පවුල් ලක්ෂයකට වෙච්චි වින්නැහිය

0
16

මෙරට පවුල් ලක්ෂයක් ආහාර ලබාගැනීමට නොහැකිව උෟන පෝෂණයෙන් පෙළෙන බව ආහාර සුරක්ෂිතා කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ සඳහන් කර තිබේ.  ඉන් පවුල් හැත්තෑ පන්දහසක් දිනපතා ආහාරයට ගන්නේ කුමක්දැයි කියා සිතා ගැනීමට නොහැකි තත්ත්වයක සිටින බවද සභාපතිවරයා පසුගියදා පැවැති   ආහාර සුරක්ෂිතා කමිටු රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

එම පවුල් හැත්තෑ පන්දහසෙන් හතළිස්දහසක් මේ වනවිට උෟන පෝෂණ තත්ත්වයට ඔෟෂධ ලබාගන්නා බවද එහිදී අනාවරණය වී ඇත.

පවතින අර්බුදයට කඩිනමින් සුදුසු විසඳුම්  නොදුනහොත් මෙම තත්ත්වය ඉතා අනතුරුදායක බවද බටගොඩ මහතා එහිදී පවසා ඇත.

එමෙන්ම කෘෂිකර්මාන්තයේ ඉදිරි කටයුතු සඳහා ඩොලර් මිලියන නවසියයක අවශ්‍යතාවක් පවතින නිසා එවැනි මුදලක් රජයේ භාණ්ඩාගාරයෙන් එකවර ලබාගැනීම අපහසු හෙයින් ඩොලර් ගිණුමක් ආරම්භ කිරීමටද සභාපති ආචාර්ය සුරේන් බටගොඩ එම රැස්වීමේදී යෝජනා කර තිබේ.

මෙම ගිණුම සඳහා විදේශ රටවල සේවය කරන ශ්‍රී  ලාංකිකයන්, ජාත්‍යන්තර සංවිධාන හා වෙනත් ආධාර කණ්ඩායම් මඟින් එම මුදල ලබාගැනීමට කටයුතු කළ හැකි බවත් හෙතෙම අවධාරණය කර ඇත. මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු නොකළහොත් ලබන වසරේදී විශාල පෝෂණ උෟනතාවකට රටේ ජනතාවට මුහුණදීමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඩොලර් ගිණුමක් පවත්වාගෙන යෑම සඳහා අනුමැතිය ගැනීමට අමාත්‍ය මණ්ඩල සන්දේශයක් සකස් කරන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

නිර්මාණි ගුණරත්න