තාත්තා මැරූ ලේ පළිය ගන්න ඩුබායි පද්මේ ගහපු ගේමක්?

0
96

සති තුන හතරක් නිහඬව සිටි පාතාල වෙඩික්කරුවන් නැවතත් සිය වැඩ කටයුතු අරඹා තිබේ. ඒ ඉකුත් 26 සහ 27 දෙදින තුළ පුද්ගලයන් සිවුදෙනකු ඝාතනය කිරීමත් සමඟිනි. පසුගිය මැයි මස 30 වැනි දින පිටකොටුව බැස්ටියන් මාවත අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් බස් නැවතුමේ රැඳී සිටි පුද්ගලයකු වෙඩි තබා මරා දැමීමත් සමඟ මසක කාලයක් තුළදී නාඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගියේය. පොලිසියට මෙය මහත් හිසරදයක් වූයේ එම කාලය තුළ එක දිගටම මිනිස් ඝාතන වාර්තා වීම නිසාය. මෙම සිද්ධීන් සඳහා කණ්ඩායම් 15කට වැඩි සංඛ්‍යාවක් විමර්ශන සිදුකළද එක් පුද්ගලයකුට වෙඩි තැබූ තුවක්කුකරුවකු පමණක් පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී පසුගියදා ජීවිතක්‍ෂයට පත්විණි.

ඊට දින කිහිපයකට පෙර මොරකැටිය ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කළ අතර ඒ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය සිදුකළ විමර්ශනයකදී එම ඝාතනය සිදුකළ තුවක්කුකරු කොටුකර ගැනීමට නිලධාරීන්ට හැකිවිණි. ඒ හැරෙන්නට වෙනත් කිසිදු මිනිස් ඝාතනයකට සම්බන්ධ තුවක්කුකරුවකු කිසිදු විමර්ශන ඒකකයකට අත්අඩංගුවට ගැනීමට මේ වනතුරුත් හැකිවී නැත.

පිටකොටුව බැස්ටියන් මාවතේ බස් නැවතුම්පළ අසල සිටි පුද්ගලයකු වෙඩි තබා මරා දැමූ ජෝශප් කුමාර හෙවත් ජෝසා නමැති තුවක්කුකරු ඉකුත් ජූලි මස 4 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඇතිවූ ගැටුමකදී මරණයට පත්වීමත් සමඟ දිගින් දිගටම සිදුවූ වෙඩි තැබීම් රැල්ල එකවරම නතර විය. මේ නිසා විමර්ශන නිලධාරීන්ගේ සිතට කිසියම් සහනයක්ද ලැබිණි.

එහෙත් එම නිහැ¾ඩියාව බිඳහෙළමින් ඉකුත් 26 සහ 27 යන දෙදින තුළ නාඳුනන තුවක්කුකරුවෝ  විසින් තවත් පුද්ගලයන් සිවුදෙනකු වෙඩි තබා මරා දැමූහ.

ජූලි 26 වැනිදා අම්බලන්ගොඩ උෟරවත්ත ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු වෙඩි තබා මරා දැමීය. එලෙස මරා දමා තිබුණේ වසන්ත ද සොයිසා නමැත්තෙකි. බළපිටිය මහාධිකරණයේ පැවැති මිනිස් ඝාතනයකට සම්බන්ධ නඩුවකට පෙනී සිටි වසන්ත නඩුව අවසන්ව තවත් පුද්ගලයකු සමඟ සිය නිවෙස් බලා ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරු ඔහු වෙඩි තබා මරා දමා තිබිණි.

අම්බලන්ගොඩ පැරට් හන්දියේ පදිංචිව සිටි බූරු අජිත් නොහොත් පැරට් අජිත් නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැති නඩුවට වසන්ත එදින අධිකරණයට පැමිණ සිටියේය.

කෙසේ වෙතත් වසන්ත සොයිසාගේ ඝාතනය අම්බලන්ගොඩ සහ ඒ අවට පදිංචි බොහෝ පිරිසගේ දැඩි කතාබහට ලක්වුණු සිද්ධියක් විය.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන සිදුකරද්දී වසන්තගේ ඝාතනයට පහුවදා අම්බලන්ගොඩ ගලගොඩ, වෙලපාර ප්‍රදේශයේ මළගෙදරකට කඩා වැදුණු නාඳුනන තුවක්කුකරුවන් මළගෙදර රැඳී සිටි පුද්ගලයකු ඉලක්ක කොට වෙඩි තැබීය. වෙඩි ප්‍රහාරයෙන් ඉලක්ක ගත පුද්ගලයා මරණයට පත්වූ අතර තුවාල ලැබූ තවකෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

අම්බලන්ගොඩ, ගලගොඩ පදිංචි 49 හැවිරිදි කිරිමාදුර විජිත් ද සොයිසා සහ 45 හැවිරිදි පොන්නහන්දි අජිත් සුදර්ශන යන අය මෙම වෙඩි තැබීමෙන් මරුමුවට පත්ව සිටියහ.

ඉන් අනතුරුව අම්බලන්ගොඩ පොලිසිය මෙම ද්විත්ව ඝාතනයේ විමර්ශනවලටද සම්බන්ධ වෙමින් දින දෙකක් ඇතුළත මෙලෙස පුද්ගලයන් තිදෙනකු අමු අමුවේ ඝාතනය කිරීමට හේතු සෙවීය.

පොලිසිය කළ එම මූලික විමර්ශනයේදී මේ වනවිට අනාවරණය වී ඇත්තේ වසන්ත සොයිසා ඝාතනයට එකට එක කිරීමක් ලෙස අම්බලන්ගොඩ ගලගොඩ මළගෙදර ඝාතන සිදුකර ඇති බවය.

මෙම ද්විත්ව ඝාතනයෙන් මරණයට පත්වන එක් අයකු බූරු අජිත් නමැත්තාගේ සහෝදරයකු වන අතර අනෙකා මළගෙදර තිබූ නිවෙසේ හිමිකරුගේ පුතා බවද කියැවේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ “සුද්දා” නමැත්තකු බවට තොරතුරු හෙළිවී ඇතත් එය මෙතෙක් සනාථ වී නැත.

මේ අතර ඉකුත් 27දා සිදුවූ තවත් වෙඩි තැබීමකින් මැරුම්කෑ සමන් රෝහිත නොහොත් පස් පොඩ්ඩාගේ ඝාතනයත් මේ වනවිට ගම්පහ, මිනුවන්ගොඩ, යටියන, හීනැටියන ආදී ප්‍රදේශ තුළ කාගේත් දැඩි කතාබහට ලක්ව තිබේ.

පස් පොඩ්ඩා මැරුම් කන්නේද මිනිස් ඝාතන නඩුවකට ගම්පහ අධිකරණයට පැමිණ නැවත නිවෙස් බලා යෑම සඳහා පැමිණ කැබ් රථයට සිය මිතුරන් සමඟ ගොඩවන අවස්ථාවේදීය.

වැගන් ආර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් පස් පොඩ්ඩා ගමන් ගත් කැබ් රිය හරස් කොට වැගන් ආර් රථය නතර කර වෙඩි වරුසාවක් එල්ල කළ අතර එම වෙඩි ප්‍රහාරයෙන් පස් පොඩ්ඩා ඇතුළු සිවුදෙනකු බරපතළ තුවාල ලැබූහ. පසුව ඔවුන් ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළද පස් පොඩ්ඩා එදින රාත්‍රියේදීම රෝහලේදී මරුමුවට පත්විය.

පස් පොඩ්ඩා ඉකුත් 27 වැනිදා ගම්පහ අධිකරණයට පැමිණ ඇත්තේ 2004 වසරේදී ගම්පහ කළුපාලම මතදී බන්ධනාගාර බසයකට ප්‍රහාරයක් එල්ල කිරීමේ නඩුවකට පෙනී සිටීම සඳහාය. මෙම ප්‍රහාරයෙන් මීගමුව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු සහ සැකකරුවකු ලෙස බන්ධනාගාර බසයේ ගමන් ගත් ලීසිං සමාගමක හිමිකරුවකුද ඝාතනය වූහ.

මෙම ප්‍රහාරය සඳහා ඝාතකයන් පැමිණ තිබුණේ ටිපර් රථයකිනි. ගම්පහ කළු පාලම මතදී බන්ධනාගාර බසය හරස් කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළද ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී තිබුණේ බසයේ ගමන්ගත් හීනටියන අසිත නම්වූ පුද්ගලයා බව පොලිසිය කීවේය.

අසිත සහ පස් පොඩ්ඩා අතර දරුණු වෛරයක් ඇති වන්නේ ගම්පහ මිනුවන්ගොඩ කේන්ද්‍ර කරගෙන සිදුකරන පස් ව්‍යාපාරය නිසාය.

ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව සිදුකරන පස් ව්‍යාපාරය නිසා මිනිස් ජීවිත පනහකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට අහිමිවී ගොස් තිබේ. මෙය ඉතා භයංකර වූ සීතල යුද්ධයකි.

මෙම ව්‍යාපාරයේ කලක් මූලිකයා ලෙස කටයුතු කළේ හීනටියන අසිත නමැත්තාය.

පස් පොඩ්ඩාද ඒ කාලයේ සිටම පස් ජාවාරමේ නිරතව සිටි අතර පස් ව්‍යාපාරය මාෆියාවක් බවට පත්වුණේ දෙදෙනා අතර පස් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල් හේතුවෙනි.

මෙම ආරවුල් නිසා කප්පම් ගැනීම් මෙන්ම මිනිස් ඝාතනද දිගින් දිගටම සිදුවූ අතර එවන් චෝදනාවක් මත වරෙක හීනැටියන අසිතට රක්‍ෂිත බන්ධනාගාර ගත වීමටද සිදුවිය.

ඒ වනවිට අසිත සමඟ දැඩි වෛරයකින් පසුවූ පස්පොඩ්ඩා බන්ධනාගාරගතව සිටින අසිත මරා දමන්නට දැඩි උත්සාහයක් ගත්තේය. මේ බව අසිත දැන සිටියද ඔහු හිරගෙදර සිට සිය ගෝල බාලයන් යොදා ගනිමින් පස් ජාවාරමේ නිරත විය. එමෙන්ම ඔහුට එරෙහි වූවන්ටද ප්‍රහාර එල්ල කළේය.

පස් පොඩ්ඩාගේ පස් ව්‍යාපාරයට අසිත නිසා දිගින් දිගටම පාඩු සිදුවිය. මේ හේතුව නිසා හීනැටියන අසිත මරා දමන්නට පස් පොඩ්ඩා සැලසුමක් ක්‍රියාත්මක කළේය. ඒ අසිත අධිකරණය සඳහා රැගෙන එන මොහොතක ඔහු ඝාතනය කිරීම එම සැලසුම විය.

2004 වසරේදී එම සැලැස්ම ක්‍රියාත්මක කෙරිණි. නඩුවට පෙනී සිටීම සඳහා හීනැටියන අසිත බන්ධනාගාර බස් රියකින් මහර බන්ධනාගාරය වෙත රැගෙන එමින් සිටියදී ගම්පහ කළු පාලම මතදී බන්ධනාගාර බස් රථය හරස් කොට වෙඩි ප්‍රහාරය දියත් කෙරිණි. ඒ සම්බන්ධයෙන් පස් පොඩ්ඩා අත්අඩංගුවට ගැණිනි. ඒ ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජයකොඩි සහ උප පොලිස් පරීක්‍ෂක අජිත් සේනානායක ඇතුළු කණ්ඩායමක් විසිනි. එතැන් පටන් ඔහුට පස් පොඩ්ඩා ලෙස නම් පටබැඳිණි. එම නඩුවට පෙනී සිටි පස් පොඩ්ඩා ඉලක්ක කොට ඉකුත් 27දා ගම්පහ අධිකරණයට ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුවිය.

පස් පොඩ්ඩා කලක් මාකිලන්ගමුවේ සංජීව හොඳින් ඇසුරු කළේය. ඔහු ලවා තම සිතුම් පැතුම් ඉටුකර ගත්තේය. එමෙන්ම ගම්පහ ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ රැකවරණ මැද සංජීව සමඟ එකතුවී කප්පම් ගැනීම්, මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක හෙතෙම නිරත විය.

මේ අතර හීනැටියන අසිතගේ ගෝල බාලයන්ගෙන් පස් පොඩ්ඩාටද මරණ තර්ජන එල්ලවී තිබූ අතර කිහිප වතාවක්ම පස් පොඩ්ඩා ඝාතනය කිරීමටද සෙසු පාර්ශ්ව නොයෙකුත් සැලසුම්ද යෙදූහ.

2010 නොවැම්බර් මස 4 වැනිදා මිනුවන්ගොඩ මාතම්මන පාරේ හෝටලයක පස් පොඩ්ඩා රැඳී සිටින බවට පාතාලයේ කෙරුමකුට ලැබුණු තොරතුරක් මත අවිගත් පුද්ගලයකු හෝටලයට පැමිණ පස් පොඩ්ඩාට වෙඩි තැබීය. වෙඩි ප්‍රහාරයෙන් ඔහු මියගිය බව අනාවරණය වුවද පසුව හෙළි වූයේ පස් පොඩ්ඩා යැයි සිතා වෙනත් පුද්ගලයකුට වෙඩි තබා ඇති බවය.

ගම්පහ පස් පාතාලයේ කෙරුමකු වූ පස් පොඩ්ඩා වරෙක ගිනි අවිද සමඟ ගම්පහ පොලිස් කණ්ඩායමකට කොටුවිය. කොටුගොඩ මැදගමුව පස් ගම්මන ඔහුගේ නිවෙසට කඩා වැදුණු නිලධාරීන් 50කට ආසන්න කණ්ඩායමක් ඉතා සූක්ෂ්මව කරන ලද සෝදිසි මෙහෙයුමකින් අනතුරුව නිවෙසේ මුළුතැන්ගෙයි තිබූ රිවෝල්වරයක්, පිස්තෝලයක්, ටී පනස් හය ගිනි අවියක් සමඟ උණ්ඩ විශාල ප්‍රමාණයක් සිය භාරයට ගත්හ.

“මම මේවා මගේ ආරක්ෂාවට තියාගත්තේ සර්..”

ඒ වනවිට කණ්ඩායම් කිහිපයක්ම පස් පොඩ්ඩාගේ ජීවිතයට මරණ වරෙන්තු එල්ල කර තිබිණි.

මාකිලන්ගමුවේ සංජීව නොහොත් ගණේමුල්ල සංජීව පස් පොඩ්ඩාගේ හිතවතෙක් ලෙස කලක් සිටම ක්‍රියා කළේය. ඔහුගේ සහායෙන් පස් පොඩ්ඩාද නොයෙකුත් අපරාධවල නිරත විය. මේ නිසා සංජීව මෙහෙයවන පාතාල කල්ලියේ සාමාජිකයකු ලෙසද සමහරු පස් පොඩ්ඩාව හැඳින්වූහ.

සංජීව සමඟ එකතුව සිදුකරන ලද කප්පම් ගැනීම්, මිනිස් ඝාතන, පස් ජාවාරම්වලටද පස් පොඩ්ඩාගේ නම ගෑවුණු අතර එල්ල වූ තර්ජන මැද මෑතකදී සංජීව ඉන්දියාවට පලාගියේය.

එතැන් පටන් පස් පොඩ්ඩාගේ ජීවිතයටද නොයෙකුත් තර්ජන එල්ල වූ අතර ඉන් එක් කල්ලියක් වූයේ හීනටියන කෙහෙල්බද්දර පද්මෙගේ කණ්ඩායම බව පොලිසිය කීය.

පද්මේ මේ වනවිට ඩුබායිවලට පැන ගොසිනි. ඔහු මීට වසර එකහමාරකට කලින් ඩුබායි රටට පැනගොස් ඇත්තේද පස් පොඩ්ඩාගෙන් එල්ල වූ තර්ජන නිසා බව කියැවේ. පස් ව්‍යාපාරයට සම්බන්ධ පද්මේද පස් පොඩ්ඩා සමඟ සිටියේ ජන්මාන්තර වෛරයකිනි.

පද්මේ ඩුබායිවලට යෑමට වසර දෙකකට පෙර පස් සම්බන්ධව පැවැති ආරවුල් මත සිදුවූ මිනිස් ඝාතනයක් හේතුවෙන් පස් පොඩ්ඩාගේ කණ්ඩායමක් පද්මේ ඝාතනය කිරීමට කෙහෙල්බද්දර පිහිටි ඔහුගේ නිවෙසට කඩා පැන්නහ.

කෙසේ වෙතත් ඒ බව වටහාගත් පද්මේ නිවෙසේ පිටුපස ‍ෙදාරෙන් පලාගිය අතර නිවෙසේ සිටියේ ඔහුගේ පියා නෙවිල් පමණි. ඝාතකයන් පද්මේ සොයාගන්නට බැරිම තැන නෙවිල්ට වෙඩි තබා මරා දැමීය. මෙය පද්මේට දරාගත නොහැක්කක් විය.

පස් පොඩ්ඩා මෙලෙස පද්මේව මරා දැමීමට එක් හේතුවක් වූයේ පස් පොඩ්ඩාගේ ගෝලයකු වූ චමින්ද ඝාතනය වීම නිසාය.

පියාගේ ඝාතනයත් සමඟ තැන තැන සැඟවී සිය ආරක්ෂාව සපයාගත් පද්මේ ඉන් පසු ඩුබායි රාජ්‍යයට පැන ගියද පියා මරා දැමීම සම්බන්ධයෙන් පස් පොඩ්ඩා සමඟ තිබූ වෛරය පද්මේගේ සිතින් ඉවත්ව ගොස් තිබුණේ නැත. කොයි මොහොතක හෝ එහි පළිය ගන්නා බවටද පද්මේ ඩුබායි සිට අනතුරු හඟවා තිබිණි.

එමෙන්ම කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හල්වලින් ඉවතලන රෙදි කැබලි ව්‍යාපාරය සියතට ගැනීම සඳහාද පද්මේ ඩුබායි සිට දැඩි උත්සාහයක නිරත විය. මෙම ව්‍යාපාරයේ යෙදෙන ඇතැම් ව්‍යාපාරිකයන් බියවද්දමින් රුපියල් ලක්ෂ ගණන් කප්පම් ලබාගනිමින් පස් පොඩ්ඩාටද එරෙහිව නැඟී සිටි පද්මේගේ ක්‍රියාකලාපය නිසා ව්‍යාපාරිකයන් මෙන්ම පස් පොඩ්ඩාද සිටියේ කිසියම් තැති ගැනීමකිනි. ඒ කොයි මොහොතේ හෝ පද්මේගෙ ගෝලබාලයන් අතින් මැරුම් කන්නට සිදුවෙතැයි යන සැකය නිසාය. ඒ නිසා පස් පොඩ්ඩා පමණක් නොව සමහර ව්‍යාපාරිකයෝද අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටියහ.

මේ බව දැනගත් තුවක්කුකරුවන් පස් පොඩ්ඩා ඝාතනය කිරීමට සැලසුම් කරන්නේ ගම්පහ අධිකරණයේ පැවැති නඩුවට පෙනී සිටීම සඳහා ඔහු අනිවාර්යයෙන්ම පැමිණෙන බව හොඳින් දැන සිටීම නිසාය.

කෙසේ වෙතත් තුවක්කුකරුවන් ඉලක්කය සපුරා ගත්තේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනද ආරම්භ වී ඇත. ගම්පහ ජීවත්වන ඇතැම් පිරිස් පස් පොඩ්ඩාගේ ඝාතනය ඉන්දියාවට පැනගොස් සිටින සංජීවගේ ගිණුමට බැර කරන්නටද දැඩි උත්සාහයක් ගන්නා බව ගම්පහ ප්‍රදේශයේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය. එහෙත් ඒ ඔස්සේ ද පරීක්‍ෂණ පවත්වන බව පොලීසිය කීය.

එහෙත් ඔහු පවසන්නේ පස් පොඩ්ඩාගේ ඝාතනය ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටින පද්මෙ නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට සැක කරන බවය. තම පියාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස කුලී ඝාතකයන් යොදා මෙම වෙඩි ප්‍රහාරය ඔහු විසින් එල්ල කර ඇති බවට විමර්ශන කණ්ඩායම්වල සැකය විය. ඒ ඔස්සේ විමර්ශන පැවැත්වෙන අතර විමර්ශන කණ්ඩායමට මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් ලැබී ඇත. ඉන් එක් තොරතුරක් වන්නේ පස් පොඩ්ඩා මියගියද ඔහුට හිතවත් පාතාල ක්‍රියාකාරිකයකු විසින් පස් පොඩ්ඩාට කළ දේට අනිවාර්යයෙන් පළිගන්නා බවට කර ඇති ප්‍රකාශයක් විමර්ශන නිලධාරීන් සතුව තිබීමය.

කෙසේ වෙතත් ගම්පහ අධිකරණය අවට ඇති සී.සී.ටී.වී. කැමරා මේ වනවිට නිරීක්ෂණය කරමින් පවතින අතර පස් පොඩ්ඩා ඝාතනය කිරීම සඳහා පැමිණි වැගන් ආර් රථය සහ එහි ගමන්ගත් තුවක්කුකරුවන් කවුදැයි හඳුනාගැනීම එම විමර්ශනයේ තවත් එක් පැත්තක් බව පොලිසිය සඳහන් කළේය.

මේ අතර පස් පොඩ්ඩා ඝාතනය කළ කණ්ඩායම අනාවරණය කරගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 4ක්ද බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ එක් කණ්ඩායමක්ද අදාළ විමර්ශනවලට එක්ව සිටිති.

පස් ජාවාරම්, මිනිස් ඝාතන, ගිනි අවි ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් චෝදනා ලද සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඩ්ඩා සමඟ තුවාල වූ අයවලුන් ගම්පහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ඔවුන් ලබන මස 10 වැනිදා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කොට මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමටත් කටයුතු යොදා තිබිණි.

මේ අතර නාඳුනන තුවක්කුකරුවකු අතින් සිදුවූ අනෙක් වෙඩි ප්‍රහාරය ඉකුත් 27 වැනිදා ගල්කිස්ස පොලිස් බලප්‍රදේශයෙන් වාර්තා විය.

ඝාතනයට ලක්ව තිබුණේ චරිත උමංග ද සිල්වා නමැති 31 හැවිරිදි දෙදරු පියෙකි. කුලී රථයක රියැදුරකු ලෙස කටයුතු කළ මොහුගේ නිවෙසට ඉකුත් 27 වැනිදා ටී 56 අවියක් සහ පිස්තෝලයක් අතැතිව කඩාවැදුණු දෙදෙනකු නිවෙසේ ‍ෙදාරට තට්ටු කර ඔහු අවදි කර මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. මෙම ප්‍රහාරයේදී එක් අයකු අත තිබූ පිස්තෝලය ක්‍රියාත්මක නොවී ඇති අතර පසුව ටී පනස් හයෙන් වෙඩි තබා එම පුද්ගලයා ඝාතනය කර තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසියට පිස්තෝලයට යොදන පතොරම් ගැබ ඝාතකයන් නිවෙසට පැමිණි මාර්ගයේ වැටී තිබී සොයාගැනීමට හැකිවී තිබේ.

තුවක්කුකරුවන් පැමිණි රථය රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ නතර කොට පා ගමනින් පැමිණ මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි.

මෙම ඝාතනය සම්බන්ධ විමර්ශන සිදුකරන පොලිසිය පවසන්නේ මත්කුඩු ආරවුලක් මුල්කරගෙන මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවය.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ගොනාකෝවිලේ අංජුගේ සහ කුඩු ධර්මෙගේ මෙහෙයවීමෙන් කොන්ත්‍රාත් කුලී මරුවන් විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක කරන බවකි.

ඝාතනයට පෙර එම කල්ලිය විසින් වෙඩි වැදුණු පුද්ගලයාට මරා දමන බව කියමින් මරණීය තර්ජන එල්ල කර ඇති බවත් පවසන පොලිසිය තුවක්කුකරුවන් හඳුනාගැනීමට හැකි වී ඇති බවද සඳහන් කරයි.

කෙසේ වෙතත් නාඳුනන තුවක්කුකරුවන් විසින් ඉකුත් මස 30 වැනිදා සිට වෙඩි තබා මරා දැමූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 17 දක්වා ඉහළ ගොස් ඇත.

ඉකුත් දා සිදුවූ මෙම ඝාතන සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් 10කට ආසන්න සංඛ්‍යාවක් විමර්ශන ආරම්භ කළද පත්‍රය මුද්‍රණයට යන මොහොත වනතුරුත් මෙම ඝාතන හතරට අදාළ කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ලැබී ඇති තොරතුරු මත එම කණ්ඩායම් විමර්ශන සිදුකරමින් සිටිති.

කීර්ති මෙන්ඩිස්