රටවල් අමාරුවේ දාන පොලී මුදලාලි කවුද?

0
11

ශ්‍රී  ලංකාව මීට දින කිහිපයකට පෙර දෙවැනි වතාවටත් ලෝක ණය වෙළෙඳපොළේදී අසාර්ථක ගෙවන්නකු බවට (Default) පත්වී තිබේ. මෙය 2012දී ලබා ගත් ඩොලර් බිලියනයක ණය මුදලත් එම ණය මුදල ආපසු ගෙවීම සඳහා ගිවිසගත් කාලය වූ අවුරුදු 10 සම්පූර්ණ වීමත් සමඟම පොලියත් සමඟ ගෙවා ගැනීමට නොහැකි වීම නිසා සිදුවූවකි.

මීට මාස 02කට පමණ පෙර මේ ආකාරයට අපට ගෙවා ගැනීමට නොහැකි වූ තවත් විදේශණයක කොටස්කාරයෙක් දැනටමත් ලංකාවට විරුද්ධව ඇමරිකන් උසාවියක නඩු පවරා තිබේ.

ලංකාව විසින් චීනයට ඩොලර් බිලියන 6.5ක ණයක් ගෙවීමට ඇත. එය කිසි සේත්ම අපට ගෙවා ගැනීමට නොහැක. චීන ණය ගෙවීම සඳහා එරටින් කල් ඉල්ලන අවස්ථාවේ චීනය කියා ඇත්තේ එසේ කල් ලබාදීමට නොහැකි බවත් එම ණය පොලියත් සමඟ ගෙවීම සඳහා අලුතෙන් තවත් ණයක් දිය හැකි බවය.

විදේශ විනිමය අර්බුදයත් සමඟ සටන් කරන ශ්‍රී ලංකාව මිලියන 22ක් වූ සිය ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන හා ඔෟෂධ ආනයනය සඳහා ගෙවීම් කිරීමේ ගැටලුවක මේ වනවිට සිරවී සිටියි. උද්ධමනය 50%කින් පමණ ඉහළ නඟිද්දී වසරකට පෙර තිබුණාට වඩා 80%කින් පමණ ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවී තිබේ. මේ වසර තුළදී ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම ඇමරිකානු ඩොලරය හා වෙනත් ගෝලීය වශයෙන් මුල් පෙළේ ඇති විනිමය අගයන්ට සාපේක්ෂව පසුබා ඇත. මේ වසරේ රටේ ආර්ථික වර්ධන වේගය – 7 දක්වා පහත වැටීමට හැකියාවක් ඇති බව ඇතැම් විද්වතුන් මත පළ කර ඇත. ගෙවුණු වසර ගණන පුරා ශ්‍රී ලංකාව අතිවිශාල ණය කන්දරාවක් ගොඩගසාගෙන ඇතී අතර එය ප්‍රමාණයෙන් වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 120% පමණ වේ. මෙම අර්බුද සියල්ලක්ම හමුවේ පසුගිය වසර 20ක කාලය ඇතුළත විදෙස් ණය ගෙවීම පැහැර හරින ලද පළමු ආසියා ශාන්තිකර කලාපීය රට බවට ශ්‍රී ලංකාව පත්විණි.

මෙම අර්බුදය විස¼දාගනුවස් ඇමරිකානු ඩොලර් බිලියන 3ක් වූ ණය සහනයක් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලට මේ වනවිට එළැඹ සිටියි. නමුත් රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය එම සාකච්ඡා සාර්ථක කර ගැනීමට බාධාවක් වී පවතී.

 ඇලන් කීනන් (Crisis Group’s Senior Consultant on Sri Lanka) පෙන්වා දෙන පරිදි  දේශපාලන අසමත්කම් ශ්‍රී ලංකා ආර්ථිකය බිඳවැටීමට ප්‍රධාන වශයෙන් හේතුවන ලද අතර ව්‍යවස්ථාමය වෙනසක් හා වඩා ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් හරහා මෙය පිරියම් කරන තෙක් වර්තමානයේ දකිමින් සිටින අනාගතය පිළිබඳ භයානක හීනයෙන් අත්මිදීමට ශ්‍රී ලංකාවට හැකියාව නොලැබෙනු ඇත.

 උද්ධමනය ඉහළ යෑම, පොලී අනුපාත ඉහළ නැඟීම, මුදල් අවප්‍රමාණ වීම, ඉහළ ණය වාරික ගෙවීම, විදේශ මුල්‍ය සංචිත අඩුවීම වැනි ගැටලු නිසා ශ්‍රී ලංකාව දැනට මුහුණදී ඇති තත්ත්වයට සමාන තත්ත්වයකට කලාපයේ තවත් ආර්ථිකයන් ගමන් කරන ලක්ෂණ මේ වනවිට පෙන්නුම් කර ඇත. එයට උදාහරණ ලෙස ලාඕසය, පාකිස්තානය, මාලදිවයින, බංග්ලාදේශය පෙන්වාදිය හැකි වේ.

ඉහළ ණය ලබා ගැනීම් සහ දුර්වල රාජ්‍ය ප්‍රතිපත්ති සහිත රටවල් ගෝලීය යුද උණුසුමක් පවතින මෙම කාලය තුළ ශ්‍රී ලංකාව පැමිණ ඇති පීඩාකාරී තත්ත්වයට සමාන තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇති බවට බල්ගේරියානු ජාතික ආර්ථික විද්‍යාඥවරියක් සහ ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව වන ක්‍රිස්ටලිනා ජෝර්ජීවා (KristalinaIvanova Georgieva) මහත්මිය කරුණු දක්වා ඇත.

ලාඕසය

ගොඩබිම් සීමාවලින් වට වූ මිලියන 7.5ට වැඩි ජනගහනයකින් හෙබි, නැඟෙනහිර ආසියානු රටක් වන ලාඕසය මේ වනවිට විදේශ ණය ගෙවීම පැහැර හැරීමේ අවදානමට මුහුණදී සිටී.

 මේ වනවිට යුක්‍රේනයේ රුසියානු යුද්ධය හේතුවෙන් ඉහළ යන ඉන්ධන මිල ලාඕසයේ ඉන්ධන පරිභෝජනයට දරුණු බලපෑම් එල්ල කර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් ජනගහනයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් දුගී බවේ ගිලී ඇති අතර ලාඕසය තුළ ආහාර මිලද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. බොහෝ වැසියන්ට එදිනෙදා වියහියදම් දැරීමටද පවා අපහසු තත්ත්වයක් උද්ගත වී ඇත, ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් ඇති බව දේශීය මාධ්‍ය වාර්තා කර ඇත. කිප් (Lao kip) නම් වන ලාඕසයේ මුදල් ඒකකයේ අගය පහළ වැටෙමින් තිබෙන අතර මේ වසර තුළදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තුනෙන් එකකට වඩා අවප්‍රමාණය වී ඇත. 2022 වසර මුලදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 11,000 කට පැවති කිප් අගය මේ වනවිට කිප් 15,000 ඉක්මවා ඇත.

 දැනටමත් අධික ණය බරකින් පීඩා විඳින ලාඕසය සිය ණය ගෙවීමේ ගෙවීම් හා  ඉන්ධන ආනයන කිරීමේ අරගලයක සිරවී සිටී. කොමියුනිස්ට් පාලනයක් ඇති ලාඕසය Junk තත්ත්වය දක්වා වර්ගීකරණයෙන් පහත හෙළීමට මූඩි ආයෝජක ආයතනය (Moody’s Investor Services) පසුගිය මාසයේදී පියවර ගෙන ඇත.

 ජලවිදුලි බලාගාර, දුම්රිය මාර්ග වැනි විශාල ව්‍යාපෘති වෙනුවෙන් චීනය අතිවිශාල ණය මුදල් ප්‍රමාණයක් ලාඕසයට පසුගිය කාලයේ ලබාදී ඇත. ලාඕසය ඇතුළත පසුගිය වසරේදී පමණක් ඩොලර් බිලියන 16 ඉක්මවන වටිනාකමක් ඇති ව්‍යපෘති 813ක් සඳහා චීනය පහසුකම් සපයා ඇත. ලෝක බැංකු වාර්තාවන්ට අනුව, 2021 වන විට ලාඕසයේ රජයේ ණය ප්‍රමාණය එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 88%ක් තරම් වූ අතර එයින් අඩක පමණ ප්‍රමාණය අයත් වන්නේ චීනයට වේ. ලාඕසයේ මෙම ආර්ථික අවපාතයට ප්‍රධානතම හේතුව ලෙස විශේෂඥයන් පෙන්වා දෙන්නේ 1975 වසරේ සිට බලයේ සිටින එකම පක්ෂය වන ලාඕස් ජනතා විප්ලවකාරී පක්ෂයේ ආර්ථික අව කළමනාකරණය වේ.

පාකිස්තානය

පාකිස්තාන ආණ්ඩුව ඉන්ධන සහනාධාරය ලබාදීම නවතා දැමීමෙන් අනතුරුව පසුගිය මැයි මස අග සිට පාකිස්තානයේ ඉන්ධන මිල 90%කින් පමණ ඉහළ ගොස් ඇත. සහන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුල සමඟ සාකච්ඡාවල යෙදෙන අතර තුර සිය වියදම් පාලනය කරගැනීමට පාකිස්තානය මේ වනවිට උත්සාහ දරමින් සිටී.

 ජුනි මාසය වන විට වාර්ෂික උද්ධමන අනුපාතය 21.3%ක් වූ අතර එය පාකිස්තානය තුළ වසර 13ක් ඇතුළත වාර්තා වූ ඉහළම උද්ධමන අගය ලෙස සඳහන් වේ.

 ශ්‍රී ලංකාව සහ ලාඕසය මෙන් පාකිස්තානයද විදේශ විනිමය සංචිත හිඟයකට මුහුණදී සිටී. පසුගිය වසරේ අගෝස්තු මස සිට මේ වන විට අඩකින් පමණ පකිස්තානයේ විදේශ විනිමය සංචිත පහළ බැස ඇත.

 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කරන ලද ප්‍රධාන ඉල්ලීම්වලට අතරට ඇතුළත් වූ ආණ්ඩුවේ ආදායම හා වියදම අතර හිඟය අඩුකිරීමට උත්සාහ දරන පාකිස්තානය ඩොලර් බිලියන 1.93ක් ඉපැයීමේ අරමුණින් මහා පරිමාණ කර්මාන්ත මත 10%ක බද්දක් පනවා ඇත. තවදුරටත් රටේ ආනයන වියදම අඩුකර ගැනීමේ පියවරක් ලෙස තේ පරිභෝජනය අඩුකරන්නැයි පාකිස්තාන ආණ්ඩුවේ ජේ‍යෂ්ඨ අමාත්‍යවරයකු පසුගිය මාසයේදී ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. චීනයේ තවත් එක භූමිකාවක් ක්‍රියාත්මක වෙන පාකිස්තානය තුළ, පකිස්තානයේ සමස්ත ණය ප්‍රමාණයෙන් හතරෙන් එකක් චීනයෙන් ලබාගෙන ඇත.

මාලදිවයින

 ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි විවිධාංගීකරණය නොවූ ආර්ථිකයක් පවතින මාලදිවයිනට ඉදිරි කාලයේදී තත්ත්වය තවත් උග්‍ර වීමේ අවදානමක් පවතී. මාලදිවයින 2023 වසර අගදී සිය ණය ගෙවීම පැහැර හැරීමේ අවදානමට ලක්වනු ඇතැයි ඇමරිකානු ආයෝජන බැංකුවක් වන ජේ.පී. මෝර්ගන් ආයතනය (JP Morgan Chase & Co.) සඳහන් කර ඇත.

බංග්ලාදේශය

බංග්ලාදේශය මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඇමරිකන් ඩොලර් බිලියන 4.5ක ණය පහසුකමක් ඉල්ලා ඇති අතර පාකිස්තානය හා ශ්‍රී ලංකාව හැරුනුකොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය පහසුකම් ඉල්ලා ඇති තෙවැනි ආසියානු රට බවට බංග්ලාදේශය පත්ව ඇත, පසුගිය වසරේ ඩොලර් බිලියන 2.78ක් වූ – මේ වසරේ ඩොලර් බිලියන 17.2ක් වන ජංගම ගිණුමේ හිඟය පියවා ගැනීමට මෙම ණය මුදල මඟින් අපේක්ෂා කරයි.

ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ප්‍රමාණයේ ඉහළ ප්‍රතිශතයක් චීනය දරන බැවින් එම රටවල ඉරණම ඉතා තීරණාත්මක ලෙස පාලනය කිරීමේ හැකියාවක් චීනය සතුව පවතී. විශේෂයෙන්ම චීනයේ ණය කොන්දේසි මොනවාද යන්න හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙසේ සිදුවන්නේද යන්න පිළිබඳව ණය ලබාගත් කිසිදු රටකට පැහැදිලි අවබෝධයක් නොතිබීම තතත්වයේ බැරෑරුම්කම පිළිබඳව අදහසක් ගැනීමට බාධාවක්ව පවතී. එමෙන්ම ඉහළ ආර්ථික ප්‍රතිලාභයක් නොගෙනෙන මිල අධික යටිතල පහසුකම් ව්‍යාපෘති ඇති කිරීමට දිරිගැන්වීම හා පහසුකම් ලබාදීම වෙනුවෙන් මේ වනවිට චීනය ලෝකයේ ‍ෙදා්ෂ දර්ශනයට ලක්ව ඇත.

ආචාර්ය ඩබ්ලිව්.කේ.

කොළඹගේ