තෙල් පෝලිමේ කරුමය කවදා ඉවර වෙයිද?

0
45

උදාහරණයකින් කතාව අරඹමි. දිනය පසුගිය ජූලි 25දාය. පූගොඩ සමුපකාර ඉන්ධන පිරවුම්හලට පෙට්රල් ලැබෙන දිනයකි. අප අලුයම 5ට පෝලිමට එක්වූ අතර සවස 3.00 වනවිට ලීටර් 6,600ක පෙට්රල් බවුසරයක් පැමිණිනි. ඊට සුළු මොහොතකට පසු ඉන්ධන බෙදීම ආරම්භ විය. අප සිටියේ පිරවුම්හලට කිලෝමීටරයක් පමණ දුරිනි. රාත්‍රි 8.00 වනවිටත් මීටර් 20ක් ඉදිරියට යෑමට නොහැකි විය.

ඉන්ධන පිරවුම්හල අසල වගේම පෝලිම් අතරමැදද බලපුළුවන්කාරකමට, හිතවත්කම්වලට සියල්ල යටවී ඇත. පෝලිමේ සිටින සාධාරණ, නීතිගරුක මනුස්සයන් මේ සිදුවීම් ජාලය තුළ කබලෙන් ළිපට වැටෙන්නට වැඩි වෙලා ගියේ නැත. මේ තත්ත්වය මේ සටහන ලියන පූගොඩට නොව ලංකාවේ බොහෝ පිරවුම්හල් අසලම පොදුය. ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන රඳවා ගැනීම්, චණ්ඩින්ට ලබාදීම්, එකම වාහනය කිහිප විටක් පෝලිමේ පැමිණීම වගේම හොරාට ඉන්ධන විකිණීම වැනි ජාවාරම්ද ඉහවහා ගොස් තිබේ. ඇතැම් විට මෙවැනි දේ පොලිසිය හා ආරක්ෂක අංශවලටද පාලනය කළ නොහැකි තැනටම වැටී ඇත.

දැන් කේත අංකයක් (QR CODE) මඟින්, ජාතික ඉන්ධන අවසර පත්‍රය මඟින් ඉන්ධන නිකුත් කිරීම හරහා මේ තත්ත්වය යහපත් අතට හැරේද? පෝලිම් අඩුවේද? ඉදිරි මාසවල ඉන්ධන ලැබීමේ ප්‍රවණතාව කෙසේවේද? එම වැඩපිළිවෙළ මඟින්වත් පෝලිම් ක්‍රමය නැති වේද? නැත්නම් පෝලිම්වල තදබදය අඩු වී යාද? මේ පිළිබඳව විදුලිබල හා බලශ්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දක්වන්නේ මෙබඳු අදහසකි.

‘මුලින්ම කියන්න ඕනෑ. මේක අභියෝගයක්. මේ තත්ත්වයට තව කොපමණ කාලයකට මුහුණදෙන්න වේවිද කියලා කියන්නත් බෑ. අද රට තියෙන්නෙ විදේශ විනිමය අඩු, මුදල් නැති අවාසනාවන්ත තැනක. අපි උත්සාහ කරන්නෙ මිලදී ගන්න පුළුවන් තෙල් ටික යම් කළමනාකරණයක් තුළින් ජනතාව වෙතට ලබාදෙන්නයි.

මේ කවර ක්‍රමය ආවත් ඉන්ධන හිඟය නැති කිරීම දුෂ්කරයි. එය බැඳිලා තියෙන්නේ අපේ රටේ ආර්ථික අර්බුදය එක්ක. මේ ආර්ථික අර්බුදය පවතිනතුරු යම් තරමකට පෝලිම් ක්‍රමයට මුහුණදෙන්න වේවි.

ඉතාම සරලව කියන්නම් ඩීසල් නැවකින් එන්නෙ ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000යි. ඒ කියන්නෙ එය ප්‍රමාණවත් වන්නේ රටේ දින 10ක අවශ්‍යතාවකට. පෙට්රල් නැවක පෙට්රල් මෙටි්‍රක් ටොන් 35,000ක් එනවා. එය දවස් 12කට පමණ ප්‍රමාණවත්. එහෙම බැලුවම අපි රටක් විධියට මාසෙට ඩීසල් නැව් 3ක් සහ පෙට්රල් නැව් 3ක් ගේන්න ඕනේ. එහෙම වුණොත් ලංකාවේ මාසික ඉන්ධන අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකි වෙනවා.

තත්ත්වය මේක වුණාට මහා භාණ්ඩාගාරය හා මහ බැංකුව අපට ලබාදෙන ඩොලර් ප්‍රමාණය මත තමයි ගේන නැව් ප්‍රමාණය තීරණය කරන්නට වෙන්නෙ. මේ විදිහට මාසිකව ඉන්ධන අවශ්‍යතාව පිරිමහන්න ඩොලර් මිලියන 580ක් 600ක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා.

නමුත් මහ බැංකුව පැහැදිලිව කියනවා එයාලට මාසිකව මීට දෙන්න හැක්කේ ඩොලර් මිලියන 150 _ 200ක් පමණයි කියලා. දැන් අගෝස්තු මාසෙට මහ බැංකුව කියන විදිහට ඩොලර් මිලියන 150ක් ලැබුණම අපි කොහාමද ඒක රටේ මාසික ඉන්ධන අවශ්‍යතාවට කළමනාකරණය කරගන්නේ. ඉතිරි මුදල් අපි අපනයනකරුවන්ගෙන්, බැංකු පද්ධතියෙන් හොයාගන්න ඕනේ. එය අභියෝගාත්මක දෙයක්. මෙතෙක් මාසිකව ඩොලර් මිලියන 500 _ 600ක ඉන්ධන ආපු එක ඩොලර් මිලියන 200ට අඩු වුණාම ඒක රටට _ රටේ මිනිස්සුන්ට දැනෙනවා. අද අපට ණයට තෙල් නෑ. කලින් දුන්නා. දැන් මුදල් ගෙව්වම ඉන්ධන නැව් ලැබෙන්නෙ. ඒකයි ඉන්ධන කෝටාව ක්‍රමයක් හදන්න වුණේ. එයින් වෙන අපහසුතාව අපි දන්නවා. නමුත් කේත ක්‍රමය හරහා කාටත් සාධාරණයක් වෙන විධියට මෙය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.’

QR කේත අංක ක්‍රමය මේ වනවිට රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. මෙය නව ක්‍රමයක් වුවත් එයට අනුගත වීමට ලාංකික ජනතාවට සිදුවී ඇත. මෙය ඉන්ධන ජාවාරම් අඩු කිරීමට හේතුවක් බව නම් බොහෝදෙනාගේ අදහසද වී තිබේ.

කළු කඩ, ජාවාරම් මාෆියාවක් තුළ පෙට්රල් ලීටරය රු. 3000කට, ඩීසල් ලීටරය රු. 2800ට අලෙවි වන තත්ත්වය තවමත් පවතී. එයට හේතුවම දින ගාණක් පෝලිමේ හිටියත් ඇතැම්විට ඉන්ධන ලබාගැනීම දුෂ්කර වීමය. ඇතැම් පිරවුම්හල් සිටම මහා ජාවාරමක් බව මහජනයා පවසති. මුලින් පෝලිමට ඇවිත් පසුව ටෝකන් බවට පත්වී වාහන අවසන් ඉලක්කමටද දී අද කේත ක්‍රමයට බට ඉන්ධන ලබාදීමේ ක්‍රමය සාර්ථක වේද? ඒ ගැන ඇමැති කංචන දක්වන්නේ මෙබඳු අදහසකි.

‘මේ QR කේත ක්‍රමය අලුත් සංකල්පයක්. මෙයට සියලු පිරවුම්හල් සහ ජනතාව අනුගත විය යුතුයි. ලැබෙන තෙල් තොග කළමනාකාරිත්වයෙන් කාටත් ලබාදීමට මේක පහසුවක්. අගෝස්තු පළමු වැනිදා සිට රට පුරා සියලුම අයි.ඕ.සී. සහ සිපෙට්කෝ පිරවුම්හල්වල මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ වගේම බොහෝ ප්‍රදේශවල කේත ක්‍රමය හඳුන්වා දුන් මුල් අවස්ථාවේම රට ඉතා හොඳින් අනුගත වුණා. මේ ක්‍රමය පිළිබඳව ජනතාව සුබවාදීව හිතා බලලා තියෙනවා. මෙයින් ඇත්තටම වංචනික අයට අවාසියක් වූ බව බොහෝදෙනා කියනවා. ඊළඟ දේ තමයි හැමෝටම නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් මේ ක්‍රමය හරහා සතිපතා හිමි වෙනවා.

ඔබලත් කියන විදිහට එකම වාහනය එකම පිරවුම්හලෙන් එක දිනකදී තුන් හතර අවස්ථාව තෙල් ගහනවා කියලා, අපටත් ආරංචි එනවා. සමහරු වීඩියෝ කරලම එවනවා. CCTV දර්ශනවලින් එවනවා. කේත ක්‍රමය හරහා එක වාහනයකට ලැබෙන සතියේ කෝටාව ලබාගත් පසු එයාට නැවත එන්නත් බෑ. වෙන පිරවුම්හලකින් ගහන්නත් බෑ. මේ තුළ සෑහෙන විනයක් හා පාලනයක් වේවි.

තව දෙයක් මේ සමඟ කියන්නම ඕනෑ. යමෙක් ලියාපදිංචි අංක මාරු කරනවා නම්, රථයේ තව ටැංකි හදාගෙන පුරවනවා නම් එසේ තහවුරු වන අයගේ කේත අංකය තාවකාලිකව අවහිර කිරීමක් කරන්න කටයුතු කරමින් යනවා.

පසුගිය කාලයේ ඉන්ධනහල් අසල යම් යම් ඝාතන වුණා. නීතිගරුක පුරවැසියන් බලවත් සේ පීඩාවට ලක්වුණා. සමහරු ගමේ පෝලිම් හදාගත්තා. චණ්ඩි පෝලිම්, පොලිසියේ පෝලිම් තිබුණා කියනවා. මේ සියලු දේ නියාමනය, පාලනය, ආරක්ෂාව ඉදිරියේ වේවි.

විශේෂයෙන් මෙතැනදී කියන්න ඕනෙ පොලිසිය අය පැය 8ක් රාජකාරි කරලා තෙල් ටිකක් ගහගන්න ගියාම ඔවුන්ට ප්‍රශ්න ඇවිත් තියෙනවා. පොලිස් රථයට, පොලිස් බයිසිකල් හා ත්‍රිරෝදවලට හා පොලිසියේ තියෙන විදුලිජනකවලට ඉන්ධන ලබාගැනීමට නොදී පොලිසියට අදාළ ප්‍රදේශයේ පිරවුම්හල නැතිව ඒ අයට තෙල් ලබාගන්න විකල්පයකුත් නෑ. මොකද හමුදා කඳවුරුවල නම් සමහර ස්ථානවල කඳවුරු අවශ්‍යතා සඳහා ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේද තියෙනවා. පොලිසියටම තියෙන්නෙ නාරාහේන්පිට ඉන්ධන පිරවුම්හල පමණයි. ඉදිරියේදී පොලිසියටත් නිශ්චිත කෝටාවක් තුළින් ඔවුන්ට ඉන්ධන ලබාගැනීමට පහසු ක්‍රමවේදයක් අපි ක්‍රියාත්මක කෙරෙනවා.’

ඊළඟට ජනතාව නඟන තව බරපතළ චෝදනාවක් තිබේ. තමන්ගේ රථයේ අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ගියත් කේත අංකයට ගියත් පිරවුම්හල්වල අවශ්‍ය විට තෙල් නැති බවයි. දින ගණන් පෝලිමේ ඉන්නට වෙන බව පවසයි. රැකියාවේ නිවාඩු දාගෙන පෝලිමේ ඉඳගෙන ‘කට්ට’ කන්නට වන බව පවසයි. ඊට විසඳුමක් තිබේද?

‘එය වැදගත් කාරණාවක්. ජනතාව හිතනවා හැමදාම තමන්ගේ ප්‍රදේශයේ පිරවුම්හලට ඉන්ධන රථයක් ඒවි කියලා. සමහර පිරවුම්හල්වලට ඉන්ධන රථ 2ක් 3ක් ඒවි කියලා හිතනවා. මේ උපකල්පන අනුව ඒ විධියට කරන්න අමාරුයි. වැඩිය ඕනි නැහැ ඉන්ධන හිඟයක් නොතිබුණු කාලේවත් දිනපතා සියලුම පිරවුම්හල්වලට ඉන්ධන ලබාදීම ප්‍රායෝගිකව ආවරණය කරලා නෑ. අද තියෙන ටැංකි රථ, තෙල් ප්‍රමාණ, සපුගස්කන්ද, මුතුරාජවෙල, කොළොන්නාව පර්යන්ත තුන, ග්‍රාමීය වශයෙන් තියෙන ඩිපෝ 11 භාවිත කළත් දෛනිකව රටේ පිරවුම්හල් 1,200ම ආවරණය කළ නොහැකියි. නමුත් මෙහෙම දෙයක් තියෙනවා ඇතැම් ඉතා නාගරික ප්‍රදේශවල පිරවුම්හල්වලට දිනකට ඉන්ධන රථ උදේ සහ සවස යවලා තියෙනවා. බහුතරයක් පිරවුම්හල්වල ඉන්ධන රථ දින දෙක, තුනකට සැරයක්. සමහරවිට ඉස්සර ගෙනිහින් තියෙන්නෙත් දින පහ හයකට සැරයක්. ඒවායේත් අද දිනපතා පෝලිම්. මේක ජනතාවත් තේරුම් ගන්න ඕනෙ.

තව දෙයක් දැන් ලීටර් 6,600ක ඉන්ධන බවුසරයක් පිරවුම්හලට ගියාම එයින් වාහන උපරිම හාර පන්සියයකට ගහයි. නමුත් පෝලිමේ වාහන දාහකට වැඩිනම් කොහොමද මේක කරන්නේ? ඒ අවබෝධය අරන් පෝලිමේ ඉන්නට ඕනෑ.

ඉන්ධන හිඟය නැති කාලෙ දෛනිකව ඩීසල් මෙටි්‍රක් ටොන් 5,500 _ 6,000ක් පමණ නිකුත් කරලා තියෙනවා. නමුත් පවතින තත්ත්වය සමඟ ජූලි අග වනවිට ඩීසල් මෙටි්‍රක් ටොන් 4,000ක් නිකුත් කරනවා. හැබැයි ඒ නිකුතුව තුළ පොදු ප්‍රවාහන, දුම්රිය, ලංගම, කර්මාන්තශාලා, විදුලිජනක යන්ත්‍ර, ගුවන්තොටුපොළ, ධීවර වරාය, විදුලිබල මණ්ඩල මේ සේරටම. ඒවාට යනවා මෙටි්‍රක් ටොන් 2,000කට වඩා. ඒවත් බලලා තමා මේ කෝටා ක්‍රමය හදලා තියෙන්නෙ.

ඉදිරි මාසවලදීත් දිනකට පෙට්රල් මෙටි්‍රක් ටොන් 3,000ක් නිකුත් කිරීම තුළින් ලීටර් 6,600 ලෝඩ් 536ක් තුළින් දවසට පිරවුම්හල් 450ක් ආවරණය කෙරෙනවා. මෙතැනදී එකම පිරවුම්හලට ලෝඩ් දෙක බාන ඒවාත් තියෙනවා.

කොහොම නමුත් කෝටා ක්‍රමය හරහා රථවාහන සක්‍රිය ප්‍රමාණය තීරණය කරලා ඉන්ධන අවශ්‍යතාව හඳුනා ගන්නට පහසුකම ලැබෙනවා. දැනට පවතින කේත ක්‍රමය සඳහා කෝටාව හදලා තියෙන්නේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි ගණන අනුවයි.

සියලුම ත්‍රිරෝද රථවලට ඉන්ධන ලබාගනියි. නමුත් ඔවුන්ගේ රථ කුලී රථ ලෙස දැන් පාරේදී දැකීම දුෂ්කරයි. හදිසියට හයර් එකක් යෑමට ත්‍රීවීල් එකක් නැතැයි ජනතාව කියති. සමහර විට පෞද්ගලික බස් රථද එසේමය. ඉන්ධන ටැංකිය ෆුල් ගසා ගනියි. අදාළ මාර්ග අංකයේ නොදුවයි. නමුත් පසුදාද ඔවුන් ඉන්ධන පෝලිමට ගැසෙයි. කොයිහැටි වෙතත් මින්ද අසරණ දුගියාය, මගියාය. එවැනි අයට ඇති ක්‍රමවේදය කුමක්ද? ඊට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දක්වන්නේ මෙවැනි අදහසකි.

“ත්‍රිරෝද රථ ගත්තම වෘත්තීමය පූර්ණකාලීන ත්‍රීවීල් රථ, අර්ධකාලීන කුලී ත්‍රිරෝද රථ, ගෙදර එදිනෙදා ගමනක් යන පෞද්ගලික ත්‍රිරෝද රථ ලෙස කොටස් තුනක් තියනවා. ඒවා හඳුනාගෙන පොදු කෝටා ක්‍රමයෙන් බැහැරව, ඉතා ඉක්මනින් එය වෙනස් කරලා දෙනවා. කුලී ත්‍රිරෝද රථ හා පෞද්ගලික බස් රථ සම්බන්ධව නැඟෙන මැසිවිලි හා ප්‍රශ්නයට පිළිතුරක් තියෙනවා.

අගෝස්තු පළමුදා වන විට කුලී ත්‍රිරෝද රථ සියල්ල තමන්ගේ ළඟම පොලිස් ස්ථානයට ගිහින් ලියාපදිංචි විය යුතුයි. ඔවුන්ට ආසන්නම පිරවුම්හලක් එතැනදී නම් කළ යුතුයි. ඒ අනුව ඔවුන්ගේ වෘත්තියට අසාධාරණයක් නොවන පරිදි අදාළ ඉන්ධන පිරවුම්හලෙන් කුලී රථයක් ලෙස ත්‍රිරෝද රථය පවත්වා ගෙන යෑමට ඉන්ධන ලබා ගැනීමට කටයුතු සිදු කරනවා. හැබැයි වෙන පිරවුම්හල්වලට යන්න බෑ. තමා නම් කළ පිරවුම්හලින් පමණයි.

පෞද්ගලික බස් රථ ගත්තම පොදු ප්‍රවාහනය කරන බස්වලට ලංගම ඩිපෝවලින් ඉන්ධන දෙනවා. නමුත් සමහර බස් මගී ප්‍රවාහන කරන්නේ නෑ. ඒක අපට වාර්තා වෙලා තියෙනවා. දෛනිකව ඉන්ධන අරන් ටයිමින් ෂීට් එකේ බසය දුවලා නෑ. යමෙක් තෙල් අරගෙන මාර්ග අංක ධාවනයේ නොයෙදුණොත් ඔහුට ඊළඟ අවස්ථාවට හිමි ඉන්ධන කෝටාව අගෝස්තු මස සිට ලැබෙන්නේ නෑ. ඒ වගේම ටයිම් කීපර්, ගමනාගමන කොමිසම, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මේ නියාමන ආයතන එකතු කරලා අගෝස්තු මසදී එම වැඩපිළිවෙළ ශක්තිමත් කරලා ඉන්ධන ලබන සියලු බස් ධාවනය පිළිබඳ සොයා බලනවා. යම් පෞද්ගලික මගී බසයක් ලංගම ඩිපෝවලින් ඉන්ධන කෝටාව ලබනවා නම් ඔහුට වෙන පිරවුම්හලකින් නැවත ඉන්ධන ලැබිය නොහැකියි. කේතය අත්හිටුවීමක් කෙරෙනවා.

වෙනත් වෘත්තීමය සේවාවන්ට ඉදිරි කලදී ඉන්ධන සැපයීම කෙසේ වේද?

පාසල් වෑන් හා බස්, කාර්යාල සේවක ප්‍රවාහන රථ, කර්මාන්තශාලාවල ලොරි, සතොස හා සමුපකාර ලොරි, ගිලන් රථවලට, ලංගම ඩිපෝවලින් හා තෝරාගත් පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීම කෙරෙනවා.

ඊළඟට තණකොළ කපන මැෂින්, ගස් කපන මැෂින්වලට හෝ 49 සීසී බයික්වලට QR කේතයක් දැනට නෑ. මෙතැනින් 49 සීසී බයිසිකල් ඇති අය වහාම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා පසුව කේතයක් ලබාගන්න.

වෘත්තීමය වශයෙන් භාවිත විදුලිජනක යන්ත්‍ර, තණකොළ කපන මැෂින් ආදිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචිය මේ දිනවල කෙරෙනවා. ඒවාටත් විශේෂ මෘදුකාංගයක් හරහා කේතයක් මඟින් ඉන්ධන ලබාදීමට කටයුතු ඉක්මනින් සම්පාදනය කෙරෙනවා.

ඇතැම් පිරවුම්හල් හිමියන් ලැබෙන ඉන්ධන බෙදා නොහැර ගබඩා කර ගැනීම් පිළිබඳ බරපතළ වාද විවාද ඇති විය. එවැනි දේට විසඳුමක් තිබේද? මේ පිළිබඳ අමාත්‍යවරයා දක්වන්නේ මෙවැනි අදහසකි.

“සමහර පිරවුම්හල්වල එයාලට ආවේණික විධියට මේක කරලා තිබුණා. ලීටර් 6600ක් ගියාම ලීටර් 1,000ක් ගබඩා කර ගන්නවා කියලා. මෙහෙම කරන්න ඒ අයටවත්, පොලිසිවලටවත්, වෙනත් නිලධාරීන්ටවත් තීන්දු ගන්න බැහැ. එවැනි විවිධ තීන්දු තීරණ නිසයි QR කේතය දැම්මේ. මේක ඉදිරියේදී නියාමනය කරන්නේ අපි.

කොළඹ ප්‍රදේශයේ පිරවුම්හලක ලීටර් 6,600  ගියාම ලීටර් 3,600ක් ගහල ඉතිරි ටික පිරවුම්හල් හිමියා තමාගේ වැඩවලට ගබඩා කරන් තිබුණා. ඔහුගේ පිරවුම්හලට නැවත ඉන්ධන ලබා නොදීමට අපි තීරණයකුත් ගත්තා. මෙවැනි දේවල්වලින් අසරණ වෙන්නේ මිනිස්සු. ඒ නිසා කරුණාකර එවැනි පිරවුම්හල් හිමියන් ඇතුළු සියලු දෙනා බලශක්ති අමාත්‍යාංශය හඳුන්වා දුන් මේ කේත ක්‍රමයට වහා අනුගත වෙන්න. එය අත්‍යවශ්‍යයි.

ඊළඟට සියල්ලෝම බලාසිටින්නේ අගෝස්තු මාසයේ ඉන්ධන ලැබීම කුමකින් කුමක් වේද යන්න ගැනය. එපමණට රටේ ඉන්ධන ගැටලුව අවිනිශ්චිතය. අගෝස්තු සිට ඉන්ධන සැපයීමේ හෙට දවස පිළිබඳව වන තත්ත්වය මෙසේය.

ජූලි අග වන විට ඩීසල් නැව් දෙකක් ආවා. මේ වන විටත් දැවි තෙල් නැවක් ගොඩබාමින් තියෙනවා. එය විදුලි ජනනය සඳහා යොදා ගැනීමට යෙදෙවෙනවා.

මේ වෙද්දි (ජූලි 27දා) තව ඩීසල් පිිරවූ නැවක් අපේ වරාය මායිමේ තියෙනවා. එයට ඩොලර් මිලියන 51ක් ගෙවිය යුතුයි. එය ගෙවල ගන්න ඕනෙ. ඊළඟට බොර තෙල් නැවකුත් රඳවා තියෙනවා. තවත් පෙට්රල්, ඩීසල් නැව් හයක් සඳහා ඇණවුම් දමමින් තිබෙනවා. මේ ඇණවුම් දැම්මත්, ඛනිජ තෙල් සංස්ථාව හෝ රජය හැටියට මුදල් නැත්නම් ඒවා ලබාගැනීමේ නොහැකියාව අපට තියෙනවා. කොහොම හෝ ඉදිරි සතිය වෙද්දි මේවාට ගෙවීම් කරන්න උත්සාහ කරනවා. ඉස්සර ඉන්ධන නැවකට දින 180කින් මුදල් ගෙවීම කළ හැකියි. නමුත් අද ඇණවුම්වලට දින 20කට වගේ පෙර මුදල් ගෙවන්න ඕනෙ. මේකත් ප්‍රධාන අර්බුදයක්. මුදල් තියෙනවා නම් නැවක් රැඳවුම් මුදල් ගෙවමින් මඟ තියන්නෙත් නෑ. මුදල් නොමැතිකම තමයි ප්‍රශ්නය.

අවසානයට ආපු කිසිම නැවක සුපර් ඩීසල්, පෙට්රල් ආවේ නෑ. නමුත් අගෝස්තු මැද සුපිරි ඩීසල් එනවා. මෙටි්‍රක් ටොන් 200ක්. සුපිරි ඩීසල්, සුපිරි පෙට්රල් නැව් වෙන වෙනම ගේන්න මුදල් නෑ.”

විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසන්නේ ඉන්ධන මිලට ගැනීමට මුදල් යහමින් නොමැති බවය. නමුත් ජනතාව කියන්නේ තමන් නිකම් ඉන්ධන ලබා නොගන්නා බවය. මේ දෙකම පරස්පර කතා දෙකකි. ඇත්තටම මෙහි පදනම කුමක්ද?

මෙපමණ කලක් හැම රජයම ඉන්ධන දීලා තියෙන්නේ ගෙනාපු මිලට නෙවි. අඩුවට. ඉන්ධන දීල තියෙන්නෙ ජනප්‍රිය වීමේ හෝ කවර හෝ වුවමනාවක් මත. ඉතින් ඉතිහාසය පුරාම රජයට පාඩුයි. කලින් ඉන්ධන ගෙනැවිත් තියෙන්නෙ පෙර කිව්වා වගේ දින 180 ණයවරවලට. අද ඒකත් බෑ. පසුගිය දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරිවල ඩොලර් එක රුපියල් 203ට තියෙද්දී ගත්ත ඉන්ධන නැව්වල මුදල් අවසානයේ ගෙවන්න වුණේ ඩොලරය රුපියල් 367ට ගිය අවස්ථාවේ. මේවාත් විඳ දරාගන්න වෙලා. මෙවැනි ගැටලු රාශියක් මැදයි මෙය ගමන් කරන්නේ.

පසුගිය දිනවල ඉන්ධන මිල යාන්තමට අඩුවක් සිදුවිය. අනාගතය තුළ කවුරුත් බලා සිටින්නේ එවැනි වූද විමසිල්ලෙනි. ඉන්ධන මිල සූත්‍රය අනුව තෙල් මිලේ උච්ඡාවචනය කෙසේ විසඳෙනු ඇතිද?

පසුගිය දිනවල ඉන්ධන මිල පහළ දැමීමක් කළා. මින් ඉදිරියට හැම මාසෙම පළමු වැනිදා හා 15 වැනිදා රාත්‍රි ඉන්ධන මිල සංශෝධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එක්කෝ අඩු වෙනවා. නැත්නම් වැඩි වෙනවා.

ඒ.එස්. ආටිගල