ඔබ ලෝකයේ ආලෝකයයි එය නොසඟවන්න

0
18

“රජෙක් වුණත් ගිලන් වූදා

එක්තැන්වීලා

හිතෙනවාට සැකයක් නෑ

සැකයක් නෑ

නිරෝගිකම හැර සැපයක්

ලොවේ කොයින්දා”

අට අනූවක් ලෙඩ රෝග මිනිසුන්ට හැදෙනවා කියලා අපේ පැරැන්නෝ ඉස්සර කියපු දෙයක්. වර්තමානයේ නම් එහෙම දෙයක් කිව්වම තර්ක ගොඩයි. අභියෝගද එමටයි. කෙසේ හෝ අපට හැදෙන්නෙ ලෙඩ සහ රෝග නම් ස්ථිරයි. ඒ වර්ග දෙක පමණයි.

තවත් සරලව දැක්වුවහොත් ඒ තමයි ශාරීරික රෝග සහ මානසික රෝග. ඉන් අපේ ජීවිත අන්ත අසරණ කළ ශාරීරික රෝගයක් තමයි කොවිඩ් – 19 ලෙසින් නම් කළ කොරෝනා වසංගතය. ඇත්තෙන්ම එය වසංගතයක්ම තමයි. එය අපට හෙවත් අපේ රටට වුණ බලපෑමක්ම නොවෙයි කියා දන්නවා. ඒක ලෝක වසංගතයක්. එසේ වුණත් අප ඉන් ලබාගත් අත්දැකීම් නම් බොහෝමයි.

සෞඛ්‍ය අංශ ජනමාධ්‍යවලින් අපව නිතර දැනුවත් කළා ප්‍රවේශම් සහිතව ඉන්න කියලා. ඒ කොහොමද? ‍ෙදාර ජනෙල් වහගෙන නිතරම මුඛ ආවරණ පැලඳ ළඟම ඇති සබන් වර්ගයක් භාවිත කර අත් සෝදා ගෙන… ඔව්… ඒවා තවම මතකයි.

එහෙම තත්ත්වයකදී වුණත් අපි අපේ අසල්වැසියන් ගැන සොයා බැලුවා. සැප-දුක විමසුවා. ඔවුන් ආසාදිත වූවත් නොවූවත් ඇයි ඒ? අපට තිබෙනවා එහෙම සිරිතක්. පුරුද්දක්. අපේකම කරගත්ත ගතියක්. ඒ වසංගත තත්ත්වයම අමතක කරමු. අහල පහළ කවුරු හරි කෙනෙක් අසනීප වෙලා කියලා ආරංචි වුණාම අපි යනව බලන්න. මොනවද ඕන කියලා සොයා බලනවා. හිතන්න ගර්භණී මවක් ඉන්නව කියලා. ඒ අම්මා කන්න ආස කරන දේවල් අහනවා. ගහක වැලක හැදෙන එළවළුවක්, පලතුරක් තිබුණොත් ඒක නෙළාගෙන ගිහින් දෙනවා. එතැන තමයි හිතේ සතුට උපදින්නෙ. ක්‍රිස්තුන් වහන්සේත් දවසක් තමන් වහන්සේ සමඟ සිටිය පිරිසක් සමඟ ඒ සතුට බෙදා හදා ගන්නවා.

මේ කතාව බයිබලයේ සඳහන් වන්නේ. කානා නුවර සරණ මංගල්‍ය ලෙසයි. (ශු. ජොහාන් 2.1-10)

ගලීලයේ කානා නුවර විවාහ මංගල්‍යයක් තිබුණා. ඔවුන්ගේ සම්ප්‍රදාය අනුව ආරාධිතයන්ට මුද්‍රික පානය හෙවත් මිදි රස පානය පිළිගන්වනවා. ඒ මඟුල් ගෙදර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සහ තම මෑණියන් වන මරියතුමියත් ගියා. මඟුල් ගෙදර සංග්‍රහ කමිටුවේ හෙවත් සංවිධායකයන් අතර පොඩි  කසුකුසුවක් ඇති වුණා. එය මරියතුමියටත් දැනගන්නට ලැබුණා. එතුමිය තම පුතණුවන්ට ගැටලුව කියනවා. උන්වහන්සේ ඊට යම් සහනයක් කරන බව විශ්වාස නිසයි ඒ.

“මේ එන පිරිසට මිදි රස පානය ප්‍රමාණවත් නැහැ. පුතා මේ මොහොතෙ පිහිට වෙන්න.”

ක්‍රිස්තුන් වහන්සේ මඟුල් ගෙදර සේවක පිරිස අමතනවා.

“ඔබට මිදි රස අවශ්‍ය භාජනවල ගැටිය දක්වා වතුර පුරවන්න.”

සේවකයන් එසේ කළා. උන්වහන්සේ ආශීර්වාද කර අනුහස පෑවා හෙවත් ප්‍රාතිහාර්යයක් කළා. ඒ භාජනවල ජලය මිදි රස බවට පත්වුණා. අප එවැනි ආශ්චර්යවත් ක්‍රියා හඳුන්වන්නේ ප්‍රාතිහාර්ය ලෙසයි. ඒ කියන්නේ දේව වරප්‍රසාදයෙන් නික්මෙන අනුහස ක්‍රිස්තුන් වහන්සේ කෙරෙන් නික්මීමයි.

අපේ මාතෘකාව වුණේ “නිකම් ලෙඩ හදා ගන්න එපා” අපි වැඩිපුර වාරයක් වැඩිපුර කාලයක් එහෙම කිව්වේ කොරෝනා වසංගතයෙන් රට වෙළී-පෙළී තිබුණ කාලයෙයි. ඒ කාලයේ සෞඛ්‍ය අංශ අපව දැනුවත් කර තිබුණා අත්‍යවශ්‍ය වුවමනාවකට හැර වෙනත් අවස්ථාවක ගෙදරින් එළියට බහින්න එපා කියලයි.

නමුත් ආසාදිත වූ නොවූ රෝගී හැමටම අප ප්‍රාර්ථනා කළේ “ලෙඩක් දුකක් නම් වෙන්න එපා” කියලයි. එහෙම කළේ ඒ දුක්ඛිත තත්ත්වය අපි ඇස් දෙකෙන්ම දැක්ක නිසා.

රෝගී කෙනෙක් ගැන ආරංචි වුණාම ඒ අය වෙනුවෙන් අපි මහ ලොකු දේවල් කරන්න වෙහෙසෙන්න, කැපවෙන්න ඕන නැහැ. සමහර විට රෝගීන් විටින් විට බලන්න, බැහැදකින්න යෑම ඒ අයට කරදරයක් වෙන්න පුළුවන්. තෑගිභෝග, කෑම බීම ගොඩගහගෙන ඉන්න කොටත් ඒක අපහසුයි. එහෙම වෙලාවට පණිවුඩයක් යවන්න “සෙත් වේවා” කියලා. එය ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩයක් ලෙස යවන්න පුළුවන්.

විනාඩියකට අඩු කාලයකින් දුරකථන ඇමතුමක් දෙන්න පුළුවන්. එහෙමත් බැරි නම් රෝගියාට කරදරයක් නොවන සුදුසු වෙලාවක් බලා රෝගියාට සුවය පතන්න යන්න පුළුවන්.

අපි විශ්වාස කරන සත්‍යතාවක් තමයි ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරා දැමුවට පස්සේ උන්වහන්සේගෙ සිරුර ගල්ලෙනක තැන්පත් කරනවා. නමුත් ඊට පෙර අවස්ථා කිහිපයකදීම උන්වහන්සේ වදාළ ලෙසම දින තුනකට පසුව මරණය පරාජය කර මළවුන් කෙරෙන් නැඟිටිනවා. ඒ තත්ත්වයට අපි කියන්නෙ උත්ථානය හෝ උත්ථාන වෙනවා කියලා. අපි “පාස්කු ඉරිදා” ලෙසින් උත්සවාකාරයෙන් සමරන්නෙ ඒ දවසයි.

ක්‍රිස්තුන් වහන්සේට වධ හිංසා කරලා ඒ අතර කටු ඔටුන්නක් හිසේ තද කරලා සිය දහස් ගණනක් කස පහරවල් දීලා නින්දා අපහාස වන පිණිස මුහුණට කෙළ ගහලා අතුල් පහරදීලා බිම දිගේ ඇදගෙන ගිහිල්ලා අවසානයේ මරණීය දණ්ඩනය හෙවත් මරණ දඬුවම ලෙස කුරුසියේ ඇණ ගසා මරා දමනවා.

ඒ සිදුවීම ඉතා සාහසිකයි, කෘෘරතරයි, කම්පිතයි. ඒ වූ සියලු සිදුවීම් කාරණා එකිනෙක සිහි කරමින් භීතියෙන්, සැකයෙන් හා තම ජීවිතවලද අවිනිශ්චිතභාවයෙන් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රාවකයන් හෙවත් අනුගාමිකයන් රහසේ කතා කරමින් සිටින තැනට මළවුන් කෙරෙන් උත්ථාන වූ හෙවත් මළවුන්ගෙන් නැඟිට පැමිණ ක්‍රිස්තුන් වහන්සේ ඔවුන්ට ප්‍රකාශ කළ පළමු වන වචනය වූයේ “ඔබට ශාන්තිය වේවා” කියලයි. එය සඳහන් වන්නෙ හෙවත් ඒ මුළු සිදුවීම විස්තරාත්මක වන්නෙ ශුද්ධ වූ ජොහාන්තුමාගේ සුවිශේෂයේ විසි වැනි පරිච්ජේදයේ 19-21 ඡේදවලයි. (ශු. ජොහාන් 20.19-21)

“ශාන්තිය වේවා” කියන්නෙ “සෙත් වේවා” කියන එකයි. සකු බසින් හෙවත් සංස්කෘත භාෂාවෙන් “ස්වස්ති සිද්ධම්” යන්නෙහි අර්ථය වන්නේ (ඔබට) “යහපතක්ම වේවා” යන්නයි. රෝගී වූ අයකුට සිතින් මෙන්ම වචනයෙන්ද කළ හැකි ප්‍රාර්ථනයක් තමයි “සුවපත් වේවා!” සෙතක් ශාන්තියක්ම වේවා!” කියන එක. අපි සාමාන්‍යයෙන් කියනවා බැරි වෙලාවට වතුර ටිකක් හරි දීලා පිහිට වෙන එක ලොකු පිනක් කියලා. වරෙක එය උපකාරයක් තවත් වරෙක එය පිළිසරණක් වෙනවා. බයිබලයේද එය මෙසේ සඳහන් වෙනවා.

“ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් ඒ නාමයෙන් යමෙක් ඔබට වතුර කෝප්පයක් වුවද බොන්න දෙන්නේ නම්, එහි ආනිශංස ඒ තැනැත්තාගෙන් කිසිසේත් නැති නොවන්නේ යැයි සැබැවින්ම මම ඔබට කියමි” (ශුද්ධ වූ මාක් සුවිශේෂයේ 10.41) එසේ වදාරන්නේද ක්‍රිස්තුන් වහන්සේමයි. බලන්න අසරණ තත්ත්වයට පත්වූ කෙනකුට පිළිසරණ වීමේ ගුණය පිහිට වීමේ ආදීනව කොතරම් සුබපල ගෙන දෙනවද කියලා.

අපි මෙවැනි යහපත් ක්‍රියාවලින් තව තවත් පොහොසත් වීමෙන් අපි තවත් කෙනකුට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වෙනවා. දෙයක් කර කියා ගන්න බැරිව කෙනකුගේ අවධානයට ලක් නොවී බාහිර සමාජයෙන් වෙන් වී කොන් වී සිටින කෙනකුට එසේ පිහිට වීම ගැන ඒ මහත් ක්‍රියාව, සේවය, කැප කළ කාලය ගැන බොහෝදෙනා අගය කරාවි. ඔබේ චරිතයට එය හොඳ ලකුණක් වේවි. අනික් අය අතර ඔබ සුවිශේෂී පුද්ගලයෙක් වේවි. මනුස්සකමින් ඉහළ  මට්ටමක පුද්ගලයෙක් වේවි.

ක්‍රිස්තුන් වහන්සේ එවන් උදාර මිනිස්කම් ගැන අනුශාසනා කරන්නෙ මෙලෙසයි.

“ඔබ පොළොවේ ලුණුය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නටද මිනිසුන්ගේ විසින් පාගනු ලබන්නටද මිස අන් කිසිවකුට සුදුසු නැත.

ඔබ ලෝකයේ ආලෝකයය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකිය. මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති. එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.” (ශු. මතෙව් සුවිශේෂයේ 5, 13-16)

බලන්න ක්‍රිස්තුන් වහන්සේ වදාළ ඒ වචනවල ඇති අර්ථය. ඒ අදහස්වල ඇති පිරුණු බව. අපි මෙහෙම හිතමු. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අසරණව කිසිකෙනකුගේ අත්උදව්වක්, උපකාරයක් නැතිව හිටපු රෝගියකුට සරණ වුණා කියලා. බොහෝදෙනා කියද්දී “නිකම් ලෙඩ දාගන්න එපා කියලා” ඒත් ඒවා නෑසුණ කනින් යුතුව අපි ඒ රෝගියාට හැකි උපරිමයෙන් පිහිට වුණා කියලා. ඒ තැනැත්තා සුවපත් වෙලා ඉන්නවා දැක්කම සිනහමුසු මුහුණින් යුතුව “මට දැන් හොඳටම සනීපයි” කියලා කියන කොට අපේ හිතේ ඇතිවන සංස්තෘප්තිය කොතරම්ද කියා බලන්න.

ඔබ කාගෙ අවධානයට ලක් නොවූවත් තමන්ට ඇතිවන සතුට? මම උදේ සවස ගිහින් සොයා බලල වෙලාවට බෙහෙත් ටික දීලා ඇප උපකාර කරලා කොහොම හරි ගොඩදාගත්තා නේද කියලා හිතේ ඇතිවන සියුම් අභිමානය? කාටද ආඩම්බර, කාටද පින කියන එක නෙවෙයි මෙතැනදී මුල් වෙන්නේ “නිකම් ලෙඩ හදා ගන්න එපා” කියද්දීත් මම මුහුණ දුන්න අභියෝගය? සුළුකොට හිතන්න එපා.

අපි දුරාතීතයේ පටන්ම පුරුදු වෙලා ඉන්නවා අපේ අසල්වැසියන් සමඟ ඇති දේ බෙදාහදාගෙන ජීවත් වෙන්න. වාසය කරන්න.

එහෙම ඉන්න කොට සමහර වෙලාවට අසල්වැසි කෙනකුට අපව රුස්සන්නෙ නැත්නම් හෙවත් වැට මායිමකට, ගහකට, මුලකට කානුවකට නිතර රණ්ඩු සරුවල් වෙනවා නම් අපේ අපේ පාඩුවෙ අපි ඉන්න එක හොඳයි කියා හිත හදා ගන්නවා. හිත හොඳ සුහද අසල්වැසියන්ට පණ දෙන්න වුණත් අපි ලෑස්තියි. නමුත් ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රකාශ කරන්නේ අපේ ළඟම හෙවත් මේ මොහොතෙ අනේ සමීපයෙහි ඉන්න කෙනා තමයි අපේ අසල්වැසියා කියලා. බයිබලයේ ශුද්ධ වූ ලූක්තුමාගේ සුවිශේෂයේ 10.25-37 කොටසෙ “යහපත් සමරිතානුවරයාගෙ උපමා කතාවේ” එය ඉතාම සරලව සහ අර්ථවත් මෙන්ම පැහැදිලිවම සඳහන් වෙනවා. (ලූක් 10. 25-37)

එතකොට අපි දුම්රියපොළේ, වෙළෙඳසලේදී, පාසලේදී, රෝහලේදී, සේවා ස්ථානයේදී අපි විවිධ තැන්වලදී අපිට දවසකට අසල්වැසියන් කී දෙනෙක් හමුවෙනවාද? හෙවත් එසේ අපි අසල්වැසියන් කී දෙනෙක් ඇසුරු කරනවාද? හඳුනා ගන්නවාද? ඉතින් ඒ පිරිසෙන් එක් අයකුට හෝ අපෙන් උදව්වක්, පිහිටක්, සරණක් අපට හැකි පමණින් කළා නම් ඒක තමයි අපේ  මනුස්සකම. මුදලට ගත නොහැකි චිත්ත පී්‍රතිය නොමිලේ දිය  හැකි ධනය. ධනය හෙවත් ධන කියන්නෙ එකතු කරගත් දෙය. මොනවද අපි එකතු කරගත යුත්තේ? මනුස්සකම…

මංගල ජයවර්ධන

ගිංතොට

ජාතික කතෝලික සංවිධානය