මැතිව්ස් මුණගැහෙන්න අවුරුදු 13ක්ම බලා සිටි යුවතිය ‘මව්බිම’ට හෙළි කරන ඇත්ත

0
77

තමන්ගේ ප්‍රියතම ක්‍රීඩකයකු හමවීමට දින කිහිපයක් වුවද බලා සිටීම ලෙහෙසි පහසු නැත. දින කිහිපයක් පුරා එම ‘සිහිනය’ සැබෑ කර ගැනීමට උත්සාහ ගත්තද ඒ හැම උත්සාහයක්ම නිෂ්ඵල වේ නම් එම උත්සාහය අත්හැර දැමීමට බොහෝ දෙනකු පෙලඹී ඇති වකවානුවක වසර 13කට පසු එය සාර්ථක කරගත් අපූරු කතාවක් පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී අපිට දැකගත හැකි විය. මහනුවර තම නිවෙසේ සිට කිලෝමීටර් 240කට ආසන්න ප්‍රමාණයක දුරක් ගෙවමින් ගාල්ලට පැමිණ තමන්ගේ ‘සිහින’ ක්‍රීඩකයා වූ ඇන්ජිලෝ මැතිව්ස් හමු වූ යුවතියක් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනකු අතර දැඩි කතා බහට ලක්ව ඇති බව නොරහසකි.

නුවන්දි සංදීපනී සමරදිවාකර (රන්දි සමරදිවාකර) නම් වූ ඇයගේ පාසල් කාලයේ සිටම ප්‍රියතම ක්‍රීඩකයා බවට පත්ව තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජිලෝ මැතිව්ස්ය. එම කාලයේදී කිසිවකු හෝ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා කවුදැයි ඇසුවහොත් නොපැකිළිවම ඇයගේ පිළිතුර වූයේ ‘මැතිව්ස්’ යන නමය.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පසුගියදා අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගය ඇන්ජිලෝ මැතිව්ස්ගේ 100 වැනි ටෙස්ට් තරගය බැවින් මෙම තරගයේදී හෝ තමන්ගේ ජීවිතයේ ‘ප්‍රධානතම සිහිනයක්’ සපුරා ගැනීමට ඇය අධිෂ්ඨාන කරගත්තාය. ඒ ඇන්ජිලෝ මැතිව්ස් යන සුපිරි ක්‍රිකට් තරුව මුණැසීමටය.

මේ දිනවල පවතින අර්බුදකාරී වාතාවරණයකදී වුවද පැය 6ක අධික වෙහෙසකාරී ගමනකින් අනතුරුව ඇය ගාලු පිටියට පැමිණියද පළමු දිනයේදී ඇයට මැතිව්ස් මුණ ගැසීමට අවකාශය සැලසී තිබුණේ නැත.  ඔහු හමුවීමේ අපේක්‍ෂාවෙන්ම අධිෂ්ඨානය අත්නොහළ ඇය තවදුරටත් බලාපොරොත්තු රඳවා ගත්තාය.

අවසානයේදී තරගයේ දෙවැනි දිනයේදී ඇයගේ උත්සාහය මල්ඵල ගැනිණි. මෙම හමුවීමේදී මැතිව්ස් විසින් ඇයට ඔහුගේ ක්‍රීඩා ඇඳුමක් ත්‍යාගයක් ලෙස පිරිනමා තිබිණි.

මහනුවර උසස් බාලිකා විදුහලින් අධ්‍යාපනය ලැබූ ඇය මේ වනවිට භෞත චිකිත්සකවරියකි. ඇය මෙම වෘත්තීය තෝරා ගැනීමට පෙලඹී ඇත්තේද ඇන්ජිලෝ මැතිව්ස් නිසා බවද පැවැසේ. කලවයේ නහරයේ ක්‍රියාකාරීත්වය අවම වීමේ “හැම්ස්ටි්‍රන් -Hamstring” ආබාධයකට පසුගිය කාලයේදී මැතිව්ස් ලක්වීමත්, එම ආබාධය භෞත චිකිත්සාව මඟින් සුව කිරීමට හැකියාව පැවැතීමත් නිසා ඇය භෞත චිකිත්සකවරියක වීමේ අදහසින් ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඩිප්ලෝමාධාරිනියකි.

 “6 වසරේ ඉඳලා මමයි මගේ යාළුවෝ දෙන්නකුයි මැතිව්ස්ට හරි කැමැතියි. එදා ඉඳලම මගේ සිහිනයක් වුණේ මැතිව්ස් හම්බවෙලා වචනයක් හරි කතා කරන්න. සමහර අය කියනවා ඇති වසර 13ක් වෙනකම් හිටියා කිව්වට ඒක බොරු වෙන්න ඇති කියලත්, මේක මම කරන්නේ මාකටින්වලට කියලත් කියන අය ඉන්නවා. මෙහෙම හිතමු. මම අවුරුදු 15දී මැතිව්ස්ට හම්බ වුණා නම් මැතිව්ස්ට මාව මතක හිටියිද? නැහැ නේද? කොහොම වුණත් පසුගිය කාලයේදී මැතිව්ස්ට ඇති වුණු ආබාධයත් එක්ක තමයි මම භෞත චිකිත්සකවරියක් වෙන්න හිතා ගත්තේ. මම 10 වසරේදී දැක්කා නවසීලන්ත ටීම් එකේ භෞත චිකිත්සකවරියක් ඉන්නවා කියලා. ඒකත් ඔළුවට ඇවිල්ලා මැතිව්ස්ගේ ඉන්ජරියත් (ආබාධය) එක්කම කවදාහරි දවසක ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ භෞත චිකිත්සකවරියක් වෙනවා කියලා මම තීරණකට ආවා. එහෙම ඇවිල්ලා තමයි ඒ වෙනුවෙන් මහන්සි වුණේ. මම දැන් ඩිප්ලෝමාව හදාරලා වෛද්‍යවරයකු යටතේ වසර දෙකක් වැඩ කරලා අත්දැකීම් ලබාගත්තා.

මගේ ඩිග්රි එකේ අවසන් වසර තියෙන්නේ ෆින්ලන්තයේ විශ්වවිද්‍යාලයකයි. ඒ සඳහා මම ලබන මාසයේදී එහේ යනවා, ඒකත් සම්පූර්ණ කරලා, සුදුසුකම්ලත් භෞත චිකිත්සකවරියක් වෙන්න මට පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. මම මේ හැම දෙයක්ම කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන භෞත චිකිත්සකවරියක ලෙස සේවය කිරීමේ අදහසිනුයි. හැබැයි ඒ පොෂිෂන් එකට (ස්ථානයට) මම යන්නේ කාටවත් ඇඟිල්ල දික්කරන්න බැරි සර්වසම්පූර්ණ කෙනෙක් විදියටයි. සමහර වෙලාවට ඒ achievement එකට (මුදුන් පමුණුවා ගැනීම) වසර 5ක් හෝ 6ක් යන්න පුළුවන්. ඔය කාලෙදී මැතිව්ස් ටීම් එකේ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. එයා හිටියා, නොහිටියා කියලා මට ප්‍රශ්නයක් නැහැ. ඒ කාලෙදී ඇන්ජිගේ ආබාධය සුවවෙලා නොතිබුණොත් මම එයාව සනීප කරනවා” යන තිර අදිටන ඇතිව ඇය මා සමඟ කතාවට සම්බන්ධ වූවාය. 

“පාකිස්තානය එක්ක ගාල්ලේදී තිබුණ ඇන්ජිගේ 100 වැනි ටෙස්ට් තරගයේදී එයාව හමුවෙන්න මට ඕන වුණා. පළමු දවසේ මට එයාව මුණගැසෙන්න බැරි වුණත් දෙවැනි දවසේ ඒකට මට අවස්ථාව ලැබුණා. මම අවුරුදු 13ක් බලාගෙන හිටියා. ඒක නිසා මාත් එක්ක පින්තූරයකට ඉන්න කියලා මම සටහනක් ලියලා එයාට පෙනෙන්න සැලැස්සුවා. ඒ සටහනේ අවුරුදු 13 ඉස්මතු කරන්න මට රතු පාටක් තිබුණෙ නැති නිසා මම ළඟ තිබුණු ලිප්ටික්ස්වලින් ඒක පාට කළා. මැතිව්ස් ඒ සටහන දැකලා මම ළඟට ආවහම මට සතුටට ඇඬුණා. එයා මට එයාගේ ටීෂර්ට් එකක් තෑගි කළා. ‘තෑන්ක් යූ ෆෝ මයි බිගස්ට් ෆෑන්’ කියලා ඒ ටීෂර්ට් එකේ ලියලා තිබුණා. එයා ගැන මට තියෙන්නේ ලොකු ගරුත්වයක්. ඒක උමතුවක් කියලා වරදවා හිතන්න එපා. තමන්ගේ කැමැති ක්‍රීඩකයාගේ පින්තූර කාමරයේ අලවාගෙන ඒවා දිහා බල බලා සතුටු වෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ කෝණයෙන් මාව මනින්න එපා. ඒ වගේ පිස්සුවක් මගේ තිබුණේ නැහැ. මගේ ඔළුවේ තිබුණේ වෙනම දෙයක්.

ඒ කියන්නේ ඇන්ජිට ආබාධයක් තියනවා නම් ඒක සනීප කරන්න පුළුවන් භෞත චිකිත්සාවෙන් විතරක් නම් ඒ පුහුණුවීම් කරලා ඇන්ජිව විතරක් නොවෙයි, ඒ ආබාධයෙන් ඉන්න අය සනීප කරනවා කියන අදහස විතරයි මගේ තියෙන්නේ. කොහොම වුණත් වසර 13කට පස්සෙ ඇන්ජි දැනගත්තා එයාගේ ලොකුම ක්‍රීඩාලෝලියා මම කියලා. ඒක ගැන මට සතුටක් තියෙනවා. 100 වැනි ටෙස්ට් තරගයේදී මට ඕන වුණා ඇන්ජිට අමුතුම ආකාරයක තෑග්ගක් දෙන්න. ඒක මම දුන්නා. තව එකක් කියන්න ඕන. එක කාලයකදී අපේ ඇතැම් මිනිස්සු ඇන්ජිට කුහකයා, අබ්බගාතයා කියලා කිව්වා.

කොහොමද මිනිස්සු එහෙම කියන්නේ. එහෙම ආබාධයක් ආවහම ඒකෙන් ඇති වෙන වේදනාව දන්නේ ඒක හැදුණු කෙනා විතරයි. ඇන්ජිට මේ වගේ බනිනවා ඇහුවම මම කවදාහරි දවසක ඇන්ජිව සනීප කරනවා කියන අදහස ආවා. ඇන්ජිට මගේ ලොකු ගරුත්වයක් තියෙනවා. ඒක සමහර අය කියනවා වගේ ආදරය කරන්න, කසාද බඳින්න වගේ බොළඳ දෙයක් නෙවී. මම භෞත චිකිත්සකවරියක වුණේ ඇන්ජි නිසා බව එයා දන්නවා. ඒක මට සතුටක්. ඇන්ජි මට වඩා වසර 10ක් වැඩිමහල්. කවදාහරි දවසක ඇන්ජි මගේ චජඩඪඥමඥථඥදබ එක දකිනවිට අවංකවම සතුටුවේවි.

මම හැම දෙයක්ම තනියෙන් කරන්න ඉගෙන ගත්ත කෙනෙක්. මගේ හීනය (භෞත චිකිත්සකවරියක වීමේ) සැබෑ කරගන්න මගේ අම්මයි, තාත්තයි ශක්තියක් වුණා. මේක මගේ විනෝදාංශයක්. ඒත් රෝගියෙක් මේ වගේ ආබාධයකින් සනීප වෙනවා දැක්කහම මට දැනෙන මානසික සතුට වචනයෙන් කියන්න බැහැ. සමහර අය සනීප වෙලා යනකොට මට පින්දෙනවා. ඒ වෙලාවේ මම කියන්නේ ඒ පිනෙන් භාගයක් ඇන්ජිටත් යනවා කියලා.

ඒ මොකද කිව්වොත් මම මේ කැපකිරීමට යොමු වුණේ ඇන්ජි නිසයි. ඒකයි මම එහෙම කියන්නේ. පිරිමි කෙනකුට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ භෞත චිකිත්සකවරයකු වෙන්න හරි ලේසියි. සුදුසුකම් තිබුණොත් යන්න පුළුවන්. හැබැයි ගැහැනු කෙනකුට යන්න හරි අමාරුයි. ඒකයි මම කියන්නේ මම හොඳටම කොලිෆයිඩ් (සුදුසුකම්ලත්) වෙන්න ඕන. හැබැයි එහෙම කරලත් මට එතැනට යන්න බැරි නම් මගේ සේවය වෙනරටක ක්‍රිකට් ටීම් එකක් වෙනුවෙන් අකමැත්තෙන් වුණත් දෙන්න වෙනවා.” යැයි පැවසූ ඇය මෙම ජීවිත ගමනෙහි රැකගෙන සිටි වටිනාම රහසක්ද හෙළි කළාය.

 “මේ භෞත චිකිත්සකවරියක වෙන හීනය සැබෑ කරගන්න මම මගේ ආදරයත් කැප කළ කෙනෙක්. ඒ කියන්නේ එයා මට කිව්වා මේකෙන් අයින් වෙන්න කියලා. මම කොහොමද මම කැමැති දෙයින් අයින් වෙන්නෙ. මම මේකට අකමැති නම් එහෙම කිව්වට කමක් නැහැ. මේකට මගේ ජීවිතයම කැපකරලා තියෙද්දී මම කොහොමද මේකෙන් අයින් වෙන්නේ. මගේ අම්මා උපාධිය කළේ අපි තුන් දෙනෙක් තියාගෙන. එහෙම කැපවීමක් කරලා තියෙන අම්මා අද විදුහල්පතිනියක්. ඒක නිසා මම ගැහැනු ළමයින්ට කියන්නේ හීනවලින් අයින් වෙන්න එපා. කවදහරි ඒ සිහින සැබෑ කරගන්න අපිට පුළුවන්.

විචිත්‍ර වීරසිංහ