ඔක්කොම කුණුකන්දල් ත්‍රීවීල් බොක්කට ද?

0
39

බොරැල්ල නගරයේ පදික වේදිකාවේ රැඳී සිටි වයෝවෘද්ධ මවක් බොහෝ වේලාවක සිට උත්සාහ ගත්තේ තමා අසලින් යමින් තිබූ ත්‍රීවීලර්වලින් එකක් නවතා ගැනීමටය. එහෙත් ඒ එකක්වත් විනාඩියක තරම්වත් කාලයක් ඇය අසල රැඳී නොසිට යන්නට ගියේය. “ඇයි අම්මේ… ඇයි මෙතැනට වෙලා ඉන්නේ… කොහේට යන්නද?” මා අෑ අසලට ගොස් ඇසුවේ අත්වාරුවකටද බරවී අපහසුවෙන් සිටි ඇය ගැන ඇතිවූ දුකටයි.

“බලන්නකෝ පුතේ… මම ගෙවල් ළඟ දරුවෙක් එක්ක ත්‍රීවීලරයෙන් මෙතැනට ආවා. ගත්තේ රුපියල් 150යි. ආපහු යන්න දැන් මේ අය රුපියල් 500ක් ඉල්ලනවා” ඇය කීවේ නෝක්කාඩු ස්වරූපයෙනි.

“මට ඇවිදින්න බැහැ. අමාරුයි. ඒකයි මේ බෙහෙත් අරගෙන ආපහු ත්‍රීවීලරයෙන්ම ගෙදර යන්න හැදුවේ” ඇය යළිත් කීවාය.

ඇයගේ වේදනාව හා කේන්තිය සාධාරණය. අෑ කී හැටියට බොරැල්ල හන්දියේ සිට ඇගේ නිවෙසට කිලෝ මීටර එකහමාරක් තරම්වත් නැත.

මේ කෙටි හෙළිදරව්වෙන් අපි ඔබට පෙන්වා දෙන්නට හදන්නේ අපේ රටේ ත්‍රීවීලර් රියැදුරන් මෑතක සිට කරන අසාධාරණ අයකිරීම් සම්බන්ධවය. වෙනදා තරම් මහ පාරේ මගී ප්‍රවාහන කටයුතුවල නොයෙදෙන ඔවුන්ගේ මේ හැසිරීම සොයා බැලීම අපේ යුතුකමකි.

“ඔය චෝදනාව මම එක එල්ලේම බැහැර කරන්නේ නැහැ. නමුත් එහෙම කොටසකුත් ඉන්නවා. මේ නිසා තමයි අපි සංගමයක් හැටියට දශක දෙකක වගේ කාලයක ඉඳලම රජයෙන් ඉල්ලා සිටින්නේ මේ වෘත්තිය ගැන නියාමනයක් අවශ්‍යයි කියලා” මෙසේ කීවේ සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්නේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතාය. ඔහු කී ආකාරයට මගී ජනතාවගේ මෙන්ම ත්‍රීවීලර් රැකියාවේ නියුතු හැමෝගේම ගෞරවය හා වෘත්තීය වගකීම එමඟින් ආරක්‍ෂා වනු ඇත.

කෙසේ වෙතත් දැන් දැන් ඔබට අපට මෙන්ම රටේ තොටේ කොයි කාගේත් වැඩි කතාබහට ලක්වී ඇත්තේ ත්‍රීවීලර් රියැදුරන් වෙනදාටත් වඩා වේගයෙන් හා අසංවරව කරන ජාවාරම් ගැනය. මගී ජනතාවගෙන් වැඩි ගණන් අය කිරීමේ සිට වැඩි මිලට තෙල් විකුණන ජාවාරම දක්වා ඔවුන්ගේ නොහැදියාව දැන් රටට රහසක් නොවේ.

“හැබැයි… ඔය චෝදනාව සියලුම ත්‍රීවීලර් රියැදුරන්ට කරන එක අසාධාරණයි. ඔය නොහොඹිනා වැඩේ කරන්නේ ඉතාම සීමිත පිරිසක්. ඔවුන් කරන වැඩේ නිසා වෘත්තිය හරියට කරන රියැදුරු මහත්වරුන්ටත් දැන් ප්‍රශ්නයක් වෙලා” ලලිත් ධර්මසේකර මහතා පවසයි.

“දැන් ඔබ කියනවා නම් හැම ත්‍රීවීලර් රියැදුරාම මේ විදිහට හැසිරෙන්නේ නැහැ කියලා ඒ තත්ත්වය ගැනත් ජනතාවට කරුණු පහදා දෙන්න.” අපි ත්‍රීවීලර් සංගමයේ සභාපතිවරයාට එසේ අවස්ථාව ලබා දුන්නේ මේ සම්බන්ධව අපේ පාර්ශ්වයෙන් පමණක් කරුණු ගළපා කියනවාට වඩා ඔවුන්ගේ පාර්ශ්වයටත් අවස්ථාව දිය යුතු නිසාය.

“ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තිබෙන ලේඛනවලට අනුව ත්‍රීවීලර් ලක්‍ෂ එකොළහමාරක් විතර ලියාපදිංචි වී තිබෙනවා. මේ ත්‍රීවීලර්වලින් ලක්‍ෂ අට හමාරක් විතර තමයි පාරේ දුවන්නේ.”

“ඒවායිනුත් ලක්‍ෂ 5ක පමණ ත්‍රීවීලර් ප්‍රමාණයක් තමයි හයර් දුවන්නේ. ඒ වාහනවලින් මිලියන 5ක වත් මගී ජනතාවකට අපි සේවය සලසනවා.”

“මේක අපි කියන්නේ නිකම්ම නෙවෙයි. අපේ රටේ ප්‍රවාහන පද්ධතිය පිළිබඳව විශේෂඥ දැනුමක් තිබෙන මහාචාර්ය අමල් කුමාරගේ මහතාත් ඒ පිළිබඳව කළ සමීක්‍ෂණයක තොරතුරු ඇසුරිනුයි. ඒ විතරක් නෙවෙයි, අද ලංකාවේ ත්‍රීවීලර් හසුරවන ප්‍රධාන පෙළේ ආයතන පවා කියන්නේ ත්‍රීවීලර් 10,000කින් ඔවුන් ලක්‍ෂ 5කට සේවය සලසනවා කියලයි. ඉතින් ඒ අනුව අපේ වෘත්තිය ගැන අඩුවට හිතන්න නරකයි.

“දෙවනුව මම ඔය තෙල් විකුණන ජාවාරමේ ඉන්න අය ගැනත්, වැඩි මිලට හයර් දුවන අය ගැනත් කියන්නම්. මේ අය ඔබෙන් ලොකු මුදලක් ඉල්ලනවා නම් ඒ අයගේ ත්‍රීවීලරයට නඟින්න එපා. ප්‍රතික්‍ෂේප කරන්න. එහෙම අය ඉන්නවා. ඒක අපි පිළිගන්නවා. නමුත් මේවා නවත්වන්න අපි නීති රීති හදන්න ලෑස්තියි කියලා කිව්වේ අද  ඊයේ නෙමෙයි.”

“අපි කිව්වා හයර් දුවන ත්‍රීවීලර් හඳුනා ගන්න ‘ටැක්සි’ කියලා බෝඩ් එකක් ගහන එක අනිවාර්ය කරන්න කියලා. ඒ වගේම කිලෝ මීටරයකට අය කරන මුදල ත්‍රීවීලරයේ ඉදිරිපස හා පිටුපස වම් පැත්තේ ප්‍රදර්ශනය කරන එකත් අනිවාර්ය කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි මීටරය අත්‍යවශ්‍යයි කියලා කිව්වෙත් අපිමයි.”

“නමුත් මේවා ගැන අපිට තිබෙන වුවමනාව රජයටවත් පාරිභෝගික සේවා අධිකාරියටවත් නැහැ. එහෙම නැතිව කොහොමද මගී ජනතාවගේ අයිතිවාසිකම සුරක්‍ෂිත කරන්නේ. අද යම් ත්‍රීවීලර්කරුවන් අයථා විදිහට මගීන්ගෙන් මුදල් අය කර ගන්නවා නම් ඒක වෙන්නේ අත් වරදින් නොවෙයි.

අපේ රටේ තෙල් ප්‍රශ්නය ඇති වූදා සිටම ඉන්ධන පිරවුම්හල් අසල වැඩිපුර දකින්නට ලැබෙන්නේ දිගු ත්‍රීවීලර් පෝලිම්ය. මේ සියලු ත්‍රීවීලර්කරුවන් තෙල් ජාවාරම් කටයුතුවල නොයෙදෙන බව සනාථ කිරීම සඳහා ත්‍රීවීලර් රථ සංගමයේ සභාපතිවරයා ගෙන එන්නේ මෙවන් කතාවකි.

“මම කිව්වනේ ත්‍රීවීලර් ලක්‍ෂ අටහමාරක් විතර පාරේ දුවනවා කියලා. මේවායින් ලක්‍ෂ 5ක් තමයි හයර් දුවන්නේ.

හැබැයි ඒ අතරිනුත් කණ්ඩායම් තුනක් ගැන අපි ඔබව දැනුවත් කළ යුතුයි. ඒක මෙහෙමයි. සාමාන්‍යයෙන් අපේ රටේ හයර් දුවන ත්‍රීවීලර් රථ ප්‍රමාණයෙන් එක් කොටසක් ඉන්නවා ගෙදර වැඩවලට වාහනය තියා ගන්න ගමන් ඉඩ ලැබෙන විදිහට හයර් දුවන.

ඊළඟ කොටස වෙන රස්සාවක් කරන ගමන් ත්‍රීවීලරය දුවන අය. ඇත්තටම ඔවුන්ටත් මගී ජනතාව සමඟ එතරම් ලොකු සබඳතාවක් නැහැ.

අනෙක් කොටස මුළු දවසේම මහ පාරේ හයර් දුවන අය. මෙන්න මේ අය තමයි වෘත්තිය ත්‍රීවීලර් රථ රියැදුරු මහත්තුරු වෙන්නේ.”

ලලිත් ධර්මසේකර සභාපතිවරයා පවසන ආකාරයට තෙල් ප්‍රශ්නය උග්‍ර වීමත් සමඟ ඇතැම් රියැදුරන් පැය ගණන් තෙල් පෝලිමේ ලැග ඉන්ධන ලබාගෙන කළේ ගෙදර වැඩවලටම පමණක් තම ත්‍රීවීලරය යොදා ගැනීමයි.

මහ පාරේ බස් නැති නිසා තමයි ඔවුන් මේ විදිහේ තීරණයක් අරන් තිබුණේ. ඒකේ වරදක් අපි දකින්නේ නැහැ.

අනෙක් කොටස ත්‍රීවීලරයට තෙල් ගහගෙන තමන්ගේ රැකියාවට යන්න එන්න පහසු විදිහට ත්‍රීවීලරය පාවිච්චි කළා. මොකද ඔවුන්ට වරින් වර පැය ගණනක් පෝලිමේ ඉන්න බැහැනේ. රස්සාවට යන්න ඕනනේ. ඉතින් ඒකේ වරදක් අපි දකින්නෙත් නැහැ.

තුන්වැනි කොටස තමයි අර මම මුලින් කිව්ව විදිහට හයර්ම දුවන අය. ඔවුන් ගෙනුත් සමහරු තෙල් ගහගෙන ගෙදරට වෙලා හිටියා. එහෙම ඉඳගෙන දුරකථන ඇමතුම්වලින් පමණක් එන හයර්වලට ගියා. මොකද වෙනදා වගේ පාරේ එහෙ මෙහෙ දුවලා තෙල් පුච්චගන්න බැරි නිසා.

ඉතින් දැන් ඔබට තේරෙනවා ඇති පාරේ වාහන සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වුණේ කොහොමද කියලා. එහෙම අඩු වෙද්දී තවත් පිරිසක් පාරේ හයර් දිව්වා. ඒ පිරිස හරිම අඩුයි. ඒකටත් හේතුව තමයි තවත් බොහොම පුංචි පිරිසක් තෙල් ජාවාරමේ යෙදීම. ඔවුන් පෝලිමේ ඉඳලා තෙල් ගහගෙන ගෙදරට ගිහින් ඒ තෙල් විකුණුවා. අපි නැහැ කියන්නේ නැහැ. එහෙම දහජරා වැඩ කරන කට්ටියකුත් ඉන්නවා. සමස්තයම නොවෙයි.

දැන් අපි මේ ප්‍රශ්නය හමුවේත් ඉල්ලන්නේ මීට පෙර ඉල්ලපු ඉල්ලීම්ම තමයි. ඒ ඉල්ලීම් අතරට අපි තමයි QR කෝඩ් එක දෙන්න කියලත් ඉල්ලුවේ. ඒකට අවශ්‍ය තාක්‍ෂණික පහසුකම් සපයන්නත් අපි ඉදිරිපත් වුණා. කංචන ඇමැතිවරයාත් ඒක දන්නවා.

අපි කියන්නේ ‘Taxi’ කියලා බෝඩ් එක ත්‍රීවීලරයේ ප්‍රදර්ශනය වෙනවා නම්, ඒ වගේම කිලෝ මීටරයකට අය කරන මිල සඳහන් කරලත් තිබෙනවා නම් ඒ ත්‍රීවීලර් පෝලිම්වල තියන්නේ නැතිව තෙල් ලබාදෙන සිස්ටම් එකක් හදන්න කියලයි. අන්න එතකොට මගීන්ටත් පහසුයි. ත්‍රීවීලර්කරුවන්ටත් පහසුයි. මේවා කරන්නේ නැතිව අපිට දෝෂාරෝපණය කරන එක අසාධාරණයි.

වෘත්තිය ත්‍රීරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන ආකාරයට අද නීතියක් නැතිව, ක්‍රමයක් නැතිව මහ පාරේ දුවන සියලු ත්‍රීවීලර් රථ තම සංගමය හා සබඳතා නැති බවය. එමෙන්ම තෙල් ජාවාරමේ යෙදී සිටින රියැදුරන් වෘත්තිය ගරුත්වය ඇතිව රැකියාවේ නොයෙදෙන පිරිසක් බවය.

ආණ්ඩුව මේ ගැටලුවලට හරි හැටි විසඳුම් නොදී ත්‍රීවීලර් රථ රියැදුරු මහත්වරුන්ට කරන අරියාදුව සුළුපටු නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

“දැන් බලන්න… මේ QR කෝඩ් එකත් එක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පටලවගෙන, ඊළඟට පොලිසිය ගාවගෙන කරන්න හදන නරුම වැඩේ. ගොඩක් ත්‍රීවීලර්වල පොත් තිබෙන්නේ ෆිනෑන්ස් සමාගම්වල. ඒවා ගැනවත් හැඟීමක් දැනීමක් නැතිව ඔවුන් ත්‍රීවීලරයේ පොත අරන් එන්නලු ලියාපදිංචියට. මේවා විහිළු.”

ලලිත් ධර්මසේකර සභාපතිවරයා කතා කරන්නේ තම පාර්ශ්වයට සිදුවී ඇති අසාධාරණය හා අකටයුතුකම් ගැනය. එහෙත් අද වනවිට රට පුරා සුපතළ කරුණක් බවට පත්වී ඇත්තේ ත්‍රීවීලර් රථ රියැදුරන් කරන අසාධාරණ හා නොහොඹිනා කටයුතු ගැනය. ඔවුන් මගී ජනතාවගෙන් උදුරා ගන්නා කුලී මුදලින් ජීවත් කරවන්නේ තමන්ගේ දරු පවුල්ය. ඒවා සාධාරණ ආකාරයෙන් හරි හම්බ කරනා මුදල් විය යුතුය. එසේ නැතිව ජනතාවට දුක් ගින්දර දී තම බඩ වියත ගැන පමණක් හිතන අඳ බාල දේශපාලනඥයන්ට තබන දෙස් දෙවොල් ඔවුන්ටද හිමිවීම නිසැකය.

ලලිත් ධර්මසේකර මහතාගෙන් සමුගත් අප අතනතුරුව යළිත් පැමිණියේ කොළඹ නගරයේ සුප්‍රසිද්ධ ස්ථානයක ඇති ඉන්ධන පිරවුම්හලක් අසලටය.

“මේ මනුස්සයා හැමදාම රෑ 10 වෙද්දී ඉන්ධන පිරවුම්හල වහනවා. සේවකයන්ට මහන්සියි කියලයි වහන්නේ.”

“හැබැයි පාන්දර යාමේ විදුලිය විසන්ධි කරගෙන බූලිවලට තෙල් අදිනවා. ඒවා තම තමන්ගේ අයට දීලා හොර රහසේ වැඩි මුදලට විකුණනවා. පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් මේවා ගැන සොයා බැලිය යුතුයි. නීතිගරුක රටක් හදන්න නම් අරගලයේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ අල්ලගෙන නඩු දාලා වැඩක් නැහැ. මේ වගේ අර්බුදකාරී පරිසරයක් ඇතුළේ තෙල් ජාවාරමේ ඉන්න අයත් අල්ල ගන්න ඕන.”

“අද බොහෝ ඉන්ධන පිරවුම්හල්වල මේ ජාවාරම සිදුවෙනවා. පොලිසිය ඒ ගැනත් අවධානයෙන් සිටිය යුතුයි. එහෙම නැතිව ඒගොල්ලොත් ඉන්ධන පිරවුම්හල් සෙට් එක එක්ක එකතු වෙලා මේ ජාවාරම කරන්න හොඳ නැහැ.”

මෙසේ කීවේ රජයේ සේවයේ නියුතු පුද්ගලයෙක්. ඔහු දින තුනක් තිස්සේ පෝලිමේ ඉන්නා වයස්ගත කෙනෙක්.

අපේ රටේ ඇතැමුන් කාලයක් තිස්සේම හුරු වුණේ හොර මැරකම්වලටය. අල්ලසට හා දූෂණයටය. බංකොලොත් රටක් දක්වා ශ්‍රී ලංකාව තල්ලු වී ගියේත් මේ හොර කල්ලි නිසාමය. ඉතින් මේ සියලු හොරුන් අල්ලනතුරු රටක් සමාජයක් සුරක්‍ෂිත වන්නේ නැත.

සමන් ප්‍රියංකර නම්මුනිගේ