තානාපති කාර්යාල 4කින් ස්ටාලින් ඉල්ලූ දේ

0
15

අරගලයට සම්බන්ධ සාමාජිකයන් නොයෙක් චෝදනා නඟමින් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම සිදුවන බැවින් අරගලකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වන්නැයි බටහිර තානාපති කාර්යාල හතරකින් ඉල්ලා සිටි බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.

අමෙරිකාව, නෝර්වේ, බි්‍රතාන්‍ය හා කැනඩාව යන රටවල තානාපති කාර්යාල නියෝජිතයන් සමඟ හා යුරෝපා සංගමයේ නියෝජිතයෙක් කොළඹදී ඉකුත් සිකුරාදා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් ඔවුන් තානාපතිවරුන්ට මේ සම්බන්ධව දන්වා ක්‍රියාත්මක වන්නේ යැයි පැවැසූ බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේවෙතත් ඔවුන් ගන්නා ඉදිරි පියවර කුමක්දැයි එම සාකච්ඡාවේදී නොකී බවද ඔහු කීවේය. බොහෝවිට සිදුවන්නේ යම් සිද්ධියක් සිදුවූ විට බටහිර තානාපති කාර්යාල පසු විපරම් සිදුකිරීම යැයිද එසේ නැතිව මේ සිදුවෙමින් පවතින සිද්ධීන්ට මැදිහත් වන්නැයි තම වෘත්තීය සමිති එකමුතුව ඉල්ලා සිටි බවද ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

අයුතු ජනරාශියකට එක්වීම නමැති චෝදනාවක් නඟමින් අරගලයට දායක වූවන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා නමුත් කවර බාධක ආවත් අරගලය ඉදිරියට ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

විනීතා එම්. ගමගේ, අමිත් මධුරංග ගමගේ