මනස සුවපත් කරන ප්‍රායෝගික භාවනාව

0
30

මෛත්‍රියට විරුද්ධ දෙය වන්නේ වෛරයයි. රට ආර්ථිකමය හා දේශපාලනමය වශයෙන් විනාශයට පත් වී තිබෙන මේ අර්බුදකාරී සමයේ බොහෝ විට මිනිසුන්ගේ බලාපොරොත්තු සහ සිහින කඩාගෙන වැටිලා මූලික අවශ්‍යතා සපුරා ගන්නත් බොහෝ වෙහෙසීමට සිදුවෙලා තිබෙනවා. එම නිසා බොහෝ දෙනාගේ සිත් තුළ තිබෙන්නේ වෛරී සිතුවිලි. තමන්ගේ සිත තුළ වෛරී සිතුවිලි තිබෙන පුද්ගලයන් නිරන්තරයෙන් සිටින්නේ පීඩනයෙන්.

එවැනි අයට තිබෙන හොඳම විසඳුම තමයි මෛත්‍රි භාවනාව පුරුදු පුහුණු කිරීම. අප පසුගිය සතියේ මෙම අතිරේකය තුළින් මෛත්‍රි භාවනාව සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අපි මේ සාකච්ඡා කරන්නේ විපස්සනා භාවනා ක්‍රමය ගැන නොවෙයි සමථ භාවනා ක්‍රමය පිළිබඳවයි යන්න මූලික වශයෙන් ඔබ මතක තබා ගත යුතුයි.  භාවනාවට යොමුවන බොහෝ දෙනෙක්ට, භාවනාවට බාධාවක් වන දෙයක් වන්නේ නිදිමත සහ කම්මැලි ස්වභාවයක් ඇතිවීමයි. වාඩි වී භාවනා කිරීමේදී නිදිමතක් සහ කම්මැලිකමක් ඇතිවන බව බොහෝ දෙනෙක් අපට පවසනවා.

අපි අද සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ ඕනෑම භාවනාවකදී, භාවනා කරන්නාට ඇතිවන එම බාධාවන් වළක්වා ගැනීමට සුදුසුම භාවනා ක්‍රමයක් ගැනයි. මෙම භාවනා ක්‍රමය තුළින් නිදිමත සහ කම්මැලිකම දුරු කරගැනීමට පුළුවන්කම ලැබෙනවා. වාඩිවී සිටින විට පාද වේදනා දීම, හිරිවැටීමක් සිදුවීම ආදී ගැටලු ඇතිවන අයට මෙම ක්‍රමය අත්හදා බැලීමට පුළුවන්. මෙම ක්‍රමය සෑම භාවනාවක්ම සිදු කිරීමට උදවු වෙනවා. මෙම භාවනා ක්‍රමය නිවැරදිව තේරුම් ගතහොත් ඔබට සාමාන්‍යයෙන් පාරේ ඇවිද යන විට පවා සිදු කිරීමේ හැකියාව ලැබෙනවා. මෙම භාවනා ක්‍රමය වන්නේ ඔබ කවුරුත් අසා තිබෙන සක්මන් භාවනාවයි. මේ ලිපිය තුළින් අපි පැහැදිලි කරන්නේ සක්මන් භාවනාව පිළිබඳවයි.

සක්මන් භාවනාව ඉතාම පහසුවෙන් කළ හැකි භාවනා ක්‍රමයක්. සක්මන් භාවනාව සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර අපි මෙම භාවනාව ප්‍රගුණ කළ විට ඔබට ලැබෙන ප්‍රයෝජන පිළිබඳව සාකච්ඡා කරමු. සක්මන් භාවනාව ප්‍රගුණ කළ විට ලැබෙන ආනිශංස 05ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඊට අමතරව අතුරු ආනිශංස බොහෝමයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් පසුවද දානය වැළඳීමෙන් පසුව සක්මන් භාවනාවේ යෙදුණු බව සඳහන් වෙනවා. අද කාලයේ තෙල් නොමැති වීමේ ගැටලුව නිසා රථවාහන ධාවනය වන්නේ අඩුවෙන්. එම නිසා බොහෝ ගමන් බිමන් පා ගමනින් ගමන් කිරීමට සිදුවී තිබෙනවා. ඒ සෑම ගමනකදීම ඔබට සක්මන් භාවනාවේ යෙදිය හැකියි. එවිට ගමන යනවාට අමතරව ඔබේ සිත සැහැල්ලු වීමත් සිදුවෙනවා. උදෑසනම සක්මන් භාවනාවේ යෙදෙන කෙනකුට අලසකම දුරු කරගෙන පරිසරයත් සමඟ නැවුම්ව සම්බන්ධ වීමේ හැකියාවත් ලැබෙනවා.

චංකමානිසංස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙම සක්මන් භාවනාවේ ආනිශංස පිළිබඳව දේශනා කර තිබෙනවා. එම සූත්‍ර දේශනාවේ සඳහන් වන සක්මන් භාවනාවේ යෙදීමෙන් ලැබෙන ආනිශංස 05 මෙසේය.

පාද ශක්තිමත් වීම

නිරන්තරව සක්මන් කරන පුද්ගලයාගේ දෙපා ශක්තිමත් වීම නිසා කායික ලෙඩ රෝග අඩුවෙනවා. වාහනවල ගමන් කරන බොහෝ දෙනෙක්ට ටික දුරක්වත් පා ගමනින් ඇවිදීමට නොහැකි වී තිබෙනවා නමුත් දෛනිකව සක්මන් භාවනාව ප්‍රගුණ කළ පුද්ගලයකුට කිසිම අපහසුවකින් තොරව පා ගමනින් ඇවිදීමට හැකියාව ලැබෙනවා.

වීර්යය වැඩිදියුණු වීම

ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනකුට, ධර්ම දේශනාවලට සවන්දීමේදී සිත තැන්පත් කිරීමේදී වීර්යය අඩුවීමක් සිදු වුවහොත්, සක්මන් භාවනාවේ යෙදීම තුළින් ශරීරයේ සෛල ක්‍රියාකාරී වීම සිදු වීම හරහා එම පුද්ගලයාගේ වීර්යය වැඩිදියුණු වීම ආදිය සිදු වෙනවා.

ආහාර ජීර්ණය පහසු කරවීම

බොහෝ විට මිනිසුන් ආහාර ගැනීමෙන් පසුව  එක තැනකට වී වාඩිවී සිටීමට පුරුදු වීම නිසා ස්ථුලභාවයට පත්වනවා. ආහාර ගැනීමෙන් පසුව සක්මන් භාවනාවේ යෙදීම මඟින් ආහාර ජීර්ණය වීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කරගැනීමට හැකියාව ලැබෙනවා.

රෝගාබාධ දුරු වී

නිරෝගිකම ඇතිවීම

දවසම පුටුවක වාඩිවී රැකියාවේ නිරත වන අය අවම වශයෙන් දවසට පැය භාගයක්වත් ඇවිදිය යුතුයි. එසේ නොවූ විට බෝ නොවන රෝග වැලඳීම සිදුවෙනවා. එම නිසා දවසකට පැය භාගයක පමණ වේලාවක් සක්මන් භාවනාවේ යෙදෙන පුද්ගලයකුට ලෙඩ රෝගවලින් තොර නිරෝගී දිවි පෙවෙතකට උරුමකම් කිව හැකිය.

ලබා ගන්නා සමාධිය බොහෝ කල්    පවත්වාගත හැකි වීම

සක්මන් භාවනාවේදී යම්කිසි කෙනෙක් සිත තැන්පත් කරගතහොත් එම සමාධිය වැඩි කාලයක් පවත්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. මක්නිසාද කිවහොත් සක්මන් භාවනාවේදී ඇස් විවෘත කරගෙන, දෙකන් පරිසරයට යොමු කරගෙන භාවනා කරන බැවින් එහිදී ලබා ගන්නා සමාධිය බොහෝ කල් පවත්වාගත හැකි වෙනවා. සමාධිය කියන එක භාවනා නොකර සිටින විට කැඩී බිඳී යා හැකි දෙයක්. වාඩිවී භාවනා කරන පුද්ගලයකු සමාධියක් ඇති කර ගත්තත් බොහෝ විට භාවනා නොකර සිටින විට එම සමාධිය බිඳී යා හැකියි. නමුත් සක්මන් භාවනාවේදී සමාධිය ඇතිකරගත් කෙනෙක්ගේ සමාධිය එසේ බීඳී යන්නේ නැහැ.

නිවෙසේ සිට සක්මන් භාවනාවේ යෙදෙන පුද්ගලයකුට භාවනා කිරීම  සඳහා තම නිවෙසේ සක්මන් මළුවක් නිර්මාණය කරගත හැකි ආකාරය කෙසේද යන්න අපි මීළඟට සාකච්ඡා කරමු. මේ සඳහා බොහෝ දේ කළ යුතු නැහැ. ඔබේ නිවෙසේ අඩි 20ක් හෝ 30ක් එක් පැත්තකට ගමන් කළ හැකි වැරැන්ඩාවක්, වැලි පොළොවක්, මිදුලක්, විසිත්ත කාමරයක් හෝ බැල්කනි එකක් තිබෙනවා නම් එවැනි තැනක් මේ සඳහා තෝරා ගත හැකියි. ටයිල් කළ පොළොවක සක්මන් භාවනාවේ යෙදීම එතරම් සාර්ථක වන්නේ නැහැ. ඒ වගේම ටයිල් පොළොවක සක්මන් කිරීම තුළින් කාලයක් ගත වන විට හන්දි වේදනා ඇතිවිය හැකියි. ටයිල් පොළොවක සක්මන් කරනවා නම් එහි ලණු පැදුරක් එළාගෙන ඒ මත සක්මන් කරන්න.

සක්මන් භාවනාව සිදු කරන්නේ කෙසේද කියා දැන් අපි බලමු. සක්මන් භාවනාව කියන්නේ ඉතාම පහසුවෙන් කළ හැකි භාවනාවක්. පාදය පොළොවෙහි ස්පර්ශ වීම මෙනෙහි කිරීම පමණයි කළ යුතු වන්නේ. අපි ඇවිද යන විට පාදය පොළොවෙහි ස්පර්ශ වෙනවා. නමුත් අපි වෙනත් කල්පනාවන්වල ගමන් කරන නිසා එය අපට දැනෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිහිය පවත්වාගෙන පාදය පොළොවෙහි ස්පර්ශ වීම සහ පාදය පොළොවෙන් එසැවීම මෙනෙහි කරමින් සක්මනේ යෙදෙන ලෙසයි. භාවනාව ආරම්භ කරන මුල් කාලයේදී ඔබට නුහුරු ගතියක් දැනෙයි.

නමුත් කෙටි කාලයක් ගත වන විට එය මනසිකාරයට එන විට හරියට අපි වතුරේ පිහිනනවා වගේ අපිට එය දැනෙන්නට පටන් ගන්නවා. අත්දැකීමෙන් යුතුව කියන්නේ කාලයක් ගතවන විට සක්මන් භාවනාව කියන්නේ ඉතාමත් විනෝද වීමට පුළුවන් දෙයක් බවට පත් වෙනවා. භාවනාව ආරම්භ කරන කාලයේදී සිතුවිලි විසිරීම සිදුවිය හැකියි, එවිට නැවත නැවතත් පාදය පොළොවේ ස්පර්ශ වීම පිළිබඳව අවධානය යොමු කරන්න. භාවනාව කාලයක් කරගෙන යන විට සිතේ විසිරෙන ස්වභාවය අවම වෙලා පාදය පොළොවේ ස්පර්ශ වීම නැවත එසවීම කියන කාරණාව කෙරෙහිම යොමු වීම සිදුවෙනවා.

එවිට ඔබට දැනෙයි ඔබ අවට පරිසරය සමඟ හොඳින් සම්බන්ධ වී ඇති බව. පරිසරයේ කුරුල්ලන්ගේ ශබ්ද, වාහනවල ශබ්ද, ගහකොළ සුළඟට සෙලවන ශබ්ද බොහෝ වේලාවට වෙනත් කල්පනා ලෝකවල සිටින මිනිසුන්ට ඇසෙන්නේ නැහැ. නමුත් ඔබ සක්මන් භාවනාවේ යෙදෙන විට පරිසරයට සංවේදී වීම සිදුවෙනවා. කනට පරිසරයේ ශබ්ද ඇසෙනවා නමුත් ඔබ ඒ ගැන සිතන්න යන්නේ නැහැ. ඇසට රූප පෙනෙනවා නමුත් ඔබ ඒ ගැන සිතන්න යන්නේ නැහැ. ඔබේ සිත යොමු වන්නේ එකම දෙයක් ගැන පමණයි. එනම් පාදය පොළොවෙහි ස්පර්ශ වීම සහ එසවීම පිළිබඳව පමණයි.

මෑතකදී මම අඟුණකොළපැලැස්සේ ගමකට එක්තරා කටයුත්තක් සඳහා වැඩම කළා. එම ගමේ එක් නිවෙසක් අසල විශාල කුඹුක් ගසක් තිබුණා. මම ඒ නිවැසියාගෙන් ඇසුවා මේ කුඹුක් ගස ඔබ කුඩා කාලයේ පටන් තිබෙන එකක්ද කියලා. එම නිවැසියා පැවසුවේ එම කුඹුක් ගස තමන් දුටුවේ එදින බවයි. ඉතින් සිතන්න තමන්ගේ නිවෙසේ සිට මීටර 500 ක් පමණ දුරින් පිහිටි විශාල කුඹුක් ගසක් පිළිබඳව කෙනෙක්ට අවධානය යොමු වී නැහැ. බොහෝ දෙනෙක් ජීවත් වන්නේ තමන්ගේ වටපිටාව පරිසරය ගැන නිසි අවධානයකින් තොරව යාන්ත්‍රික ස්වභාවයකිනුයි.

ඔබ උදෑසන රැකියාවට යෑම සඳහා බස් රථය නවත්වන ස්ථානය තෙක් ගමන් කරන විට මේ සක්මන් භාවනාව සිදු කළ හැකියි. ඒ වගේම අපි සිතමු ඔබට රැකියාව කරන ස්ථානයේ සිට කඩ සාප්පුවකට ගමන් කරන්නට සිදු වුණා කියා, එවන් අවස්ථාවකදීත් ඔබට සක්මන් භාවනාව කළ හැකියි. ඔබ වෙනත් ගමනක් යන අතරතුර විදුලි රැහැන් කණු දෙකක් අතර ප්‍රමාණයේ දුරක් තෝරාගෙන එම දුර ඇතුළත වෙනත් කිසිවක් ගැන නොසිතා පාදය පොළොවේ ස්පර්ශ වීම සහ පොළොවෙන් එසැවීම ගැන පමණක් අවධානය යොමු කරමින් ගමන් කරන්නට ඔබට පුළුවන්.

මෙම භාවනාව ටික කාලයක් ඔබේ ජීවිතය තුළ පුහුණු කර බලන්න ඔබේ මනස පුදුමාකාර විධියට සැහැල්ලු බවට පත් වෙනවා. බොහෝ මිනිසුන්ට පැරණි මතකයන් සිතට වධ දීම, ආතතිය වැනි මානසික ගැටලු තිබෙනවා. ඔබේ සිහිය නිවැරදිව ඔබ කරන ක්‍රියාව සමඟ පවත්වාගෙන යෑමට පුරුදු පුහුණු වුවහොත් ඔබගේ මනසට කරදර කරන සියලු දේවල්වලින් මිදෙන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඔබේ සිත තැන්පත් වෙලා ඔබ මලක් වගේ පිපෙන්නට පටන් ගන්නවා, සුන්දර වීමට පටන් ගන්නවා. අද සමාජයේ බොහෝමයක් මිනිසුන් සිටින්නේ කපා අව්වේ දැමූ බටකොළ වගේ, මුහුණෙහි කිසිදු ප්‍රියමනාප ස්වභාවයක් නැහැ. ඔබ මෙවැනි භාවනා ක්‍රමයක් උපයෝගී කරගෙන ඇවිදීමත් සමඟ සතිමත් වීමට පටන් ගන්නවා. ඔබේ වර්තමානය සතුටින් විඳිමින් ජීවත් වීමට පටන් ගත් විට ඔබේ ජීවිතය නැවුම් සුන්දර සැහැල්ලු එකක් බවට පත් වේවි.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අත්දැකීම්

ඇසුරෙන්..