මිනිස් පුලුටක්වත් නැතිව මුහුදේ පාවෙවි තිබුණු අරුම පුදුම නෞකාව මාරි සෙලෙස්ට්

0
250

මුහුද කියන්නෙම අපි කොයි කාගෙත් සිත්වලට නිදහසක් ලබා දෙන්න පුළුවන් හරි අපූරු ස්ථානයක්නේ. අභ්‍යවකාශයට ගොස් නිරීක්ෂණය කළහොත් පෘථිවි පෘෂ්ඨයෙන් වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ 70%ක් පමණ පැතිරිලා තිබෙන මේ ඉමක් කොනක් නැති සාගරය හරි අපූරුවට බලාගන්න පුළුවන්. මිනිසාගේ පැවැත්මට වගේම පෘථිවිය තුළ සිදුවන බොහොමයක් කාලගුණික හා දේශගුණික විපර්යාසවලට පවා  මේ මහා සාගරය වඩාත්  බලපෑම්කාරී සාධකයක් වෙනවා. අහස්යානා වගේ කොයිතරම් දියුණු ප්‍රවාහන මාදිලි තිබුණත් තවමත් ආහාර, ඇඳුම් පැලඳුම්, වාහන, ඉන්ධන වගේ ලෝකය පුරා අලෙවි වෙන බොහොමයක් වෙළෙඳ භාණ්ඩවලින් 90%ක් පමණ තවම ප්‍රවාහනය සිදුකරන්නෙත් මුහුදු මාර්ග හරහා නැව් මඟින්.

මේ කරුණු කාරණා කොහොම වුණත් තවමත් සාගරය එක්ක බැඳුණ කිසිවෙක් නොදන්න කරුණු බොහොමයක් මේ සාගර පතුලේ සැඟවෙලා තිබෙනවා. මොකද තවමත් මේ සාගරයෙන් 80%ක් පමණ මිනිස් නිරීක්ෂණයට ලක්වෙලා නැහැ. ඒ විතරක් නොවේ මිනිසුන් මුහුදු ගමනාගමනය ආරම්භ කරපු මුල් කාලෙ ඉඳලම දියකිඳුරියන්, මායා දූපත්, මුහුදු රාක්ෂයන් වගේ දේවල් ගැන අමුතු කටකතාත් බොහොමයක්  පැතිරිලා තිබුණත් ඒව ගැන නිවැරදි තොරතුරක් අද දක්වාම වාර්තා වෙලා නැහැ. කොහොම වුණත් අද අප මේ ලිපිය තුළින් තොරතුරු විමසන්නට බලාපොරොත්තු වන්නේ  නම් එහෙම දෙයක් පිළිබඳ නොවේ.

අපි අද කතා කරන්නේ මේ වෙද්දි අවුරුදු 150ට අධික කාලයක් ගෙවිල තිබුණත් තවමත් නොවිසඳුණු “මේරි සෙලෙස්ට්” නෞකාවේ අබිරහස පිළිබඳවයි. ඉතිහාසයේ කියවෙන ආකාරයට ‘මේරි සෙලෙස්ට්’ කියන්නේ ආරම්භයේ ඉඳන්ම අවාසනාව උපරිමයෙන්ම අත්විඳපු නෞකාවක් කිව්වොත් හරියටම හරි. මේ නැව මුලින්ම ලියාපදිංචි කරල තිබෙන්නේ “Amazone” කියන නමින්. 1861දී නෝවාස්කෝෂියා සිට ලන්ඩන් දක්වා තමයි මේ නැවේ මංගල ගමන යෑමට නියමිත වෙලා තිබුණෙ. එහෙත්  අනපේක්ෂිත විධියට නැව පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි නැවේ කපිතාන්වරයා හදිසියේම අසනීප වී මියගිය නිසා ඒ ගමන ප්‍රමාද වී තිබෙනවා.

ඉන්පසු අලුත් කපිතාන්වරයෙක් එක්ක නියමිත ගමන පිටත් වූවද ඉංග්‍රීසි ඕඩයේදී තවත් නෞකාවක ගැටිලා ඒ නැව මුහුදුබත් කරන්න මේරි සෙලෙස්ට් නැව හේතුවක් වෙනවා. තවත් මේවගේ අවාසනාවන්ත සිදුවීම් ගණනාවකට පසුව 1867දී කුණාටුවකට හසුවෙලා බරපතළ විධියට හානි සිදුවන මේ නෞකාව හිමිකරුවන් අත්හැරල දැමීමට, මේ නැව නිසා දිගින් දිගටම මුහුණ දීමට සිදුවුණු කරදර සහ අලාභයන් හේතුවක් වෙන්න ඇති. සුන්බුන් වූ නැව අවසානයේ ගැනුම්කරුවන් කිහිපදෙනකු අතර හුවමාරුවී කොහොමහරි “මේරි සෙලෙස්ටි” කියලා නම් වෙලා තිබෙනවා.

  මේ නෞකාව පිළිබඳ ලෝකයේම අවධානය යොමුකරවූ ආන්‍ෙදා්ලනාත්මක සිදුවීම සිදුවන්නේ 1872 දෙසැම්බර් 04 වැනිදා. මේ කියන දිනයේදී ඩිග්‍රේටියා කියන කැනේඩියානු නෞකාවේ කපිතාන් “ඩේවිඩ් මෝහවුස්” අත්ලාන්තික් සාගරය හරහා ඇමරිකාවේ නිව්යෝර්ක් වරාය බලා යාත්‍රා කරමින් සිටියා. මේ වෙද්දි ඩිග්‍රේටියා නෞකාව තිබුණේ ඇසෝරස් නගරයට සැතපුම් 400ක් විතර දුරකින්. අත්ලාන්තික් සාගරයේ රළු ස්වභාවය මැදින් යාත්‍රා කරන නැවේ කපිතාන් මෝහවුස් සුපුරුදු විදිහට තමන්ගේ දුරේක්ෂයෙන් ක්ෂිතිජය නිරීක්ෂණය කරමින් සිටින විට මොහුට හදිසියේම කිසිම හැලහොල්මනක් නැතිව නිශ්චලව තිබෙන නැවක් දකින්න ලැබෙනවා. මේ දර්ශනයෙන් ටිකක් කැලඹීමට පත් වුණත් තමන් ගමන් ගන්නා මාර්ගයේම තිබෙන නිසා නැවට සමීප වී නිරීක්ෂණය කරන්න ඔහු තීරණය කරනවා. ඒ නිසා ඩිග්‍රේටියා නෞකාව ක්‍රමයෙන් මේ නැව වෙත ළඟා වෙනවා.

එහිදී මේ නැව හ¾දුනා ගැනීමෙන් කපිතාන්වරයා තවත් පුදුමයට පත් වෙනවා. මොකද ඒ තිබිල තිබෙන්නේ ඔහුගේ නැව යාත්‍රා කිරීමට දවස් 08ට පමණ පෙර මත්පැන් බැරල් 1,700ක් රැගෙන නිව්යෝර්ක් නගරයෙන් පිටත් වූ මේරි සෙලෙස්ට් නැවයි. දින වකවානු පිළිබඳ විමසා බැලීමේදී හරි නම් මේරි සෙලෙස්ට් නැව මේ වෙද්දී ඉතාලිය ආසන්නයේ යාත්‍රා කළ යුතු බවත්, එසේ නම් කොහොමද මේ නැව තවමත් මෙහි රැඳී තිබෙන්නේ යන්න පිළිබඳවත් මෙහිදී කපිතාන්වරයාට ගැටලුවක් මතුවනවා. ඇත්තටම මොකක්ද මේ නැවට සිදුවුණේ කියන ප්‍රශ්නය නිසාම කපිතාන් තවත් නාවිකයන් කිහිපදෙනකු සමඟ ගොස් මේ නැව පරීක්ෂා කරනවා.

 කපිතාන් මෝහවුස් මේ නැව දකිද්දි ඒකෙ රුවල් පවා ඔහුට දිස් වෙන්නේ හරිම අසාමාන්‍ය විදියට. කොහොම වුණත් නැවට ගිහින් පරීක්ෂා කරන ඔවුන්ට දකින්න ලැබෙන්නේ නම් හිස් බවක්ම විතරයි. කොතනක හරි මේ නැවේ ගමන් කරපු අය ඇති කියන අපේක්ෂාවෙන් කොතරම් පරීක්ෂා කළත් කිසිම නැවියෙක් ඔවුන්ට හමු වෙන්නේ නැහැ. ඒත් ගින්නක, ගැටුමක, ප්‍රචණ්ඩ ක්‍රියාවක සලකුණක් දකින්න ලැබෙන්නෙත් නැහැ. තවදුරටත් නැව පරීක්ෂා කරන ඔවුන් නාවිකයන්ගේ කාමර පවා සෝදිසි කරනවා. කාර්ය මණ්ඩලයේ පිරිසගෙ බඩු භාණ්ඩ තිබූ ආකාරයටම කුටිවල තිබුණ වගේම මාස 06කට පමණ ප්‍රමාණවත් තරම් ආහාරත්, වතුරත් නැවේ තිබිල තිබෙනවා.

  නැවට වුණ හානියක් විධියට දකින්න ලැබිල තිබෙන්නේ නැවේ රුවල් සහ ඒව එකිනෙකට සම්බන්ධ කර තිබූ කඹවලට සිදුවී තිබූ හානිය පමණයි. නැවේ අඩි දෙකක තුනක පමණ ජල තට්ටුවක් පිරිල තිබුණත් එයද අනතුරක සේයාවක් වුණේ නැහැ. මේරි සෙලෙසට් නෞකාවේ නැව් තට්ටුව මැද තිබෙන ප්‍රධාන කුහරය විවෘත කර නොමැති වුවත් නැවේ දෙකෙලවර තිබෙන සිදුරු දෙකම ඒ වෙද්දි විවෘත වෙලයි තිබිල තිබෙන්නේ. එහෙත්  එතැන තිබූ මද්‍යසාර තොගයට අතවත් තියල තිබුණේ නැහැ. එහෙනම් මෙතැන මුහුදු කොල්ලකරුවන්ගෙවත්, මත්ලෝලීන්ගෙවත් පහර දීමක් සිදු වූ බවකට පුරෝකථනය කළ නොහැකියි.                                   

නැව ගිලෙන අවදානමක තිබුණේ නැති නිසා සැක සිතෙන කාරණයක් විදිහට ඔවුන්ට දකින්න ලැබුණේ නැවේ ජීවිතාරක්ෂක බෝට්ටුව වගේම කපිතාන්ගෙ නාවික උපකරණ සහ නැවේ ලියකියවිලි කිහිපයක් අතුරුදන් වෙලා තිබීම පමණයි.

නැවේ ලොග් පොතේ අවසන්වරට සටහන් වෙලා තිබුණේ නොවැම්බර් 25 උදෑසන 8.00ට යෙදූ සටහනක්.

ඒ කියන්නේ මේ සිදුවීම වෙන්න දින 10කට පෙර දවසක්. එහි තිබූ අවසන් සටහනේ සඳහන් වී තිබුණේ මේරි සෙලෙස්ට් නැවට ඇසෝසියේ සැන්ටමේරියා දූපත් දිස්වීම පිළිබඳවයි. කපිතාන් මෝහවුස් සහ කාර්ය මණ්ඩලයට මේරි සෙලෙස්ටි නැව හමුවෙද්දී ඒක කිලෝමීටර් 750ක් විතර නැඟෙනහිර දෙසට පාවෙලයි තිබිලා තියෙන්නේ. නෞකාවෙ කපිතාන් බෙන්ජමින් ස්පූනබි්‍රග්ස්, ඔහුගේ බිරිය සාරා, ඔවුන්ගේ අවුරුදු 02ක් වයස දියණිය සොෆියා වගේම  කාර්ය මණ්ඩල සේවකයන් හත්දෙනකුද කිසිදු සාක්ෂියක්වත් නැතිවම අතුරුදන් වෙලා තිබුණා.              

කපිතාන් බි්‍රග්ස් කියන්නේ අත්දැකීම් බහුල කපිතාන්වරයෙක් වගේම මේ නැවේ සම අයිතිකරුවෙක්. නැවේ කාර්ය මණ්ඩලය තෝරා ගෙන තිබෙන්නෙත් ඔහුමයි. ඒ කාර්ය මණ්ඩලය සැලකෙන්නෙත් පළමු පන්තියේ නාවිකයන් විධියටයි. සාමාන්‍යයෙන් කපිතාන්වරයෙක් නැවක් සුළු කාරණාවක් නිසා අතහැරල යන්නේ නැහැ. මේ වගේ අත්දැකීම් බහුල පළමු පන්තියේ නාවිකයන් පිරිසක් නැව කිසියම් බරපතළ හේතුවක් නැතිව අතහැරල දායිද? එහෙනම් සිදුවුණ එතරම් බරපතළ හේතුව මොකක්ද? හෝඩුවාවක්වත් නැතිව පුද්ගලයන් දස දෙනෙක් මේරි සෙලෙස්ට් නැවෙන් අතුරුදන් වුණේ කොහොමද? මේ විධියේ ප්‍රශ්න රාශියකින් ලෝකය පුරාම පුවත්පත්, සඟරා පිරී ගියත් මෙවර නම් ඒ සෑම මාධ්‍යයකටම කලින් මේ අබිරහස ජිබෝල්ටා අධිකරණයට පැමිණෙනවා.                                 

 කපිතාන් මෝහවුස් තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැනවත් නොහිතා එය කිලෝමීටර් 1,100ක් එපිටින් තිබුණ ජිබෝල්ටාවට රැගෙන පැමිණ තිබෙනවා. ඒ “ගලවාගැනීමේ හිමිකම” ලබා ගැනීමේ අරමුණින් බව පසුව අනාවරණය වුණා. ගලවාගැනීමේ හිමිකම කියන්නේ පැරණි නාවික නීතිවල අඩංගු වුණ කොටසක්. එම නීතියට අනුව ගැඹුරු මුහුදේ අනතුරට පත්ව තිබෙන නැවක් එහෙමත් නැත්නම් නැව් භාණ්ඩ තොගයක් යම් අයෙක් බේරා ගතහොත් නැවේ වටිනාකමට සමානුපාතිකව තෑගි මුදලක් නැව් සමාගම ගෙවිය යුතුයි. ඉතිං මෙහෙම ජිබෝල්ටාවට රැගෙන එන මේරි සෙලෙස්ට් නැව ගලවාගැනීමේ හිමිකම සම්බන්ධ නඩුව අවසන් වන තුරු අදාළ බලධාරීන් විසින් රාජසන්තක කර තිබෙනවා.                              

 එහෙත් මේ නඩුවේ එක්තරා තැනකදි ඔවුන් නිගමනයකට එළඹෙනවා කපිතාන් බි්‍රග්ස් ඇතුළු පිරිසගේ අතුරුදන් වීම මොකක්ම හරි අපරාධයක කොටසක් විය හැකියි කියලා. නැව් බඳේ සමහර තැන්වල දකින්න ලැබෙන පොරවක් වගේ දේකින් කළ හානි කිරීම්, නැව් පොළොවේ වගේම කපිතාන්ගේ කඩුවෙත් දකින්න ලැබෙන අඳුරු පැල්ලම් කිහිපයක් තමයි මේ සැකයට හේතුව වෙලා තිබෙන්නේ. මන්ද ඔවුන් සැක කරනව මේ පැල්ලම් සමහරවිට රුධිර  පැල්ලම් විය

හැකි බවට.

ජිබෝල්ටාවල නීතිපතිවරයා විශ්වාස කරන්නේ දවසක් රාත්‍රියේ නැව් භාණ්ඩ අතර තිබුණ විස සහිත ඇල්කොහොල් පානය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන් කපිතාන් බි්‍රග්ස්වත් එයාගෙ පවුලේ අයවත් ඝාතනය කර ජීවිත ආරක්ෂක බෝට්ටුවෙන් පලා යන්නට ඇති බවයි. එහෙත් පසුව නැවේ එහෙම දෙයක් නොවූ බව විද්‍යාත්මක පරීක්ෂණවලින් ඔප්පු වෙනවා. මේ නිසා බලධාරීන් මාස 03කට පස්සේ මේරි සෙලෙස්ට් නැව නිදහස් කරන්නත්, කපිතාන් මෝහවුස්ට සහ පිරිසට අදාළ ගලවා ගැනීමේ හිමිකම ලබා දෙන්නත් තීරණය කරනවා.

හැබැයි නැවේ වන්දි මුදල විදිහට ඔවුන්ට හිමි වෙන්නේ ඩොලර් 8,000ත් අඩු මුදලක්. මේක ඔවුන් බලාපොරොත්තු වෙන මුදලට වඩා සෑහෙන්න අඩු මුදලක්. කපිතාන් මෝහවුස් ඇතුළු පිරිස වන්දි මුදල ලබා ගැනීමේ අරමුණින් මේරි සෙලෙස්ට් නැවේ පිරිස මරා දැමූ බවට උසාවියට ඇති වෙන සැකය තමයි මේ අඩු වන්දි මුදලට හේතු වෙලා තිබෙන්නේ. කොහොම වුණත් මේ කාරණයත් කවදාවත්ම සාක්ෂි සහිතව ඔප්පු වෙලා නම් නැහැ.                                       

මේ සිද්ධිය ගැන කියවුණ තවත් කතාවක් තමයි මෙය කපිතාන් මෝහවුස් සහ කපිතාන් බි්‍රග්ස් එකතු වී නැවේ වන්දි මුදල ලබා ගැනීම සඳහා සිදුකළ උපක්‍රමයක් යන්න. තවත් පිරිසක් කිව්වේ කපිතාන් බි්‍රග්ස් වියරුවෙන් අනෙක් පුද්ගලයන් ඝාතනය කර, තමනුත් සියදිවි නසා ගන්නට ඇති බව. මේ විධියට ගෙවුණු දශකය පුරාම මේරි සෙලෙස්ට් අබිරහස ගැන විවිධ කතා බොහොමයක් විටින් විට වාර්තා වුණත් තවමත් මේ අබිරහස විසඳන්න නම් හැකි වෙලා නැහැ.

මේරි සෙලෙස්ට් නැවේ අතුරුදන් වීම පැහැදිලි කරන එක ඉතාම අපහසු වුණත් වසර ගණනාවක් පුරාම ජනප්‍රිය වෙලා තිබුණ පැහැදිලි කිරීම් කිහිපයක්ම තිබෙනවා. නැවේ පිරිල තිබුණ වතුරවලට යම් ආකාරයක සාධාරණයක් ඉටු කරන්න සමත් වෙන ඒ වගේ ජනප්‍රිය මතයක් තමයි මේ නැව ටොනේඩෝවකට හසු වුණා කියන මතය. මේ ටොනේඩෝව නිසා කිසියම් ආකාරයකට නැවට වතුර කාන්දු වෙන්න ඇති. ඒ වතුර කාන්දුවීම නැව ගිලීයෑමේ අවදානමක් විධියට හඳුනාගෙන කපිතාන් ඇතුළු පිරිස නැව අතහැරල ජීවිතාරක්ෂක බෝට්ටුවෙන් පිටත් වුණා වෙන්නත් පුළුවන්.                          

ස්වාභාවික ව්‍යසනයක් ගැන විශ්වාස කරන පිරිසක් කියන්නේ මුහුදු පතුලේ ඇති වුණ භූකම්පනයක් නිසා නැවේ කැලඹීමක් ඇති වුණ බවයි. ඒකෙන් හානි වුණ ඇල්කොහොල් බැරල්වලින් නිකුත් වුණ දුමාරය මේ අනතුරට හේතු වෙන්න ඇති කියලයි ඔවුන් විශ්වාස කරන්නේ. භාණ්ඩ ගබඩා සිදුරු දෙකේ පියන් ගැලවී යෑමට වගේම ඇල්කොහොල් බැරල් 09ක් හිස් වෙලා තිබීමටත් මේක හොඳ පැහැදිලි කිරීමක් ලබා දෙනවා. නැව පුපුරා යෑමේ අනතුර දැකපු බි්‍රග්ස් තමන්ගේ කණ්ඩායමත් එක්ක ජීවිතාරක්ෂක බෝට්ටුවට ගොඩ වුණා වෙන්න පුළුවන්. හැබැයි මේ නිගමනයෙත් ගැටලු සහිත තැන් කිහිපයක්ම තිබෙනවා. ඒත් ගැඹුරු මුහුදේ ජීවිතාරක්ෂක බෝට්ටුවකට වඩා නැව තුළ ඉන්න එක ආරක්ෂිත වෙන්නේ නැද්ද?

  කොහොම වුණත් සමකාලීනව ඒහා සමාන සිද්ධි බොහොමයක්ම වාර්තා වෙලා තිබූ නිසා නැව පුපුරා යෑමේ අවදානම සම්බන්ධ මතයට ඒ කාලෙ ලොකු පිළිගැනීමක් ලැබිල තිබුණා. නැවේ තිබුණු හිස් වූ ඇල්කොහොල් බැරල්වලටත් ඒ මතය හොඳින් ගැලපුණා.

මොකද නැවේ හිස්වෙලා තිබුණ මද්‍යසාර බැරල් නවයම හදල තිබුණේ රතු ඕක් දැවවලින්.

අනෙක් බැරල් සාදා තිබුණ සුදු ඕක් බැරල්වලට සාපේක්ෂව මේ රතු ඕක් බැරල් සිදුරු සහිතයි. ඒ නිසා ඇල්කොහොල් කාන්දු වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒවගේ පිපිරීමක් වෙන්න වුණත් පුළුවන්. එහෙත් මේ වගේ පිපිරුමක් ගැනත් කිසිම සාක්ෂියක් මේරි නැවේ තිබුණේ නැහැ.                      

2006 අවුරුද්දෙදී මේ ගැන පරීක්ෂණයක් කරන විද්‍යාඥ ඇන්ඩ්‍රිසෙලා මේ වගේ පිපිරුමක් වෙන්න පැහැදිලිවම ඉඩකඩක් තිබුණා කියලා පෙන්වා දෙනවා. ඇන්ඩ්‍රිසෙලා බැරල් විධියට කාඩ්බෝඩ් පෙට්ටි යොදා ගෙන මේරි සෙලෙස්ට් නැවේ ගබඩාවෙ අනුරුවක් නිර්මාණය කරනවා.

අදාළ පරිසරය ඔහු බියුටේන් යොදාගෙන හදාගන්නවා. මෙතැනදි කුහරයෙ තිබෙන ඇල්කොහොල් දැල්වෙන්න පටන් ගන්නවා. ඉන් පසුව කිසිම දැවීමක්, තාප ජනනයක් තබා අළුවත් ඉතිරි නොකර පිපිරුමක් සිද්ධ වෙනවා. මේ පිපිරුම නිසා ගබඩාවේ ඇති වෙන අධික පීඩනය දෙපස සිදුරුවල පියන් ගැලවිලා යන්න හේතු වෙන්න ඇති. ඒ ඇති වෙන කම්පනය නිසා නැවේ සිටි පිරිස ඉවත්වෙලා ගියා වෙන්න පුළුවන්.

අධිකරණ වෛද්‍ය පරීක්ෂක අෑන් මැක්ග්‍රිගර් කියන විධියට මෙතැන තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මේ සිද්ධිය හා සම්බන්ධ නඩුවේ තොරතුරුත් නැවේ ලොග් සටහනුත් සමකාලීන නාවික තොරතුරුත් ගළපා ඇය එක්තරා නිගමනයකට පැමිණෙනවා. ඒ අනුව ඇය පවසන්නේ කපිතාන් බි්‍රග්ස්ගේ නාවික උපකරණ නිවැරදිව ක්‍රියා කර නොමැති බවයි. මොකද ලොග් පොතේ ඔහු සටහන් කරල තිබෙන මිනුම් ‍ෙදා්ෂ සහිතයි.

බි්‍රග්ස්ගේ නෞකාව යාත්‍රා කර තිබෙන්නේ ඔහු ගණනය කළ තැනට වඩා නාවික  සැතපුම් 120ක් බටහිරට දෙසටයි. පෙනී ගිය විධියට අවසාන ලොග් සටහන තැබූ දිනට පෙර දින රාත්‍රියේ නැව අයහපත් කාලගුණික තත්ත්වයක තමයි යාත්‍රා කරල තිබුණේ. නැවේ පොම්පවලට හානි වී තිබූ නිසා නැවේ කොතෙක් දුරට වතුර පිරිලද කියල දැන ගැනීමට කාර්ය මණ්ඩලයට ක්‍රමයක් නොමැති විය හැකියි. මේ වෙලාවෙ නැව ගිලීයෑමේ අවදානමක් තිබෙනව කියල නැවෙන් පිටත් වෙන්න බි්‍රග්ස් තීරණය කළා නම් ඔහු යන්න බලාපොරොත්තු වෙන්නේ සැන්ටමාරියා දූපත්වලට. මොකද ඔහුගේ වැරදි ගණනය කිරීම්වල හැටියට දූපත් තිබෙන්නේ ඉතාම ආසන්නයේ බව ඔවුන් සිතුවා විය හැකියි.

මේ හැම නිගමනයකදීම එන ගැටලුව තමයි කපිතාන් බි්‍රග්ස් ඔහුගේ නැව විතරක් නොවෙයි නැවේ ලොග් සටහන් පොතත් අතහැරල දාල ගියේ ඇයි කියන ගැටලුව. නැව ගිලෙනව කියල සැකයක් ඔහුට ඇති වුණා නම් ඒ ගැන සටහනක් තබන්න ඔහුට ඕනෑවටත් වඩා කාලය තිබුණා. මොකද 19 වැනි සියවසේ කපිතාන්වරයෙක් සාමාන්‍යයෙන් මේවගේ දෙයක් සටහන් කරන්න අමතක කරන්නේ නැහැ. ඒත් ඔහු එහෙම සටහනක් තියලත් නැහැ. ඇත්තටම මේ නැවේ හිටිය පිරිසට මොකද වුණේ?

කොහොම වුණත් මේ තරම් ප්‍රශ්න කරදර රාශියකට මුහුණ දුන්නත් මේරි සෙලෙස්ට් නැවේ අවාසනාව නම් ගෙවිලා ගියේ නැහැ. මොකද 1879 අවුරුද්දෙදි නැවේ කපිතාන් හදිසියේම අසනීප වෙලා සෙන් හෙලේනා දිවයිනේදි මිය යනවා. ඉතිහාසය තුළ මේ විදිහට අකාලයේ මියයන්නේ මේරි සෙලෙස්ට් නැවේ තුන්වැනි කපිතාන්වරයා. මේ නැව ශාපයකට ලක් වුණ නැවක් කියල හඳුන්වන්න මේකත් හේතුවක් වෙලා තිබෙනවා.

  නාවික ලෝකය පුරා පැතිරුණු අපරාධ, ලේ ගැලීම්, ශාප, කටකතා වගේ විශ්වාස කළ නොහැකි තරම් පුදුම සහගත කතාත් එක්ක විශාල අබිරහසකුත් සඟවගෙන මේරි සෙලෙස්ට් නෞකාව මේ වෙද්දී මුහුදු පතුලේ සදහටම සැඟවිලා අවසන්.

නදීරා හඳුගල