එදත් අදත් මට හොඳ ඉල්ලුමක් තිබෙනවා

0
46

එළිමහන් ප්‍රසංග වේදිකාවේ අපට නැතිව බැරි කටහඬක් විධියට ඔහුව හඳුන්වන්න පුළුවන්. බයිලා ශානරයේ ගීත ගායනා කරමින් ක්ෂේත්‍රයට පිවිසි ඔහු එදා මෙන්ම අදටත් එකලෙස රසිකයා අතර ජනප්‍රිය ගායකයෙකි. රංග නදීකා, අෑ නීල වරල පීරලා, මං ඉතාලියේ තනිවුණා වැනි ගීත ඇතුළත් ඔහුගේ ගීත වත්කමට අද වනවිට ගීත 700ක් ඉක්මවා ඇත. මෙවර හදගැස්මෙන් අපි සමීප වූයේ ප්‍රවීණ ගායන ශිල්පි ධනපාල උඩවත්ත සමඟය.  කොහොමද මේ දිනවල වැඩකටයුතු සිද්ධ වෙන්නේ?

ප්‍රසංග කිහිපයක්ම පැවතුණා. මට තිබෙන ඉල්ලුම එදා මෙන්ම අදටත් ඒ විධියටම තිබෙනවා. පසුගිය දිනවලදී මංගල සාද කිහිපයකටම සහභාගි වුණා. රටේ තිබෙන තත්ත්වයත් සමඟ ඉන් කිහිපයක්ම අවලංගු වුණා.

ප්ලස් මයිනස් ස්ටූඩියෝ එක ගැන සඳහන් කළොත්?

ප්ලස් මයිනස් ශබ්දාගාරය තිබෙන්නේ මගේ නිවෙසේමයි. මගේ පුතාගේ මූලිකත්වයෙන් තමයි එහි වැඩකටයුතු සිද්ධ වෙන්නේ. මගේ පුතා Gypsis ශබ්දාගාරයේ වසර 07ක් පමණ ශබ්ද පරිපාලක වශයෙන් කටයුතු කළා. ඔහු “කොළඹ සන්නිය රිටන්ස්” චිත්‍රපටයේ සංගීතයත් අධ්‍යක්ෂණය කළා. ඒ වගේම “මං ඉතාලියේ තනිවුණා” ගීතය නිර්මාණය කළෙත් ඔහු විසින්.

කොහොමද ක්ෂේත්‍රයට පැමිණීමට මාර්ගය සකස් වන්නේ?

මගේ ගම මොරටුව. මගේ පියා එඩ්වින් පීරිස්, ඔහු ඒ කාලයේදී ටීටර් වේදිකාවේ නළුවෙක් ලෙස කටයුතු කළා. තාත්තා ටීටර් නටන්නට යනවිට මාවත් එක්කරගෙන ගියා. මම විශ්වාස කරන විධියට මේ ආභාසය ලැබුණේ මගේ පියාගෙන්. මම ඒ කාලයේදී පාසල් දෙකක අධ්‍යාපනය ලැබුවා. මම පාසලේ සාහිත්‍ය සමිතියේදී ගොඩක් ගීත ගායනා කළා. මම වැඩිපුරම ගායනා කළේ රුක්මනි දේවියගේ සහ ඉන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ ගීතයි. ඉන්පසුව අවුරුදු 17ක් 18ක් වගේ වනවිට බයිලා චක්‍රවර්ති M.S. ප්‍රනාන්දු අයියගේ සහ ඇන්ටන් ජෝන්ස් අයියාගේ ගීත ගායනා කළා. ඒ විධියට තමයි මම ක්ෂේත්‍රයට පිවිසියේ.

ස්ව නිර්මාණ බිහිවීම ආරම්භ වන්නේ කොහොමද?

මම ප්‍රථමයෙන් වේදිකාවේ ගායනා කළේ බයිලා ගීතනේ. ඉතින් මට ප්‍රවීණයන් රැසක්ම ගීතවත් වූ ප්‍රසංග වේදිකාවකට කතා කළා. මම එහිදී M.S. අයියගේ ගීතයක් වන “අපිට ගෑනු මොකද මේ තරම් බය, පිරිමින්ට ගෑනු මොකද මේ තරම් බය. අපි කොටි වලස්සුද, අපිත් මිනිස්සු නේද” ගීතය ගායනා කරමින් සිටින විටදී M.S. අයියා වේදිකාව ඉදිරිපිට සිටගෙන සිටිනවා මම දැක්කා. ඒ වෙලාවේදී ඇතිවුණු බයට මට ගීතය කියාගන්නත් බැරිවුණා. ඒ වගේම ඇන්ටන් ජෝන්ස් අයියගේ ගීතත් ගායනා කළානේ. කෙසේ වුවත් ඔවුන්ගේ ගීත ගායනා කිරීමේදී මට විරෝධයක් මතුවුණා. ඒ නිසා මම “අෑ නීල වරල පීරලා” ගීතය නිර්මාණය කළා. මම එහි තනුව නිර්මාණය කළා. පදවැල් කරුණාරත්න අබේසේකර අයියගේ. එම ගීතය එකල ගුවන්විදුලිය තුළ අතිශය ජනප්‍රිය වුණා. එමෙන්ම “මා ආදරණීය මගේ” රණවිරු ගීතයත් මුලින්ම නිර්මාණය කළේ මම.

ඔබේ ගීත වත්කමේ ගීත දැනට කීයක් පමණ තිබෙනවාද?

දැනට ගීත 700කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඉන් බොහොමයක් අදවන විට ගායනා වෙන්නේ බොහොම අඩුවෙන්.

ඔබ චිත්‍රපට ගීතත් ගායනා කළා නේද?

ඔව්. ඒ සඳහා මට අවස්ථාව සලසා දුන්නේ හේමසිරි සෙල්ලප්පෙරුම මහත්මයා. ප්‍රථමයෙන් “සත්වැනි දවස” චිත්‍රපටයට “මාමා බූ තුරු බූ ගංගා” ගීතයත්, ජීවන්ති චිත්‍රපටියට තවත් ගීතයකුත් ගායනා කළා. විශේෂයෙන්ම පැවැසිය යුතු දෙයක් තිබෙනවා. හේමසිරි සෙල්ලප්පෙරුම මහත්මයා දැනට ලංකාවේ සිටිනවා කියලා ආරංචියක් තිබෙනවා. ඉතින් මම බොහෝම ආසාවෙන් සිටිනවා ඔහුව මුණගැසීමට.

ඔබගේ ගීත නව පරපුරේ අයෙක් ගායනා කරන විටදී මොකද සිතන්නේ?

මමත් මුල් කාලයේදී අනුන්ගේ ගීත තමයි ගායනා කළේ. නමුත් මම ඒ ගීත ගායනා කළේ  ඔවුන්ගේ නම් ප්‍රථමයෙන් සඳහන් කරලා. නමුත් වර්තමාන ප්‍රසංග වේදිකාවේ ඇතැමුන් ගීත ගායනා කරනවා මගේ නමවත් නොකියා. කොහොම නමුත් මගේ කිසිදු ඊර්ෂ්‍යාවක් නැහැ මගේ ගීත ගායනා කළාට. නමුත් covers කරනවා නම් ඒ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගවලට අනුකූලව සිදුකළ යුතුයි.

“මං ඉතාලියේ තනිවුණා”ගීතය නිර්මාණය වූ පසුබිම ගැන යමක් සඳහන් කළොත්?

මම රටවල් 45ක පමණ සංචාරය කරලා තිබෙනවා. මම පළමුවෙන්ම ගියේ කුවේට් රාජ්‍යයට. ඉතාලියට දෙවරක් ගියා. එලෙස ඉතාලියට ගිය අවස්ථාවක ඉතාලියේ ගොඩක් පල්ලිවලට සහ දූපත්වලට ගියා. මගේ පුරුද්දක් තිබෙනවා මම දකින සෑම දෙයක්ම ලියනවා. ඉතින් මම සිසිලියා දූපතට, සිරිකුසා, කතානියා වැනි තැන්වලට සහ පල්ලිවලට යන අතරතුරදී ඒවා සටහන් කරගත්තා. මගේ ඉතාලි සංචාරය අවසන් වෙනවිට “මං ඉතාලියේ” ගීතයත් ලියවී අවසන් වුණා. මම ලංකාවට පැමිණි පසුව මගේ පුතා එයට සංගීතය නිර්මාණය කළා.

ලංකාවේ තිබෙන වර්තමාන තත්ත්වය ගැන යමක් සඳහන් කළොත්?

රටේ මිනිස්සු ගොඩක් පෝලිම්වල සිටින කාලයක් තමයි දැන් උදාවෙලා තිබෙන්නේ. ඒ ගැන මම ගීතයක්ද හදලා තිබෙනවා. අපගේ තරුණ කොල්ලෝ සහ කෙල්ලෝ අරගලයක නිරත වෙමින් සිටිනවා. එයත් යම් යම් පිරිස් කඩාකප්පල් කිරීමට උත්සාහ දරමින් සිටිනවා. කෙසේ නමුත් අපි සියලු දෙනාටම හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

පවුලේ විස්තර කීවොත්?

මගේ බිරිය ශිරෝමි දමයන්ති. ඇය මගේ පිනට පහළ වූ හොඳ බිරියක් ලෙස සලකන්න පුළුවන්. පුතා ගයාන් උඩවත්ත. මගේ පොඩි පුතා ශොවියන් උඩවත්ත ඔහු මානව සම්පත් කළමණාකරුවකු ලෙස වැඩකරනවා.

දුමිඳු ලංකා බණ්ඩාර