාව ලැබෙනවා ලංකාවේ සිට ලොව විශාල කලාපයකට ප්‍රහාර එල්ල කිරීමට. ඔවුන් අවස්ථා ගණනාවකදී ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් ඒවා ව්‍යර්ථ වුණා. දැන් මේ අර්බුදය මතින් තමයි ඔවුන් සිය අපේක්‍ෂාවන් ඉටුකරගන්න හදන්නේ.

අරගලය තුළ පමණක් නොවෙයි ආණ්ඩුව අභ්‍යන්තරයෙත් ඔවුන්ගේ චරපුරුෂයන් සිටිනවා. අපි විශ්වාස කරනවා බැසිල් රාජපක්‍ෂ සිදු කරමින් සිටියෙත් ඒ කටයුත්ත බව.

කෙසේ නමුත් මේ අරගලය කියන සුන්දර වචනයට මුවා වෙලා ජනතාවගේ වේදනාව කොල්ලකන දේශපාලන පක්‍ෂ, විවිධ බහුජාතික සංවිධාන, ආගමික සංවිධාන, LTTE හිතවාදී සංවිධාන විවිධාකාරයෙන් මෙම අරගලය තුළට ඇතුළු වී සිටිනවා. ඔවුන් අරගලය භාවිත කරමින් රට දුබල කිරීමේ වැඩපිළිවෙළක නිරතව සිටිනවා.

අරගලකරුවන්ට එරෙහිව දියත් වුණු ප්‍රහාරයන් සම්බන්ධව මොකක්ද ඔබේ අදහස?

පසුගිය කාලවකවානුව තුළ සිදු වුණු දේවල් සමඟ මෙය සාමකාමී අරගලයක් කියලා තවදුරටත් අපිට කියන්න බැහැ. අපි දුටුවා පොළොන්නරුවෙ මන්ත්‍රිවරයෙක් සහ ඔහුගේ ආරක්‍ෂකයෙක් මරා දාපු විධිය. මන්ත්‍රි නිවාස ගිනි තියපු විධිය. ඒ ආකාරයට දිගින් දිගටම ප්‍රචණ්ඩත්වය මූලික කරගෙන තමයි අරගලය දියත් වුණේ.

මෑතකාලීනව අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය වැනි පොදු දේපළ අත්පත් කරගත්තෙත් ප්‍රචණ්ඩකාරී අයුරින්. කොහොම හරි මේ අයට ඉවත් වෙන්න කියලා දැනුම්දී තිබුණත් ඔවුන් සූදානම්ව සිටියේ ඔවුන්ට අවශ්‍ය දිනයක ඉවත් වීමට. ඔවුන් එසේ රැඳෙමින් ආරක්‍ෂක අංශවලට තර්ජනය කරමින්, හෑල්ලුවට ලක් කරමින් හැසිරෙන්න පටන් ගෙන තිබුණා. ආරක්‍ෂක අංශවලට සිදුවුණා ඔවුන් ඉවත් වෙන්නේ නැත්නම් ඒ අයව යැවීමට කටයුතු කිරීමට සහ අත්පත් කරගත් රාජ්‍ය ආයතන නැවත විවෘත කොට වැඩකටයුතු කරගෙන යෑමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරදීමට. ආරක්‍ෂක අංශ කටයුතු කළේ ඔවුන්ගේ රාජකාරි නියමයන්ට අනුව. මෙතැනදී ආරක්‍ෂක අංශ පලවා හැරියේ සාමකාමීව හැසිරුණු පිරිසක් නෙවෙයි.

ඒ කියන්නේ ඒ ප්‍රහාරය ඔබ අනුමත කරනවා කියන එකද?

ඉවත් නොවී බලහත්කාරයෙන් සිටින විට ලෝකයේ ඕනෑම රටක ආරක්ෂක අංශ අනුගමනය කරන්නේ ඒ ක්‍රියාමාර්ගය තමයි. ඇමරිකාව මානව හිමිකම් ගැන අපිට අවවාද කළාට ඔවුන්ගේ කැපිටල් ගොඩනැඟිල්ලයි කොංග්‍රස් ගොඩනැඟිල්ලයි අත්පත් කරගත්තු පිරිසට ඔවුන් ප්‍රතිචාර දැක්වූවේ මීටත් වඩා දරුණු විධියට.

කොහොමින් කොහොමහරි දැන් රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ? මොකක්ද ඉදිරි සැලසුම?

රටේ ජනතාව අරගල කරන්න කලින් හවුල්කාර පක්ෂ එකමුතුව ආණ්ඩුව අභ්‍යන්තරයේ අරගලයක් දියත් කොට තිබුණා. එය සිදුකළේ ආණ්ඩුව යන වැරදි පාරෙන් හරි පාරට ගැනීමේ අරමුණෙන්. නමුත් අපි කියපු දේවල් ගණන් ගත්තේ නැහැ.

අපි එය කරගෙන යන අතරතුරේ තමයි ජන අරගල දියත් වුණේ. මම පෙර කී ආකාරයට සැබෑ අරගලකරුවන්ගෙන් මෙය කොල්ලකාපු ව්‍යාජ අරගලකරුවෝ ප්‍රචණ්ඩත්වය දක්වාම මෙය රැගෙන ගියා. එහි ප්‍රතිඵලයක් විධියට තමයි 69 ලක්ෂයක ජනවරමකින් බලයට පත් ගෝඨාභය රාජපක්ෂ ඉවත් වී කිසිදු ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වුණේ. ඔහුට එම ධුරයට එන්න අවශ්‍ය පරිසරය දැන හෝ නොදැන සකස් කොට දුන්නේ මේ අරගලකාරයෝම තමයි.

හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ යොදවලා පහර නොදී රටින් පිටවෙලා තනතුර අතහැරියා. නමුත් අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කරන ඔවුන්ට ඔවුන්ගේම භාෂාවෙන් ප්‍රතිචාර දක්වන නව ජනපතිවරයෙක් ඔවුන්ගේම ක්‍රියාකාරකම් සහ හැසිරීම් නිසා බලයට පත්වුණා.

වැඩිකල් නොයා රනිල් වික්‍රමසිංහවත් ගෙදර යවන බවට අරගලකරුවෝ පවසනවා?

මහින්ද ගෝ හෝම් කිව්වා ගියා, ගෝඨා ගෝ හේම් කිව්වා ගියා. දැන් ඔවුන් සටන්පාඨය වෙනස් කරමින් රනිල් ගෝ හෝම් කියනවා. මුලින් කිව්වේ ගෝඨා ගෝ කියලා. දැන් ඔහු නැහැ. එහෙම නම් දැන් මේ ප්‍රශ්නය ඉවර වෙන්න ඕනනේ. නමුත් එහෙම වුණේ නැහැනේ. දැන් රනිල් ගෝ හෝම් කියලා රනිල් ගියොත් ඔවුන්ගේ අරගලය නවතිනවාද, රටේ ප්‍රශ්න විසඳෙනවාද? අපි හිතමු රනිලුත් ගියා කියලා එහෙම වුණොත් ව්‍යවස්ථාවට අනුව ජනපති වෙන්නේ දිනේෂ් ගුණවර්ධන.

එයා ආවම එයාටත් Go Home කියයි. ඒ කියන්නේ මේ ප්‍රශ්න විසඳෙනවා දකින්න කාටවත් වුවමනා නැහැ. එයාලට අවශ්‍ය ආරක්ෂක අංශ දුබල කරලා රාජ්‍ය බිඳවට්ටලා මේක අරාජික කරලා මිනී කඳු ගොඩගැහෙන තත්ත්වයක් දක්වා වර්ධනය වෙනවා දැකීමට. එයට හේතුව දෙස් විදෙස් ප්‍රතිගාමී බලවේගවල මජර අරමුණු. ආර්ථික ආපදාව මානව ආපදාවක් කරගන්නයි ඔවුන්ට අවශ්‍ය. ඉන් පසුව රටේ නීතිය, සාමය, ආරක්ෂාව නෑ කියලා ජනතාව කෑ ගහනකොට රටේ ආරක්ෂාව, සාමය, නීතිය ස්ථාපිත කරන මුවාවෙන් ඇමරිකානු සාම සාධක හමුදාව රට තුළට එනවා. උදවු කරන්න වගේ ආවට ඔවුන් නැවතත් යන්නේ නැහැ. ඒක වෙනකම් මොවුන් එන එන කෙනාට Go Home කියයි.

රටට සතුරු විදෙස් බලවේගවල පිටපතට අනුව ක්‍රියාකරන පුද්ගලයන් තවමත් පාර්ලිමේන්තුව තුළ සිටින බවට ඔබලා චෝදනා කරනවා කවුරු ගැනද මේ කියන්නේ?

අපෝ ඇමරිකන් ගෝලයෝ ඕන තරම් තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. සරත් ෆොන්සේකා කියන්නේ එවැනි පුද්ගලයෙක්. යුක්රේනයේ සෙලන්ස්කි වගේ කෙනෙක් තමයි සරත් ෆොන්සේකා. ඔහු අපේ රටේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා සම්පූර්ණයෙන් විදෙස් බලවේගවලින් යැපෙන කෙනෙක්. ඔහු අපේ රට අරාජික කරන කණ්ඩායම් ප්‍රවර්ධනය කරන නියෝජිතයෙක්. මේ කියන ව්‍යාජ අරගලකරුවෝ සහ විදෙස් රටවල් ඔහුව ජනාධිපති කරගන්න පුළුවන් නම් එයත් කරනවා. ඔවුන්ට ඒ වුවමනාව තදින් තිබුණත් ඔහුට පාර්ලිමේන්තුව තුළ ඡන්දය දෙන්න කෙනකු නැහැ.

සරත් ෆොන්සේකා පමණක් නෙවෙයි තව දේශපාලන පක්ෂත් මෙතැන තිබෙනවා. ඔවුන්ගේ උපකාරත් මේ සතුරු බලවේගවලට ලැබෙනවා.

අරගලකරුවන් හමුවේ හිටපු ජනාධිපතිවරයා රටින් පලාගිය ආකාරය ගැන මොකද සිතෙන්නේ?

එතුමා ගත යුතුව තිබුණු තීන්දු තීරණ කිසිවක් නොගත් කෙනෙක්. අපේ රටේ ඉතිහාසයට එක්වුණු දුබලම රාජ්‍ය නායකයා තමයි ඔහු. ඔහුට පූර්ණ විධායක බලතල සියල්ල තිබුණා නායකයා විධියට. ඒ සියල්ල තිබුණත් ඔහු වැඩ කළේ ඇමරිකානු තානාපතිනියගේ උපදෙස් මත. ඇයට බියෙන් තමයි අවශ්‍ය තැන්වලදී ගත යුතු තීන්දු තීරණ නොගන්නේ. අපේ රට අරාජික කරවීමේ සම්පූර්ණ මෙහෙයුම ක්‍රියාත්මක කරවන්නේ ඇමෙරිකානු තානාපතිනිය. ඇය සෑම විටම හිටපු ජනාධිපතිවරයාට මානසික බාධා දැමුවා. අපේ නීතිඥ සංගමය පවා ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකානු තානාපතිනියගේ වුවමනාව අනුව. මේක හිටපු ජනාධිපතිටත් අදාළයි. අපිට ඔහු ගැන අනුකම්පාවකුත් තිබෙනවා.

ඔබ කියන්නේ ඇමරිකානු තානාපතිනියගේ බලපෑම දරාගන්න බැරිව ඔහු රටෙන් පලා ගියා කියලාද?

ඔහු මේ ආකාරයට ඉල්ලා අස්වීම අපි පිළිගන්නෙත් නැහැ. ඒක මහ බයාදු, ඇල්මැරුණු තීරණයක්. තමාට විධායක බලතල තිබියදී තමයි ඔහු මෙය අතහැරලා ගියේ. ඒක නිර්භීත තීරණයක් නෙවෙයි. මොකද ඔහු ගියාට පසුව අරගලය නතර වුණේ නැහැනේ. ඇත්තටම ඔහුට දේශපාලන දෘෂ්ටියක් නැති නිසයි මෙහෙම වුණේ.

ජනාධිපතිකමට ඔබලා යෝජනා කරපු ඩලස් අලහප්පෙරුම නියත ජය ලබනවා  කියලා සංඛ්‍යා දත්ත අතේ තබාගෙන ඔබලා කතා කළත් දිනුවේ රනිල් වික්‍රමසිංහ. ඇයි එහෙම වුණේ?

ඊනියා, දුෂ්ට, විෂම අරගලකරුවෝ මුළු සමාජයම බියවැද්දුවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළුව. අපි දුටුවා ගෙවල් ගිනි තබපු, කොල්ලකාපු ආකාරය සහ කිසිම වරදක් නොකරපු මන්ත්‍රිවරයෙක්ව මහමඟ මරා දැමූ ආකාරය. මේවත් සමඟ මන්ත්‍රිවරු යම්තාක් දුරට ත්‍රස්තවයි සිටියේ. ඔවුන් සිටි අනාරක්ෂිත බවත් සමඟ ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් ඔවුන්ට ආරක්ෂාවක් ලැබෙන බවක් පෙනෙන්න තිබුණේ නැහැ. ඩලස් අලහප්පෙරුම ජනාධිපති වුවහොත් ගෝඨාභය රාජපක්ෂටත් වඩා අරගලකරුවෝ හුරතල් කරාවි කියන බියත් සමඟ තමයි වැඩි ඡන්ද ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවෙන්න ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ ලවා අරගලකරුවන්ගෙන් පළිගන්නද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඕන වුණේ?

අනාරක්ෂිත වුණු,බියෙන් ත්‍රස්ත වුණු වෙලාවකනේ ඡන්ද සටනත් ආරම්භ වුණේ. අපි විශ්වාස කළා ඩලස් අලහප්පෙරුම මහත්මයා ජයග්‍රහණය කරයි කියලා. නමුත් අවසානයේ ඊට පටහැනි දෙයක් තමයි සිදුවුණේ. අනාරක්ෂිතව සිටි බහුතර මන්ත්‍රිවරු ප්‍රමාණයකට අවශ්‍ය වුණේ රැකවරණය සපයන්න පුළුවන් නායකයෙක්. ඒ අනුව තමයි පොහොට්ටුව නියෝජනය කරන බහුතරයක් මන්ත්‍රිවරු නායකත්වය සඳහා රනිල් මහත්මයාව තෝරා ගත්තේ. මොකද රනිල් මහත්මයා දීර්ඝකාලීනව දේශපාලනයේ නිරත වන කෙනෙක්. ඔහු මේ වගේ අවස්ථාවල ශක්තිමත්ව මුහුණ දුන් කෙනෙක් කියන එක ඔවුන් විශ්වාස කළා. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා ගැන එවැනි අත්දැකීම් කාටවත්ම නැහැ. එය තමයි ප්‍රධාන වශයෙන්ම බලපෑවේ.

මුදල් දීලා ඡන්ද ගත්තා කියන කතාව බොරුද එතකොට?

මුදල් දීලා ඡන්ද ලබා ගත්තා කියන කතාව නම් මම එතරම් පිළිගන්නේ නැහැ. කිහිප දෙනෙක් එවැනි දේකට නතු වුණත් 134ම හදාගත්තේ මුදල් දීමෙන් කියන එක විශ්වාස කරන්න තරමක් අසීරුයි.

අරගලය නිෂ්ක්‍රිය කරන්න දරන උත්සාහය රටේ අර්බුද නිෂ්ක්‍රිය කරන්නත් නව ජනපතිවරයා දරයිද?

එතුමා මුලින් අගමැති වුණා. පසුව වැඩ බලන ජනපති වුණා. අවසානේ ජනාධිපති වුණා. ඒ කඩුලු ටික පැන්නට අපි තවම දැකලා නැහැ ඔහු රටට සහ ජනතාවට ගැළපෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. එවැන්නක් පිළිබඳ සාකච්ඡාවක්වත් අපි තවම දුටුවේ නැහැ. එවැනි වැඩපිළිවෙළක් නැතිව රනිල් වික්‍රමසිංහ මහත්මයාට තබා බුදුන් වහන්සේ නැවත පහළ වුණත් මේ අසහනකාරී අර්බුදවලින් ගොඩ එන්න බැහැ. ඒ නිසා අපේ පැත්තෙන් බල කරනවා ඉතාම කඩිනමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදිය යුතු බවට.

ඔබලා විපක්ෂයේ වාඩි වී සිටියදී පොහොට්ටුවේ පිරිස් තවමත් ආණ්ඩුව සමඟ ගනුදෙනු කරනවා නේද?

පොහොට්ටුවේ අති බහුතරයක් ඡන්දය දුන්නේ රනිල් මහත්මයාට. එතැන ඩලස් මහත්මයට ඡන්ද දුන් සුළු ප්‍රමාණයකුත් සිටියා. හදිසි නීතිය දීර්ඝ කිරීමටත් අපි සමඟ පොහොට්ටුවේ යම් පිරිසක් ඡන්දය දුන්නා. ඒ පිරිස ඉදිරියේදී බොහෝදුරට පොහොට්ටුව තුළ නොරැඳී විපක්ෂයේ වාඩිවෙන තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ.

ලුහුබැඳ ගොස් අරගලකරුවන්ව අත්අඩංගුවට ගැනීම තුළ අපි ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්වන්නේ නැද්ද?

පසුගිය දිනෙක රටින් පිටවීමට යෑමේදී අත්අඩංගුවට ගත් ධනිෂ් අලි කියන පුද්ගලයා මූලධර්මවාදියෙක්. මෙයා විවිධ අන්තවාදී මුස්ලිම් සංවිධාන සමඟ ගනුදෙනු කළ අයෙක්. මෙයාලගේ Network එක තිබෙන්නේ ඒ ඒ රටවල් සමඟ. වෙනම කිලකස්තානයක් ඉල්ලන මුස්ලිම් මූලධර්මවාදීන් නියෝජනය කරන ධනිෂ් වැනි අයත් මේ අරගලය තුළ ඉන්නවා. ඔවුන් සැබෑ අරගලකරුවෝ නොවෙයි. බුදු දහම විනාශ කිරීම තමයි ඔවුන්ට අවශ්‍ය. අපට මතකයි ඔහු ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වෙලා විකාශය වන වැඩසටහන් වෙනස් කරන්න කියමින් හැසිරුණු ආකාරය. එය අනුමත කරන්න පුළුවන් හැසිරීමක් නෙවෙයි. එය නීති විරෝධීයි. ඒ නිසා ඔහුව අත්අඩංගුවට ගත යුතුමයි.

මෙවැනි සිදුවීම් හරහා රටේ ආරක්‍ෂක අංශ කෙරෙහි ජනතා අප්‍රසාදයක් ගොඩනැඟෙමින් පවතිනවා නේද?

රටේ ආරක්‍ෂක අංශ දුර්වල වෙන්න වෙන්න රට අරාජික වෙන්න පටන් ගන්නවා. රටේ සාමය, නීතිය සහ ආරක්‍ෂාව බිඳ වැටෙනවා. රටේ පාලනය කුඩුකාරයෝ, පාතාල නායකයෝ අතට පත්වෙනවා. ව්‍යාජ අරගලකරුවන්ගේ න්‍යායපත්‍රවල එක් ඉලක්කයක් තමයි රටේ ආරක්‍ෂක අංශ හෑල්ලුවට ලක් කරලා ඔවුන්ගේ පෞරුෂය බිඳ දැමීම. මේ දිනවල එයට ඕනෑතරම් උදාහරණ පෙනෙන්න තිබෙනවා. හදිසි නීතිය සම්බන්ධව ඡන්දය විමසන අවස්ථාවේදී අපි එයට පක්‍ෂව ඡන්දය දුන්නෙත් ආරක්‍ෂක අංශ ශක්තිමත් කිරීමේ අරමුණින්. අපි ඉතා කඩිනමින් පොලිසිය, හමුදාව ශක්තිමත් කළ යුතුයි. හානිවුණු, බිඳ වැටුණු, පෞරුෂයන් නැවත ගොඩනැඟිය යුතුයි.

පසුගිය දිනෙක ඇමරිකානු තානාපතිනිය නව ජනාධිපතිවරයාව මුණගැසුණා. ගෝඨාභයව බය කර ගත්තා වගේ රනිල් වික්‍රමසිංහවත් බය කරගන්න පුළුවන් වෙයිද?

ගෝඨාභය මහත්මයා බයෙන් හිටපු බව ඇත්ත. රනිල් වික්‍රමසිංහ කියන්නේ වමේ දේශපාලන ධාරාවේ වැඩිම වෛරයට ලක්වුණු කෙනා. නමුත් අපි විශ්වාස කරනවා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල එයාලගේ පැත්තේ හොඳම නියෝජිතයත් ඔහු කියලා. ඔහු පරාද වෙලා වසරකට පමණ පසු නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එනවා. එතැන් සිට ඔහු ඉදිරියට ආපු ගමන් මඟේදී අපිට පෙනෙවා බටහිර නියෝජිතයෙක් විධියට ඔහු කටයුතු නොකළ බව. ගතවූ කාලය තුළ බටහිරට ඕන ඕන විදියට ඔහු කටයුතු කළේ නැහැ. රනිල් වික්‍රමසිංහ කියන චරිතය එහෙම පාවිච්චි වෙලා සවුත්තු වෙන්නෙත් නැහැ. ඔහුගේ අගමැති වීම, ජනපති වීම අහම්බයක්. ඒ නිසා මෙය තුළ රනිල් වික්‍රමසිංහ කියන ප්‍රපංචය හරි වෙනස්.

දැන්ම තියාම ජා.නි.පෙ. රනිල් වික්‍රමසිංහගේ ගුණ වයන්න පටන් අරගෙනද?

ගුණ වැයීමක් නෙවෙයි. දීර්ඝකාලීන දේශපාලන භාවිතය ගත්තම අපිට  ඔහු ගැන විවේචන නැත්තේ නැහැ. නමුත් මෙතැනදී අපි කතා කරන්නේ ඔහුගේ වත්මන් දේශපාලන භාවිතය ගැන. අනෙක තවම පූර්ව නිගමනයකට එන්නත් කල් වැඩියිනේ. එතුමාගේ ඉදිරි කටයුතු බලලයි තීරණයකට එන්න වෙන්නේ.

ඒ කියන්නේ ඔහු ගැන විශ්වාසයක් තැබිය හැකියි කියලද?

මෙහෙමයි. ඔහු ජනාධිපති ධුරයට පත්වුණාට පසුවත් ඇ.එ. ජනපදයෙන් සුපුරුදු නියෝග ටිකයි. සුපුරුදු ට්විටර් පණිවුඩ ටිකයි ලැබුණා. ඔවුන්ගේ ගෝලයන්ට ගහනකොට කොහොමත් එයාලා කනස්සල්ල පළ කරලා ට්විටර් කරන්න ඕනනේ. ඔවුන් එසේ කරන විට ගෝඨාභය මහත්තයා වගේ රනිල් මහත්මයා නිශ්ශබ්ද වුණේ නැහැ. ඔහු ඒවට ප්‍රතිචාර දැක්වූවා විතරක් නෙවෙයි කට්ටියවම කැඳවලා ඇමරිකානු තානාපතිනියගෙන් ඍජුව ප්‍රශ්න කළා. කැපිටල් ගොඩනැඟිල්ලයි, කොංග්‍රස් ගොඩනැඟිල්ලයි අරගලකරුවන්ගෙන් මුදා ගත්තේ කොහොමද කියන එකත් මතක් කරලා දුන්නා. එහෙම ඍජුව කතා කරන්න රනිල් මහත්මයට කොන්දක් තිබුණා. ගෝඨාභය මහත්මයට වඩා ඒක ගැන අපි සතුටු වෙන්න ඕනෑ.

ජා.නි.පෙ. ඇතුළු හවුල්කාර පක්‍ෂ එකමුතුව දැන් සූදානම් වෙන්නේ ඔහොමම ඉඳලා විපක්‍ෂයේ බලය අල්ලන්නද නැතිනම් ජනාධිපතිට කිට්ටු වෙලා ඇමැතිකම් ගන්නද?

මේ ගතවෙන්නේ ඉතාම අසහනකාරී, පීඩාකාරී ප්‍රශ්න ගණනාවක් මතුව තිබෙන මොහොතක්. මෙවන් මොහොතක පක්‍ෂ හදන එකක් ගැනවත් මැතිවරණ පවත්වන එක ගැනවත් තනතුරු ගන්න එකගැනවත් නෙවෙයි අපි සිතන්නෙ. ලක්මව මාරාන්තිකව හඬා වැලපෙමින් සිටින වෙලාවක අපි කල්පනා කරන්නේ මේක නිසියාකාරව කරන කුමන හෝ නායකයෙක්ට කොන්දේසි විරහිතව සහාය දීම ගැන පමණයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ වැඩේ හරියට කරනවා නම් අපි කොන්දේසි විරහිතව සහාය දෙනවා සහ අපි හවුල්කාර පක්‍ෂ එකමුතුව ඉදිරියේදී වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. දැනට අපි මේ යන්න හදන ගමනට උදැල්ල නොදා මේ මහා ගින්න නිවන්න උපකාර කරනවා.

අරුණි මල්ලවආරච්චි