තවදුරටත් මේ බොරු විශ්වාස කරනවාද ඔබම තීරණය කරන්න

0
445

ලොව බොහෝ දෑ සම්බන්ධයෙන් දුර්මත සහ මිථ්‍යාමත ගොඩනැඟී ඇත. දුර්මත නොහැදුණු දෙයක් සොයා ගැනීමද තරමක් අසීරුය. මිනිස් සිරුර පිළිබඳවද ගොඩනැඟී ඇති දුර්මත රාශියකි. එබැවින් අද අපි විමසා බලන්නේ මිනිස් සිරුර සහ මිනිස් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති දුර්මත සහ එහි සැබෑ තතු පිළිබඳවය. දිවේ රස දැනීමේ කලාප සිතියම

දිවේ ලුණු රස, පැණි රස, ඇඹුල් රස, තිත්ත රස දැනෙන තැන්  විනෝදයට වගේ අත්හදා බැලීමට වැඩිදෙනෙක් පෙලඹී සිටිති. මිනිස් දිවේ මේ තැන්වල අදාළ රසය පවතිනවා යන මතයට මුලපිරී ඇත්තේ 1901 වසරේ ජර්මානු විද්‍යාඥ ඩේවිඩ් පී. හානිග් මුවේ විවිධ කොටස්වලට දැනෙන රස ගැන කළ අධ්‍යයනයක් පදනම් කරගෙනය. එහෙත් ඉතිහාසයේ කිහිප වරක්ම මේ අදහසට එරෙහි මතවාද විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කෙරිණි.

විද්‍යාඥයන් පවසන්නේ දිවේ සෑම පෙදෙසකම රසාංකුර ඇති බවය. ලුණු, තිත්ත, ඇඹුල්, පැණි රස මෙන්ම අලුතින් එක්වී ඇති උමාමි රසයටද එය පොදුය. උමාමි රසය ලොව හඳුනාගන්නා ලද්දේ මෑතකදී. 2002 වසරේදීය. එහෙත් ජපානය නම් 1908 තරම් අෑත අතීතයේදී ජපානයේ මහාචාර්ය කිකුනේ ඉකේදා (Kikuna ikeda) විසින් මෙය සොයාගෙන තිබිණි. අනුක ජීව විද්‍යාඥයන්ට අනුව දිවේ රස දැනෙන ප්‍රතිග්‍රාහක ප්‍රෝටීන මුව පුරා පවතියි. ඒ නිසා දිවේ රස දැනීම පිළිබඳ සිතියම නිවැරැදි බව පවසන්නේ කෙසේද?  ඩේවිඩ්ට අනුව පැණි රස දැනෙන්නේ දිවේ කෙළවරටය. එහෙත් පැණි රස අපි මුව පුරා රසවිඳිමු.

අපි පිට කරන මුත්‍රාවල විසබීජ නොමැත. තමන්ගේම මුත්‍රා පානය කරන පුද්ගලයන් ගැන කාලයෙන් කාලයට වාර්තා වෙයි. මීට හොඳම උදාහරණය ඉන්දියාවේ හිටපු අගමැති මොරාජි දේසායිය. කිසිදු ඔසුවක් ගත නොහැකි කෙනකුට එය කදිම ඔසුවක් බව ඔහු ප්‍රසිද්ධියේ පැවැසුවේය. වැඩි දෙනෙක් සිතා සිටින්නේ මුත්‍රා විසබීජහරණය වූ දියරයක් ලෙසය. එහෙත් විද්‍යාඥයන් පවසන්නේ වෙනස්ම කතාවකි.

වතුර නැතිව දින ගණනක් සිටියද කෙනකු තමන්ගේ මුත්‍රාවත් පානය නොකළ යුතු බව ඔවුන් පවසන්නේ මුත්‍රාවල අඩංගු සෝඩියම් හා ඛනිජ ලවණ විජලනය වඩාත් බරපතළ තත්ත්වයට පත්කරන බැවිනි. මුත්‍රාවලට විසබීජයක් ගිහින් යන කතාව ඔබ කොතෙක් අසා තිබෙනවාද? විශේෂයෙන් කාන්තා පක්ෂය නිතර මුත්‍රා ආසාදනවලට ගොදුරු වන පිරිසකි. මුත්‍රාවල විසබීජ නැත්නම් මුත්‍රා ආසාදන ඇති වීමේ ඉඩක් නැත. එයින්ම මුත්‍රා විසබීජවලින් තොර නොවූවක් බව පැහැදිලි වෙයි.

රෝම, හිසකෙස් කපන වාරයක් පාසා එහි ඝන බවද තද පැහැය වැඩි වෙයි

සමහරු සිතන්නේ හිස කෙස්, රෝම බෑමෙන් ඒවා වඩාත් ඝනව හා කළු හෝ තද පැහැයෙන් යුතුව වැඩෙන බවය.  මෙය වැරැදි  විශ්වාසයකි. හිස මුඩු කළ පසු රෝම බෑමෙන් පසු ඒවා නැවත වැඩෙන්නේ පෙර තිබූ ආකාරයෙන්මය. එසේ නොවැඩෙන්නේ කිසියම් සෞඛ්‍ය ගැටලුවක් ඇත්නම් පමණි.

නියපොතු සහ කෙස් මරණයෙන් පසුවත් වැඩෙයි

අප මියගිය පුද්ගලයන්ගේ හිසකෙස්, රෝම වැවෙන කතා අසා ඇත.  සත්‍යය නම් කෙනකු මියගිය පසු සිරුර විජලනය වී සම හැකිළී යෑම නිසා  හිසකෙස් හා නියපොතු වඩා විශාල වී කැපී පෙනීමය. සමහර අවමංගල ශාලාවල මිනී සකසන්නන් මිනියේ ඇඟිලි තෙතමනයෙන් තබන්න මොයිෂ්චරයිසර් පවා යොදන්නේ මේ මිථ්‍යා මතය හේතුවෙනි. චුවින්ගම් ගිලුණොත් ආහාර ජීර්ණ පද්ධතියේ සත් වසරක් පුරා ඇලී පවතියි.

රස කරමින් සපන චුවින්ගම් ගිලෙනවාට බිය එය ගිලුණොත් පුරා සත් වසරක් ආහාර මාර්ග පද්ධතියේ පවතින බවට ඇති මතය හේතුවෙනි. ළමා  උදරාන්ත්‍රික වෛද්‍ය විශේෂඥ ඩේවිඩ් මිලෝ පවසන්නේ චුවින්ගම් ආහාර මාර්ගයේ රැඳී තිබෙනවා නම් එය කොලොනොස්කොපි, කැප්සියුල් එන්ඩොස්කොපි වැනි පරීක්ෂණවලින් හෙළිවන බවය. එහෙත් එවැන්නක් දක්නට නොලැබෙන තරම්ය. කලාතුරකින් හෝ චුවින්ගම් ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙනවා දක්නට ලැබුණත් සතියකට වැඩි කාලයක් ඒවා පවතින්නේ නැත. චුවින්ගම් ජීර්ණය කිරීමට හැකියාවක් ආහාර ජීර්ණ පද්ධතියට නොතිබුණද ඒවා ආහාර ජීර්ණ පද්ධතියෙන් ඉවත් වීම අනිවාර්යයෙන් සිදු වන්නකි. එසේ තිබියදී සත් වසරක් චුවින්ගම් ආහාර ජීර්ණ පද්ධතියේ පවතිනවා යන මතය සෑදුණේ කෙසේද යන්න වෛද්‍යවරුන්ටද ගැටලුවකි.

අතැඟිලිවල පුරුක් කැඩීමේ පුරුද්දෙන් ආතරයිටිස් ඇතිවෙයි

නින්දේදී දත්මිටි කනවා සේම අතැඟිලි කැඩීමද ඇතැමුන් පුරුද්දක් ලෙස සිදුකරන්නකි. එවැනි අයට වැඩිහිටියන්, ඔය වැඩේ කරන්න එපා. ආතරයිටිස් හැදේවි යන අවවාදය දීමට අමතක නොකරයි. එහෙත් ඇඟිලි පුරුක් කඩන සහ නො කඩන පුද්ගලයන් සම්බන්ධයෙන් පර්යේෂකයන් වසර ගණනක් පුරා කළ අධ්‍යයන මඟින් හෙළිවී ඇත්තේ අතැඟිලි පුරුක් කැඩුවත් නොකැඩුවත් ආතරයිටිස් සෑදීමේ වෙනසක් නැති බවය. ආතරයිටිස්වලට බලනොපෑවත් මෙය හොඳ පුරුද්දක් නො වන්නේ ඉන් ඇඟිලි පුරුක් අතර පවතින බන්ධන ශක්තිය දුබල වන බැවිනි. ඇඟිලි පුරුක් කඩන විට නිකුත් වන  හඬට ඇඟිලි පුරුක් අතර පවතින බන්ධන ශක්තිය දුබල වීම හේතු වෙයි.

විසහරණය  කරන තේ වර්ගවලින් සිරුරේ සකල විස පිට කළ හැකිය

වෙළෙඳපොළේ ඕනෑ තරම් සිරුරේ විස නැති කරන තේ වර්ග තිබෙයි. මෙලෙස විවිධ වූ ඔෟෂධීය තේ වර්ග ගැන දවසින් දවස වාර්තා වන්නේ සිරුරේ විසහරණය කිරීමට ඊට ඇති හැකියාව ගැන ඇති කතා ගැන තිබෙන විශ්වාසය නිසාය. එක්සර්ටර් සරසවියේ මහාචාර්ය එඩ්සාඩ් එන්ස්ට් ද ගාඩියන් මාධ්‍ය ආයතනය සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් හෙළිකර තිබුණේ විසහරණය සිදුවන්නේ අපේ සිරුර විසින්ම බවය. අපේ නිරෝගී සිරුර සතුව විසහරණය කළ හැකි වකුගඩු දෙකක්, අක්මාවක්, සමක් හා පෙණහලු යුගලක් පවතියි. මිනිස් සිරුර මේ ඉන්ද්‍රිය හා අවයව උපකාරයෙන් ස්වයං විසහරණයක යෙදී සිටියි. බාහිර තේ වර්ගයට විසහරණය භාරදීම මිථ්‍යාවක් මෙන්ම විහිළුවක් ද වෙයි.

අපට ඇත්තේ පසිඳුරන්ගේ දැනීම පමණයි

ඇසින් දැකීමත් කනින් ඇසීමත් දිවෙන් රස බැලීමත් නාසයෙන් ගඳ සුවඳ දැනීමත් ශරීරයෙන් ස්පර්ශ කිරීමත් උපතින් අපට හිමිය. ස්පර්ශය මේ අතරින් අප මුලින්ම අත්දකින, වර්ධනය වන සංවේදන ඉන්ද්‍රියයි. මිනිසාට විවිධ ගන්ධයන් ටි්‍රලියනයක් දැනීමේ අවස්ථාව ලැබෙන්නේ නාසයේ උපකාරයෙනි.  වැඩිහිටියකුගේ දිවේ රසාංකුර 2000 – 4000 ක් පවතියි. විද්‍යාඥයන් මේ සංවේදන පහට අමතරව තවත් විවිධාකාර සංවේදන 22 – 33ක් අතර ගණනක් ඇති බව හෙළිකර තිබෙයි. එක් සංවේදනයක් වන්නේ සමබරතාවයි.  අප දෙපයින් ඇවිදින්නේ මේ සංවේදනයේ උපකාරයෙනි. ඉරියව් පිළිබඳ සංවේදීතාව, සීතල, උණුසුම දැනෙන සංවේදීතාව, වේදනාව දැනෙන සංවේදීතාව, කාලය ගතවීම දැනීමේ සංවේදීතාව වැනි සංවේදීතාවන් පෙනීම, ඇසීම, ගඳ, සුවඳ දැනීම, රස දැනීම, ස්පර්ශය යන සංවේදනයන්ට අමතරව ඇති සංවේදීතාවන්ය.

ඊනියා චීන රෙස්ටුරන්ට් සින්ඩ්‍රෝමය  ඇති කරන්නේ මොනොසෝඩියම්  ග්ලූටමේට් MSG රසායනයයි

1968 වසරේදී වෛද්‍ය විද්‍යාව පිළිබඳ නිව් ඉන්ග්ලන්ඩ් ජර්නලයට  ලියන ලද විද්‍යාත්මක පදනමක් නැති ලිපියක් පාදක කරගෙන චීන රෙස්ටුරන්ට් සින්ඩ්‍රෝමයට මොනොසෝඩියම් ග්ලූටමේට්  MSG හේතුවන බවට මතයක් ගොඩනැඟිණි. වෛද්‍යවරයකු විසින් ලියා තිබුණු ලිපියේ චීන ආහාර ගත් පසු කොන්දේ සහ බෙල්ලේ හිරි වැටීමක් දැනුණු බවත් හද ගැස්ම වේගවත් වූ බවත් සඳහන් කර තිබුණේය. සිය රෝග ලකුණුවලට හේතුව MSG බවට ඔහු අනුමාන කළේය. දශක ගණනාවක් යනතුරුම සැවොම එය පිළිගත්තේ  දෙවරක් නොසිතාය.

  සත්‍යය නම් MSG යනු අප ගන්නා ආහාර ගණනාවක ස්වාභාවිකවම අඩංගු වී ඇති දෙයකි. පාමිසෑන් චීස්, තක්කාලි ඊට හොඳම උදාහරණ වන අතර ඒ ආහාර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා ආහාර සහ ඖෂධ අධිකාරියෙන් අනුමැතිය ලබා දුන් ආහාරය. මේවා අහිතකර වන්නේ නම් ඒ පමණට වඩා ගත් විට පමණි. MSG ලොව ජනප්‍රියම රසකාරකයකි. මේ රසකාරකය ග්‍රෑම් තුනකට වඩා ගත් විට පමණක්  ඊට සංවේදී වන ඉතා සුළු පිරිසකට හිසරදය, ඔක්කාරය, හිරි වැටීම, නිදිබර ගතිය, ඉදිකටුවලින් අනින්නාක් මෙන් දැනීම වැනි ලකුණු කෙටිකාලීනව ඇති වෙයි. බොහෝවිට ආහාරවලට එක් කරන්නේ MSG ග්‍රෑම් 0.5ක් තරම් සුළු ප්‍රමාණයකි.

ගෙම්බන් ඇල්ලීම ඉන්නන් ඇති වීමට හේතු වෙයි

අනිසි බිය ඇතැමුන්ට ආවේණික ලකුණකි. ගෙම්බන්ගේ පිටේ ඇති ගැටිති දකින සමහරුන් සිතන්නේ ගෙම්බන් ඇල්ලූ විට තමන්ටත් ඒ ගැටිති බෝ වේ යැයි කියාය. එහෙත් ගෙම්බන් හා මිනිසුන්ගේ ඉන්නන් අතර කිසිදු සබඳතාවක් නැත. මිනිසුන්ට ඉන්නන් ඇති වන්නේ වයිරස හේතුවෙනි. විශේෂයෙන් හියුමන් පැපිලෝමා වැනි වයිරස ඊට හේතුවේ.

මිනිසුන් පාවිච්චි කරන්නේ මොළයෙන් සියයට දහයයි

ඇතැම් පුද්ගලයන් ක්‍රියාකරන ආකාරය අනුව මේ කතාව සැබෑවක් යැයි කෙනකුට සිතීමට පුළුවන. එහෙත් ස්නායු‍රෝග පිළිබඳ විශේෂඥයන් පවසන්නේ එවැන්නකු වුවත් සියයට සියයක්ම මොළය භාවිත කරන බවය. ඇමෙරිකාවේ මායෝ සායනයේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජෝන් හෙන්ලේ කෙනකු දවස පුරා මොළයේ සියයට සියයක්ම භාවිත කරන බව පෙන්වා දෙයි. තවත් ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයකු වූ බැරී ගෝඩ්න් පවසන අන්දමට සෑම වේලාවකම මොළය සියයට සියයක්ම ක්‍රියාකාරීය. නිදාගත් විට පවා  මොළය ක්‍රියාකාරීය. එසේ නම් මොළයේ ක්‍රියාත්මක වන්නේ සියයට දහයක් බව පවසන්නේ කෙසේද? ආහාර ගත් විගසම පිහිනීම වැනි ක්‍රියාකාරකම්වල යෙදීම කෙණ්ඩා පෙරළීමට, දියේ ගිලීමට හේතුවෙයි.

මෙවැනි මිථ්‍යාවකට මුල ‍පිරෙන්නේ පහත සඳහන් විශ්වාසයන් පාදක කරගෙනය. බර ආහාර ගත් පසු ජීර්ණයට ආධාර වීම පිණිස ආමාශය කරා වැඩිපුර රුධිරය ගමන් කරයි. මේ නිසා පිහිනන විට මාංසපේශීන්වලට සංසරණය වන රුධිර ප්‍රමාණය අඩු වන බැවින් කෙණ්ඩා පෙරළීමට හා ගිලීමට ඇති අවදානම වැඩි වෙයි.  මෙවැනි විශ්වාසයක් තිබුණද පළපුරුදු පිහිනුම්කරුවන් මේ මතය මිථ්‍යා මතයක් ලෙසින් බැහැර කරයි.  කෙණ්ඩා පෙරළීමක් ඇති වීමට ඇති ඉඩකඩ අඩු වුණත් එසේ ඇති වුණොත් ගිලෙන්නේ නැති බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. අප ගන්නා ආහාරපානවල මද්‍යසාර අඩංගු වී නැත්නම් මෙය මිථ්‍යා මතයක් ලෙස බැහැර කළ යුතුය.

වැඩි වශයෙන් උෂ්ණත්වය පිට වන්නේ හිසෙනි

මිනිස් සිරුරේ මුහුණ, හිස හා පපු පෙදෙස පරිසර උෂ්ණත්වයට ඉතා සංවේදීය.  ඒ නිසා මෙවැනි මතයක් ගොඩනැඟී තිබුණද සත්‍ය එය නොවෙයි. එවැනි වැරැදි මතයක් ගොඩනැඟී ඇත්තේ  එක්දහස්  නවසිය පනස් ගණන්වල ඇමෙරිකානු හමුදා සෙබළුන් ඇසුරින්  කරන ලද පර්යේෂණයකිනි. සෙබළුන් සිරුරේ අනෙක් කොටස් ආවරණය කර හිස පමණක් නිරාවරණය කර තිබියදී  සිදු කරන ලද පර්යේෂණයේදී හිසෙන් වැඩිපුර උෂ්ණත්වය පිටවන බව වාර්තාකර ඇත. එහෙත් සිරුරේ අන් කොටස් මෙන්ම හිසද ආවරණය කළ විට සිරුරේ සෑම කොටසකින්ම උෂ්ණත්වය සමානව පිටවන බව නොරහසකි.  

උඩු අතට සිටියදී නැවතුණු හදවතක් පණ ගැන්විය හැකියි

සිනමා පටවල, ටෙලි නාට්‍යවල උඩු  අතට වැතිර සිටින හදවත නතර වුණු රෝගීන්ට හෘද පුනර්ජීවනය (CPR) ලබාදෙන අවස්ථා ඔබ ඕනෑතරම් දැක ඇත. එහෙත් එය සිනමා පටයක පමණක් සිදුවන්නකි. හෘද පුනර්ජීවනයෙන් රුධිරය සමඟ ඔක්සිජන් සහ ඉහළ ඇඩ්‍රිනලින් ප්‍රමාණයක් හදවතට ලැබීමට සලස්වයි. උඩු අතට සිටින විට හදවතේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය අඩුය. ස්වයංක්‍රිය යන්ත්‍රයකින් බාහිරව ලබා දෙන කම්පනයෙන් උඩු අතට සිටින්නාගේ හදවත පණගැන්විය නොහැකිය.  මේ නිසා උඩු අතට වැතිරී සිටින්නකුට හද පණ ගැන්වීමට යෑම සිනමා පටය සේම මායාවකි.

නින්දෙන් ඇවිදින්නා අවදි කිරීමෙන් මියයෑමේ අවදානමක්

නින්දෙන් ඇවිදින්නන් අරුම පුදුම දේ කරන්නන්ය. මෙවැන්නෙක් බලෙන් අවදි කිරීමෙන් කම්පනයක් ඇති වීම පුදුමයක් නොවෙයි. එහෙත් අවදි කෙරුවා කියා එවැන්නෙක්  මිය යෑමේ අවදානමක් නැත.

මලකඩ නිසා පිටගැස්ම සෑදීමට පුළුවන

මලකඩ සහ ක්ලොස්ටි්‍රඩියම් ටෙටනි බැක්ටීරියාව අතර තිබිය හැක්කේ කෙබඳු සම්බන්ධයක්ද?  බැක්ටීරියා නිතරම වාගේ හමුවන්නේ කාබනික ද්‍රව්‍යවලින් පිරි පසේය. යකඩ එවැනි පරිසරයකදී ඉක්මනින් මලකඩ කයි. මලකඩ කෑ යකඩ ඇණ වැනි දෙයකින් තුවාල වුණු විට පිටගැස්ම සෑදෙන බවට මතයක් ගොඩනැඟී ඇත්තේ මෙනිසාය. සැබැවින්ම මල බැඳි යකඩ හා පිටගැස්ම අතර කිසිදු සබඳතාවක් නැති බැවින් මෙයද මිථ්‍යා විශ්වාසයකි.

බස්ෆීඩ්  වෙබ් අඩවිය ඇසුරිනි

චම්පිකා දීපානි රණසිංහ