නම ඇහුවත් හිත ගැස්සෙන පාළු තැන්වල සැරිසරන අඳුරු බලවේග

0
448

ශ්‍රී ලංකාවේ භූතයෝ පිළිබඳව විවිධ විශ්වාස පවතිනවා. භූතයෝ ලෙස හඳුන්වන්නේ ඇසට නොපෙනෙන, නමුත් මිනිස්සුන්ට හානි කරන බලවේගයන් වේ. එම භූතයන් අතර ප්‍රබලම භූතයෝ වශයෙන් හඳුන්වන්නෙ යක්ෂයින්ව. ඊට පසුව ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ, අවතාර යනාදී ලෙස සිටිනවා. ඒ වගේම ගෙවලයෝ යනුවෙන් පිරිසකුත් සිටිනවා. ඒ විධියෙ මිනිස්සුන්ව බිය කරන, අපල කරන, කරදර කරන භූතයෝ ඉන්න බවට බහුතරයක් විශ්වාස කරනවා. එයින් වඩා දරුණුම පිරිස වන යක්ෂයන් අතර සිටින බියකරුම යක්ෂයා ලෙස හඳුන්වන්නේ මහසෝනා යන යක්ෂයාවයි. මේ පිළිබඳව විශ්වාස කරන බහුතරය පවසන ආකාරයට අනුව මහසෝනා යන්නෙහි අදහස වන්නේ සොහොන් යක්ෂයා කියන අදහසයි.

ඇතැම් අය පවසන්නේ ප්‍රධාන යක්ෂයා යන අදහසත් මහසෝනා යන වචනෙහි පවතින බවයි. මහජනයා වඩාත් බිය වන්නේ මහසෝනා යන යක්ෂයාටයි. මහසෝනා ඇතිවුණු ආකාරය පිළිබඳව විවිධ ජනප්‍රවාද පවතිනවා. දැනට පවතින ජනප්‍රවාදය අනුව මහසෝනා යන චරිතය බිහිවී තිබෙන්නේ ක්‍රි.පූ. පළමුවැනි සියවසේ ලංකාවේ ජීවත් වූ දුටුගැමුණු රජතුමාගේ කාලයේදීයි. දුටුගැමුණු රජතුමාගේ කාලයේදී රිටිගල ජයසේන නමින් හැදුණු යෝධයෙක් සිට තිබෙනවා. ජයසේන සිටි ප්‍රදේශයේම දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයෙක් වන ගෝඨයිම්බරද සිට තිබෙනවා. රිටිගල ජයසේන යෝධයාත්, ගෝඨයිම්භර යෝධයාත් යම්කිසි සිද්ධියකට බහින්බස්වීමක් ඇතිවෙලා තිබෙනවා. ඉතිහාසයේ සඳහන් වන පරිදි නම් එය ගෝඨයිම්බර යෝධයාගේ බිරියට ජයසේන විසින් කළ අනවශ්‍ය විහිළුවක් නිසා හටගත් සටනක් බවයි සඳහන් වන්නේ. නමුත් මේ සටන සඳහා ඔවුන් දෙදෙනාම එක් එකඟතාවකට පැමිණ තිබෙනවා.

එනම් දෙදෙනාගෙන් කිසිවෙක් ආයුධ නොමැතිව සටන් කිරීමයි. සටන සඳහා ස්ථානයක් වෙන් කරගෙන සටන සිදුවන අවස්ථාවේදී ගෝඨයිම්බර යෝධයා ඉහළට එසවෙලා රිටිගල ජයසේන යෝධයාට පයින් පහරක් ගසා තිබෙනවා. එම පයින් පහර වැදුණු නිසා රිටිගල ජයසේන යෝධයාගෙ හිස කඳෙන් වෙන් වී හුඟක් අෑතට වීසිවෙලා තිබෙනවා. එයින් පසු ඔහුගේ මළකඳ බිමට වැටී තිබෙනවා. මෙම සිද්ධිය දැකපු දෙවි කෙනෙක් රිටිගල ජයසේනගේ කඳට නැවත පණ ලබාදීමට, ශරීරයෙන් පණ ඉවත් වීමට පෙර හිසක් සවිකිරීමට උත්සාහ කර තිබෙනවා. නමුත් ඔහුගේ හිස හොයාගන්න නොහැකි වුණු නිසා අසල සිටිය වලහෙකුව මරා එම වලහගේ හිස ජයසේනගේ හිසට සවිකර තිබෙනවා. කලබලය නිසා එම හිස සවිකර තිබෙන්නේ මුහුණ පිටිපසට පෙනෙන ආකාරයට අනුවයි.

එයින් කඳට පණ පැමිණියාට පසු මහසෝනා යන යක්ෂයා ඇතිවී තිබෙනවා. මහසෝනා ලෙස හඳුන්වන යක්ෂයාට වලහකුගේ හිස පිටුපසටත්, මනුෂ්‍ය ශරීරයකුත් තිබෙනවා. මෙලෙස සිටින මහසෝනා සොහොන් අසල සිටින බවට සැලකෙනවා. පිටුපසට සවි වූ හිසක් තිබෙන, අමනුෂ්‍යයෙක් ලෙස මිනිස්සුන්ට පෙනෙන බවට පැවසෙනවා. මහසෝනා සොහොන් අසල සිට මනුෂ්‍යයන්ව බය කරන බවටත්, පහර දෙන බවත් සැලකෙනවා. ඒ වගේම මහසෝනා ඉතා උස කෙනකු ලෙස හඳුන්වනවා. එනම්, අඩි 122 පමණ උසක් සහිත ඉතා විශාල යක්ෂයකු ලෙසයි. ඇස් හතරක් සහ අත් හතරක් සහිත, සම රතු පැහැති, දකුණු අතින් මී හරකකු සහිතව පැමිණෙන සහ වම් අතේ උල් ආයුධයක් සහිතව සිටින යක්ෂයකු ලෙස මහසෝනා හැඳින්වෙනවා.

මහසෝනා රාත්‍රි කාලයේදී සොහොන් අසල සිටින බවත් ඒ අසලින් යන අයට උරහිසට පහර ගසන බවත් පැවසෙනවා. එසේ පහර කෑමට ලක් වූ විට පහරකෑමට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියයන බවත් පැවසෙනවා. දැන් කාලෙදි නම් යම් අයෙක් පාරේ මියගොස් සිටියොත් මරණ පරීක්ෂණ හරහා එයට හේතුව හොයනවා. නමුත් ඒ කාලෙදි ඒ වගේ දේවල් තිබුණේ නෑ. ඒ නිසා මිනිස්සු විශ්වාස කළා මහා මාර්ගයේ කෙනෙක් මැරිලා හිටියොත් මහසෝනාගේ පහර කෑම නිසා මියගිය බව. එම විශ්වාස තවමත් ඇතැම් ගම්බද ප්‍රදේශවල පවතිනවා. ඒ වගේම එලෙස මියගිය අයගේ උරහිස් බැලුවම උරහිසේ රතු පැහැති පැල්ලමක් දකින්නට ලැබෙනවා. ඒ නිසා හිතනවා මහසෝනාගෙ පහර කෑම නිසා මියගිය බවට. මහසෝනා යක්ෂයන්ගේ ප්‍රධානියෙක් බවත් මහසෝනා යටතේ යක්ෂයන් තිස් දහසක් පමණ සිටින බවටත් සැලකෙනවා. ඒ නිසා වෙන යක්ෂයන් ලවා යම් අයකුට උපද්‍රව කළ හැකි යක්ෂයකු ලෙස මහසෝනා හැඳින්වෙනවා.

මිනිස්සු හුඟක්ම බියට පත්වන යක්ෂයා වන්නේ මහසෝනායි. මහසෝනාගේ පහර කෑමට හා මහසෝනා වැහුණු අය සමහර වෙලාවට මියයන්නෙ නැතුව බය වෙලා නිවෙස්වලට යනවා. උණ හැදිලා එක එක විකාර ‍ෙදාඩවමින් ඉන්නකොට මහසෝනා වැහිලා යැයි සිතා ඒ සඳහා විවිධ ශාන්තිකර්ම සිදුකරනවා. ශාන්තිකර්ම කරන අය මහසෝනා විධියට ඇඳගන ඇවිල්ලා එම රෝගියා මහසෝනාගෙන් ගැලවීමට ශාන්තිකර්ම කරන අය සිටිනවා. එම ශාන්තිකර්මය කරන අය බෙරවායින් ලෙස හඳුන්වන බවත් සඳහන් වෙනවා. ඒ වගේම ගාලු දිස්ත්‍රික්කයේ යකැදුරන් මහසෝනාට බොහොම ළෙන්ගතුව කටයුතු කරනවා. මහසෝනා සමඟ ද්‍රෝහි නොවී, යාළුකමෙන් මහසෝනාගේ ‍ෙදා්ෂය ඉවත් කරන බවටත් පැවසෙනවා. ඒ වගේම මහසෝනා කොතරම් ප්‍රබලද කියනවා නම් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ දරුණු බළ ඇණියක් ලෙස හැඳින්වෙන බළ ඇණියකට මහසෝන් බළ ඇණිය යන නම යොදා තිබෙනවා.

මහසෝනා තරම් ප්‍රබල නොමැති වුණත් ඊළඟට සිටින ප්‍රබල යක්ෂයා ලෙස හැඳින්වෙන්නේ රීරි යකාවයි. මොහු ඉතා කෘෘර, බලගතු යකකු ලෙස හැඳින්වෙනවා. මහසෝනාට පමණක් දෙවැනි වන බවටද පැවසෙනවා. ඒ වගේම ඔහුට මනුෂ්‍ය ශරීරයක් සහ වඳුරකුගේ හිසක් සහිත සහ ඔහුගේ සම රතු පැහැති බවත් පවසනවා. ඔහු රතු පැහැති ගවයකුගේ පිට නැඟ ගමන් කරන බවත් පවසනවා. ඒ වගේම විවිධ රෝග ඇති කරන යක්ෂයකු බවත් හඳුන්වනවා.

විශේෂයෙන්ම ලේ ගැලීම් ඇති කිරීමට හා රුධිර රෝග ඇති කරන බව පැවසෙනවා. මිනිස්සුන්ට එවැනි රෝග ඇති කරනවා වගේම මරණාසන්නව සිටින අය ළඟට යන බවත් විශ්වාස කරනවා. මරණාසන්නව සිටින අයට තමන් ළඟට මිටි පුද්ගලයකු පැමිණෙන බව පෙනෙනවාලු. උස නොමැති, අඩියක් පමණ උසක් සහිත මිනිසකු ලෙස ඇතැම් අය රීරි යකාව හඳුන්වනවා.

එක් අතක කුකුළකුත් අනෙක් අතේ දණ්ඩකුත් සහිත සිටින බවට පැවසෙනවා. ඒ වගේම කටේ මළමිනියක් තිබෙන බවත් පැවසෙනවා. මේ තරම් දේවල් අරගෙන ශරීර ප්‍රමාණයෙන් කුඩා මනුෂ්‍යයකු පැමිණෙන්නෙ කොහොමද කියලත් ප්‍රශ්නයක් මතුවෙනවා. කෙසේ වුණත් සාමාන්‍යයෙන් රීරි යකා කුඩා කෙනකු බවත්, මරු අවතාරය නමිනුත් හඳුන්වනවා. මරණාසන්න මොහොතෙදි සමහර අයට එහෙම කෙනෙක්ව පේනවාලු. රීරි යකාගේ විශේෂ රූප තිබෙනවා.

එනම්, විවිධාකාර රූපවලින් පෙනී සිටින්නත් පුළුවන් බව පැවසෙනවා. විවිධ රූප දහ අටකින් පමණ රීරි යකාට පෙනී සිටීමට හැකි බව පැවසෙනවා. ඒවා අවතාර දහඅටක් ලෙසත් ඇතැම් අය කියනවා. ඇතැම් අය පවසන්නේ රීරි යකාට අවතාර සියයකින් පමණ පෙනී සිටීමට හැකි බවයි. රීරි යකාව මර්දනය කළ හැක්කේ විෂ්ණු දෙවියන්ට බවත් පැවසෙනවා. ඒ නිසා සමහර යකැදුරන් විෂ්ණු දෙවියන්ගේ බලය නැතිනම් ආරක්ෂාව ලබාගෙන නැතහොත් විෂ්ණු දෙවියන්ව සිහි කරමින් රීරි යක්ෂයා වැහුණු අය හෝ උපද්‍රව සිදුවුණු අය සුව කිරීමට උත්සාහ කරන බවට මතයක් තිබෙනවා.

තවත් උපද්‍රව කරන කෙනෙක් වශයෙන් මෝහිනී යන යක්ෂ කාන්තාව හැඳින්වෙනවා. ඇය යක්ෂණියක් යන ගණයට ඇතුළත් කරනවා. මෝහිනී සාමාන්‍යයෙන් රාත්‍රි කාලයේදී කාන්තාවක් විදියට සුදු පාට වස්ත්‍රයක් ඇඳගෙන දරුවකු අතේ වඩාගෙන විශේෂයෙන්ම තරුණයන්ට පෙනී සිටින බවට සැලකෙනවා. ඒ නිසා තනියම අවේලාවේ පාරවල යනවිට එනම් රාත්‍රි ‍ෙදාළහට පමණ කිට්ටු වෙලා විශේෂයෙන්ම සොහොන් අසලින් යන විට තමන් ඉදිරියට දරුවකු වඩාගත්, සුදු වස්ත්‍රයක් ඇඳගත් කාන්තාවක් එන බවත්, ඇය විසින් ඇඳුම බුරුල් වූ බව පවසා ඉදිරියට එන තරුණයාට “අනේ අයියේ මගේ ඇඳුම බුරුල් වෙලා. මේක ඇඳගන්නකල් මේ දරුවව පොඩ්ඩක් ගන්න” කියලා කියනවලු. එහෙම දරුවව අතට ගත්තොත් ඒ පුද්ගලයව ඒ මොහොතේදීම මරණයට පත්වන මතය තමයි තිබෙන්නේ. ඒ නිසා මතයක් පැතිරිලා තිබෙනවා, විශේෂයෙන්ම රාත්‍රි කාලයේ කාන්තාවක් තමන් ඉදිරියට පැමිණෙන බව දැක්කොත් පස්ස නොබලා ආපසු දුවන්න කියලා.

ඇය මෝහිනී ලෙස හඳුන්වනවා. ඇයගේ බියකරු බව තිබෙන්නේ ඇය ලබාදෙන දරුවා වඩා ගැනීම තුළ බව පැවසෙනවා. නමුත් මෝහිනීව වැහුණු කෙනකු පිළිබඳව අපිට අසන්නට ලැබිලා නැහැ. ඊළඟට තවත් පිරිමි භූතයෙක් ඉන්නවා. ඔහු යක්ෂයකු ලෙසිනුත් හැඳින්වෙනවා. සමහර අය කියනවා යක්ෂයාම නොවෙයි දෙවි කෙනකු වගේ කියලත් කියනවා කළු කුමාරයා ලෙස හැඳින්වෙන්නේ ඔහු කළු පැහැති නිසා. කළු කුමාරයා උපද්‍රව කරන්නේ විශේෂයෙන්ම තරුණයන්ටයි. එනම්, වැඩිවියට පත්වූ කාන්තාවන්ට අනතුරු සිදුකරන්නේ. එලෙස කරන්නේ කළු කුමාරයා ගැවසෙන්නේ රාත්‍රි කාලයට, හවස හයට, දවල් කාලයට නාන තැන්වල ගැවැසීම හරහායි.

නාන ළිඳක් ළඟ, නාන තොටක් අසල හෝ ගඟක් අසල කළු කුමාරයා ඉන්න බව සිතනවා. ඒ වගේම ස්නානය සඳහා තනිවම පැමිණෙන තරුණියන්ට කළු කුමාරයා වැහෙන බවට විශ්වාස කරන්නේ. එහෙම වැහුණම එම තරුණියට රාත්‍රි කාලයේදී තමන් ළඟට කළු පැහැති කඩවසම් තරුණයෙක් පැමිණිලා තමන්ගේ යහනාවේ නිදා ගන්න බව. ඒ නිසා එම තරුණිය සිහිනයෙන් එම තරුණයාට ප්‍රේම කරනවා. එම සිහිනයෙන් පසුව තරුණියට නොයෙක් නොයෙක් ආබාධ වැලඳෙන බවත් කන්න බැරි වෙනවා, කෙට්ටු වෙන්න පටන් ගන්නවා, ඇයට නින්ද යන්නෙ නෑ. වැනි නොයෙක් නොයෙක් උපද්‍රව වැලඳෙනවා.

මේ නිසා සමහර අය විශ්වාස කරනවා තමන්ට ඇත්ත වශයෙන්ම තරුණයෙක් තමන් ළඟට රාත්‍රි කාලයේදී පැමිණෙන බව. එය මානසික විකෘති තත්ත්වයක් බවට පත්වෙලා සමහර තරුණියන්ට ඇය විවාහ වූ කාන්තාවක් බව මනසින් දැනෙන බව පැවසෙනවා. මෙය ලංකාව තුළ ප්‍රචලිත ගම්බද ප්‍රදේශවල තරුණියන්ට වැලඳෙන රෝගයක් ලෙස සැලකෙනවා. එය මානසික රෝගයක්. මීට ඉස්සර කාලවල තොවිල් මඟින් එය මුදාගෙන තිබෙනවා. වර්තමානයේදී ඒ සඳහා මානසික ප්‍රතිකාර තිබෙනවා. ආරෝග්‍ය ශාලාවක මානසික වෛද්‍යවරයෙක් මුණහැහිලා ප්‍රශ්නය කියලා ඒ සඳහා අවශ්‍ය පිළියම් ගන්න පුළුවන්.

ඒ වගේම කළු කුමාරයාගෙන් පිරිමින්ට උපද්‍රවයක් නැහැ. කාන්තාවන්ට තමයි මේ විධියේ උපද්‍රව තිබෙන්නේ. මෙයින් අප තේරුම් ගත යුත්තේ යම්කිසි ආබාධයක් වුණොත් එයට නොයෙක් නොයෙක් අවිද්‍යාත්මක ක්‍රම ඔස්සේ විසඳුම් සොයන්න ගියොත් එම ප්‍රශ්නය තවදුරටත් වැඩිවෙනවා. එය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අමාරු වෙනවා.

ආරෝග්‍ය ශාලාවල මානසික වෛද්‍යවරු ඉන්නවා ඒ අය හමුවෙලා ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. හැමදේටම වගේ විද්‍යාත්මක ප්‍රතිකාර තිබෙනවා. ඒ වගේම දැන් කාලෙදි සොහොන් අසලින් යන්න බිය නොමැති පරම්පරාවක් තමයි ඉන්නේ. ඒ වගේම හුඟක් වෙලාවට ඒ වගේ තැනකදී බය වුණොත් ඇයි කියලා හොයලා බලන උනන්දුවක් තිබෙනවා. ඉස්සර නම් රාත්‍රි කාලයේදී ගහක් කොළක් සෙලවුණත් හොල්මනක් කියලා හිතනවා. ඒ වගේ විශ්වාස දුරු කරලා බියෙන් තොර ජීවිතයක් ගත කළ යුතුයි යැයි මා සිතනවා.

බොහෝ ගම්බද ප්‍රදේශවල කලකට පෙර විශ්වාසයක් තිබුණා බෝදිලිමා නමැති භූතයෙක් පිළිබඳව. මේ භූතයාගෙන් අනතුරක් සිදුවන්නේ පිරිමින්ටයි. පිරිමින් කෙරෙහි වෛරයෙන් පෙළෙනවා යැයි පැවසෙනවා. මෙම බෝදිලිමා නමැති භූතයා මැදියම් රැයේදී විලාප හඬක් නඟනවා. එම විලාප හඬ ප්‍රසව වේදනාවෙන් දුක්විඳින කාන්තාවකගේ දුක් ඇඩිල්ලට බොහෝ සමාන යැයි කියනවා. සමහර ගැමියන් පවසන අන්දමට එම විලාප හඬ ‘අනේ අපොයි‘ යන ආකාරයටත් ඇසෙනවලු. මේ හඬ ඇසුණහම ගම්බද අය “අන්න බෝදිලිමා එනවා” කියලා තැතිගැන්මක් ඇවිල්ලා ගෙවල්වල ‍ෙදාර ජනෙල් සියල්ලම වසා දමා පිරිමින්ට කියනවා එළියට යන්න එපා කියලා. ඒ වෙලාවට කාන්තාවෝ තමන්ගෙ ගෙදර අසලම මෙම හඬ ඇසුණොත් ඉලපතක් අරගන එළියට බහිනවලු. ඉලපත අරගෙන එළියට බැහැලා තද පරුෂ වචනවලින් බැනලා “දුවපිය” කියලා කිව්වාම ඒ භූතයා දුවනවලු. එම භූතයා කාන්තාවන්ට බය වුණත් පිරිමි අය කෙරෙහි ඉතා ද්වේෂයෙන් ඉන්නා බවට මතයක් තිබෙනවා.

පිරිමියෙක් හමුවුණොත් ඔහුගේ ඇඟට පැනලා, ඔහුගේ බෙල්ල අල්ලගෙන, ඇඟපත හැමතැනම හූරලා තුවාල කරනවා යැයි විශ්වාසයක් පවතිනවා. ඒ නිසා ගැමි ජනතාව එම හඬට හුඟක් බිය වෙනවා. එම හඬ මැදියම් රැයේදී තමයි ඇහෙන්නේ. අෑතින් ඇහෙනවලු අ‍ෙදෝනාවක් වගේ ඉතා හෙමින් ශබ්දයක්. එම ශබ්දය ක්‍රම ක්‍රමයෙන් විශාල වෙලා මහා ඝෝෂාකර අ‍ෙදෝනාවක් බවට පත්වන බවට මතයක් තිබෙනවා. පිරිමින්ට උපද්‍රව කරන බෝදිලිමා යනු, දරු ප්‍රසූතියකදී මියගොස් පිරිමින් කෙරෙහි ද්වේෂයෙන් භූත ආත්මයක් ලබපු කෙනෙක් ලෙස මිනිස්සු විශ්වාස කරනවා. ඒ නිසා මෙම භූතයා ගර්භණී බව ඇතිකළ පිරිමින් කෙරෙහි ඔවුන්ට වින කරන්න, බය කරන්න  වෛරයකින් පසුවෙන්වා.

යන්තම් අෑතින් හඬක් ඇසුණත් සේරම ගෙවල්වල ඉන්න පිරිමින්ව ඇතුළට යවලා කාන්තාව තමයි එළියට එන්නේ. එයට හේතුව වන්නේ කාන්තාවන්ට බෝදිලිමා බය නිසා බවට මතයක් තිබෙනවා. ඒ වගේම සමහර අය බෝදිලිමා හඬ කිට්ටුවෙන් කිට්ටුවට එන විට ගෙදර ඉදිරියේ පොල්තෙල් පහනක් දල්වලා තියලා ඒ අසල බුලත් කොළ කිහිපයක් තියනවලු. එහෙම තබලා දොර වැහුවම බෝදිලිමා ‍ෙදාරකඩට ඇවිල්ලා ඒ පොල්තෙල් පහනෙන් තෙල් ටිකක් තමාගේ උදරයේ ගාගෙන බුලත් කොළ පහන් දැල්ලෙන් රත් කරලා ඒ උණුසුමෙන් තමන්ගේ බඩ ප්‍රදේශය තවාගෙන තමුන්ගේ තිබෙන වේදනාව නැති කරගන්නවා යැයිද ‍යනුවෙන් විශ්වාසයක් තිබෙනවා.

ඉන්පසු බෝදිලිමා එම ස්ථානයෙන් ඉවත්වනවා.  මේ නිසා ගර්භණී මවක් මරණයට පත් වුණොත් ඇය බෝදිලිමෙක් ලෙස ඉපදීම වැළැක්වීමට ඒ කාලයේදී කර තිබෙන්නේ, එම ගර්භණියගේ මෘත ශරීරයේ උදර ප්‍රදේශය උඩ බුලත් කොළයක් ඉරා දමා භූමිදානය කර තිබෙන බවට මතයක් තිබෙනවා. ඒ වගේ තදින්ම විශ්වාසයක් තිබෙන නිසා මෙයට ඈඳුණු තවත් මතයක් තිබෙනවා බෝදිලිමට වෙඩි තිබ්බාම ඒ බෝදිලිමාගෙ වෙඩි වැදුණු තැන පරීක්ෂා කළා ම බෝදිලිමා කියන කටුස්සට සමාන රූපයක් ඇති සතෙක් හමුවෙනවා යැයි කියලා. එම කටුසු විශේෂය සාමාන්‍ය කටුස්සට වඩා ටිකක් විශාලයි.

ඔවුන් දවල් කාලයේදී කටුසු වේශයෙන් සිට රාත්‍රියේදී භූතයකුගේ වේශයක් ගන්නා බවටත් විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා තරමක් විශාල මෙම කටුසු වර්ගයට බෝදිලිමා යැයි සිතා ගම්බද අය මහත් බියක් දක්වනවා. ඒ නිසා මෙම කටුස්සට බෝදිලිමා යන නම ලැබිලා තිබෙනවා. මේ කටුසු වර්ගය සාමාන්‍ය කටුස්සට වඩා වෙනස් සහ විශාලයි. මෙම කටුසු වර්ගයට පුළුවන් ඉතා ඉකමනින් පුළුවන් තමන්ගෙ හමේ වර්ණය වෙනස් කරන්න.

අනෙක් කටුස්සට වඩා බෝදිලිමා ලෙස හඳුන්වන මෙම කටුසු වර්ගයේ තිබෙන විශේෂත්වය වන්නේ එම කටුස්සාගේ වලිගයයි. ඌට පුළුවන් ගස්වල එල්ලී සිටීමට තොණ්ඩුවක් ලෙස පාවිච්චි අරන්න සහ වලිගයෙන් එල්ලෙන්න පුළුවන්. නමුත් එය සාමාන්‍ය කටුස්සකුට බැහැ. ඒ බෝදිලිමා යන වර්ගයේ විද්‍යාත්මක නාමය වන්නේ ඹ්රපඪධජඥනඩචතභඵ ඵජභබචබභඵ. මෙම බෝදිලිමා යන සතාව දැකීමට පවා ගම්බද අය බය වෙනවා. එයට හේතුව වන්නේ මෙම සතා ගෙදරක වත්තේ හිටියොත් රෑට ඇවිල්ලා බෝදිලිමා යන භූතයා බවට පත්වෙයි යන විශ්වාසය නිසා.

රමෝද් ජයවර්ධන

සමාජ විද්‍යා පර්යේෂක ඒ.ඩී. ගුණසේකර