නව ආණ්ඩුව ඉදිරියේ ඇති අභියෝග

0
198

අර්බුදයේ භයානකත්වය, රටෙහි අනාගත ආර්ථික, සමාජ සහ දේශපාලනික අවිනිශ්චිතභාවය ඉහත කී සිදුවීම් තුළින්ම මනාව පෙනී යයි. එසේ හෙයින් මෙම අර්බුදය නිසි කළමනාකරණයකට පත් නොකරන තාක්කල් රටේ දේශපාලන, සමාජයීය අස්ථාවරත්වය එලෙසම පවතිනු ඇත.  අපගේ මේ මොහොතේ මූලික අරමුණ විය යුත්තේ රටෙහි ලේ ගලා යන බිහිසුණු කලබලකාරී තත්ත්වයන් ඇති වීම වළක්වමින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා වන දායකත්වය සැපයීමයි.

මෙම අර්බුද අබිමුවේ අලුතින් පත්වූ නව ජනාධිපතිවරයාට, නව අග්‍රාමාත්‍යවරයාට සහ නව රජයට ජය ගැනීමට අපහසු නමුත් අනිවාර්යෙන් ජයගත යුතු අභියෝග රැසක් පවතින බව නොරහසකි.

තෛ්‍රනිකායික මහ සංඝරත්නය, විවිධ වෘත්තීයවේදී සංවිධාන, දේශපාලන පක්ෂ සහ අභ්‍යන්තර කණ්ඩායම් ඉල්ලා සිටි මෙන්ම මෙවන් අර්බුදකාරී තත්ත්වයන් තුළ ලෝක දේශපාලනයේ අත්දැකීම් මත වඩාත් සුදුසු විස¾දුම වන සර්වපාක්ෂික ආණ්ඩුවක් සකස් කිරීම ඔවුන්ගේ පළමු අභියෝගයයි.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවල නායකයන්ගේ ආශීර්වාදය එකී සර්වපාක්ෂික ආණ්ඩුවට ලැබීම අත්‍යවශ්‍ය දෙයකි.

මේ සඳහා කැබිනට් මණ්ඩලයට ඔවුන් එකතු කර ගැනීමෙන් නොනැවතී ජාතික විධායක සභාවක් හෝ ජාතික කවුන්සිලයක් වැනි මොඩලයක් තුළ සියලු පක්ෂ නායකයන් සහ කණ්ඩායම් නායකයන් ඒකරාශී කරගැනීම  අත්‍යවශ්‍ය කටයුත්තකි.

ඔවුන් සතු දෙවැනි අභියෝගය වන්නේ සියලු පක්ෂ එකතු කරගත් සර්ව පාක්ෂික දේශපාලන, ආර්ථික සහ විදේශ ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමයි.

ආණ්ඩුව සර්වපාක්ෂික වූ පමණින් විවිධ දේශපාලන ධාරා නියෝජනය කරන, විවිධ ආර්ථික ප්‍රතිපත්ති හා විවිධ විදේශ ප්‍රතිපත්ති ඇති දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර මධ්‍යස්ථ දේශපාලන, ආර්ථික හා විදේශ ප්‍රතිපත්තියක් උදෙසා නිහතමානීව කටයුතු කිරීමට සියලු දෙනා කැපවිය යුතුය.

නොඑසේ නම් මෙරට පවතින වර්තමාන දේශපාලන සන්දර්භය තුළ සර්වපාක්ෂික ආණ්ඩුවේ ගමන වැඩිදුරක් නොයනු ඇත.

එකී සර්වපාක්ෂික ආණ්ඩුව අභිමුවේ අභියෝග රැසක් ඇති බව මුලින් ප්‍රකාශ කරන ලද්දේ එහෙයිනි.

රටෙහි දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම පළමු අභියෝගය වන අතර ඉහත කී ආකාරයෙන් පූර්ණ සර්වපාක්ෂික ආණ්ඩුවක් සකස් කිරීමට හැකියාව ලදහොත් පළමු සහ අපහසුම අභියෝගය ජය ගැනීමට නව ආණ්ඩුවට හැකියාව ඇත.

දෙවැනි අභියෝගය වන්නේ පවත්නා ආර්ථික අර්බුදය කළමනාකරණය කොට ආර්ථිකය යථාවත් කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන පූර්ණ එකඟත්වය ලත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමයි.

ආණ්ඩුවේ සියලුම කාර්යයන් සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් කළ යුතු අතර රාජ්‍ය පාලනය සහ ජනතාව අතර පාරදෘශ්‍ය භාවය සහ අවංක භාවය රැක ගැනීම ඉතා වැදගත් වේ.

රජය සතු අනෙක් අභියෝගය වන්නේ එකී සමාජ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ප්‍රායෝගික මාවත සකස් කිරීමයි.

මේ සඳහා පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක සහ විදේශ සබඳතාවල අවශ්‍යතාව හ¾දුනාගෙන කලාපයේ භෞමික දේශපාලනයේ අසංතුලිතතා සංතුලනය කරගෙන අමිත්‍ර රාජ්‍ය මිත්‍ර රාජ්‍ය බවට පත්කර ගැනීම නායකත්වයේ ප්‍රබල වගකීමකි.

සිය දේශපාලන සිහින යථාර්ථයක් වීමෙන් උද්ධච්ච මානසිකත්වයක් ඇතිකර නොගෙන විදේශ රාජ්‍ය කළමනාකරණය කිරීමේ වැදගත්කම මේ අවස්ථාවේ පසක් කළ යුතුය.

අප වැනි ආර්ථිකමය අතින් දුර්වල රාජ්‍ය සිය පරිපාලනයට නතු කර ගැනීම සඳහා  රාජ්‍යතාන්ත්‍රික සේවා ඔස්සේ සහ නොනිල වශයෙන් අඛණ්ඩව පවත්වාගෙන යන ව්‍යාපෘතීන් සම්බන්ධ නිසි අවබෝධයකින් යුක්තව පෞද්ගලිකත්වය පසෙකලා රටක් වශයෙන්  අසාධාරණ භූ දේශපාලනය තුළ අසරණ නොවන ආකාරයෙන් කටයුතු කිරීම රාජ්‍ය නායකත්වයේ වගකීමයි.

නව ආණ්ඩුවේ මීළඟ අභියෝගය වන්නේ ආණ්ඩුව තුළ සිටින දේශපාලනඥයන්ට ලබාදී ඇති පොරොන්දු ඉටු කිරීමය.

නව රජයේ ඊළඟ අභියෝගය වන්නේ දේශීය වියදම් මෙන්ම ආනයනයන් සඳහා යන වියදම් පාලනය කිරීමයි.

අදූරදර්ශී පාලනය පාලන අවධි රාශියක ප්‍රතිඵලයක් වශයෙන් දේශීය ආදායමෙන් සියයට අසූවක් රාජ්‍ය සේවකයා සහ විශ්‍රාමිකයන් නඩත්තු කිරීමට යෙදවීම තුළින්ම රාජ්‍ය කළමනාකරණයේ අසාර්ථක භාවය මොනවට පැහැදිලි වේ.

තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල වැයවෙන මිනිස් කාලය රටෙහි ආර්ථිකය තවදුරටත් පසුපසට යවා ඇති බව නොරහසකි.

සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා කැපීපෙනෙන වෙනස්කම් සිදු කිරීමත්, ඒ සඳහා  අභියෝගාත්මක සහ විවේචනයට බ¾දුන් විය හැකි තීන්දු තීරණ ගැනීමත් මේ අවස්ථාවේ අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි.

එම අභියෝග ජය ගැනීම තුළින් පමණක් විදෙස් මුදල් ලංකාව තුළ වැඩි වැඩියෙන් වැය කොට දේශීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි සංචාරක ව්‍යාපාරයක් සකස් කළ හැකිවනු ඇත.

විදේශ මුදල් උපයන ශ්‍රී ලාංකික ව්‍යාපාරවල බදු ගෙවීම් විදේශ මුදලින් සිදුකිරීම සඳහා අණ පනත් සකස් කළ යුතුය. (උදාහරණ කැසිනෝ ව්‍යාපාරය වැනි)

බිඳවැටෙන සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සුරක්ෂණය කිරීම සඳහා ක්ෂණික වැඩපිළිවෙළක අවශ්‍යතාව අමතක නොකළ යුතුය.

මහා පරිමාණ ව්‍යාපෘති රැසක් ලංකාවෙන් ඉවත්ව වෙනත් රටවල් කරා ඇදෙන බවට දැනගන්නට ලැබී තිබීම හෙට දවසේ විශාල අභියෝගයක් බවට පත්වීමට ඉඩ ඇත.

මෙම කර්මාන්තකරුවන් ශ්‍රී ලංකාව තුළ රඳවා ගැනීමත් අසීමාන්තිකව බලපා ඇති ආර්ථික අර්බුදය තුළ කර්මාන්තකරුවා ආරක්ෂා කර ගැනීම තුළින් විරැකියාව වැඩිවීම නවත්වා ගැනීම සඳහා  ක්‍රමෝපායයන් සකස් කළ යුතුය.

සාර්ථක දේශීය ව්‍යවසායකයන්ට විදේශ විනිමය ඉපයීම සඳහා විදෙස් රටවල ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කොට අවශ්‍ය සහාය ලබාදීම මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය කරුණකි.

මූල්‍ය රෙගුලාසි සහ මහ බැංකුවේ ක්‍රියා පිළිවෙත නැවත වරක් සමාලෝචනය කරමින් මෙරටට ලැබිය යුතු විදේශ ප්‍රේෂණ නිසි ආකාරයෙන් රටට ගෙන්වා ගැනීම සඳහා ක්‍රමවේද සකස් කිරීම ප්‍රමුඛ කටයුත්තකි.

මූලික මිනිස් අවශ්‍යතා සහ මානුෂීය අයිතිවාසිකම් සුරක්ෂණය කරන්නේ නම් සහ මෙම අවස්ථාවේ අපට උදවු කිරීමට සිටින විදේශ රාජ්‍යයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම විදේශීය ආයතන, දේශීය අනන්‍යතාවය සහ ස්වාධීනත්වය රැක ගන්නා ගමන්ම වඩාත් ළං කර ගැනීමට කටයුතු කරන්නේ නම් රජයේ හෙට දවසේ අභියෝගය ඉක්මනින් ජයගත හැකි වනු ඇත.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදයන කිරිදිගොඩ