කැපිටල් මන්දිරේ අරගලකරුවන්ට ජෝ බයිඩන් කරපු දේ..!

0
97

විප්ලවයකට හෝ අරගලයකට නායකත්වය දීම අතුරේ යන්නාක් මෙන් අවදානම් වැඩකි. ජය ගතහොත් වීරයකු ලෙස ප්‍රශංසා ලබමින් මල්දම් පලඳවා ගරු බුහුමන් කරනු ඇති අතර අසාර්ථකව පරාජයට පත්වුවහොත් නින්දා අවලාද මෙන්ම ද්‍රෝහියකු ලෙස නම් කිරීමටද නීතියෙන් දඬුවම් හිමිවීමටද නියමිතය.

 සමාජ දේශපාලනමය කරුණු අතින් මෙන්ම සහභාගි වූවන් අතින්ද බොහෝ වෙනස්කම් තිබුණද 1971 සහ 1988-1989 අසාර්ථක කැරලි දෙකකට පසුව සක්‍රිය ජන අරගලයක් දැකීමට හෝ විවිධාකාරයෙන් එහි කොටස්කරුවන් වීමට ලක්වැසියන්ට අවස්ථාව ලැබිණි.

කැපී පෙනෙන නායකත්වයක් නොතිබූ මෙම අරගලයේ මුල _ මැද _ අග සියලු තැන් මවිතකරය. මුල හා මැද නැරඹූවන්ට දැන් අග හෙවත් අවසන් කොටස නැරඹිය හැකිව තිබේ. මුල හා මැදට පාර්ශ්වකරුවන් වූ බොහෝදෙනා අග කොටසට පාර්ශ්වකරුවන් නොවී නරඹන්නන් වී ඇති සෙයකි. මේ වනවිට දකින්නේ ‘අරගලයට’ පාර්ශ්වකරුවන් වූවෝ නීතියේ ග්‍රහණයට පත්වන ආකාරයයි.

නීතිය බූවල්ලකු බඳුය. සාමාන්‍ය තත්ත්ව යටතේ සක්‍රිය මට්ටමේ පවතින මේ බූවල්ලා ‘දැවැන්ත විරෝධතා’ හමුවේ මඳ කලකට සිය අඬු හකුළාගෙන සිටියද අවස්ථාව ආ කල්හි වහා සිය අඬු පඬු විහිදා එතෙක් සිත්සේ නීතිය කැඩූවන් තම ග්‍රහණයට ගනී. ඕනෑම විප්ලවයක අරගලයක යෙදෙන්නන් වටහාගත යුත්තේ මේ ටිකය. මෙය ශ්‍රී  ලංකාවට පමණක් නොව තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය පවතින අමෙරිකාවටද පොදුය.

මන්දිර තුළට කඩා වැදී, මන්දිර අල්ලාගත් අපේ අරගලකරුවන් සේම අරගලකරුවන් හෝ ඒ මැදට රිංගා එම ගොඩනැඟිලිවලට හා බඩුබාහිරාදියට හානි කළ සහ ඒවා හොරකම් කර ඉවතට ගෙන ගිය අය නීතිය මඟින් කොටු කරගනිමින් සිටී. අමෙරිකාවේ 2021 ජනවාරි 06දා සිදුවූ මේ හා සමාන සිදුවීමකට වගකිවයුත්තන් සමහර දෙනා මේ අයුරින්ම නීතිය කොටුකරගත් අතර තවත් අය තවමත් නීතියට කොටුකර ගනිමින් සිටිති.

අප රටේ හිටපු ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ මුදල් ඇමැතිවරයාට යන්නට කියමින් ඔවුන්ගේ දූෂිත පාලනයට එරෙහිව පොදු ජනතාව අතරින් ‘අරගලය’ පැනනැඟුණි. එහෙත් අමෙරිකාවේ මෙම සිදුවීමට නායකත්වය දුන්නේ ඒ වනවිටද ජනාධිපති ධුරයේ රැඳී සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්ය. එහෙයින් අප රටේ අරගලයට නායකත්වයක් නොමැති වුවද අමෙරිකාවේ සිදුවීමට නායකත්වයක් තිබිණි. එවැනි ප්‍රබල නායකත්වයක් තිබුණද නීතියේ අඬු පඬු විහිදූ විට නීති විරෝධී ක්‍රියාවන්ට රැකවරණය සැලැස්වීමට හැකියාවක් නොවූ බව අදටත් එහි සිදුවන අත්අඩංගුවට ගැනීම් සහ දඬුවම් දීම් මනාව පෙන්වා දෙයි. ජන සහභාගිත්ව අරගලයක් හෝ විප්ලවයක යෙදෙන්නන්ට නීතිමය රැකවරණය ලැබීමට නම් එය සාර්ථකව අවසන් විය යුතුව ඇති අතර එහිදී පවතින නීති පද්ධතියේ ආධිපත්‍යයද බිඳ දමා නව නීති පද්ධතියකින් පවතින නීති පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම අත්‍යවශ්‍යම කාරණයකි. කෙටියෙන්ම කියනවා නම් පූර්ණ පද්ධති වෙනසක් ‘System Change’ යන සැලසුම් සහගත ක්‍රියාවලියකින් තොරව අරගලකරුවන්ට හෝ විප්ලවවාදීන්ට නීතියේ රැකවරණය ලැබේ යැයි සිතීම උගහටය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උසිගැන්වීමෙන් මීට මාස 19කට පමණ පෙර 2021 වර්ෂයේ ජනවාරි 06දා විරෝධතාකරුවන් කඩා වදින්නේ ඇමරිකාවට සහ ඇමරිකානු ජනතාවට අතිශයින්ම වැදගත්වන වොෂින්ටන් DCහි පිහිටි Capitol Building (කැපිටල් ගොඩනැඟිල්ලටයි)

මෙම කැපිටල් ගොඩනැඟිල්ල ඇමරිකාවට හා ඇමරිකානු ජනතාවට ඉතා වැදගත් වන්නේ ඔවුන්ගේ පාලනයට අදාළ සියලු තීන්දු තීරණ ගන්නේත් ඒවා ප්‍රකාශයට පත් කරන්නේත් එම ගොඩනැඟිල්ලේ සිටවීම නිසාය.

බිම් මහලද ඇතුළුව මහල් පහකින් යුත් මෙම කැපිටල් ගොඩනැඟිල්ල එහි ඇති අර්ධ ගෝලාකාර මුදුනත් කුලුන හේතුවෙන් ලෝකයේම ඇති සුවිසල් හා ඓතිහාසික ගොඩනැඟිලි අතර කැපී පෙනෙන්නකි. ඇමරිකාවේ සෙනෙට් සභාව සහ මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කොංග්‍රස් මණ්ඩලයේ සාකච්ඡා, වාද විවාද, පැවැත්වෙන්නේත්, මහජන ප්‍රතිපත්ති සලකා බැලෙන්නේත්, එකඟතාවන්ට එළඹෙමින් රටේ නීතිය සම්පාදනය කෙරෙන්නේත් මෙම ගොඩනැඟිල්ල තුළය.

ජෝර්ජ් වොෂින්ටන් ජනාධිපතිවරයා තෝරාගත් සැලසුමකට අනුව 1793දී ගොඩනංවන ලද මෙම කැපිටල් ගොඩනැඟිල්ලේ බිම් මහල වර්ග අඩි 1,75,170ක් සිසාරා යයි. එය අක්කර 4කට ආසන්න භුමි ප්‍රදේශයකි. එහි අර්ධ ගෝලාකාර කොත මුදුනේ නිදහසේ ප්‍රතිමාව පිහිටුවා ඇත. කැපිටල් ගොඩනැඟිල්ලේ කාමර 540ක් ජනේල 658ක් සහ ‍ෙදාරවල් 850ක් වේ.

මෙම ගොඩනැඟිල්ලේ කටයුතු ආරම්භයේ සිටම ඒ වෙතට ලැබුණු ත්‍යාගද ඇතුළුව බොහෝ ඓතිහාසික දේ ප්‍රදර්ශිත තුන්වැනි මහල නැරඹීමට සංචාරකයන්ට අවසර ලබාදෙන අතර සෙනෙට් සභාවේ සහ කොංග්‍රසයේ සැසි වාර පවතින අවස්ථාවේදී එම සැසි නැරැඹීමටද අවස්ථාව ලබාදෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් කැපිටල් ගොඩනැඟිල්ල කරා කඩා වැදීමට ජනතාව අවුස්සනු ලැබුවේ 2021 වර්ෂයේ ජනවාරි 05දාය. ඒ දෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ තමා පරාජයට පත්ව ඇති බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනගත් පසුවය.

රැඩිකල් වාමාංශික ප්‍රජාතන්ත්‍රාන්තිකයන්ගේ දිරිදීමෙන් ඡන්දය හොරකම් කළ බවට චෝදනා නැඟූ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම දේශපාලනික හිතවතුන් වොෂින්ටන් ඩී.සී. වෙත කැඳවූවේය.

මැතිවරණයෙන් ජයගෙන සිටි ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කිරීමට උප ජනාධිපති මයික් පෙන්ස්ට හා කොංග්‍රසයට තම පාක්‍ෂිකයන් ලවා බලපෑම් කරවීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අරමුණ විය.

ඡන්දයේදී අක්‍රමිකතා වූ බවට දිගින් දිගටම චෝදනා කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ‘ඔබ දරුණු ලෙස සටන් නොවැදුණහොත් ඔබට තවදුරටත් රටක් නොමැති වෙයි‘ යනුවෙන් ඇමරිකානු ජනතාව අමතා පැවැසීය. මෙම වචනවලින් ආවේගයට හා ප්‍රකෝපයට පත් ජනතාව දහස් ගණනක් කැපිටල් ගොඩනැඟිල්ල කරා පාගමනින් ගමන් කළහ. කොංග්‍රසය ඇමරිකාවේ Eletcral Colleage ලෙස හඳුන්වන ඡන්ද කොට්ඨාසවල ඡන්ද ගණන් කිරීමට සැරසෙමින් සිටියදී කුපිත වූ ජනතාව පොලිස් බාධක බිඳ දමමින් කැපිටල් ගොඩනැඟිල්ල වෙත ප්‍රවේශ වූහ.

දෙදහසක් පමණ විරෝධතාකරුවෝ මෙසේ කැපිටල් ගොඩනැඟිල්ලට ඇතුළු වූහ. ඔවුහු පොලිස් නිලධාරීන්ට හා මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කළහ. සමහරු ගොඩනැඟිල්ල තුළට ඇතුළු වුයේ ජනේලවලිනි. ඇතුළු වූවෝ එහි තිබූ බඩු බාහිරාදිය අත පත ගා බැලුවා පමණක් නොව සමහර උපකරණ භාවිත කළහ. ඓතිහාසික හා පෞරාණික අගයක් තිබූ බඩු බාහිරාදිය පැලඳ ගත්හ. සමහරු ඒවා තමා සන්තකයට ගත්හ. හොරකම් කරගෙන පලා ගියහ. එය හරියට ඉකුත් ජූලි 09දා රජගෙදරට හෙවත් එතෙක් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිටි කොටුවේ රජ ගෙදරට අරගලකරුවන් ඇතුළු වී කළ කී දේට සමාන විය. ඇමරිකාවේ වුවද ලංකාවේ වුවද ඇවිස්සුණු ජනතාවගේ වෙනසක් නොවන බව ඉන් පැහැදිලි වෙයි.

කැපිටල් ගොඩනැඟිල්ලට ඇතුළු වූ ඇතැමෙක් ලහිලහියේ එහි පෝරකයක්ද පිහිටුවිය. ඒ මන්ත්‍රිවරුන් අල්ලාගෙන අවුත් එල්ලා මැරීමටය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කීමට අනුගතව මැතිවරණය අවලංගු කිරීමට කටයුතු නොකිරීම නිසා උප ජනාධිපති මයික් පෙන්ස් එල්ලනු (Hang Mike Pence)ද ඔවුන්ගේ සටන් පාඨ අතර විය. නොහික්මුනු ජනතාව නීතිය අතට ගැනීම හැම පැත්තෙන්ම පෙණිනි.

සමහරු කථානායිකා නැන්යි පෙලොයිගේ කාර්යාලයට ගොස් ඊට හානි කර වටිනා දේ රැගෙන ගියහ. තවත් අය ආරක්‍ෂක බාධක බිඳ දමමින් කොංග්‍රස් සභා ගර්භයට කඩා වැදීමට තැත් කළහ. නමුත් එහි සිටි මන්ත්‍රිවරුන් ඉවත් කර තිබුණෙන් ඔවුන්ට අල්ලා ගත හැකි වූයේ සෙනෙට් සභා ගර්භය පමණි.

මෙසේ කැපිටල් ගොඩනැඟිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් මැඬපැවැත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් එම අවස්ථාවේ බලය අත රැඳි ජනාධිපතිවරයා ලෙස පියවර නොගත්තේය. නමුත් එදින සවස් කාලයේ ඔහු ට්විටර් හරහා වීඩියෝ පටයක් නිකුත් කරමින් මැතිවරණය වංචනික වූවත්, ‘සාමකාමීව නිවෙස් කරා යන්න’ යනුවෙන් තම ආධාරකරුවන්ගෙන් ඉල්ලීය. කැපිටල් ගොඩනැඟිල්ල අත්පත් කරගෙන සිටි විරෝධතාකරුවන් ඉන් ඉවත් වූයේ රාත්‍රිය එළඹෙද්දීය. ඉන් අනතුරුව ඡන්ද ගණනය නැවත ඇරැඹුණු අතර ජෝ බයිඩන් මැතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයා බවත් කමලා හැරිස් උප ජනාධිපතිනිය බව උප ජනාධිපති මයික් පෙන්ස් විසින් පසුදා එනම් 2021 ජනවාරි 07දා උදෑසන ප්‍රකාශයට පත් කරන ලදී.

කැපිටල් ගොඩනැඟිල්ලට මෙසේ විරෝධතාකරුවන් කඩා වැදීමෙන් ගොඩනැඟිල්ලට සිදුවූ හානිය අලුත්වැඩියා කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 30කට වැඩි මුදලක් වියදම් විය. එහි තිබූ වටිනා බඩු බාහිරාදිය හොරකම් කරගෙන ගොස් තිබිණි.

මෙම විරෝධතාව අතරතුර ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර ගැටුම් පවතිද්දී මරණ 5ක් සිදුව තිබිණි. ඉන් එකක් වෙඩි තැබීමකින් සිදුවූ මරණයකි. අවට වශයෙන් පොලිස් නිලධාරීන් 138ක් රෝහල්ගත වූහ.

මේ සිදුවූ සියල්ලට මුල් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සතියක් ගිය තැන පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් විය. එහෙත් පෙබරවාරි මාසයේදී ට්‍රම්ප් ජනපති ධුරය හැරදා ගිය අතර දෝෂාභියෝගයට අවශ්‍ය 2/3ක ඡන්ද ප්‍රමාණය නොමැති වීමෙන් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් නිදහස් විය.

පසුව මෙම කැපිටල් ගොඩනැඟිල්ලට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු අය සෙවීමට විමර්ශන කමිටුවක් පත් කෙරිණි.

Oath keeper, proud Boys, Three Percenters වැනි ආණ්ඩු විරෝධී කණ්ඩායම්වලට අයත් සාමාජිකයන් 30 දෙනකුට පමණ පහරදීම සැලසුම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කෙරිණි. අප්‍රේල් 23දා වනවිට 439කට එරෙහිවද සැප්තැම්බර් මාසය වනවිට 600කට එරෙහිවද චෝදනා ගොනුකර තිබිණි. මේ වනවිට 884 දෙනකුට චෝදනා ගොනුකර ඇති අතර තවමත් නීතිය, සිදුවූ හානියට වගකිවයුතු විරෝධතාකරුවන් ග්‍රහණයට ගැනීමට අඬු පඬු විහිදුවමින් සිටී.

රු කාරියවසම්