ටිකට් නැතුව ගිහින් මිනිත් මරපු KKS කෝච්චියේ අපරාධකාරයෝ

0
81

දුම්රිය මගියකුගේ පා පහරට ලක්ව දුම්රියෙන් පිටතට විසිවී වැටුණු දුම්රිය ආරක්ෂක නිලධාරියාගේ අකල් මරණය දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාව කරන සියලු තරාතිරම්වල නිලධාරීන්ගේ දැඩි සංවේගයට හේතු වී තිබේ. කිසිදු දුම්රිය ආරක්ෂක නිලධාරියකුට මෙවන් ඉරණමකට මෙතෙක් මුහුණදීමට සිදුව නොතිබීම ඊට තවත් හේතුවකි. එමෙන්ම මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් නිලධාරියා දුම්රිය ආරක්ෂක හමුදාවේ තූර්යවාදක කණ්ඩායමේ නායකයා වීම එම දෙපාර්තමේන්තුවටද දැඩි පාඩුවක් වී තිබේ. කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියෙන් පිටතට විසිවී මොහු මරණයට පත්ව තිබේ. සිද්ධියෙන් මියගොස් තිබුණේ ගම්පහ, ඉහළ යාගොඩ, ඔරුතොට පාර ෂර්ලි ලක්ෂ්මන් දිසානායක නමැති 52 හැවිරිදි දෙදරු පියෙකි.

ඉකුත් 22 වැනිදා රාත්‍රි 10.00 ට පමණ ගල්කිස්ස දුම්රියපොළෙන් කන්කසන්තුරය බලා මෙම නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය විය. එදින එම දුම්රියේ ආරක්ෂක නිලධාරියකු ලෙස ලක්ෂ්මන් යොදවා සිටි අතර ඔහු රාජකාරි කළේ ආරක්ෂක නිලධාරියකු වන ලලිත් පෙරේරාද සමඟය. ඊට අමතරව දුම්රිය ටිකට් පරීක්ෂකවරුන් දෙදෙනකුද දුම්රියේ රාජකාරි කළහ.

ගල්කිස්සෙන් ඇරැඹි නගරාන්තර දුම්රිය දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය දුම්රිය පොළවල් පසු කරමින් ඒවායේ රැඳුණු මගීන්ද ගොඩකරවාගෙන කොළඹ  කොටුව දුම්රිය ස්ථානයට ළඟාවන විට වේලාව රාත්‍රි 10.20ට ආසන්න වී තිබිණි.  කොළඹ කොටුවෙන්  ඊට සෑහෙන මගීන් පිරිසක් ගොඩ වූ අතර දුම්රියද මගීන්ගෙන් පීරි යන්නට විය. මගීන් නංවාගත් නගරාන්තර දුම්රිය කොටුවෙන් පිටත්වන විට රාත්‍රි 10.30ට පමණ ඇත.

“ගම්පහ දුම්රියපළ පහුවෙනවාත් එක්ක කෝච්චියේ සිටිය ටිකට් චෙක්කරන දෙන්නා ඇවිල්ලා අපිට කිව්වා ටිකට් නැති දෙන්නෙක් බීලා කෑගහනවා. පොඩ්ඩක් ගිහින් බලන්න කියලා”

“ඒත් එක්කම දිසානායකත් මමත් ටිකට් පරීක්ෂකවරු දෙන්නත් එක්ක ඒ බීමතින් ඉන්න දෙන්නා සිටිය කෝච්චි පෙට්ටියට ගියා. එතකොට අපි දැක්කා දෙන්නෙක් පෙට්ටිය ඇතුළේ බියර් බෝතලයකුයි තවත් ලොකු බියර් ටින් එකකුත් තියාගෙන බිබී ඉන්නවා.”

“අපි ඒ දෙන්නා ළඟට ගිහින් කෝච්චියේ මත්පැන් බොන්න තහනම් කියලා කිව්වා. ඒත් එක්කම ඒ දෙන්නා අපිට කුණුහරුපයෙන් බැන්නා. ඒත් එක්කම, එක්කෙනෙක් දුම්රිය භෝජනාගාරයේ වැඩ කරන කෙනකු බවත් අනෙක් පුද්ගලයා එයාගේ මස්සිනා කියලත් එයා හමුදාවේ කියලත් කිව්වා.”

“ඒත් එයාලා දිගින් දිගටම පරුෂ වචනයෙන් බනින්න වුණා. මේ නිසා කෝච්චියේ සිටිය අනෙක් මගීනුත් කුඩා දරුවෝත් බියට පත්වෙලා හිටියා. පස්සේ අපි කිව්වා ඔයගොල්ලෝ ඔතනින් යන්න කෝච්චියේ බොන්න බැහැ කියලා. අපි ඒ දෙන්නව දුම්රිය මැදිරියෙන් එළියට ගන්න කටයුතු කළා. ඒත් ඒක අමාරු වැඩක් වුණා. ඒත් ලොකු පරිශ්‍රමයක් දරලා මැදිරියේ ස්වයංක්‍රිය වීදුරු ‍ෙදාරෙන් පිටතට ගත්තා. “

ඉන් අනතුරුව මගීන් ගොඩවන සහ පිටවන මැදිරි ‍ෙදාරවල් වසා දැමීමටද ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබිණි. අනතුරුව ආරක්ෂක නිලධාරි ලලිත් දකුණු පැත්තේ ‍ෙදාර අසලටත් ලක්ෂ්මන් වම් පැත්තේ ‍ෙදාර ළඟටත් යන ලදී. ඒ සමඟම බීමතින් සිටි එක් පුද්ගලයකු ලක්ෂ්මන් ඉලක්ක කර ගනිමින් ඔහුට වැරෙන් පා පහරක් එල්ල කරන්නට වූයේ ඇසිපිය නඟන වේගයෙනි.

“භෝජනාගාර සේවකයා කියලා අපිට හඳුන්නලා දුන්න පුද්ගලයා තමයි දිසානායක මහත්තයට පයින් ගැහැව්වේ. ඒත් එක්කම එයා උඩින් විසිවෙලා යනවා දැක්කා. දිසානායක මහත්තයා දුම්රිය මැදිරියෙන් පිටතට විසිවුණා. ඒත් එක්කම මම කෑගැහුවා. කෝච්චිය නතර කර ගන්න හයියෙන් කෑගැහැව්වා.  පස්සේ මගීනුත් කලබල වුණා. මම කෝච්චිය නවත්ත ගන්න උප නියාමක මහත්තයට කියන්න දුවගෙන ගියා. ඒත් එක්කම උප නියාමක මහත්තයත් අපි ඉදිරියට ආවා. එයාව සිද්ධිය කිව්වට පස්සේ එයා ප්‍රධාන නියාමක මහත්තයට දුරකථනයෙන් මේ බව කියලා දුම්රිය මීරිගම ස්ටේෂන් එකේ නතර කර ගත්තා. ඒ වෙනකොට දිසානායක මහත්තයට ගහපු පුද්ගලයාත් අනෙක් පුද්ගලයාත් කෝච්චියේ හිටිය මගීන් අල්ලගෙනයි තිබුණේ.

ඒ සමඟම කළ දැනුම් දීමකට අනුව මීරිගම පොලිස් ස්ථානයේ නිලධාරීහුද මීරිගම දුම්රිය ස්ථානය වෙත පැමිණියහ. පස්සේ පොලිසියේ අයට අල්ලගත්ත දෙන්නා භාරදුන්නා.

සිදුවීම ඒ සමඟම දුම්රිය ආරක්ෂක අධිකාරිවරයාටද දැනුම් දෙන්නට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව දුම්රිය ආරක්ෂක නිලධාරි ලක්ෂ්මන් දිසානායක සමඟ රාජකාරි කළ ලලිත්ද මීරිගම පොලිසියට ගිය අතර දුම්රිය ආරක්ෂක අධිකාරිවරයාද එම ස්ථානයට පැමිණියේය. එහිදී සිදුවුණු සිදුවීම සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක නිලධාරි ලලිත් පෙරේරා මහතාගෙන්ද මීරිගම පොලිසිය ප්‍රකාශයක් ලබාගැනීමට පියවර ගෙන තිබිණි.

ඉන් අනතුරුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් පොලිස් නිලධාරීන්ද කැටුව වඳුරව දුම්රිය ස්ථානය තෙක් මාර්ගය දෙපස සෝදිසි කරමින් වැටුණු ලක්ෂ්මන් සොයාගන්නට වෙහෙසක් ගත්හ.

වඳුරව දුම්රිය ස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයේ මීරිගම දෙසට මීටර් 100ක් පමණ දුරින් ලක්ෂ්මන්ගේ සිරුර වැටී තිබියදී සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය. ඒ වන විට සිද්ධියෙන් පැය කිහිපයක්ද ගෙවී ගොස් තිබිණි. පොලිසිය පවසන්නේ දුම්රිය මාර්ගය අයිනේ ලඳු කැලෑබද කොටසක ලක්ෂ්මන්ගේ මළසිරුර වැටී තිබූ බවය.

වැඩිදුරටත් ඒ අවට සෝදිසි කරද්දී ආරක්ෂක නිලධාරි ලක්ෂ්මන්ගේ හිස්වැසුම හා නිල ඇඳුමේ කොටස්ද තැන තැන විසිරී තිබී සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය.

කෙසේ වෙතත් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් හමුදා සෙබළකු බව කියන තැනැත්තාට මගීන් විසින් එල්ල කරන ලද ප්‍රහාර නිසා තුවාල ලබා සිටි අතර පසුව ඔහු පොලිසිය විසින් ප්‍රතිකාර සඳහා මීරිගම රෝහලට ඇතුළත් කර ඇත. ඒ පොලිස් ආරක්ෂාව මැදය.

සිද්ධිය අධිකරණයට දැනුම්දීම මත අත්තනගල්ල මහෙස්ත්‍රාත්වරිය විසින් ඊට පසුදා (23දා) උදෑසන සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය සඳහා පැමිණ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ පවත්වා මියගිය ආරක්ෂක නිලධාරියාගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකරන ලෙස වේයන්ගොඩ පොලිසියට නියෝග කළේය.

එමෙන්ම සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සිද්ධිය වූ දුම්රිය මැදිරිය පරීක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය පොලිසියට දැනුම් දුන්නේය.

ඒ වන විට නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය කන්කසන්තුරේ දුම්රියපොළ  වෙත ළඟාවී එහි නතර කර තිබිණි. පසුව දුම්රිය ආරක්ෂක අධිකාරිවරයාගේ සහ පොලිසියේ දැනුම්දීම මත කන්කසන්තුරේ නතර කර තිබූ නගරාන්තර දුම්රියේ අංක 16817 දරන මැදිරිය වේයන්ගොඩ දුම්රිය ස්ථානය වෙත ගෙන ඒමට පියවර ගනු ලැබීය. ඒ එම මැදිරිය මුද්‍රා තැබීමෙන් අනතුරුවය. පසුව එම දුම්රිය මැදිරිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී නිරීක්ෂණයට  ලක් කෙරිණි.  මැදිරියේ ඇති ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීම දෙමටගොඩ දුම්රිය ස්ථානයේදී සිදුවිය.

ඉන් අනතුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් හමුදා සෙබළා සහ දුම්රිය මගී භෝජනාගාර සේවකයකු බව කියන පුද්ගලයා වේයන්ගොඩ පොලිසිය විසින් අත්තනගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් දෙදෙනා ඉකුත් 26 වැනිදා වනතෙක්  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. පසුව ඔවුන් අගෝස්තු 6දා දක්වා යළි රිමාන්ඩ් ගත කෙරිණි.

රිමාන්ඩ් ගත කළ හමුදා සෙබළා නොච්චියාගම, මොරගහ වැව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ජනක ප්‍රියදර්ශන අය කොළඹ යුද හමුදා කඳවුරකට  අනුයුක්තව සේවය කරන්නෙකි. උදාර ප්‍රසන්න නමැති අනෙක් අය අනුරාධපුරය ශ්‍රාවස්තිපුර පදිංචිකරුවෙකි.  අනුරාධපුර දුම්රිය භෝජනාගාරයේ සේවය කරන්නෙකි.

සිද්ධිය සැලවීමත් සමඟ මියගිය ලක්ෂ්මන් දිසානායකගේ බිරිය සහ දරු දෙදෙනා සිද්ධිය වූ ස්ථානයට පැමිණ හඬා වැලපෙන්නට වූ අතර එය ඒ අසල සිටි කාටත් දරාගත නොහැක්කක් වූහ.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයේදී දුම්රිය ආරක්ෂක නිලධාරි ලලිත් පෙරේරා සහ දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරයකු වන සමන්ජිත් ප්‍රනාන්දු මහතාද අත්තනගල්ල මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්කි ලබා දුන්හ.

මේ අතර දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරයකු වන සමන්ජිත් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙවැන්නකි.

“එදා මමත් හේමචන්ද්‍ර මහත්තයත් ඉංගී්‍රසි අක්ෂර අනුව දුම්රිය මැදිරිවලට ගිහින් ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීම ආරම්භ කළා.”

“මම ටිකට් චෙක් කරද්දී දෙන්නෙක් ටිකට් නැතිව හිටියා. එයාලා බීලා හිටියේ. ඒ වෙලාවේ මම හේමචන්ද්‍රට දුරකථන ඇමතුමක් දීලා සිද්ධිය කිව්වා.”

ලද සාක්ෂි සහ වෛද්‍ය වාර්තාව සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සාහසික ක්‍රියාවක් හේතුවෙන් සුෂුම්නාවට සහ සිරුරට සිදුවූ බරපතළ තුවාල මත මෙම මරණය සිදුව ඇති බවට තීරණය කරනු ලැබුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වා මියගිය ආරක්ෂක නිලධාරියාගේ දේහය ඔහුගේ බිරියට සහ දරුවන්ට භාරදීමට කටයුතු කර තිබිණි. රාජකාරියේ යෙදී සිටියදී අකාලයේ මරණයට පත් ලක්ෂ්මන් දිසානායක මහතාගේ වියෝවෙන් බිරියත් දරුවනුත් දැඩි අසරණභාවයටත් කම්පාවටත් පත්ව ඇති අතර ඔහුගේ හදිසි වියෝව දුම්රිය දෙපාර්තමේන්තුවටත් විශාල පාඩුවකි.

කීර්ති මෙන්ඩිස්

ඡායාරූප _ මීරිගම දිනූෂි කේ.එම්. ආරච්චි