පොහොට්ටුවේ කෑලි එකතු කරන්න මෙහෙයුමක්

0
23

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රිවරු පිරිසෙන් යම් කොටසත් නැවත පක්ෂය සමඟ එක් කර ගැනීම වෙනුවෙන් පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් මෙහෙයුමක් අරඹා ඇති බව වාර්තා වේ.

ඒ සඳහා පක්ෂයේ ප්‍රබල නියෝජිතයන් කිහිපදෙනකු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් නම් කරනු ලැබ ඇති බවද වාර්තා වේ. එසේ පක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රිවරු පිරිසක් සමඟ සාකච්ඡාවට කිහිපයක් ඉදිරි සතියේද පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ගවලින් කියැවේ.

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරන අණ පනත් සම්මත කර ගැනීම් සහ එම පක්ෂයට තවදුරටත් තුනෙන් දෙකක බලයක් තිබෙන බවට සහතික කිරීම වෙනුවෙන් මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බවටද දැන ගන්නට ඇත. කුමන්ත්‍රණකරුවන්ට හසුවූ තම පක්ෂයේ පිරිසක් අනිවාර්යයෙන්ම ඉදිරියේදී පොදුජන පෙරමුණ සමඟ එක් වන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පැවැසීය.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී පක්ෂයේ ශක්තිය පෙන්වීම වෙනුවෙන් දැනටමත් උපාය මාර්ග රාශියක් තෝරා ඇති බවද අනිවාර්යයෙන් එම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රි ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට තම පක්ෂයට හැකි බවද පොදුජන පෙරමුණේ ලේකම්වරයා පැවැසීය.