බොරලුගොඩ පරපුරේ නම තියන්න අගමැති දිනේෂ්ට පුළුවන් වෙයි ද?

0
218

මෙරට රාජ්‍ය පාලනයේ මහපුටුව බොරළුගොඩ ඇත්තන්ට අකැපද? යනුවෙන් ලියුම්කරුවකු කලකට ඉහත බීබීසී සිංහල සේවයට ලියා තිබිණ. ඊට හේතුව පොදු පෙරමුණු ආණ්ඩු, එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩු, පැවැති කාලවල පාර්ලිමේන්තුවේ ජේ‍යෂ්ඨ ඇමැතිවරයකු වූ දිනේෂ් ගුණවර්ධනට අගමැති තනතුර හිමිවන බවට ජනමාධ්‍ය පුරෝකථනය කළ අවස්ථා ගණනාවකදීම එය එසේ නොවී අගමැතිකම පිට පාරේ ගිය නිසාය.

මහින්ද රාජපක්ෂලා දිනේෂ්ලාගෙන් වැඩ ගත්තාට දේශපාලනයේ ඔවුන්ට හිමි තැන ලබා නොදෙන බවට ඇතැම් දේශපාලන විචාරකයෝ අදහස් දැක්වූහ. අරගල බිමට පිළිපන් තරුණ ජනයා විසින් ශ්‍රී ලංකාවේ දේශපාලනය උඩුකුරු යටිකුරු කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් බොරළුගොඩ වලව්වේ දිනේෂ් ගුණවර්ධනට ශ්‍රී ලංකාවේ 27 වැනි අගමැතිවරයා වශයෙන් දිවුරුම් දෙන්නට හැකි වී තිබේ.

බොරළුගොඩ ඇත්තන් සිංහයන් ලෙස හැඳින්වූයේ පිලිප්, රොබට්, ඉන්දික, දිනේෂ් ආදීන් පාර්ලිමේන්තු විවාදවලදී සභාගර්භය දෙදරන්නට උස් හ¾ඩින් කතා පැවැත්වූ නිසා නොවේ. දිනේෂ්ගේ සීයා ජාකෝලිස් රූපසිංහ ගුණවර්ධන බොරළුගොඩ රාලහාමි ඉංග්‍රීසි ආණ්ඩුවේ රාජකාරි කරමින් සිටියදීම අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව අභීතව නැඟී සිටි නිසාය.

1915දී බි්‍රතාන්‍ය ආණ්ඩුවේ අනුදැනුම ඇතිව කුළුගැන්වූ සිංහල – මුස්ලිම් කෝලාහලය පදනම් කරගනිමින් යටත්විජිත ආණ්ඩුවට විරුද්ධ දේශප්‍රේමී සිංහලයන් ඝාතනය කිරීම සඳහා බි්‍රතාන්‍ය යටත් විජිත ආණ්ඩුව මෙරට මාර්ෂල් ලෝ නීතිය ක්‍රියාවට නැඟීය. බොරළුගොඩ රාලහාමි සියනෑ කෝරලේ ජනතාව ආණ්ඩුවට එරෙහිව සංවිධානය කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන මරණීය දණ්ඩනය නියම කළේය.

1915 නොවැම්බරයේ එක් හිමිදිරි උදෑසනක නිවැසියන් අවදි වන විට “බොරළුගොඩ වලව්ව“ පංජාබ් හමුදාවක් විසින් වටලනු ලැබ තිබිණ. බාලවියේ පසුවූ  පිලිප්, රොබට් සහ හැරී සිය පියා යටත් විජිත ආණ්ඩුවේ හමුදා විසින් කුදළාගෙන ගිය අයුරු විමතියෙන් බලා සිටියේය. පියා පමණක් නොව 88 හැවිරිදි වියේ පසුවූ සීයාද බි්‍රතාන්‍ය හමුදාවේ අත්අඩංගුවට පත් විය. සීයා නිදහස් කළද මරණීය දණ්ඩනය නියම කළ බොරළුගොඩ රාලහාමි ‍ෙදාම්පේ ප්‍රදේශයේ හමුදා බැරක්කයක සිර කරනු ලැබීය. හමුදා මුරකාවල් බිඳගෙන යටත්විජිත ආණ්ඩුකාරයා ඉදිරියට ගොස් කරුණු කියා බොරළුගොඩ රාලහාමි නිදහස් කරවා ගන්නා ලද්දේ ඔහුගේ බිරිය සමණබැද්දේ ලියනෝරා ගුණසේකර විසිනි. 

නිදහස ලැබුණද බොරළුගොඩ රාලහාමි බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි සටන අත්හළේ නැත. ඒ වනවිට යටත්විජිත ආණ්ඩුව හෙන්රි පේද්‍රිස් ඇතුළු දේශප්‍රේමීන් විශාල පිරිසක් වෙඩි තබා මරා දමා තිබිණි. සුද්දන් ගෙන ගිය ම්ලේච්ඡ පාලනය පිළිබඳව රට දැනුවත් වූයේ කෙටි කලක් ගත වූ පසුවය. බොරළුගොඩ රාලහාමි ලබුගම සිට හංවැල්ල දක්වා අධිරාජ්‍යවාදී ආණ්ඩුවට විරුද්ධව විශාල පෙළපාළියක් සංවිධානය කළේය.

කුඩා වියේ ලද පන්නරය නිසාම පිලිප්, රොබට් ජාතික නිදහස් සටනේ ධජය අත නොහැර ඉදිරියට ගෙන ගියේය.

අධිරාජ්‍යවාදී ආණ්ඩු යටතේ ඔවුහු සිරබත් කෑවෝය. මෙරට පමණක් නොව ඉන්දියාවේ සිර ගෙවල්වලද සිරබත් කන්නට ඔවුන්ට සිදුවිය. දිල්ලි බන්ධනාගාරයේදී රොබට් ගුණවර්ධනගේ අතපය පවා බිඳිනු ලැබීය. ඔවුහු සෑම තැන්හිදීම පීඩිත ජනතාවගේ අයිතීන් උදෙසා වන අරගලයට කැපවූහ. ඒ නිසාම මෙරට ප්‍රගතිශීලී ජනයා බොරළුගොඩ රූපසිංහ ගුණවර්ධනලා බොරළුගොඩ සිංහයන් ලෙස හඳුන්වන්නට මැළි නොවීය.

බොරළුගොඩ පරම්පරාවේ වර්තමානිකයන් වන්නේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රි යදාමිණී ගුණවර්ධනය. ඔවුන් රඟපාන්නේ ගින්දර වැනි පරම්පරාවක වර්තමාන භූමිකාවය. ඔවුන්ගේ අක්මුල් හොඳින් දන්නා රටේ ජනතාව ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ රැඩිකල් යුක්ති සහගත ප්‍රවේශයකි. එබැවින් අගමැති දිනේෂ් ගුණවර්ධන ඉදිරියේ තිබෙන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිදු අගමැතිවරයකු මුහුණ නොදුන් අභියෝග රැසකි.

ඔහු පාලක පන්තියේ ආරක්ෂකයා නොව දහසක් අර්බුදවලින් පීඩා විඳින ජනතාවගේ ආරක්ෂකයා විය යුතුය. ඔහුගේ අත්දැකීම්වලින් සහ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට ඉහළ පෙළැන්තියට තිබෙන අවකාශය ඔහු විසින් අහුරා දැමිය යුතුය. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුරට 1970 දශකයෙන් පසු නව අර්ථකථනයක් දෙන්නට දිනේෂ් ගුණවර්ධනට හැකි විය යුතුය. ආලෝකය හීන වෙමින් පවතින පැරැණි වමේ ව්‍යාපාරයේ  පහන් සිළ යළි දීප්තිමත්ව  දල්වන්නට දිනේෂ් ගුණවර්ධන සූදානම් නම් මේ ලැබී තිබෙන්නේ ඒ සඳහා අවස්ථාවය.

දිනේෂ් ගුණවර්ධනගේ පියා පිලිප් ගුණවර්ධන විසින් අධිරාජ්‍ය ගැති වහල් මානසිකත්වයෙන් පෙළෙන මෙරට ධනපති පන්තිය  හ¾දුන්වන ලද්දේ තුප්පහියන් වශයෙනි. පිලිප් ගුණවර්ධන වනාහී අධිරාජ්‍ය ගැති ධනපතියන්ට පමණක් නොව ඔවුන් අනුගමනය කළ තුප්පහි සංස්කෘතික ගති ලක්ෂණවලටද දැඩි ලෙස පහර දුන් නායකයෙකි. ‍ෙදාස්තර කාලෝ ෆොන්සේකා වරක් පැවැසූ පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රථම වාමාංශිකයා, සමාජවාදියා, කොමියුනිස්ට්වාදියා, ට්‍රොස්කිවාදියා ද වන්නේ පිලිප් ගුණවර්ධනය. වර්තමානය ඔහු හඳුනාගත යුත්තේ ඔහුගේ සමස්ත අරමුණේ හරය විසිනි.

මහජන එක්සත් පෙරමුණේ නායක අභිනව අගමැති දිනේෂ් ගුණවර්ධනගේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව බොහෝ ලියවිලි මේ දවස්වල පළවෙමින් තිබේ. නෙදර්ලන්තයේ විදේශ අධ්‍යාපනය හමාර කර ලංකාවට පැමිණි දිනේෂ් ගුණවර්ධන ප්‍රථමයෙන් අත ගැසුවේ කම්කරු පන්ති ව්‍යාපාරයටය. ඔහු නියෝජනය කළේ මහජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති සම්මේලනයයි.

ජේ.ආර්. ජයවර්ධනගේ එජාප පාලනයට හිසරදයක් වූ එකල පැවැති වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරි කමිටුවේ බාලා තම්පෝ, අලවි මව්ලානා, ඇල්.ඩබ්ලිව්. පණ්ඩිත, බැටී වීරකෝන්, පර්සි වික්‍රමසේකර, ඇම්.ජී. මැන්දිස් ආදීන් අතර සිටි රැඩිකල් තරුණයා දිනේෂ් ගුණවර්ධනය.

මහරගමින් ඔහු පාර්ලිමේන්තුවට ආවේ 1983 දීය. ඔහු දරා ඇති ඇමැති ධුර සංඛ්‍යාව 11කට වැඩිය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා 15ක් නියෝජනය කර ඇති අතර ඉන් 3ක සභාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ. මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගල හැ¾දුනුම්පත අනිවාර්ය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමක්කාරයන් පොල්මක්:කාරයන් බහුතරයක් පෙනී සිටින පාර්ලිමේන්තුවේ දිනේෂ් ගුණවර්ධනට අවුරුදු 15ක් සටන් කරන්නට සිදුවිය.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන ඔහුට ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිරූපකයන්ගෙන් එල්ලවන බාධා පිළිබඳව ජනතාව දැනුවත් වුවත් ඔහු විසින් මේ දක්වා රටට කිසිවක් හෙළි කර නැත.

දිනේෂ් ගුණවර්ධනගේ කුඩා අවධිය පිළිබඳව බොහෝ අය නොදත් කතා ගොන්නක් තිබේ. බොහෝ කරුණු ලියුම්කරු සමඟ පවසා තිබෙන්නේ දැනට 91 හැවිරිදි වියේ පසුවන ලක්ෂ්මි සොපායා කුලසේකර ගෙනි. ඇය තුරුණු විය දක්වාම හැදී වැඩී තිබුණේ බොරළුගොඩ වලව්වේය. ලක්ෂ්මි නැන්දා පිලිප් ගුණවර්ධනගේ නැඟණිය වූ ‍ෙදා්න සොපායා රූපසිංහ ගුණවර්ධනගේ වැඩිමල් දියණියයි. පිලිප් ගුණවර්ධන ඇගේ මාමාය. පිලිප් – කුසුමා දෙදෙනාම දේශපාලන කරළියේ කාර්යබහුල වෙද්දී දරුවන් ප්‍රසන්න, ඉන්දික, දිනේෂ්, ගීතාංජනගේ ළපටි වියේ දැඩි වූයේ ලක්ෂ්මි සොපායා කුලසේකරගේ ඇසුරේය. ඇය කිරිඳිවැල බෝගහවත්ත වලව්වේ ආනන්ද සේනාරත්නයන් සමඟ විවාහ වීමෙන් පසුව ලක්ෂ්මි සොපායා සේනාරත්න නම් වූවාය.

පිලිප් – කුසුමා  දෙදෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ව සිටි 1947 – 60 වකවානුවේ මාස කිහිපයක් වයසැති කුඩා දිනේෂ් වඩාගෙන පාර්ලිමේන්තුවට ගොස් කිරි පොවාගෙන ආ හැටි විස්තර කරන ලක්ෂ්මි නැන්දාගේ මතකය තවමත් අලුත්ය. දිනේෂ් ගුණවර්ධනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අලුත් අමුතු තැනක් නොවේ. ඔහු දැනට ජනාධිපති ලේකම් කාර්යාලය තිබෙන පැරණි පාර්ලිමේන්තුවට යන්නේ එන්නේ මාස හතර පහ වයසේ සිටය. වයස මාස පහේදී පාර්ලිමේන්තු ගිය ළමයකු වශයෙන් ඔහු හැඳින්වීම නිවැරදිය.

කුඩා දිනේෂ් ගුණවර්ධනට කිරි වේල පොවා ගෙන එන්නට පාර්ලිමේන්තුවට ඔහු වඩාගෙන එන එදා 16 හැවිරිදි වියේ පසුවූ යෞවනියක වූ ලක්ෂ්මි නැන්දාට ආණ්ඩුවේ මැති ඇමැතිවරු විහිළු කළ අන්දම ඇය පවසයි. අගමැති ඩී.ඇස්. සේනානායකගේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ බණ්ඩාරනායක පවා ලොබියේදී ලක්ෂ්මි නැන්දා හමුවූ විට “පිලිප්ට අපූරු ලේලි කෙනෙක් ඉන්නවා නේ” යනුවෙන්  කුමක් හෝ විහිළුවක් කළ බව ඇය කියන්නීය.

1947 පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරියන් සිටියේ දෙදෙනකු පමණි. කිරිඇල්ල ආසනයේ ලසසප මන්ත්‍රිනි ෆ්ලෝරන්ස් සේනානායක සහ මහනුවර ආසනයේ ස්වාධීන මන්ත්‍රිවරියක ලෙස තේරීපත්ව සිටි තමරා කුමාරි ඉලංගරත්න ඒ දෙදෙනාය. අවිස්සාවේල්ල ආසනයෙන් තේරීපත් වූ පිලිප් ගුණවර්ධනගේ මන්ත්‍රි ධුරය වැඩ වර්ජනය සම්බන්ධ නඩුවක් හේතුවෙන් අහෝසි වීමෙන් පසු 1948 පැවැති අතුරු මැතිවරණයේදී ලසසප අපේක්ෂිකාව වූ පිලිප්ගේ බිරිය කුසුමා ගුණවර්ධන නිතරගයෙන් අවිස්සාවේල්ල අසුනට තේරී පත්වූවාය.

කුසුමා ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක ලෙස දිවුරුම් දුන්නේ 1948 මැයි 18 දිනය. දිනේෂ් උපන්නේ 1949 මාර්තු 02 දිනය. කුසුමා ගුණවර්ධන 1949දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථමයෙන් සිංහල භාෂාවෙන් කතා කළ මන්ත්‍රිවරියද වූවාය. මාස කිහිපයක් වයසැති කුඩා දිනේෂ්ද වඩාගෙන ලක්ෂ්මි නැන්දා පාර්ලිමේන්තුවට පැමිණි විට  “අන්න පිලිප්ගේ ලේලි බබා ගෙනැල්ලා” යනුවෙන් කුසුමා ගුණවර්ධනට පණිවුඩය දෙන්නේ පාර්ලිමේන්තුවේ සිටින ඇමැතිවරයෙකි. සභාවාරය පැවතෙද්දි හනි හනික දුවගෙන එන කුසුමා ගුණවර්ධන දිනේෂ් වඩාගෙන ඇයද කැටුව පාර්ලිමේන්තුවේ ඇතුළු කාමරයකට ගොස් කිරි පොවන්නීය. පාර්ලිමේන්තුවේ සිට රියැදුරු සමඟ නැවත තුන්මුල්ලේ නිවෙසට පැමිණෙන විට කිරි බී තෘප්තිමත්ව සිටි දිනේෂ් තද නින්දේය. කලෙක ගීතාංජන, දිනේෂ් දෙදෙනාටම පාර්ලිමේන්තුවට ගොස් කිරි පොවා ගෙන පැමිණි අන්දමද නැන්දාගේ මතකයේ තිබේ.

‍ෙදාන් ජාකෝලිස් ගුණවර්ධන බොරළුගොඩ රාලහාමිව ලක්ෂ්මි නැන්දලා හ¾දුන්වන්නේ බොරළුගොඩ ආතා නමිනි. එකල බොරළුගොඩ වලව්ව සතුව විශාල ඇතෙක් සිටියේය. ඇත්ගොව්වා වූ බ්‍රම්පි සිං‍ෙඤා් ඇතා මිදුලට ගෙනාවිට බොරළුගොඩ රාලහාමි ඇතාට යමක් කන්නට දෙයි. අනතුරුව කුඩා ළමයින් එහි කැටුව එන ලෙස කියයි. ළමයින්ගේ බය ඇරෙන්නට ඉන්දිකලා, දිනේෂ්ලා ඇතාගේ බඩ යටින් පෝලිමේ යැවූ බව නැන්දා කියන්නේ සිනාසෙමිනි. ළපටි වියේ අලින්ට බය නැති දිනේෂ්ලා දැන් නම් කොහෙත්ම අලින්ට බය වීමට හේතුවක් නැත. අලින්ට බය නැති බව රටට පෙන්වනවා නම් එළැඹී තිබෙන්නේ ඊට වෙලාවය.

උදේනි සමන් කුමාර