මහලු කාන්තාවන් දෙන්නෙක් මරා ආදර ඇමකට කොටුවුණු කුඩ්ඩා

0
28

මත්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහි වූවන් සිදුකරන මිනිස් ඝාතනවල ඉහළ යෑමක් දක්නට තිබෙන බව පොලිසිය කියයි. මෙවන් මත්ලෝලීන් බොහොමයකගේ ඉලක්කය වී ඇත්තේ නිවෙස්වල තනිවම ජීවත්වන වයෝවෘද්ධ කාන්තාවන් බවද පෙනී ගොස් තිබේ.

මත්කුඩු ලබාගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා වයෝවෘද්ධ කාන්තාවන් තනිවම ජීවත්වන නිවෙස්වලට රිංගන මෙවන් ‘කුඩ්ඩෝ’ වටිනා දෙයක් අතපත ගා ගත නොහැකි වූ තැන නිවෙසේ තනිවම ජීවත්වන වයෝවෘද්ධ මව හෝ මරා ඇගේ කනකර කඩාගෙන යෑමට පවා උත්සුක වෙති.

මෙලෙස පැහැර ගන්නා කනකර උකස් කොට විකුණා ඉන් ‘කුඩු’ ලබාගෙන තාවකාලික ආශ්වාදයක් ලබා ගන්නා මොවුන් හිරේ විලංගුවේ වැටුණු පසු තමා කළ අපරාධය ගැන සිතමින් අනේක සංතාපයට මෙන්ම පසු තැවීමට පත්වෙති. එමෙන්ම තමා විසින් කළ අපරාධය වසන් කිරීමේ අරමුණෙන් සැඟවෙන මොවුන් කිසිදා පොලිසියට අසු නොවනු ඇතැයිද විශ්වාස කරති. එහෙත් එය තාවකාලික බව ඔවුහු කිසිදා නොසිතති.

ඉකුත්දා මේ ආකාරයේ සිද්ධීන් දෙකක් පොලිසියට වාර්තා වී තිබිණි. ඉන් එකක් වාර්තා වූයේ මාතලේ පොලිස් කොට්ඨාසයේ මකුළුගස්වැව පොලිස් බල ප්‍රදේශයෙනි. අනෙක් ඝාතනය පොලිස් පොතට එක්වූයේ කුරුණෑගල පොලිස් කොට්ඨාසයේ පොල්ගහවෙල පොලිස් වසමෙනි. මේ සිද්ධීන් දෙකේදීම ඝාතනයට ලක් වූයේ වයෝවෘද්ධ කතුන් දෙදෙනෙකි.

මකුළුගස්වැව පොලිසියට වාර්තා වූ පරිදි ඝාතනයට ලක්වූ අලුත්වැව බඹරගස්වැව පදිංචි අයි.එල්. පියසීලි මවගේ වයස අවුරුදු හැත්තෑවකි. ඇය තිදරු මවකි. ඝාතනය වන විට ඇය සිය නිවෙසේ තනිවම ජීවත්ව තිබිණි.

පොල්ගහවෙල පොලිස් වසමේ යටිගල් ඔළුව දමුණුවෙල පදිංචි නාදෙණිය ආරච්චිගේ සුමනාවතීද හැත්තෑ තුන් හැවිරිදි මවකි. ඝාතනයට ලක්වන මොහොතේ ඇයද සිය නිවෙසේ සිට ඇත්තේ තනියෙනි.

මකුළුගස්වැව, අලුත්වැව පියසීලිගේ ඝාතනය සම්බන්ධයෙන් මකුළුගස්වැව පොලිසිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයටද ඉදිරිපත් කර තිබිණි. ඔවුන් මේ වන විටත් සිටින්නේ සිරගෙදර කූරු ගනිමිනි. රසික සහ හෂාන් යන මොවුන් දෙදෙනා පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ පැවැසුවේ පියසීලිගේ ඝාතනයට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවකි.

මොවුන් අත්අඩංගුවට පත්ව තිබුණේ සී.සී.ටී.වී. කැමරා මඟින් කරන ලද පොලිස් විමර්ශනයකින් පසුවය. මරා දැමුණු පියසීලිගේ බාල පුතා යුද හමුදා කපිතාන්වරයකු වන අතර ඔහුට අයත් නිසාන් වර්ගයේ රථයත් පියසීලිගේ නිවෙසේ තිබියදී එය අතුරුදන්ව තිබූ අතර පොලිසිය සැක කළේ පියසීලි මරා දැමූ ඝාතකයන් එම මොටෝරියද පැහැරගෙන යන්නට ඇති බවය.

කෙසේ වෙතත් රසික, හෂාන් සහ තවත් පුද්ගලයකු එම රථය තල්ලු කරගෙන මාර්ගයේ පැමිණෙන අයුරු ගරාජයක් අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක පැහැදිලිව සටහන්ව තිබූ අතර ඒ ඔස්සේ කරන ලද විමර්ශනයකින් පසු හෂාන් සහ රසික පොලිසිය කොටු කර ගෙන තිබිණි.

“අපි මේ මුකුත් දන්නේ නැහැ සර්. අපි මේ කිසි දෙයකට සම්බන්ධත් නැහැ. මේ කාර් එක ගෙනාවේ පැංචා. එයාට පැණියා කියලත් කියනවා. සුමුදු කියලත් කියනවා. ඒත් එයාගේ ඇත්ත නම ගිහාන්.”

දීර්ඝ ලෙස ප්‍රශ්න කළත් රසිකගෙන් හෝ හෂාන්ගෙන් පියසීලි ඝාතනය සම්බන්ධයෙන් කිසිවක් හෙළි නොවුවද ඔවුන්ගේ කතාව පොලිසිය පිළිගෙන නොතිබිණි. අවසානයේ අත්අඩංගුවට පත් වූ දෙදෙනා රිමාන්ඩ් ගත වුවද පියසීලි ඝාතනයේ සැකකාර පැංචා නොහොත් පැණියා සොයා පොලිසිය විමර්ශනයක් සිදුකළද ඔහු කොටු කරගැනීමට මකුළුගස්වැව පොලිසියට නොහැකි විය. පැංචා කොටු කර නොගන්නා තුරු පියසීලිගේ මරණයද අබිරහස් ඝාතන ගොන්නට එකතු වන්නට විය.

එහෙත් ඒ වන විටත් මාතලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා විසින් පියසීලිගේ ඝාතන සම්බන්ධ විමර්ශන ඔහු යටතේ ක්‍රියාත්මක වන මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙතද පවරා තිබිණි.

මකුළුගස්වැව පොලිසියත් මාතලේ කොට්ඨාස විමර්ශන ඒකකයත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹුවද සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඒ වන විටත් ප්‍රදේශයෙන් පලා ගොස් තිබිණි. මේ අතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රධාන සැකකරු සිටින ඉසව්ව දැන ගැනීම සඳහා සැකකරු සතුව තිබූ ජංගම දුරකථනයට අදාළ සවිස්තරාත්මක දුරකථන වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර තිබිණි.

“අපි ඒ ෆෝන් එකට කෝල් ගත්තත් ඒක වැඩ කළේ නැහැ. පස්සේ අපි ෆෝන් ඩීටේල් එකක් ගත්තා. ඒක මට ලැබුණේ 21 වැනිදා. ඒ ඩීටේල් චෙක් කළාම ඒකේ ටවර් ලොකේෂන් කිහිපයක් හරහා මිනිහා කෝල් අරගෙන තිබුණා.”

“පස්සේ මම ඒ දුරකථන අංකවලට කෝල් ගත්තා. හුඟාක්ම ඒවායෙන් ප්‍රතිචාර ලැබුණේ නැහැ. සමහරක් ඒවා ඕෆ් කරලා.

“ඔන්න ඔය අතරේ මිනිහා ගත්ත එක නොම්මරයකට කතා කළාම ගෑනු කෙනෙක් ආන්සර් කළා. මම ඇහුවා ඔයා කවුද, ගිහාන් කියලා කෙනෙක් දන්නවාද කියලා. මම පොලිසියෙන් කතා කරන්නේ කිව්වම ඒ ගෑනු ළමයා බය වෙලා කිව්වා. අනේ මම දන්නෙත් නැහැ. දැකලත් නැහැ. පස්සේ මම කිව්වා එයා අපරාධකාරයෙක්. මේ වගේ සිද්ධියකට තමයි එයාව හොයන්නේ. ඔයා බයවෙන්න එපා. අපිට ඇත්ත කියන්න කියලා.”

“ඒත් ඒ ළමයා බයවෙලා හිටියේ. මම ඒ ගෑනු ළමයට ඇත්ත කතාවම කිව්වා. ඔයා හොඳ වෙලාවට උෟට අහුවුණේ නැත්තේ. ඔයා වගේ තවත් ගෑනු එයාට අහුවෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ වෙලාවේ මේ මිනිහව අල්ලගන්න උදවු කරන්න. ඔයාට විතරයි ඒක අපිට කරන්න පුළුවන්. කිසිදේකට ඔයා බය වෙන්න එපා. ඔයාට කරදරයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලත් කිව්වා.”

“ඒ පාර තමයි ඒ ගෑනු ළමයා කිව්වේ මම එයාව අඳුන ගත්තේ ටික් ටොක් එකකින්. එයා මට කතා කරනවා. ඒත් අපි දැකලා නැහැ. එයාට මාව බලන්න ඕනෑ. හම්බවෙන්න ඕන කියනවා. කසාද බඳිනවා කිව්වා. ඒත් මම ඒ එක දෙයක්වත් කළේ නැහැ කියලා ඒ ගෑනු ළමයා ඇත්ත විස්තරේම කිව්වා.”

පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රධාන සැකකරු කොටු කර ගැනීම ඇරැඹූ ආකාරය එසේ සඳහන් කරන්නට විය. ස්ථානාධිපතිවරයා විසින් ඇත්ත තත්ත්වය එම තරුණියට පැවැසීමෙන් පසු ඇයද සැකකරු කොටු කර ගැනීමට ස්ථානාධිපතිවරයාට සහාය දුන්නාය.

“ඔයා මෙහෙම දෙයක් කරන්න. ඔයා එයාට කෝල් එකක් දාලා හම්බවෙන්න දිනයක් වෙලාවක් දාගන්න.”

ස්ථානාධිපතිවරයාගේ කීමට අවනත වූ ඇය ඔහුගේ ජංගම දුරකථනයට ඇමැතුම් කිහිපයක් ගත්තද ඊට ප්‍රතිචාරයක් නොවීය.

“සර්… මම එයාට කෝල් කිහිපයක් ගත්තා. ඒත් ඒ ෆෝන් එක වැඩ කළේ නැහැ.”

ඇය ස්ථානාධිපතිවරයා හමුවේ කීවාය.

“හරි… එහෙනම් ඔයා එයාගේ ෆෝන් එකට මැසේජ් එකක් දාන්න කීයට හරි මිනිහා ඔයාට කතා කරාවි. එතකොට හම්බවෙන්න දිනයක් දාගන්න.”

ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව ඇය ඊට එකඟ වූවාය. ඇය විසින් ප්‍රධාන සැකකරුට යැවූ එස්.එම්.එස්. පණිවුඩයට පැය කිහිපයකට පසු ප්‍රතිචාර ලැබිණි. ඉන් අනතුරුව දෙදෙනා අතර දුරකථන සංවාදයක් ඇති විය. අවසානයේ ඔහු සමඟ කතා බස් කරන සියලුම දෑ ඇය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේද තැබුවාය.

ස්ථානාධිපතිවරයාගේ තැනට ඔබින නුවණ සහ ඇගේ නිර්භීත බව මත ඇට වූ උගුල සාර්ථක විය. ඒ අනුව ඇය හමුවීමට ඔහු දිනයක් වෙන් කර ගත්තේය. “හරි මම අද පිළියන්දලට එන්නම්. හැබැයි මට නවතින්න බෝඩිමක් හොයලා දෙන්න ඕනි.” ඇය ඊට එකඟ වූවාය.

අවසානයේ කෙසේ හෝ ඇය ඔහු නතු කර ගැනීමට සමත් වූවාය. ඒ කොළඹ පැමිණ මුණ ගැසෙන පොරොන්දුව මතය.

“සර්… එයා බෝඩිමක් හොයලා දෙන්නලු. දැන් මොකද මම කරන්නේ…”

ඇගේ කතාවත් සමඟ ස්ථානාධිපතිවරයා යළි පඹගාලක පැටලිනි. ඔහු නැවත කල්පනා කොට ඇයට තවත් යෝජනාවක් කළේය.

“හරි… එක පාරටම බෝඩිමක් හොයලා දෙන්න ඔයාට බැහැනේ. ඔයා මෙහෙම දෙයක් කරන්න. මම ඔයාගේ එකවුන්ට් එකට රුපියල් තුන්දාහක් දාන්නම්. ඔයා පිළියන්දල පැත්තෙන් කාට හරි කියලා අදට විතරක් මිනිහට නවතින්න තැනක් හොයලා දෙන්න, හෙට මම බෝඩිමක් හොයලා දෙන්නම් කියලා. ඒ සල්ලි ගෙවලා කාමරයක් හොයලා දෙන්න.

දැන් වෙන කරන්න දෙයක් නැහැ. මේ චාන්ස් එක අත හැරියොත් මිනිහා අල්ලගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඔයා අපිට උදවු කරන්න. අපිට මාතලේ ඉඳලා එන්නත් සෑහෙන වෙලාවක් යනවානේ. ඔයා කොහොම හරි කාමරයක් හොයලා දෙන්න. අද රෑ මිනිහව ඒ කාමරේ තියාගන්න. මම දැන්ම මෙහෙන් පිටත් වෙනවා.”

පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීමට පිටුපාන්නට ඇයට නොහැකි වූවාය. ඇය හිත සවිමත් කරගත්තාය. අපරාධකාරයෙක් කොටුකර දීම සමාජයට කරන උදවුවක් බව ඇය සිතුවාය.

“හරි… සර්… එන්න. මම කොහොම හරි අද රෑ මිනිහව මෙහෙ හෝටලයක තියාගන්නම්.”

ඇගේ එඩිතරභාවය පොලිස් ස්ථානාධිපතිවරයාගේද ඇගයීමට ලක්විය. ඇයට මුව නොසෑහෙන සේ ස්තුති කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මේ බව දන්වා ඔහුගේ අවසරය මත සිය කණ්ඩායම සමඟ පිළියන්දල බලා යෑමට මාතලෙන් පිටත් වූහ.

ඉන්ධන අර්බුදය ගමනට දැඩි බාධාවක් ගෙන දුන්නද ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමේ අභිප්‍රාය වූයේ කෙසේ හෝ පිළියන්දල යෑමටය. නැතහොත් මෙතෙක් ගත් උත්සාහය අපතේ යන බව ඔවුහු දැන සිටියහ.

“අපි බස්වල, ලොරිවල, වෑන්වල නැඟලා කොහොමහරි එළිවෙනකොටම පිළියන්දලට ආවා. එතකොට ඒ ගෑනු ළමයා හෝටලයට යන පාරේ මැප් එක මට දාලා තිබුණා. මිනිහාගේ හැඩරුවත් ඉන්න හෝටලේ කාමරේත් දැනගෙන අපි හෝටලයට ගියා. ඒ වෙනකොට මිනිහාට ඒ ගෑනු ළමයා කියලා තිබුණේ එයා පාන්දර හය වෙනකොට එතැනට එනවා කියලා. පිළියන්දල පොලිසිය ඉස්සරහ පාරේ තමයි හෝටලේ තිබුණේ. ඒත් අපි යනකොට හෝටලේ ගේට්ටුව වහලා. එතැන බෝඩ් එකේ ගහලා තිබුණා හෝටලේ ටැලිෆෝන් නොම්බරේ. අපි ඒකට කතා කරලා හෝටලේ අයිතිකාරයා නැඟිට්ට ගත්තා කාමරයක් ඕන කියලා. මිනිහා ඇවිත් ‍ෙදාර ඇරියට පස්සේ අපි පොලිසියෙන් බවට හඳුන්වලා දීලා හෝටලේ කාමරවල ඉන්න පුද්ගලයෝ ගැන ඇහැව්වා. එතකොට එයා කිව්වා එක පුද්ගලයෙක් විතරයි දැන් ඉන්නේ. එයාත් අද උදේ යනවා කියලා. පස්සේ මිනිහගේ හැඩරුවත් අහගෙන ගිහින් ‍ෙදාරට තට්ටු කළා. මිනිහා හිතුවා අර ගෑනු ළමයා තමයි ඇවිල්ලා ඉන්නේ කියලා. පැනලා ඇවිත් හිනාවෙලා ‍ෙදාර ඇරියා.”

“කලබල කරන්න එපා අපි පොලිසියෙන් කියද්දී මිනිහගේ ඇස් උඩ ගියා. ඒත් එක්කම අපි මිනිහට මාංචු දැම්මා.”

ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති සැකකරු කොටු කර ගත් ආකාරය එසේ හෙළි කළේය.

අල්ලාගත් සැකකරු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන ගිය නිලධාරීන් ඔහුගෙන් පියසීලිගේ ඝාතනය ගැන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය.

“මට බොරු කියන්න ඕන නැහැ සර්… මම දන්නවා රසිකත් පොඩ්ඩෙත් පොලිසියට මාට්ටු වෙලා කියලා. ඒ නිසා තමයි මම ගමෙන් පැන්නේ. මම දැනගත්තා උන් මාව පාවා දෙයි කියලා.”

“හරි. ඒවා වැඩක් නැහැ. ඇයි උඹ ඒ අහිංසක අම්මව මැරුවේ.”

ස්ථානාධිපතිවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු සියල්ල එකක් නෑර කියන්නට පටන් ගත්තේය.

“එදා මමයි රසිකයි පොඩ්ඩෙයි දෙපාරක්ම කුඩු ගැහැව්වා. ඒත් අපිට මදි. තවත් සල්ලි ටිකක් හොයාගන්න බඹරගස්වැව පැත්තට ඇවිදගෙන ගියා.

“ඔය අතරේ තමයි ඔය ගෑනු කෙනා ගේ ඉස්සරහ හිටියේ. පස්සේ රසික ඒ ගෑනු කෙනාත් එක්ක කතා කර කර හිටියා. ඒ අතරේ මම පිටිපස්සෙන් ගෙට ඇතුළු වුණා. ඒ අම්මගේ කාමරේ ජ්ඛ  බයික් එකක් තිබුණා. මම ඒක උස්සන්න තමයි හැදුවේ. ඒත් ඒකේ යතුර තිබුණේ නැහැ. ඒත් මම බයික් එක අනෙක් කාමරය දිගේ තල්ලු කරගෙන යනකොට රසික ඒ අම්මාව බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙන ආවා. ඒත් එක්කම ඒ අම්මා සාලයේ වැටුණා. රසික වයර් කෑල්ලක් ගෙනත් එයාගේ බෙල්ල හිර කළා. මම කොට්ටයක් ගෙනත් ඒ අම්මගේ මුහුණට තියලා තද කළා.”

සැකකරු රසික සමඟ කළ ක්‍රියාව එකක් නෑර පොලිසියට කීවත් මීට කලින් මකුළුගස්වැව පොලිසියට කොටු වූ රසික මේ බවක් පොලිසියට පවසා තිබුණේ නැත. ඔහු පවසා තිබුණේ ඔහුට මොහු හමුවූයේ කාර් රථය තල්ලු කරගෙන ඉන්ධන පිරවුම්හලට පැමිණි මොහොතේදී බවය. ඒ අනුව මින් ඉදිරියට රසිකටද මිනීමැරුම් චෝදනා එල්ලවනු ඇතැයි පොලිසිය කීය.

කෙසේ හෝ මොවුන්ගේ තිරිසන් ක්‍රියාවෙන් පසු පියසීලි එතැනම මරුමුවට පත්විය.

“ඉන් පස්සේ මූ ඒ ගෙදර හැම තැනම අතගාලා රුපියල් 3,000ක සිල්ලර සල්ලියක් හොයාගෙන තියෙනවා. ඒකත් මදි වගේ මුන්ට තේරිලා තමයි ඒ ගෑනු කෙනාගේ හෑන්ඩ් ෆෝන් එකත් අරගෙන කරාබු දෙකත් ගලවාගෙන තියෙන්නේ. පස්සේ ගෙදර තිබුණු වී ගෝනි එකහමාරකුත්, ගෙදර නතර කරලා තියපු පුතාගේ නිසාන් කාර් එකට දාලා ගලේවෙල පුවක්පිටියේ කඩයකට වී ගෝනි දීලා රුපියල් 7,500ක් අරන් ඒකෙනුත් කුඩු ගහලා.”

“පස්සේ පොඩ්ඩේ කියන යාළුවත් එකතු කරගෙන ගිහින් ෆෝන් එකයි කරාබු දෙකයි උකස් කරලා ඒවායේ සල්ලිවලිනුත් කුඩු ගහලා යනකොට කාර් එක තෙල් නැතිව නැවතිලා තමයි මුන් තුන්දෙනාගෙන් රසිකත් පොඩ්ඩෙත් මකුළුගස්වැවදි මාට්ටු වෙන්නේ. ඒත් මූ පැනලා යනවා.”

පියසීලි මාතාව ඝාතනය කිරීමෙන් අනතුරුව සැකකරුවන් කළ කී දේ ස්ථානාධිපතිවරයා එසේ පවසන්නට විය. රසිකත් පොඩ්ඩෙත් පොලිසියට කොටු වූ පසු ප්‍රධාන සැකකරු වූ පැංචා කෙළින්ම ගියේ කළුතර පදිංචි බිරියගේ නිවෙසටය. එහෙත් පසුදා කුඩු පානය කරන්නට තරම් මුදලක් ඔහු අත නොවීය. බිරිය එහාට මෙහාට වනතුරු නිවෙසේ කැරකැවුණු ඔහු සිය කුඩා දරුවා ළඟට කිට්ටු වී පුතුගේ කරේ තිබූ පංචායුධය කඩාගත්තද කුඩා දරුවාට එය දැනුණේ නැත. දරුවාගේ මුහුණද සිපගත් පැංචා කෙළින්ම ආවේ ඔහුගේ ඥාති නැන්දා කෙනකු පදිංචි පොල්ගහවෙල, දමුණුවෙල වත්තටය.

දමුණුවෙල, යටිගල්ඔළුව පදිංචි හැත්තෑතුන් හැවිරිදි සුමනාවතී නිවෙසේ විසුවේ අවිවාහක දියණියක් සමඟය. දිනක් දෙකක් ආගිය පැංචාගේ ක්‍රියාකලාපය ඇය හොඳින් දැන සිටියාය. ඒ බව ඇය ඒ අසල පදිංචි කාන්තාවකටද පවසා තිබුණාය.

“ඕකා මොනවා හරි පාවිච්චි කරනවා.. ඒ නිසා ටිකක් කල්පනාවෙන් ඉඳපන්.”

එසේ කීවද ඇය පැංචාට සිය නිවෙසේ රැඳීමට ඉඩ දුන්නාය. ඉකුත් 20 වැනිදා සුමනාවතීගේ දියණිය සමුපකාරයේ වැඩට පිටත්ව ගියාය. නිවෙසේ රැඳුණේ සුමනාවතී පමණකි. ඒ වන විට කුඩු අමාරුවෙන් හිටිය පැංචාට මෙය කදිම අවස්ථාවක් විය.

වට පිට බැලූ ඔහු නැන්දණිය අසලටවිත් එකවරම ඇගේ ගෙල සිර කර අල්ලා ගත්තේය. ඇය කිහිප වතාවක් දඟලා එකවරම නිහඬ වූවාය. ඒ වන විට ඔහු සිටියේ මත්කුඩු තදින් අවශ්‍ය වූ මොහොතකය.

“කුඩු සික් එකේ හිටිය නිසාම මිනිහට නැන්දගේ කරාබු දෙක ගලවා ගන්නත් හදිසි වෙලා. ඒක බැරි වුණු තැන තමයි නැන්දගේ කන් දෙක ඉරලම කරාබු දෙක ගලවලා තිබුණේ. ඉන් පස්සේ ගෙදර තිබුණු ලැප්ටොප් එකත් කරේ දාගෙන මිනිහා කොළඹ ගිහින්. ලැප්ටොප් එක කරේ දාගෙන ඇවිදගෙන යනවා අහල පහළ අය දැකලා තිබුණත් කවුරුත් දැනගෙන ඉඳලා නැහැ සුමනාවතීව මරලා තමයි ඒක අරගෙන යන්නේ කියලා.”

ඊට අමතරව අල්මාරිය ඇරලා මුද්දකුත් අරගෙන ගිහින් තිබුණා. ප්‍රශ්න කරද්දී මිනිහා කිව්වා, ගෙදර තිබිලා තවත් රුපියල් පහළොස් දහසකුත් අරගත්තා කියලා. තවදුරටත් ඒවා කෝ කියලා ඇහැව්වම කිව්වා ලැප්ටොප් එක තොටළඟ ඉන්න එයාත් එක්ක කුඩු ගහන යාළුවෙක්ට දුන්නලු පස්සේ විකුණනකම් තියන්න කියලා. මුද්දයි, කරාබු දෙකයි කිරිබත්ගොඩ උකස් කඩේකට තියලා රුපියල් 17,000ක් අරගෙන හොරකම් කරපු රුපියල් 15,000ත් වියදම් කරලා ඒ සේරමින්ම කුඩු ගහලා.”

“මිනිහා හොඳ චෙෆ් කෙනෙක්. හොඳට උයන්න පුළුවන් කෝකියෙක්. ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයකම කෝකියා වැඩේ කරලා තියෙනවා.”

“අන්තිමට ලුනාව පැත්තේ හෝටලයක වැඩ කරලා. ඒත් කොරෝනා වසංගතය පැතිරුණු කාලයේ හෝටලයේ වැඩ නැතිව තිබිලා අවුරුදු එකහමාරක් විතර. ඉන් පස්සේ තමයි මිනිහා කුඩුවලට තදින්ම ඇබ්බැහිවෙලා තියෙන්නේ.

“මිනිහා ඔය මුල් කාන්තාව මරලා බිරියගේ කළුතර ගෙදර ගිහින් අර හෝටලයට ඇවිත් එසේ නිදාගෙන  ඉඳලා එහෙනුත් බයිසිකලයකුයි ෆෝන් එකකුයි හොරකම් කරගෙන ඇවිත් තියෙනවා.”

පස්සේ තමයි මිනිහා පොල්ගහවෙල නැන්දලාගෙ ගෙදර යන්නේ. කුඩු ගහන්න සල්ලි නැතිව.”

ස්ථානාධිපතිවරයා අවධාරණය කළේය. උකස් කරන ලද භාණ්ඩ පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මත්කුඩුවලට තදින් ඇබ්බැහි වූ මොහු මෙලෙස කොටුකර නොගත්තේ නම් තවත් වයෝවෘද්ධ කාන්තාවන් කිහිපදෙනකුටම අත්වන්නේ මෙවන් ඉරණමක් බව පොලිසිය කියන්නේය. මොහු කොටු කර ගැනීම සඳහා සැකකරු සමඟ දුරකථන සබඳකම් පැවැත්වූ තරුණියගේ සහාය පොලිසියට නොලැබුණේ නම් සැකකරු කොටු කර ගැනීම තවත් ප්‍රමාද වන්නට ඉඩ තිබූ අතර තවත් අපරාධ සිදුවීමට ඉඩ තිබූ බවද කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කීය.

මහනුවර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පීරිස් සහ මාතලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත පොලිස් අධිකාරි අජිත් වංශනාථ (දිස්ත්‍රික් ධ්) මහතාගේ උපදෙසින් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි දමයන්ත, සැරයන් ගුණතිලක (8552), කොස්තාපල්වරුන් වන අසේල (35803) හා ප්‍රේමසිරි (2074) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූහ.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.

 කීර්ති මෙන්ඩිස්