මන්දිරවල පුරාවස්තු කැක්කුම මවා ගත්ත තව බොරුවක් ද?

0
238

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය හදිසියේ ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලායෑමෙන් අනතුරුව එම ගොඩනැඟිල්ල අරගලයේ නියුතු තරුණ පිරිස් අතට පත්වීම සමඟය. ජනාධිපති මන්දිරය අල්ලා ගැනීමේ සිදුවීමට විශාල ප්‍රචාරයක් ලැබීමත් සමඟ එය රටවැසියන්ගේ මහත් අවධානයට යොමුවිය. කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය දැඩි ආරක්ෂිත කලාපයක පිහිටීමත් දීර්ඝ කාලයක් මුළුල්ලේ ජනතාවගෙන් හුදෙකලාව පැවතීමත් නිසා එය දැක බලාගැනීම සඳහා පරිශ්‍රයට දරාගත නොහැකි තරම් අතිවිශාල ජනකායක් දින කිහිපයක් තුළ දිවා – රාත්‍රි එහි පැමිණෙන්නට වූහ. එම ජන සමූහයා අතර සාමාන්‍ය පුරවැසියන් මෙන්ම විවිධ සමාජ විරෝධී පිරිස්ද ගොඩනැඟිල්ල තුළට ඇතුළු වූ බව රහසක් නොවේ.

ජනාධිපති මන්දිරයේ පොදු දේපළ ජනතාව සතු වස්තුව බැවින් ඒවා ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් අරගලය මෙහෙය වූ තරුණයන් විසින් යම් යම් දැන්වීම් පුවරු එල්ලා තැබුවද එකවර ගලා ආ මහා ජන සන්නිපාතය තුළ මන්දිරය සහ එහි කෞතුක වස්තූන් ආරක්ෂා කිරීම ස්වාභාවිකවම ගැටලුවක් බවට පත්වී ඇති බව පෙනේ. ඒ වනවිට මන්දිරයේ ආරක්ෂාව භාරව සිටි ආරක්ෂක අංශද ඍජු මැදිහත්වීමෙන් ඉවත් වී  සිටීම ද  වගකීමෙන් තොරව හැසිරෙන්නන්ට පහසුවක් වී තිබේ.

දින 4කට පසු අරගලයේ නියෝජිතයන් විසින් ජනාධිපති මන්දිරය නැවත භාරදෙනු ලැබීමෙන් අනතුරුව දක්නට ලැබී තිබෙන්නේ මහජනයා මන්දිරය තුළ ගැවසුණු කාලසීමාවේ මන්දිරයට අයත් සමහර භාණ්ඩවලට හානි සිදුවී ඇති බව සහ ඇතැම් භාණ්ඩ අතුරුදන් වී ඇති බවය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වීමෙන් පසු 2015 වසරේ දින කිහිපයක් ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබී ඇත.

එම කාලය තුළ මන්දිරය නැරඹීම සඳහා පැමිණි ජනකාය මෙන් විසි තිස් ගුණයක ජනකායක් මෙවර දින දෙක, තුන තුළ මන්දිරයට ඇතුළුව තිබේ.

එසේ මහජනයා ඇතුළුව තිබෙන්නේ පෙර මෙන් නිශ්චිත මඟපෙන්වීමක් හෝ ආරක්ෂක වැඩපිළිවෙළක් නොමැති තත්ත්වයක් යටතේය. එම අස්වාභාවික ඉඩකඩ විවර වීම ඇතැම් කොල්ලකාරී පිරිස්වලට ඉණිමං බැඳීමක් වූවාට සැක නැත. ඇතැමුන් හැසිරී තිබෙන්නේ පාළු ගෙයි වළං බිඳින්නන්ගේ ස්වරූපයෙනි.

මෙවැනි ජාතිය සතු අගනා සම්පතක් අනතුරේ හෙළීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. අපරාධයකි.

ජනාධිපතිවරයා විසින් පවතින තත්ත්වයන් පිළිබඳව නිවැරැදි තක්සේරුවක් සිදුකර ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නිසි අවස්ථාවේදී ලබාදීම කෙරෙහි අවධානය යොමු කළා නම් මෙම අවාසනාවන්ත තත්ත්වය වළක්වා ගැනීමට බොහෝදුරට ඉඩකඩ තිබිණි. ඔහු තම භාරයේ තිබූ මන්දිරයේ ‍ෙදාර කවුළු හැරදමා පෑළ‍ෙදාරින් පලාගියේය. ප්‍රථම වරද එතැනය. දැන් සියල්ල සිදුවී අවසන් බැවින් එවැන්නක් පිළිබඳ කතා කිරීමේ තේරුමක් ද නැත.

බොහෝ දෙනා උත්සාහ කරන්නේ මෙම ප්‍රශ්නය දෙස තමන් දරන දේශපාලන මතිමතාන්තර අනුව විස¾දුම් ඉදිරිපත් කිරීමටය. ඔවුන් නිගමනවලට එළැඹෙන්නේ මාධ්‍ය විසින් හුවා දක්වන කරුණු පදනම් කරගෙනය. විශාල ජනගහනයක් රැස්වන අවස්ථාවන්හි එකී අවස්ථාව සංගීත සන්දර්ශනයක් වේවා, සාමාන්‍ය දේශපාලන රැස්වීමක් වේවා, අවමංගල්‍ය උත්සවයක් වේවා, පින්කම්පොළක් වේවා පසුදින දක්නට ලැබෙන්නේ අපවිත්‍ර හා අලාභහානි වූ පරිසරයක් බව ශ්‍රී ලංකාවේ ජීවත්වන අපට අමුත්තක් නොවේ.

බොහෝවිට එසේ හානි සිදු වන්නේ කල් ඇතිව පූර්ව ආරක්ෂිත විධිවිධාන ක්‍රමෝපායයන් පවා සකසා තිබියදීය. නමුත් 9 වැනිදා සිදුවූයේ අනපේක්ෂිත අහඹු සිදුවීමකි. මේ සිදුවීම පාදක කරගනිමින් අරගලයේ නියුතු තරුණයන්ට අධිකරණය මඟින් දඬුවම් ලබාදීමට රජයේ ඇතැම් කොටස් උත්සාහ කරන බව පෙනේ. අපේ රටේ සිවුදිගින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම ස්ථානය කරා පැමිණියේ කිසිවෙක් වෙන් වෙන් වශයෙන් කරනු ලැබූ කැඳවීමක් අනුව නොවේ. දිගින් දිගටම ජනතාව මුහුණදුන් ජීවත් වීමේ ගැටලුවට පාලකයන් විසඳුම් ලබානොදෙන තැන, ජනතාව මුහුණදෙන ප්‍රශ්න සම්බන්ධයෙන් මාස ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා මුනිවත රැක සිටියදී කොළඹට පැමිණ ජනාධිපතිවරයාට තම ගැටලු ඍජුව ඉදිරිපත් කරන්නට රටේ ජනතාවට යුක්තිසහගත අයිතියක් තිබේ.

ඓතිහාසික රාජධානි සමයේද රට දුර්භික්ෂයන්ට මුහුණදුන් කල පුරවැසියෝ රජමාලිගය අබියසට පැමිණ රජුට දුක කීම මෙරට ජනතාවගේ ඓතිහාසික සම්ප්‍රදායකි. එබ¾දු අවස්ථාවලදී රජු සීමැදුරු කවුළුව අබියසට පැමිණ ජනතාව ආමන්ත්‍රණය කොට පවතින තත්ත්වය පැහැදිලි කිරීමත් ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය වටහාදීමත් පිළිබඳව මෙරට ඉතිහාසයේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ කවර කාලයක හෝ පර සතුරු ආක්‍රමණයකදී මිස වෙනත් අවස්ථාවක ජනතාවට බියෙන් රජා පලාගිය පුවතක් සඳහන් වන්නේ නැත. නඩු පවරනවා නම් පැවරිය යුත්තේ යථෝක්ත සිදුවීම වූ දින කොළඹට පැමිණි රටේ මුළුමහත් ජනතාවටය.

මෙම තත්ත්වය හොඳින් දැනසිටිමින් පවා පැවැති වාස්තවික තත්ත්වයන් සහ මුලින් නොතකා අරගලකරුවන් ජනාධිපති මන්දිරයේ භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි මතයක් සමාජගත කරන්නේ තම දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහාය. අරගලයේ තරුණයන් විසින් ජනාධිපති මන්දිරය තමන් යටතට ගැනීමත් ඉන්පසුව ඇතිවූ තත්ත්වයනුත් හේතුවෙන් ජනාධිපති මන්දිරයට අයත් බොහෝ භාණ්ඩවලට හානි වී ඇති බව හා ඇතැම් භාණ්ඩ සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවත් සත්‍යයකි. එය එසේ නොවේ යැයි කීමට අපි කිසිසේත් උත්සාහ නොකරමු.

එදා 9දා දහවල් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජනාධිපති මන්දිරය වෙත ඇදී ආ අන්දම අප පමණක් නොව ලෝකයම රූපවාහිනියෙන් දුටුවේය.

අරගලයේ තරුණයන් විසින් ජනාධිපති මන්දිරයේ තිබූ පුද්ගලයකුට පහසුවෙන් රැගෙන යා හැකි චිත්‍ර යනාදිය සියල්ල ගලවා ආරක්ෂිත කාමරයක අගුළු දමා තිබී මන්දිරය නැවත ආරක්ෂක අංශවලට භාරදුන් අවස්ථාවේ එම යතුරු භාරදුන් බව එම අවස්ථාව වාර්තා කිරීම සඳහා එහි ගිය අප වාර්තාකරු දැක තිබිණි. එසේම ඇතැම් ගෘහ භාණ්ඩවලට හානිවී තිබූ අයුරුත් සෝපාන පන්තියේ ඇතැම් තැනක අත්වැල් කැඩී තිබූ අයුරුත් ඔහු නිරීක්ෂණය කර තිබිණි.

ජනාධිපති මන්දිරයට අයත් කිසියම් භාණ්ඩයක් පුද්ගලයකු සතුව තිබේ නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යය. ඇතැම් මාධ්‍ය වාර්තා කළ ආකාරයට ජනාධිපති මන්දිරයට අයත් කොඩි කිහිපයක් අතුරුදන්ව ඇති බවද වාර්තා විය. ඒවා කිසියම් තැනක පුද්ගලයකු සතුකරගෙන සිටී නම් එම තැනැත්තා වහාම නීතිය හමුවට ඉදිරිපත් කිරීම ආරක්ෂක අංශවල වගකීමය. රටේ ප්‍රශ්න මොනවා තිබුණත් මන්දිරයේ පිහිනුම් තටාකවල නිල් පැහැති වතුර අවපැහැ ගැන්වී ඇතැයි නාහෙන් අඬන මිනිස්සුද ලංකාවේ නොයෙක් පළාත්වල සිටිති.

ජනාධිපති මන්දිරයේ මුල් ගොඩනැඟිල්ල ඉදිකර තිබෙන්නේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරයා වූ එංගල් බීක් විසිනි. ඉංග්‍රීසීන් කොළඹ කොටුව යටත් කර ගන්නා අවස්ථාවේ පවා එංගල් බීක් ආණ්ඩුකාරයා මෙම මන්දිරය අත්නොහැරි බව සඳහන් වේ. පසුව මෙම නිවෙස ඔහුගේ මිනිපිරිය වූ ජැකොබින්ට දායාද වශයෙන් ප්‍රදානය කර තිබේ. ඇය ඉංග්‍රීසි ආණ්ඩුවේ සිවිල් නිලධාරියකු වූ ජෝර්ජ් මෙල්වින් සමඟ විවාහ වී  ඇත.

එම නිලධාරියා ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් නිලධාරි තනතුර දැරූ අයෙකි. ගිණුම් පරීක්ෂාවකදී ඔහු අතින් සිදුව ඇති මුදල් අක්‍රමිකතාවක් හෙළිවීම නිසා පවුම් 10,000ක් ආණ්ඩුවට ගෙවීමට ඔහුට සිදුවී ඇත. එම මුදල පියවීම සඳහා ජෝර්ජ් මෙල්වින් මෙම මන්දිරය සහ ඉඩම බි්‍රතාන්‍ය ආණ්ඩුවට හිලව් කර පවුම් 35,000ක් ලබාගෙන තිබේ.

මන්දිරය බි්‍රතාන්‍ය ආණ්ඩුවට අයත්වූ පසු පෙඩ්‍රික් නෝර්ත් ආණ්ඩුකාරයා ප්‍රථමයෙන් පදිංචියට පැමිණ ඇත. බි්‍රතාන්‍ය පාලන සමයේ ගොඩනැඟිල්ල නොයෙක් වෙනස්කම්වලට භාජන කළ අතර බි්‍රතාන්‍යය ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත මන්දිරයක් බවට පරිවර්තනය කර ඇත. මෙහි තිබෙන උසස් තත්ත්වයේ ගෘහ භාණ්ඩ මෙන්ම විදුලි උපකරණද බි්‍රතාන්‍යයෙන් ආනයනය කර ලද ඒවාය. එංගලන්තයේ වික්ටෝරියා රැජිනගේ 1837 – 1901 පාලන සමයේ මෙම මන්දිරය ක්වීන් හවුස් ලෙස හ¾දුන්වා ඇත.

බි්‍රතාන්‍ය යටත්විජිතයන්හි ඉදිකරන ලද මෙවැනි මහා මන්දිර සම්බන්ධයෙන් ඉංග්‍රීසීන් අනුගමනය කරන ලද්දේ ඉතාමත් විධිමත් නීති රීතිවලින් ආවරණය වූ පිළිවෙතකි. නියමිත චක්‍රලේඛනවලට පිටින් මන්දිරයට අල්පෙනෙත්තක් ගෙනයෑම හෝ අල්පෙනෙත්තක් මන්දිරයෙන් පිටතට ගෙනයෑම හෝ ඔවුන්ගේ නීතිවල ඉඩක් නොවීය.

දිවයිනේ සිදුවූ වියදම් ගැන යටත් විජිත කටයුතු භාර කාර්යාලය ඉතා පරීක්ෂාකාරී පාලනයක් පැවැත්වීය. මන්දිරයේ පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ සඳහා වූ වියදම් පවා දැඩි සැලකිල්ලට භාජන විය. ආණ්ඩුකාරවරයාගේ මන්දිරය නඩත්තු කළ යුතු වූයේ ඔහුගේම මුදලිනි. මේ කාරණය 1823 මැයි 16දා යටත්විජිත කටයුතු භාර මහලේකම් විසින් ආණ්ඩුකාරවරයා වෙත එවන ලද ලිපියකින් පැහැදිලි වේ.

ලංකාද්වීපයේ ඇති ආණ්ඩුකාර නිවාසයේ ගෘහ භාණ්ඩ සැපැයීම පිළිබඳ කාරණයේදී දැනට ආණ්ඩුකාරවරයා නිල වශයෙන් පාවිච්චි කරන පොදු මුදලින් මිලට ගෙන ඇති විවිධාකාර භාණ්ඩ පිළිබඳ ලැයිස්තුවක් සකස් කොට මෙහි එවීමට සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. ඒ අතරම ගෘහ භාණ්ඩ සම්බන්ධ නවාංග එකතු කිරීම හෝ ප්‍රතිසංස්කරණය අරබයා කිසියම් මුදලක් යටත්විජිත අය – වැයෙන් ලබානොගත යුතු බවද ඔබට දැන්වීමට අවසර ඉල්ලමි.

එතරම් වටිනාකමක් නැති ගෝනි පිළිබඳව පවා ගණන් හිලව් පෙන්වීමට නියමව තිබූ බව ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් 1830 පෙබරවාරි 22 දින යවන ලද පහත ලිපියෙන් පෙනේ.

ඔබේ පසුගිය 13 වැනි දිනැති ලිපිය මා විසින් ආණ්ඩුකාරතුමාට ඉදිරිපත් කරනු ලදුව පාවිච්චි කළ නොහැකි ගෝනි 3278 ප්‍රසිද්ධ වෙන්දේසියක් මඟින් විකුණා දැමීමටද රජයේ කටයුතු සඳහා යොදාගනු පිණිස කපන ලද ගෝනි 228ක් ඉවත් කිරීමටද ඔබට බලය දිය යුතු යැයි නිර්දේශ කරමි. තවදුරටත් ඔබ විසින් ඉල්ලා ඇති ගෝනි 2000ක් සඳහා වූ ඉල්ලුම් පත්‍රය  අනුමත කොට මුදල් ගෙවීමද අනුමත කරමි.

වර්තමානයේ රාජ්‍ය ආයතනවල මුදල් අවභාවිතය සිදුවන ආකාරය පිළිබඳව සැලකිල්ල දක්වන කළ බි්‍රතාන්‍ය පාලන සමයේ කොතරම් දැඩි අධීක්ෂණයක් යටතේ මූල්‍ය පාලනය සිදු වීද යන්න අපට පැහැදිලි වේ. මේ තත්ත්වය හොඳින් දන්නවා තරුණයන් ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටීම පුදුමයට කාරණයක් නොවේ.

කොටුව ජනාධිපති මන්දිරයේ තිබූ ඉතා වටිනා චිත්‍රයක් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ පාලන සමයේ ලන්ඩන් නුවර චිත්‍ර වෙන්දේසියක තිබී හමුවිය. ජනාධිපතිනිය විසින්ම චිත්‍රය අතුරුදන්වීම සම්බන්ධව විමර්ශනයක් සිදුකළ අතර සිතුවම මන්දිරයෙන් පිටතට ගෙනගිය තැනැත්තා ලෙස හඳුනාගත් දුලාංජලී ප්‍රේමදාසගේ ස්වාමිපුරුෂයා වූ රොහාන් ජයකොඩි යන අයට විරුද්ධව නඩු පවරන ලද නමුත් පසු එම නඩුවට කුමක් වී දැයි කිසිවකු නොදනී.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2005 – 2015 පාලන සමයේ ජනාධිපති මන්දිරය පිහිටි ගෝඩන් උද්‍යානයේ තිබූ 1505 ඓතිහාසික පෘතුගීසි ලාංඡනය කෙටූ ගල එය තිබූ ස්ථානයෙන් අතුරුදන්වූ අතර දැනට එය කොළඹ වරායේ ස්ථානයක තිබෙන බව ‘මව්බිම’ මීට පෙර හෙළි කළේය.

යටත් විජිත පාලන සමයේ වික්ටෝරියා මහ රැජිනගේ මෞලි මංගල්‍යය අවස්ථාවේ බි්‍රතාන්‍යයේ සිට මෙරටට ගෙන එන ලද වික්ටෝරියා රැජිනගේ කිරිගරුඬ ප්‍රතිමාව ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පිහිටුවා තිබූ අතර 2010 වසරේ පමණ එය ගලවා කොළඹ ස්වාභාවික කෞතුකාගාරය පිටුපස දමා තිබිණි. කොළඹ නොබැඳි සමුළුව පැවැති අවස්ථාවේ චාල්ස් කුමාරයා ලංකාවට පැමිණි හෙයින් හදිසියේම කලබල වූ ආණ්ඩුව වික්ටෝරියා රැජිනගේ ප්‍රතිමාව කලාභවනට නොදුරු ස්ථානයක යළිත් ස්ථාපනය කරන ලදී. පුදුමය නම් ජනපති මන්දිරයේ කෞතුක වස්තු ගැන මහත් උනන්දුවෙන් කතා කරන බොහෝදෙනා ඉහත සිදුවීම්වලදී නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමය.

මේ වනවිට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ භාණ්ඩ ලේඛන ගතකිරීම් ආරම්භ කර තිබේ. ඉකුත් බදාදා ආරම්භ කරන ලැබූ එම කාර්යයට පුරාවිද්‍යා නිලධාරීන් 21 දෙනකු සහභාගි වන බව දැනගන්නට ලැබිණි. ලැබෙමින් පවතින තොරතුරුවලට අනුව ජනපති මැඳුර දැඩි ආරක්ෂිත ස්ථානයක් ලෙස පැවැති හෙයින් වාර්ෂික භාණ්ඩ වාර්තාගත කිරීමක් සිදුවී නැත. නමුත් මන්දිරයේ ඇති භාණ්ඩ පිළිබඳ විස්තර ඉන්වෙන්ටි්‍රවල සඳහන්ව තිබිය යුතුය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාලන සමයේ 2016 වසරේ ජනාධිපති මන්දිරය සම්පූර්ණ අභ්‍යන්තරයද ඇතුළුව ඡායාරූපගත කර තිබේ. අප දන්නා තරමින් එය සිදුකර තිබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟිනි. වර්තමාන ඡායාරූපගත කිරීම එම සංලක්ෂය මතම සිදු කිරීමෙන් වෙනස්කම් සිදුව තිබේ නම් හැඳිනිය හැකිය. කැඩුණු භාණ්ඩ ප්‍රතිනිර්මාණය කිරීමටද එය මහත් පිටිවහලක් වනු ඇත. ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව ඒ සඳහා  ශිල්ප ඥානය තිබීම මෙහිදී බෙහෙවින් සැනසිල්ලකි.

ජාතිය සතු මෙවැනි මහා කෞතුක උරුමයන් පවතින්නේ පාලකයන්ගේ පුරාජේරුව පෙන්වීමට නොවේ. ඒවා අයිති රටේ මහජනතාවටය. ඒවා ආරක්ෂා කළ යුත්තේ ද රටේ මහජනතාවය. නමුත් අවාසනාවකට ජනතාව සිතා සිටින්නේ ඒවා පාලකයන්ගේ බූදල් වශයෙනි. ඔවුන් ඒවාට වෛර කරන්නේ එම වැරැදි මතය නිසාය. එනිසා මේවා ජනතාවට අයත් ඔවුන්ගේම දේපළ බවත් ඒවා ඔවුන්ගේ පණ මෙන් ආරක්ෂා කළ යුතු බවත් අපි ඔවුන්ට අවබෝධ කරදිය යුතුය.

උදේනි සමන් කුමාර