මේ වගේ වෙලාවක තිබෙන එකම විශ්වාසය ආගම විතරයි

0
80

ඔහු ඓතිහාසික මෙන්ම බෞද්ධ තේමාත්මක සිනමාවේ පතාක යෝධයෙකි. ශ්‍රද්ධාමාර්ගික සිනමාකරණය තම මුදුන්මල්කඩ ලෙසින් සලකන මෙම සිනමාකරුවා ප්‍රේක්ෂකයාගේ සිත් වශී කරගන්නේ බැති සිත් වඩවමිනි. ඔහු ශ්‍රී  ලාංකේය සිනමාවේ නොමැකෙන නිර්මාණ විසල් ප්‍රමාණයක හිමිකරුවාය. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ කලාකීර්ති ශ්‍රී සනත් අබේසේකරයන්. මේ දවස්වල ඔබේ වැඩකටයුතු ගැන කතාකරමු?

මේ දවස් අසිරිමත් දළදාගමනය ටෙලිනාට්‍යයේ රූගත කිරීම් එක්ක ගෙවිල යනවා. එහෙමයි මේ දවස් ගෙවෙන්නෙ.

අසිරිමත් දළදාගමනය ගැන කතා කරමු?

මේ ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නෙ මගේ සිරි දළදාගමනය චිත්‍රපටයේ දිගුවක් විධියට. මේ චිත්‍රපටය නරඹපු හිරු නාළිකාවේ අධිපතිතුමා වන රෙනෝ ද සිල්වා මහතා මට මේ නිර්මාණය වැඩි දියුණු කරමින් ටෙලි කතා මාලාවක් විධියට නිර්මාණය කරමු කියල යෝජනා කළා. හිරු ටී.වී. ආයතනය මේ නිර්මාණයෙහි නිෂ්පාදනයට දායක වෙනවා. ඒ විධියට තමයි මේ අසිරිමත් දළදාගමනය නිර්මාණය වෙන්නෙ.

මම මේ නිර්මාණය සිදු කිරීම සඳහා දාඨාවංශය සහ මහාවංශය පරිශීලනය කළා. ඒ වගේම මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් අනුශාසනා, උපදෙස් ලබාගත්තා. විශේෂයෙන්ම මතක් කළ යුතු හිමිවරුන් කිහිපනමක්ම සිටිනවා. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මල්වානේ චන්ද්‍රරත්න හාමුදුරුවො මට ගොඩක් උපදෙස් ලබා දුන්නා. ඒ වගේම ආචාර්ය ගයාන් චානුක විදානපතිරණ මහතාත් මට බොහෝ උපකාර කළා. මේක දීර්ඝ ටෙලිනාට්‍යයක් ලෙස කරුණු ඒකරාශී කරමින් ගොඩනැඟීමට ආචාර්ය කේ.බී. හේරත් මහතා විශාල ලෙස වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. ඔහු තමයි මෙහි තිර පිටපත රචනා කරන්නෙ. සතියේ දින පහේම රාත්‍රි 7.30ට ආදරණීය ප්‍රේක්ෂකයාට මේ නිර්මාණය නරඹන්න පුළුවන්.

ඔබේ නිර්මාණ බොහොමයක් බෞද්ධ ඓතිහාසික තේමාවක් ගන්නවා ඒ ඇයි?

මේක මට පුංචි කාලෙදිම ලැබුණු උරුමයක්. මගේ ගම නුවර. අපි නින්දට යන්න කලින් අපේ අම්මා අපිට කතන්දර කියල දෙනවා. අම්ම හැම වෙලාවෙම කියල දුන්නෙ රජ කතන්දර, බෞද්ධ සාහිත්‍යයේ එන කතන්දර. ඒවාවලින් තමයි මට මේ නිර්මාණකරණයට ආභාසය ලැබෙන්නෙ. ඒව තමයි මාව ගොඩනැඟුවේ. මේ සාහිත්‍යමය දැනුම මට ලබෙන්නෙ අම්මගෙන්. අපි නින්දට ගියෙත් ඒ ඓතිහාසික ලෝකයත් එක්ක. අපි ජීවත් වුණේ එහෙම. මේ පසුබිම වගේම පේරාදෙණියේ සාරානන්ද පිරිවෙනෙන් ලැබූ අධ්‍යාපනය සමඟ තමයි මම බෞද්ධ සහ ඉතිහාසයට ළැදි නිර්මාණකරුවෙක් බවට පත් කරන්නෙ. මහින්දාගමනය, මහ රජ අජාසත් වගේ නිර්මාණ පවා හැදෙන්නෙ මගේ කුඩා කාලෙදි ගොඩනැඟුණු දේවල් එක්ක.

ඔබේ නිර්මාණ ආදරයෙන් වැලඳගත් ලාංකේය ප්‍රේක්ෂකයා ගැන ඔබේ අදහස?

මගේ නිර්මාණ ප්‍රේක්ෂකයා ශ්‍රද්ධාවෙන් වැලඳ ගත්තා. මගේ බොහෝ නිර්මාණ ආදායම් වාර්තා බිඳ හෙළුවා. ඒ වගේම තමයි වැසීගිය සිනමාශාලා බොහෝමයක් මේ බෞද්ධ සිනමාවත් සමඟ නැවතත් මල්ඵල ගැන්වුණා. මේක විශාල ප්‍රබෝධයක් වුණා. සිනමා ශාලාවල පමණක් නොවෙයි ඉන් එපිටත් මම ප්‍රොජෙක්ටර් දාලා මේ සිනමාව අෑත ගම් දනව්වලට රැගෙන ගියා. මගේ නිර්මාණ පිටරටවල ප්‍රේක්ෂකයා පවා වැලඳ ගත්තා. ඓතිහාසික නිර්මාණයක් වුණ මහවිරු පණ්ඩු වගේ නිර්මාණ පවා ජනතාව ආදරයෙන් වැලඳ ගත්තා.

මිනිස්සුන්ට ලාංකේය මෙන්ම ඉන්දීය ඉතිහාසය ගැන දැන ගන්න තිබෙන්නෙ නොතිත් ආශාවක්. මේ හේතුවෙන් මගේ නිර්මාණ පිළිබඳව ප්‍රේක්ෂකයා නිරන්තරයෙන් සොයා බලනවා.

සමාජ මාධ්‍ය ගැන ඔබේ අදහස කවරාකාරද?

මම මේක දකින්නේ ඉතා හොඳ දෙයක් විධියට. ප්‍රේක්ෂකයා කියන්නෙ ටෙලිවිෂනය නරඹන පිරිසම පමණක් නෙවෙයි. යූටියුබ් හරහාත් විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් මේ වෙද්දි නිර්මාණය වෙමින් පවතිනවා. මේ හරහා අන්තර්ජාතිකවත් ප්‍රේක්ෂකයන් නිර්මාණය වෙනවා. මම මේ ප්‍රවණතාවට ඉතාම කැමතියි.

වත්මන් අර්බුදය හමුවේ ඔබේ ටෙලිනාට්‍ය නිර්මාණය වෙන විධිය ගැන කතා කරමු?

මේක ඉතා අපහසු කාලයක්. ප්‍රවාහන පහසුකම් සහ ආහාර සඳහා කලින් දරපු පිරිවැය මේ වෙද්දි දෙගුණ තෙගුණ වෙලා. සාමාන්‍යයෙන් මගේ නිර්මාණයකට දවසකට අසූ දෙනකුගෙන් අනූ දෙනකුගෙන් යුතු පිරිසක් සහභාගි වෙනවා. ඒ වගේම ඒවාට දැරිය යුතු පිරිවැය ඉතා වැඩියි. අපි ඉතිහාසයේ එක්තරා යුගයක් නිර්මාණය කරනවා මේ හේතුවෙන් දරන්න ඕන වෙහෙස සුළුපටු නැහැ. රෙනෝ ද සිල්වා මහතාගේ බලවත් උපකාරයන් මත තමයි අපි මේ ක්‍රියාවන් දිගටම සිදු කරගෙන යන්නෙ. මේක වෙළෙඳ දැන්වීම් පවා ඉතා අඩු කාලයක්. ඇත්තටම මම දකින්නෙ මේ කර්තව්‍ය බෞද්ධ ශාසනය සහ රට වෙනුවෙන් කරන වටිනා ශ්‍රද්ධාත්මක දෙයක් ලෙසිනුයි. මේක උතුම් දළදා වහන්සේ වෙනුවෙන් කරන විශාල කැපකිරීමක්.

ගුත්තිල මූසිල සිනමා නිර්මාණය ප්‍රමාදයි. ඒකට හේතුව මොකක්ද?

මෙය ගුත්තිල කාව්‍ය ඇසුරෙන් නිර්මාණය වුණු නිර්මාණයක්. මේ කවිවල තිබුණු සාරය මම කතන්දරයක් විදියට නිර්මාණය කළා. මෙහි තිරපිටපත රචනා කළේ මම. මෙයත් විශාල පිරිවැයක් දරපු සිනමාපටයක්. සාමාන්‍යයෙන් කෝටි අටහමාරක් වගේ මුදලක් මේ සඳහා වියදම් කළා. නමුත් මේ වාතාවරණය සමඟ එය එළිදක්වලා අර දැරූ පිරිවැය කිසිදු ලෙසකින් උපයාගන්න බැරිවේවි. පිටරට ප්‍රදර්ශනය කළත් මම සිතන්නෙ නැහැ මේ මුදල සොයා ගන්න පුළුවන් කියලා. ඉතින් රටේ ආර්ථික තත්ත්වය සතුටුදායක වුණු ගමන්ම මේක ප්‍රේක්ෂකයාට වැලඳගැනීමට ඉඩ ලබා දෙනවා.

ඔබේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් තමයි සිනමාශාලා ධර්මශාලා කිරීම එය අදටත් වලංගුද?

ආර්ථික වශයෙන් රටක් පීඩා විඳිනකොට අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ පවා මිනිස්සුන්ට තිබෙන එකම හව්හරණ වෙන්නෙ ආගම. ඒ වගේම මිනිස්සුන්ට ආගම දහම ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. මේ වෙලාවෙ කිසිදු පාලකයෙක් හෝ කිසිදු දෙයක් ගැන විශ්වාසයක් තබන්න බැහැ. මේ හැමදේම ගැන හිතල බැලුවත් ආගම තමයි මිනිස්සුන්ට තිබෙන එකම උපකාරය. මිනිහෙක් අද තෙල් ගහන්න පෝලිමකට ගියොත් සතියකින් තමයි ගෙදර එන්නෙ. මේකට කිසිම විධියක උත්තරයක් නැහැ. අපි මිහින්තලයෙ රූගත කිරීමකට අනුරාධපුරයේ ගිය වෙලාවක මිනිස්සු විඳින දුක් දැක්කා. තෙල් පෝලිම්වල පැදුරු එළාගෙන මිනිස්සු විඳින දුක දරාගන්න බැහැ. මේ ප්‍රශ්න හැම තැනටම පොදුයි. මේ වගේ අවස්ථාවක මිනිස්සුන්ට තිබෙන එකම විශ්වාසය ආගම. අපේ රටේ ධාර්මික රජවරුන් ගත්තත් රජකම් කළ රජවරුන් 185 දෙනා ගත්තත් ඔවුන් ගොවිතැනට විශේෂ තැනක් දුන්නා. දැන් මේ ක්‍රමය තුළ එහෙම ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ඉතිහාසයෙන් ඉගෙන ගන්න ඕනෙ ඒ දේවල්. රජු ධාර්මික වීමයි වැදගත්. නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයා ආගමට දහමට යොමු කිරීම තමයි කරන්න ඕනෙ. පින, පව, කුසල්, අකුසල් වගේම දන්දීම ආදියත් මේ වගේ කාලයක අවබෝධ කරගැනීම තමයි වැදගත්. නිර්මාණකරණයේ වැදගත්කම වෙන්නෙ ඒක.

ඉදිරියට එන්න තිබෙන වැඩකටයුතු?

මේ දවස්වල අසිරිමත් දළදාගමනය වෙනුවෙන් මහන්සි වෙනවා. තිර පිටපත පවා ලියා අවසන් කළ සිනමාපටයක් තිබෙනවා. ඒක තමයි මගේ ඉස්සරහට එන්න තිබෙන නිර්මාණය වෙන්නෙ. රටේ තත්ත්වය සතුටුදායක වූ පසු ඒකෙත් වැඩකටයුතු පටන් ගන්නවා.

ගිහාන් සචින්ත