පූර්ව ඓතිහාසික යුගයේ වැළලුණු කතාවක්

0
41

බොහෝ විද්වතුන්ගේ නිගමනයට අනුව ඓතිහාසික රෝහණ රාජධානියේ සැබෑ කතා පුවත හිස්තැන් සහිතය. ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ රෝහණයේ බොහෝ ඓතිහාසික සාධක වනගතව කාලයක් තිබීමත්, ඒවා නිසි ලෙස පුරාවිද්‍යා අධ්‍යයනයකට නිරතුරුව ලක් නොවීමත් නිසාය. විශේෂයෙන් යාල වනෝද්‍යානය හා ඉපැරැණි රෝහණයේ සීමා මායිම්වල තවමත් නොකියැවුණු සෙල්ලිපි රාශියකි. ඒ අතර වැනසුණු හා වනසා දැමුණු ඒවාද බොහෝය.

අද අපේ අවධානයට ලක් වන්නේ රෝහණ රාජධානියේ ඉතා වටිනා බිම්කඩක් වෙතය. තවමත් හරිහැටි කැණීම් හෝ විමර්ශන සිදුව නොමැති, තවමත් රහස් ගොන්නක් සඟවා ගත් භූමියක් පිළිබඳවය. ඒ “රාස්සහෙළ” හෙවත් “රජගල” ය. ඔබ එහි යනවා නම් ඒ මඟ මෙසේය. උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අම්පාර – මාඔය මාර්ගයෙහි, කිලෝමීටර් 26 ගිය තැන, බක්කිඇල්ල නම් පෙදෙසක් හමුවේ. එහි මංසංධියෙන් හැරී කිලෝමීටර්යක් පමණ ගිය තැන වන ළැහැබ දෙසට ගමන් කළ  යුතුවේ. මඳ දුරක් ගිය තැන හමුවන රූස්ස ගහ කොළවලින් ගැවසී ගත් වටපිටාවකි. එතැන් පටන් පර්වත භූමියය. අපේ මේ ඓතිහාසික කතා පුවත විවරණයට බඳුන් වන්නේ එම ප්‍රදේශය ය.

මෙම භූමිය හරහා වැටී ඇති අඩි පාරක් ඔස්සේ ඔබ ගියොත් උස කඳු බඳක් හමුවෙයි. එහි නැඟ, කඳු මුදුනට පිවිසියහොත් මේ ඓතිහාසික භූමියේ සැඟවුණු කතාවට පාදක වන නටබුන් බොහෝය. අඩි 1038ක් තරම් මුහුදු මට්ටමේ සිට මේ භූමිය උසය. මේ මහා පර්වතයකි. මුදුනට නැඟ හාත්පස බැලූ කල පෙනෙන්නේ දිව්ලාන වැවත්, වාලම්බහෙළ කඳු වැටියත්, ඉපැරණි වැව් සමූහයකුත්, තොප්පිගල මෙන්ම මඩකළපුව ප්‍රදේශයන්ය. නැඟෙනහිර පැත්තෙන් ගල්ඔය ජනපදය දිස්වෙයි. එම දිශාවේ අක්කර දස දහස් ගණනක් පුරා විහිදුණු අප්‍රකට පුරාවස්තු බොහෝය. එහි යම් දුරක් ගිය තැනද හමුවන්නේ නිසැකයෙන්ම ඒ අවට තිබුණු එදා වඩාත් දියුණුව තිබුණු භික්ෂු ආරාම සංකීර්ණයක නිෂ්ටාවශේෂය. එය එදා ද පැවැතියේ නිස්කලංක වන වියනක, හිත නිවන සෙනසුනක් මෙනැයි සිතිය හැකි සාක්‍ෂි බොහෝය.

මහා වංශයේ මෙම ප්‍රදේශය හඳුන්වා දී තිබෙන්නේ ගිරකුම්භීල විහාරය, කුම්භීලතිස්සපව් විහාරය, ආරියාකාර විහාරය, අරිත්තරා ආදී නම් වශයෙන්ය. එය තහවුරු කළ  හැකි පුරාවිද්‍යාත්මක අභිලේඛනද කිහිපයකි. කෙසේ වෙතත් අපගේ හඳුනා ගැනීමේ පහසුව හා අදටත් පුරාවිද්‍යාඥයන් නම් කොට තිබෙන රාස්සහෙළ හෙවත් රජගල රහස් ගබඩාවකි.

මෙහි දැනට සොයාගෙන තිබෙන පුරාවිද්‍යාත්මක කරුණු කාරණා අනුව අනුරාධපුර යුගයේ රාජ්‍යත්වයට පත් දුටුගැමුණු මහ රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජුගේද පුත් ජේ‍යෂ්ඨ ලජ්ජිතිස්ස කුමරු විසින් මෙම විහාරය කරවනු ලද බැව් කියැවේ. ඒ අනුව ක්‍රි.පූ. 137-119 අතර කාලවකවානුවේ සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස කුමරු දිගාමඬුල්ල ප්‍රදේශය භාරව එහි ප්‍රදේශාධිපතියා ලෙස කටයුතු කරන සමයේ මෙය ඉදිවී ඇත. ඒ සඳහා තහවුරු කළ හැකි සාධක බොහෝය.

සද්ධාතිස්ස රජුගේ ඇවෑමෙන් රජ පැමිණි ලජ්ජිතිස්ස කුමරුට මෙම පුදබිම තවදුරටත් වැඩි දියුණු කරගන්නට හැකි වූ බැව් මූලාශ්‍ර සාක්‍ෂි දරයි. ලජ්ජිතිස්ස රජු මෙන්ම ඔහුගේ බිසෝවරුන්ද මෙම පුදබිමට පැමිණි බවත්, එහි ලෙන් සිය ගණනක් කටාරම් කොට මහ සඟුන්ට පුද කළ බවටත් තොරතුරු රැසකි. මේ තොරතුරු හොඳින්ම තහවුරු වන්නේ එසේ ලෙන් සඟසතු කරන උත්සවයකට මෙහි පැමිණි 60,000ක් භික්ෂුන් වහන්සේලා ගැන සඳහන් වූ ශිලා ලේඛනයන් හමුවී තිබීමය. මෙය තවත් තහවුරු කිරීමක් කරන්නට මහා වංශයේ සඳහන් වූ කරුණුද අයත්ය. මහාවංසය කියන්නේ එලෙස වැඩමවූ භික්ෂුන් වහන්සේලාට රජු තුන් සිවුරු පූජා කළ බවය.

මේ කරුණු සියල්ල පරීක්‍ෂා කර බලද්දී ලජ්ජිතිස්ස රජුත් මෙම පුදබිමත් අතර වූ ඓතිහාසික කතා පුවත ඕනෑවටත් වඩා සාක්‍ෂි සහිතව තහවුරු වනු ඇත. තවත් සාධක රාස්සහෙළ භූමියේ වැළලී ඇත. ඒවා මතුකර ගන්නා තරමට මේ කතාවේ තවත් බොහෝ ඉසව් විවර වනු ඇත.

ලජ්ජිතිස්ස රජු පමණක් නොව මෙහි පැමිණි ඉන්පසු රජ වූ රජවරුද, ප්‍රභූවරුද, ප්‍රාදේශීය පාලකයන්ද වරින් වර මේ පුදබිම වැඩි දියුණු කළ බැව් පෙනෙයි. ඒ අතර ප්‍රමුඛ පුද්ගලයන් වනුයේ කූඨකන්නතිස්ස, භාතිකතිස්ස, මහසෙන්, බුද්ධදාස, 1 වැනි මහින්ද වැනි රජවරුය.

මෙහි තිබෙන ඉපැරණි චෛත්‍ය හා විහාර ගෙයක් මෙන්ම තවත් අවශේෂ ගොඩනැඟිලි කිහිපයක නටබුන් විසිරී විනාශ වෙමින් පවතී. ගොඩනැඟිලි ඉදිකිරීම්වල විශේෂතාවක්ද වෙයි. එනම් ඒවා සියල්ල පොළොව මට්ටමේ සිට මඳක් උස්ව පිහිටන සේ ඉදිකර තිබීමය. එහි පිවිසීමට ගලින් කරනු ලැබූ ද්වාරයකි. ඊට පිවිසීමට ශෛලමය පියගැටපෙළකි. ඒවා දෙපස කොරවක් ගල්ය. එහි කෙළවර මුර ගල්ය. සඳකඩ පහණ සරල එකකි. එම සඳකඩ පහණ හා ගොඩනැඟිලි අවශේෂයන්හි දක්නට ලැබෙන්නේ පූර්ව අනුරාධපුර යුගයට අයත් වූ ලකුණුය. කොරවක් ගල්වල මකරකු හෝ භේරුණ්ඩ පක්‍ෂියා යැයි සිතිය හැකි රූපය. මේවා සියල්ල පූර්ව අනුරාධපුර යුගයේ තිබූ සරල නිර්මාණ හා සැසඳේ.

ගොඩනැඟිලි පිහිටි ආකාරය ගැඹුරින් පරීක්ෂා කර බලද්දී පෙනෙන්නේ ඒවා “පබ්බත විහාර” ගණයට අයත් වූ ඒවා හැටියටය. විශාල පොකුණු සංකීර්ණයක්ද වේ. ඉන් හැඟෙන්නේ එතරම් පිරිසකට සෙවණ දෙන්න, පහසුකම් දෙන්න. මේ පුදුබිම සකස්ව තිබුණු බවය. විශාල පිරිසක් බණ භාවනාවේ යෙදී සිටිය නිසා ඊට සරිලන සේම සැකසූ බවක් පෙනෙයි.

පොකුණට පිවිසීමට විශාල පියගැට පෙළක්  සකසා ඇත. පොකුණ පසුකර තවත් ඉදිරියට යද්දී විශාල ගල්ලෙන් සමූහයකි. එක් ලෙනක් විසල්ය. ඒවා වැසි දිය ඇතුළට නොයන සේ මනාව කටාරම් කොටා සකසා ඇත. ලෙන් තුළ කළු ගල් පතුරු, මැටි බදාමයෙන් බැඳ ඉතා සරල ලෙස බිත්ති ඉදිකර තිබේ. ඇතැම් ලෙන්වල කුටි වශයෙන් වෙන්කර තිබුණු බවක්ද දිස්වෙයි. ඉන් හැඟෙන්නේ භික්ෂුන් වහන්සේලා කිහිප නමකට එකවර රැඳී සිටීමට ඉඩකඩ සලසා තිබුණු බවකි.

ලෙන් පියස්සෙහි, එකී ලෙන් කරවූ බව කියන අයගේ තොරතුරුද සටහන් වෙයි. ඒවා අපේ මේ අතීත පුදබිමේ ඉතිහාසය නිවැරදි කරවන්නන්ය. ලෙන් කරවූ බවන කියැවෙන අයගේ නම් පමණක් නොව කවරකුට පූජා කළේද යන්නද ඇතැම් තන්හි දක්නට ලැබෙයි. එක් ලෙනක මෙසේ සටහන්ව තිබිණි. එනම්,

“දම රචි තෙරශ ලෙණ” ලෙසටය. එහි අරුත නම් …. “ධම්ම රුචි නම් තෙරුන්ගේ ලෙන” වශයෙනි. මින් තවත් කරුණක් පැහැදිලිය. එනම් ලෙන් පියසේ කෙටූ අක්ෂර හා එහි සඳහන් තොරතුරු අනුව මේ ලෙන් පූජා කොට තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේදී බවය. එනිසා මෙහි තිබෙන පුරාවස්තු “ඓන්ද්‍රීය විහාර” හෙවත් “ලෙන් විහාර” ගණයට අයත් වන බැව් පුරාවිද්‍යාඥ මතයයි. ලෙන් විහාර සම්ප්‍රදාය ඇරැඹෙන්නේ ක්‍රි.පූ. 300 සිට බැවින් මෙහි පූර්ණ පුරාවිද්‍යාත්මක කැණීමක් හරහා ගවේෂණයන් සිදු වූයේ නම් මෙහි යටගිය කතාවන් බොහෝ තිබිය හැකිය. එසේම ලෙන් ආශි්‍රත මෙරට ඓතිහාසික සත්‍යයන් හදාරන්නට කැමැති අයට රාස්සහෙළ හොඳ තෝතැන්නකි.

මේ සුවිශේෂතාව දනවන දෑ තව බොහෝය. මෙහි එක් ලෙනක් ඉතා සුවිශේෂය. එය නමින් “කුඩලෙන” ලෙස හඳුනා ගැනේ. ඉහිලූ කුඩයකට සමානය. ගල් කුට්ටියකින් පදාසයක් ඉවත් කර සකසා ඇති නිසා පොළොවට සම්බන්ධ වී කවාකාරව පියස්සක් මෙන් සැකසී ඇත. එහිදී කටාරම් කොටා භික්ෂුන්ට පූජා කළ බැව් සඳහන් වේ.

භික්ෂූන් විශාල සංඛ්‍යාවක් මෙහි රැඳී ධර්ම කතිකාවෙහි නිරතව සිටි බවට සිතිය හැකි වටපිටාවක් එහි ඇතුළත ඇත. ඊට යාබද තවත් ලෙනකි. එහි පියස්සේ යටි පැත්තේ, මේ වන විටත් විනාශ වී යමින් පවතින සිතුවම් කිහිපයක ශේෂයන් දක්නට ඇත. එම සිතුවම් ඇඳ තිබෙන්නේ හුනු, මැටි ගල් පතුරු මත තවරා, ඒ මත සිතුවම් ඇඳීමේ පුරාණයේ පැවැති ක්‍රමයටම, බැව් සිතිය හැකි අවශේෂ තවමත් ඉතිරිව පවතී. එහි ඉතිරිව තිබෙන සිතුවම් අවශේෂ හොඳින් පරීක්‍ෂා කර බලද්දී පැහැදිලි වනුයේ ඒවා රේඛා වශයෙන් සරල සම්ප්‍රදායකට අනුව නිර්මිත වූ බවය. දැනට පෙනෙන රූ සටහන් අනුව බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන කිසියම් අවස්ථාවක් ඉන් නිරූපණය කරන්නට උත්සාහ කළ බවක් දිස්වෙයි.

පර්වතයේ මීටත් ඉහළින් පිහිටා තිබෙන එක් ලෙනක පර්වත බිත්තියේම චිත්‍ර සටහන් කිහිපයක් තිබේ. එහි ස්වරූපය අනුව ඒවා ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් විය හැකිය. විශේෂය නම් සුදු පැහැති වර්ණයක් යොදාගෙන තිබීමය. ඉතා සරල රේඛා කිහිපයකින් සිතුවම නිමවා ඇත. අනුරාධපුර යුගයට බොහෝ පූර්ව යුගයක ලකුණු පළ කරයි. එය අප නොදන්නා එහෙත් දැනගත යුතුම යුගයක කතාවක් හා බැඳුනක් විය හැකිය. මේ සිතුවම් පිළිබඳව මෙතෙක් කිසිදු සංරක්‍ෂණයක් සිදුව නැත.

අනුරාධපුර යුගයේ ඉතිහාසයෙන් එපිට යුගයේ කතාව විවර කර ගන්නට මෙයද ඉතා හොඳ සාක්‍ෂියකි.

එසේ නම් මෙම ලෙන් පරිශ්‍රය ඉතා අෑත අතීතයකට එනම් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ගැවසුණු තැනක් බව පෙනෙයි. එම ලෙන් පරිශ්‍රය ලජ්ජිතිස්ස රජු දවස රජුගේ අණින් එකල වැඩ විසූ බොහොමයක් භික්ෂුන් වහන්සේලාගේ හිතසුව පිණිස ක්‍රමවත්ව සකසා ගොඩනැඟුණු විහාර සංකීර්ණයක් බැව් පැහැදිලිය.

කෙසේ වෙතත් ක්‍රිස්තු පූර්ව යුගය පිළිබඳ වැසුණු තැන් බොහෝය. මිහිඳු හිමියන්ගේ පැමිණීමට පෙර මෙන්ම විජය රජු පැමිණියා යැයි කියැවෙන යුගය පිළිබඳ මෙරට සැබෑ තතුද බොහෝ වැළලී ගිය තත්ත්වයක පවතී. මේ ලෙන් සිතුවම් මෙන්ම ලෙන් ආශ්‍රයෙන් ගොඩනැඟුණු පූර්ව ඓතිහාසික සාධක මතුකර ගන්නට ඉඩකඩ තිබියදී ඒ වෙනුවෙන් කැපවුණු මිනිසුන් හා පාලකයන් නැති තරම්ය.

ඓතිහාසික රෝහණයේ යටගියාවද එසේමය. යාල වන උයනට බිලි වූ එම කතාවද තවමත් පස් අතර වැළලී ඇත. ඒ වැළලුණු තැන් මතුපිටට පාදා ගන්නට වුවමනාවක්ද නැත. ඒ අනුව අදාළ විද්‍යාත්මක පර්යේෂණයන් සිදු වී නම් රාස්සහෙළ, පුරාවිද්‍යා පර්යේෂණයනට තෝතැන්නක් වනු නොඅනුමානය. අත්‍යවශ්‍ය සෙල්ලිපි සාධක මෙතරම් ලැබී තිබියදීත් එසේ නොවීම කනගාටුදායකය. අතීත යටගියාව මතු කර ගැනීම හරහා දෙස් විදෙස් පර්යේෂකයන්ටත්, සංචාරකයන්ටත්, ගවේෂකයන්ටත් ‍ෙදාරටු විවර කරවීම රටට ධන සම්පතද උපද්දවන්නකි. එහෙත් එය සිදු නොවන්නේය. ඉතිහාසයක් නැති මිනිසුන් “ඉතිහාසයක් හදා ගන්නට” වලි කද්දී අප විසින්ම අපේ සැබෑ ඉතිහාසය වළලමින් සිටීම තරම් අභාග්‍යසම්පන්න තත්ත්වයක් වීම කනගාටුවට කරුණකි.

සජිත් රෝහිත ලියනගේ

(පර්යේෂණ වාර්තා සටහන් ඇසුරෙනි)